Colombo, end of the War, Featured Articles, Features

ජිනීවා : ඇයි මෙච්චර බය?

[පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්]

හෙට එනම් මාර්තු 27වන දින ජීනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ 19වන සැසි වාරය ඇරඹෙයි. මෙම සැසිවාරයේ දී ශ්‍රී ලංකාවේ උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නංවන සේ ඉල්ලා සිටින යෝජනාවකට තමන් සහාය දෙන බව ඇමෙරිකා එක්සත් ජනපදය දැනටමත් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම ස්ථාවරය ඇමෙරිකාව විසින් ප්‍රථමයෙන්ම දැනුම් දුන්නේ ශ්‍රී ලංකාණ්ඩුවට ය. ඒ හිලරි ක්ලින්ටන් විසින් අමාත්‍ය ජී.එල්. පීරිස් වෙත යවන ලද ලිපියක් මගිනි. අනතුරුව ශ්‍රී ලංකාවේ නිරීක්ෂන සංචාරයන්ට පැමිණි සිවිල් ජන ආරක්ෂාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් පිළිබඳ ඇමෙරිකානු නියෝජ්‍ය ලේකම්වරිය වන මාරියෝ ඔටාරෝ සහ මධ්‍යම සහ දකුණු ආසියාව බාර සහය ලේකම් වන රොබට් ඕ බ්ලේක් විසින් කොළඹ පැවැති පුවත්පත් සාකජාවන්හිදී දෙවතාවක දී එම ස්ථාවරය ප්‍රකාශ කරන ලදී.

එසේ නමුත් පුදුමයකට මෙන් මේ අවස්ථාවේ දී විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ හෝ චම්පික රණවක මහතාගේ ජාතික හෙළ උරුමය හෝ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උපවාස හෝ පෙළපාලි හෝ පැවැත්වූයේ නැත. එමෙන්ම ජලභීතිකා රෝගයෙන් පීඩා විඳින රාජ්‍ය ජනමාධ්‍යකරුවන් හෝ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් පසු පස බුරමින් (බොරුවට) සපා කෑමට මෙන් දිව ගියේ ද නැත.

එසේ නමුත් ආණ්ඩුව ඇමෙරිකානු යෝජනාව පරාජය කිරීම අරමුණූ කරගත් දැවැන්ත ප්‍රචාරක සහ බලපෑමේ ව්‍යාපාරයක් දියත් කළේ ය. ජනමාධ්‍ය වාර්තා කරන්නේ 52දෙනෙකුගෙන් සමන්විත නියෝජිත පිරිසක් ජීනීවා කරා පැමිණෙන බවයි. එම දූත පිරිසට සාමාන්‍යයෙන් වෙනත් රටක නම් සමස්ත ඇමැති මණ්ඩලයක් ම තරම් ඇමැතිවරු රොත්තක් ම ඇතුළත් ය.

ඇත්ත වශයෙන් ම නම් මෙම ඇමෙරිකානු යෝජනාවට රාජපක්ෂ ආණ්ඩුව මෙතරම් බිය වී හෝ තිගැස්මට ලක් වී හෝ සිටින්නේ මන්දැයි තේරුම් ගැනීම අමාරු ය. මන්ද යත් ඇමෙරිකානු යෝජනාව මූලික වශයෙන් ප්‍රකාශාත්මක එකක් නිසා ය. එය ශ්‍රී ලංකාණ්ඩුවට කිසිදු බැදීමක් ඇති කරවන එකක් නොවන නිසා ය. වෙනත් වචනයෙන් කියන්නේ නම් ගෙන ඒමට නියමිත යෝජනාව උගත් පාඩම් සහ ප්‍රතිසංධාන කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස කැරෙන ඉල්ලීමකි. එම නිර්දේශ ඉටු කරන්නේදැයි මානව හිමිකම් කවුන්සිලය විසින් සොයා බැලිය යුතු යැයි යෝජනාව විසින් ඉල්ලා සිටින්නේ ද නැත. මෙම යෝජනාවෙහි යුද්ධ අපරාධ ගැන හෝ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ කමිටුවක් පත් කිරීම ගැන හෝ කිසිදු සඳහනක් නැත. එමෙන්ම එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැං කි මූන් විසින් පත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ උපදේශක කමිටු වාර්තාව සම්බන්ධයෙන් හෝ කිසිදු සඳහනක් නැත.

උගත් පාඩම් සහ ප්‍රති සංධාන කමිටුවෙහි වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන ලද පසුගිය දෙසැම්බර් මාසයෙහි දී එම නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකාවෙහි කතුවැකි ම කීයක් නම් ලියැවෙන්නට ඇත්ද? එම වාර්තාවෙහි එන නීතියේ පාලනය පිහිටුවීම පිළිබඳ නිර්දේශ හෙළා දුටු කිසිවෙකු සිටියේ නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන සහ සිවිල් සමාජය සමස්තයක් ලෙස ඉල්ලා සිටියේ එකී වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ය. දැන් ඇමෙරිකාව ප්‍රමුඛ තවත් රටවල් ගණනාවක් විසින් ඉදිරිපත් කිරීමට නියමිත යොජනාවෙන් කියැවෙන්නේ ද එයම ය. එනම් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන සැළැස්මක් ඉදිරිපත් කරන ලෙසත් ඒ අනුව ශ්‍රී අන්තර් ජාතික මානව හිමිකම් කෙළෙසීම් වහාම සහ විශ්වනීයත්වයෙන් යුතුව පරීක්ෂා කරන ලෙසත් ඒ සඳහා අවශ්‍ය සහාය මානව හිමිකම් කොමිසම විසින් සැපයිය යුතු බවත් ය.

උගත් පාඩම් කොමිසමේ වාර්තාවට ඉතා ඒත්තු ගැන්වෙන සුළු සහ සවිස්තරවූත් තර්කානුකූළවූත් විවේචනයක් ඉදිරිපත් කරන ලද්දේ දෙමළ ජනයාගේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන දෙමළ ජාතික සංධානය විසිනි. එය කියා සිටියේ යුද්ධයේ දී දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වාර්තාව සහමුලින්ම වැරදි විත්‍රයක් ඉදිරිපත් කරන බවයි. එමෙන්ම එය ශ්‍රී ලංකාණ්ඩුවේ සන්නද්ධ හමුදා විසින් කරන ලද මානව හිමිකම් කෙළෙසීම් වසං කර ඇති බවයි.

එවැනි තත්ත්වයක් යටතේ හුදෙක් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරවීම පිණිස යෝජනාවක් ගෙන ඒම දෙමළ ඩයස් පෝරාවේ හෝ දෙමළ දේශපාලන බලවේගයන්හි අවශ්‍යතාවයන්ට අනුගතවීමකැයි තර්ක කිරීම අතාර්කික ය. දෙමළ ඩයස්පෝරාව මෙම යෝජනාව සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දක්වන බවක් නොපෙනේ. ඊට ඇති හොඳම උදාහරණයක් නම් ඩයස්පෝරාවේ ප්‍රබල හඩක් වන ටැමිල් නෙට් වෙබ් අඩවිය යි. එය නොකියා කියා සිටින්නේ ඇමෙරිකානු, ඉන්දියානු සහ දෙමළ සංධානයේ ඒකාබද්ධ පිළිවෙත පැරදවිය යුතු බවයි.

ඇත්ත වශයෙන්ම නම් මෙම යෝජනාව විසින් ශ්‍රී ලංකාවෙහි සිදුවූ බවට කියැවෙන යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා ගෙන යන ලද ව්‍යාපාරය අවම වශයෙන් තාවකාලිතව හෝ පසු පසට දමයි. දැනට බලවේග පෙළ ගැසී ඇති අන්දමට එවැනි පරීක්ෂණයක් සිදුවනු ඇත්නම් එය සිදුවිය හැක්කේ අන්තර් ජාතික වශයෙන් නොව ජාතික තලයේ ඇතිවන එකඟතාවයක් අනුව පමණය. ජිනීවාහි මානව හිමිකම් කොමිසමෙහි දි එවැනි යෝජනාවක් සම්මත කිරීමට අද පවතින තත්ත්වය යටතේ ඉඩක් නැත.

ශ්‍රි ලංකාවෙහි මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් කැරෙන කවර හෝ පරීක්ෂණයකදී වඩා ම වැදගත් වන්නේ එහි අපක්ෂපාතීභාවය පමණක් නොව ශ්‍රී ලංකික ජනතාව අතර එම පරීක්ෂණය විසින් ලබා ගනු ඇති විශ්වනීයත්වය යි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අව්‍යාජ දේශපාලන කැපවීමක් වත්මන් ආණ්ඩුවට ඇත්නම් එය විසින් කළ යුතුව තිබුණේ මෙම යෝජනාවට විරුද්ධවීම නොව එය සමඟ එකට ගමන් කිරීම ය. මෙවැනි සරල යෝජනාවකට එනම් රටෙහි නායකයා වන ජනාධිපතිවරයා විසින්ම පත් කරන ලද කොමිසමක වාර්තාව ක්‍රියාවට නංවන සේ කැරෙන යෝජනාවකට පවා විරුද්ධ වීම මගින් ශ්‍රී ලංකාණ්ඩුව පෙන්නම් කරන්නේ කුමක්ද?

කරුණු දෙකකි:

පළමුවැන්න නම් (බොහෝ දේශපාලන විචාරකයින් විසින් මුල සිටම පෙන්වා දී ඇති පරිදි) මෙම උගත් පාඩම් කොමිසමේ යෝජනා හරියාකාරව ක්‍රියාත්මක කිරීමට රාජපක්ෂ ආණ්ඩුවට ඇති නොකමැත්ත සහ නොහැකියාවයි. මෙම නිර්දේශ මගින් ශ්‍රී ලංකාවේ යහ පාලනය සහ ප්‍රති සංධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාවට නැගුවහොත් එමගින් පශ්චාත් යුද්ධ මිලිටරිකරණ සහ පවුල්වාදයේ සැලැස්ම සහමුලින්ම වාගේ අහෝසි වී යනවා ඇත. මේ නිසා කොමිසමේ නිර්දේශ යටපත් කර දැමීම ඇරඹී තිබේ.

උදාහරණයක් නම් කොමිසමේ එක් නිර්දේශයක් වන උතුරෙහි මිලිටරිකරණය අවසන් කිරීමය. එය දැනටමත් රාජපක්ෂ පාලනය විසින් කුණු කූඩයට දමා තිබේ. මන්ද යත් උතුරෙහි කිසිදු හමුදාකරණයක් නැතැයි ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රකාශ කිරීම මගිනි. තවත් නිදසුනක් නම් රටෙහි ජාතික ගීය දෙමළ බසින් ද ගායනා කළ යුතු බවය වන නිර්දේශය යි. ජනාධිපතිවරයා විසින්ම කුණු කූඩයට යැවූයේ නිදහස් උත්සවය දා ඊට ඉඩ නොදීම මගිනි. යුද්ධයෙන් විපතට පත් සියළු දෙනා අනුස්මරණය කරන දිනයක් තිබිය යුතු බවට වන නිර්දේශය ද ජනාධිපතිවරයා උල්ළංඝනය කළේ නිදහස් දා යුද්ධයෙන් මිය ගිය සිවිල් ජනයා අමතක කොට රණවිරුවන් පමණක් සිහිකිරීම මගිනි. එපමණක් නොව ස්වාධීන පොලිස් කොමිසමක් පත් කළ යුතුය යන යෝජනාව විහිළුවකට ලක් කරමින් ජනාධිපති රාජපක්ෂ සිය නියෝජිතයින් ඊට පත් කළේ ය. කලම්බු ටෙලිග්‍රාප් වෙබ් අඩවිය මගින් පෙන්වා දී ඇති පරිදි පිස්තොලයක් රැගෙන යමින් 1983 දෙමළ විරෝධි ජූලි සංහාරයට මුලපිරූ බවට චෝදනා ලබා ඇති භික්ෂුවක ද දැන් පොලිස් කොමසාරිස්වරයෙකි. තවද උගත් පාඩම් කොමිසම චැනල් 4 වීඩියෝ සම්බන්ධයෙන් ස්වාධීන පරික්ෂනයක් පවත්වන ලෙස නිර්දේශ කළේ ය. ඒ වෙනුවට දැන් රාජපක්ෂ පාලනය කර ඇත්තේ ඒ වීඩියෝව පිළිබද යුද හමුදා පරීක්ෂනයක් ඇරඹීමයි. ඒ මදිවාට කොමිසමේ වාර්තාව මගින් සමාන්තර හමුදා පවත්වා ගෙන යාම පිළිබඳ චෝදනා එල්ල කළ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද පවා දැන් ජීනීවා බලා එන නියෝජිත පිරිසට ඇතුළත් ය. එලෙසම ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වෝදනා ලද වත්මන් අම්පාර ශ්‍රිලනිප සංවිධායක හිටපු එල්ටීටිඊ නායකයකු වන ඉනයභාරතීට දේශප්‍රේමි නම්බුනාමයක් පිරි නැමුවේද ජනාධිපති රාජපක්ෂය.

උගත් පාඩම් කොමිසමේ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය යහපත්වනු වෙනුවට සිදුව ඇත්තේ නාදුනන මළ සිරුරු තැන තැනින් හමුවීම සහ අතුරුදහන් කිරීම් ඉහළ යාමත් මහාජනයාගේ රැස්වීමේ සහ අදහස් ප්‍රකාශණයේ අයිතියට දරුණූ ප්‍රහාරයන් එල්ල වීමත් ය.

මේ අනුව බලන විට අපට මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන සේ ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින යෝජනාවක් සම්මත කිරීම තමන්ට එළඹ ඇති මරණිය අනතුරක් ලෙස රාජපක්ෂ පාලනය තීරණය කර ඇත්තේ මන්දැයි තේරුම් ගැනීම දුෂ්කර නැත. ලොවට අඩඛෙර ගසා තමා විසින්ම පත්කළ කොමිසමෙහි නිර්දේශයන්ට බිය පත්වීමට සිදුවීම තරම් රාජ්‍ය නායකයකුට ඇතිවිය හැකි අබුද්දස්ස යුගයක් තවත් ඇත්ද?

දෙවන හේතුව පැන නගින්නේ මෙම භීතියට අදාළවය. එනම් අන්තර් ජාතික තලයේ දී මානව හිමිකම් අරභයා පරාජයක් අත්වීම දැරිය නොහැකි ඛේදවාචකයක් වනු ඇතැයි යන හැගීම ය. ( මෙහි අනෙක් පැත්ත නම් වෙඩි තබා මිනී මරා හෝ ජනතා විරෝධයන් මැඩලීමය)

කෙටියෙන් මෙසේය: රටක් ප්‍රජාතන්ත්‍රවාදය සහ ජනතාවගේ මානව හිමිකම් වලට වඩා, බලයේ සිටීම අවශ්‍යතාවය වූ කළ ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් ගැන කැරෙන සෑම කතාබහක්ම පෙනෙන්නේ මර උගුලක් ලෙස ය. එටිට මර්දනයේ මඟ හැර අන් මඟක් නැත. මර්දනකාරී පාලකයා සෑම විටම ජිවත්වන්නේ බියෙනි.

සුනන්ද දේශප්‍රිය[Sunanda Deshapriya]