Colombo, Featured Articles, Features

දැන් නම් මූන්ට හොඳටම පිස්සු

මෙයට හේතුව මුන් දූපතක ඉපදීමද කියා මම නොදනිමි. ඒත් පැහැදිලිවම මේ හැසිරීම නම් ලොව වෙනත් කිසිම තැනක දකින්නට නැති දෙයකි. මැති ඇමතිවරුන් අමු බූරුවන් ලෙස හැසිරෙන වෙනත් රටක් නම් නොමැත. සමහර ගෝත්‍ර සමාජ මෙන්ම ආගමික අන්තවාදයෙන් හිස් විකාරකරගෙන අඳභාවයට පත් මිනිස් කණ්ඩායම් තම විරුද්ධවාදීන්ට එරෙහිව බැන අඩගසමින් රෙදි ඔසවා ගෙන වීදි දිගේ වියරුවෙන් හැසිරෙනු දකින්නට ලැබුණා වුවත් ඒ රටවල පවා කැබිනට් ඇමතිවරු මෙසේ සිහි විකල් කරගෙන හැසිරෙනු දකින්නට නොලැබේ. එසේ සිහිවිකලෙන් හැසිරෙන කැබිනට් ඇමතිවරු දකින්නට ලැබෙන්නේ අපේ මේ පුංචි මුතු ඇටයේ පමණි.

යම් කිසිවකුට පිස්සු හැදී ඇතිබව පවසන්නේ ඔහු හෝ ඇය අස්වාභාවිකව හැසිරෙන විටයි. පවතින යථාර්තය නොදැක ඒ වෙනුවට මායාවක් දැක ඒ ගැන දොඩවන විටයි. යමකු පොල්ගසකට ‛‛අනේ ලස්සන එළදෙන’’ කියා කියත්නම් ඔහුගේ මොළය පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙයි. එසේ නැතිනම් හිටිගමන් හඬා වැටෙන එසේ නැතිනම් කෙන්තියෙන් පුපුරා හැලෙන කිසි හේතුවක් නොමැතිව අඩදබර කරන විට එම තැනැත්තාගේ මොළය හොඳ නැති බව නැතිනම් පිස්සු හැදී ඇති බව පවසයි. එවිට සාමාන්‍යයෙන් නම් කරුණු ලබන්නේ ඔහු හෝ ඇයව මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමයි.

කොටින්ම කියනවා නම් යමකු තමන්ම මවාගත් මනෝ ලෝකයක් තුළ මායාවක් මවාගෙන එයට ප්‍රතික්‍රියා දක්වන විට එය පිස්සුවක් බව නිගමනය වෙයි.

ඉතින් ලංකාවේ අමාත්‍ය මණ්ඩලය තුළ මෙසේ මානසික ව්‍යාධියක් පෙන්නුම් කරන අය ඇති බව පසුගිය වකවානුවේ පෙන්නුම් කර තිබුණි. මදාවි මර්වින් ගොම්පස් දමමින් තප්පුලන විට එය රටටම පෙණුනි. නොපෙනුනේ මහින්ද රාජපක්ෂට සහ තව දෙතුන් දෙනකුට පමණි. මහින්දට එය නොපෙණුන බව සහතිකය. නොඑසේ නම් මෙම පුද්ගලයා තාමත් කැබිනට් එක තුළ සිටිය නොහැක.

නමුත් දැන් නම් මෙසේ එක එක පුද්ගලයා නොව මුළු එකක් වශයෙන් මැති ඇමති මණ්ඩලයම මෙම රෝගයට ගොදුරු වී ඇති බව පෙනේ. ඒ දැන් ජිනීවාහි පැවැත්වෙන මානව අයිතීන් කවුන්සිලය ගැන සහ එයට ඉදිරිපත් කරනවාය කියන යෝජනා සම්බන්ධයෙන් රටේ උගතුන්ගේ සිට ගම්වැසියා දක්වාත් ප්‍රාදේශීය දේශපාලඥයාගේ සිට ජනාධිපතිවරයා දක්වාත් එකම හඬකින් කියා සිටින්නේ එකම කරුණු ගණනකි.

‛‛අපේ රණවිරුවන්ව විදුලි පුටුවට ගෙනයාමට අපි ඉඩ නොදෙමු. අපේ ජනාධිපතිවරයා යුද අපරාධ චෝදනාවලට ලක් කිරීමට එරෙහි වෙමු. අපේ රටේ ස්වයිරී බවට අතනොතබනු. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පරදමු. අපේ රණවිරුවන් අධිරාජ්‍යාවාදීන්ගේ විදුලි පුටුවලට ගෙනයාමට ඉඩ නොදෙමු. දිවි හිමියෙන් රට රැක ගැනීමට සටන් වදිමු. අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පදරවමු.’’

මේ ඉහත ඇත්තේ අඩුවැඩි වශයෙන් කියවෙන සටන් පාඨවේ. දේශප්‍රේමී හඬ සහ සිංහකොඩි වීදි පුරා රැව් පිළිරැව් දෙති.

(මගේ මතය අනුව නම් දේශප්‍රේමය යනු වලිප්පුවටත් වඩා අසාද්‍ය රෝගයකි. වාසනාවට මට මෙම දේශප්‍රේමි රෝ්ගය නොවැළඳුනි.)

ඉතින් බටහිර අධිරාජ්‍යවාදීන් කොටින් සමඟ එක්වී අපේ රට ගිලගැනීමට කරන මේ කුමන්ත්‍රණය කුමක්ද?

ඇත්ත වශයෙන්ම ජිනීවා මානව අයිතීන් කවුන්සිලයට ඉදිරිපත් කරන්නට යන යෝජනාව වී ඇත්තේ ලංකාවේ ජනාධිපතිවරයා විසින් පත්කළ විද්වත් කමිටුවේ නිගමන ක්‍රියාත්මක කරන ලෙස ලංකාවේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමකි. එම යෝජනාවන් හි ජාත්‍යන්තර අධිකරණයක් ගැන හෝ යුද අපරාධ ගැන හෝ විදුලි පුටුවලට ගෙන යාමට උත්සාහ කිරීමක් ගැන හෝ සඳහන්ව නොමැත. ඇත්තේ ජනාධිපතිවරයාගේම කමිටුව කළ නිගමන ක්‍රියාත්මක කරන ලෙස කරන සරල ඉල්ලීම්ය. මෙම විද්වත් කමිටු :ඛඛඍක්‍* නිගමන වලද ජාත්‍යන්තර යුද අධිකරණයකට ගෙනයාමක් ගැන නිර්දේශ ඉදිරිපත් කර නැතිබව ලංකාව මෙන්ම ලෝකයද දනි. නොදන්නේ කැබිනට් මණ්ඩලය සහ ජනාධිපති පමණි.

ඉතින් මේ මෙසේ නම් මේ බටහිර කුමන්ත්‍රණකාරී අධිරාජ්‍ය බිල්ලා ලංකා සමාජයට අරක් ගත්තේ ඇයි. එය වෙනම කතා කළ යුතු දෙයකි. ඒත් තෙල් මිල, ජීවන බර, විසඳුම් නැති සමාජ දේශපාලන ප්‍රස්න සහ අසාර්ථක රජයක නොහැකියාව මේ බිල්ලාගේ ප්‍රතිබිම්බයේ සෙවනැල්ලෙන් වැසගොස් ඇත.

ඒ කෙසේ උවත් ලංකාවේ කැබිනට් ඇමතිවරු සමගින් මහජන සෙනඟ විදි සැරිසරති. පඹයින් ගිනි තබති. වියරුවෙන් වහසිබස් දොඩති. එකම අඩු කිරිබත් පමණි. සිංහ කොඩි, බෞද්ධ කොඩි වීදි වසාගෙන ගම් නියම්ගම් සිසාරති.

වාසු දේවනානායක්කාරට කවදත් වම දකුණ නොපෙනේ. (හොඳවෙලාවට ඔහු තනිවම වාහන නොපදවයි.) වාසුතුමා රැව්ල අතගාමින් පිරිවර සමඟ ඇමරිකන් අධිරාජ්‍යවාදයට සහ බටහිරකුමන්ත්‍රණයට එරෙහිව වීදි බැස ඇත. හැබැයි උන්නැහැට තම දරුවන් ජීවත්වන්නේ කොහෙද කියා අමතකය. මේවා නම් වයසට ඇතිවන රෝග විය හැක.

තිස්සවිතාරණට දවල් හීන් පෙනෙති. සර්ව පක්‍ෂ සමුළුව පැත්තක තැබූ ඔහු ක්‍ගෂග් කුමන්ත්‍රණයකට එරෙහිව නන්දොඩවයි. 71ත්, 87-90 ක්‍ගෂග් කාරයින් ගැන ඔහු දොඩති. දැනුත් ඔවුන් අපේ පිංබිම ගිලගන්න උත්සාහ කරන බව ඔහු ප්‍රකාශ කරයි.

වැඩබලන විදේශ ඇමති රස්තියාදුකාරයින් රොත්තක් වටකරගෙන තමන්ගේ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික හැකියාව පෙන්වමින් ඇමරිකාවේ ජනාධිපතිගේ පඹයෙක් පුච්චයි. කොහොමද අපේ විදේශ ඇමතිලගෙ රාජ්‍යතාන්ත්‍රික බුද්ධිය. තක්කඩින් ඇමතිලා වූ විට මීට වඩා යමක් බලාපොරොත්තු විය හැකිද?

විමල් වීරවංශ ඇමරිකාව යටකරන්න තනාපති කාර්යාලය වටකරති. අතුරලියේ රතන දණින් ඉහළටම සිවුර ඔසවාගෙන ඉන්දියාවට අභියෝගකරයි. ඉන්දියාවට පරිස්සමෙන් සිටින ලෙස තර්ජනයද කරයි. නාකි දත් දොස්තරටත් ලේ නොදැකම නින්ද නොයන බව පෙන්වමින් යුද්ධයම ඉල්ලති. ඔහුගේ දරුවෝ ජීවත්වන්නේ ඇමරිකාවේය. මැරුණොත් මැරෙන්නේ රටේ සිටින දුප්පතුන්ගේ දරුවන්ය.

චන්ඩි මල්ලි ආරක්ෂක ලේකම් ලෝකයටම අභියෝග කරති. අධිරාජ්‍යවාදය ඉදිරියේ දණ නොනමමුයි කියති. නමුත් ඔහුගේ ද දරු පරපුර ජීවත්වන්නේ මේ අධිරාජ්‍යවාදීන්ගේ රටේමය.

මේ අතරේ අලුත්ම දෙය චම්පික රණවක ඇමති තුමාගේ පේන කීමයි. දැන් එන පොට හොඳ මදිබවත් ජිනීවාවලින් දිනුවා හෝ පැරදුනා අධිරාජ්‍යවාදී ආක්‍රමනයක් අපේ රටට අනිවාර්යය නිසා රට යුද්ධයට සූදානම් කළ යුතුබව ඔහු පවසයි.

මේ සිදු වෙන්නේ කුමක්ද? ජිනීවා හි ඉදිරිපත් වන්නේ වෙනම දෙයකි. මොවුන් රොත්තම කතාකරන්නේ එක එක මවාගැනීම් තුළ සිටය. ඇත්තෙන්ම මේ සියල්ලන් තම මනසේ මවාගත් මායාවක් ගැන නන් දොඩවයි. අභියෝග කරයි. ඉතින් මෙහෙම මවාගත් මයා ලෝකවල ජීවත් වන්නේ මානසික ව්‍යාධි ඇති අය නොවේද? රටේ ජනාධිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලයත් තවත් අයත් මනෝ විකාරයකට මැදිව නැති දෙයක් දකිමින් මවාගත් මායාවකට අභියෝග කරමින් ඒ ගැන නන් දොඩමින් මේ කරන විකාරය දකින අපට දැන් කියන්නට සිදුවෙන්නේ ‛‛දැන්නම් මුන්ව හොඳටම පිස්සු’’ කියා නොවේද?

රංජිත් හේනායකආරච්චි[Ranjith Henayakaarachchi]