ඔන්න හදලා දුන්නා, දැන් ඉතිං අපි කියන විදියට නිදහසේ හිටපල්ලා
June 19, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Development, Economy, Features, Human Rights, Peace and reconciliation, Politics and Governance
[Image Credit: exploresrilanka.lk]
ඇතුල් වෙන තැන ලොකු බැරියර් එකක්. පොලීසියේ මහත්තුරු තුන් දෙනෙකුත් හිටියා. අපේ මොකෝ, අපි ආවෙ ටිකක් සැහැල්ලූවෙන් ඉන්නනේ, කියලා අපි එයාලව පහුකරා.
බය හිතෙන තරං පිළිවෙලට හදා ඇති ඒ ලස්සන පරිශ‍්‍රයට අපි ඇතුල් වුණේ උද්දාමයෙන්. දෙපැත්තේ ලස්සන හුරුබුහුටි ගස් වවලා. ව්‍යායාමෙට හැල්මෙ ඇවිදින අයට රෝස පාට ගල් අල්ලපු වෙනම පේව්මන්ට් එකක්. චිල්රන්ස් ප්ලේ ඒරියා එකේ පාර පුරා චිත‍්‍ර ඇඳලා. අමුතු ලස්සනක්. පාර දෙපැත්තේ වාඩි වෙන්න හදපු ගෝලාකාර සිමෙන්ති කුට්ටි. ඒවා පතුලෙ ලයිට්. තැන දැකලා පොඩි එකාට ඉහිලූම් නැති වුණා. ඒකා ඇඟයි හිතයි මුදා හැරියා. දුවන්න ගත්තා.
කොහෙන්දෝ කන් කීරී ගස්සන විසිල් පාරක් වැදුණා.
’‘තණකොළ පාගන්න එපා….අයින් වෙන්ඩ…අයින් වෙන්ඩ ’’ …ඈතින් සෙකුරිටි කෙනෙක් අපේ දිහාට කෑ ගහනවා…මම පොඩි එකා කොහෙද බැලූවා. ඒකගෙ එක කකුලක් රෝස පාට ගල් අල්ලපු පේව්මන්ට් එකේ, අනිත් කකුල තණකොළ බිස්සෙ.
’‘පොඩි ළමයින්ට කියන්න තණකොළ පාගන්ඩ එපා කියලා’’ සෙකුරිටි අපිට සැර දැම්මා.
තව ටික වෙලාවකින් එක පාරටම තවත් විසිල් පාරක් වැදුණා. ඒ වෙන සෙකුරිටි කෙනෙක්. ඈතින් හිටපු වෙන ළමයි ටිකකට. පාරෙ අයිනෙ තියෙන ගලක් උඩ පොඩි එකෙක් නැගලා. ‘‘ගල් උඩ නගින්ඩ බෑ….ගල් උඩ නගින්ඩ බෑ…’’
අපි ටිකක් තක්කු මුක්කු වෙලා හිටියෙ. තැන වැරදිලා ආවදවත් කියලා. එහෙන් මෙහෙන් විසිල් පාරවල් එක දිගටම වදිනවා…‘‘කපල්ස්වලට මෙහේ එන්න බෑ….අර පැත්තෙ විතරයි….මේ පැත්ත තියෙන්නෙ එක්සයිස් කරන අයට’’ තව ටික වෙලාවකින් අපේ පොඩි එකාට ගැහැණු සෙකුරිටි කෙනෙක්ගෙන් දරුණු විසිල් පාරක්. ‘‘ඔය ගල් අහුලන්න එපා…වතුරට ගල් විසි කරන්න තහනං’’
මට තවත් ඉවසගන්ඩ බැරිම තැන කෙළින්ම සෙකුරිටි කෙනෙක් ගාවට ගියා.
‘‘මෙතන මොනවද කරන්න පුළුවන් කියලා කියන්නකෝ’’
‘‘ව්‍යායාමෙට ඇවිදින අයට මේ පේව්මන්ට් එකේ ඇවිදින්න පුළුවන්. පොඩි ළමයින්ට පාරේ බයිසිකල් පදින්න පුළුවන්. ඔය පාරෙ ඇඳලා තියෙන චිත‍්‍ර උඩ බුදියගෙන ෆොටෝ ගන්ඩ පුළුවන්. කකුල් පාර පැත්තට දාලා මේ සිමෙන්ති බෝල උඩ වාඩි වෙන්ඩ පුළුවන්…අනිත් පැත්තට වාඩි වෙන්ඩ දෙන්නෑ, මොකද එතකොට තණ කොළ පෑගෙන නිසා, ගස්වලට හේත්තු වෙලා ඉන්ඩ බෑ, පොඩි ළමයින්ට ගස් නගින්ඩ බෑ, ඔය ලස්සනට තියලා තියෙන කලූ ගල් උඩ වාඩි වෙන්ඩ බෑ,……බෑ….තහනං’’
‘‘ඇයි තණකොළ පාගන්ඩ බැරි?(මට විතරක් ඇසෙන ගාණට) බිම් බෝම්බ වළලලා තියෙනවද?’’
‘‘මේක හදලා තියෙන්නෙ පිඩලි අල්ලලා. හමුදාවයි නේවි එකයි හරි පරිස්සමට මේවා ඇල්ලූවේ. ඕක පාගන්ඩ දුන්නොත් පිඩලි ගැලවිලා යනවා. අනික එක්සයිස් කරන මහත්තුරු මේ ගස් අල්ලගෙන කණකොළ ගොඬේ උඩ පනිනවා…සමහර ගෑනු ළමයි ගස්වලට හේත්තු වෙලා ටෙලිෆෝන් වලින් කතා කරකර කකුල් වලින් පස් හාරනවා…එතකොටත් පිඩලි ගැලවෙන්ඩ පුළුවන්….ගැලවුණොත් හමුදාවයි නේවි එකයි තමයි ආයිත් අල්ලන්ඩ ඕනෙ.’’
‘‘මෙතන සෙකුරිටි මහත්තුරු කී දෙනෙක් ඩියුටි ඉන්නවද?’’
ඔහු කියූ හැටියට ඒ පරිශ‍්‍රයේ ආරක්ෂක නිලධාරීන් 22 ක් මුරට සිටිති. ඔවුන් නාගරික සංවර්ධන අධිකාරියෙන් පත් කළ ආරක්ෂක නිලධාරීහු වෙති. මිනිසුන්ට නිදහසේ ගත කරන්නට, දරුවන්ට සෙල්ලම් කරන්නට හැදූ තැනකට ඒ සා විශාල ආරක්ෂක නිලධාරීන් පිරිසක් මොනවටදැයි මට සිතුණ නමුත්, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මේ සුවච කීකරු සේවකයාගෙන් මම එය නෑසුවෙමි. අනික එතැන ඇති නීතී රීති වල තරමට ඒ තරං ආරක්ෂක නිලධාරීන් පිරිසක් නැතිවත් බැරිය. මිනිසුන්ට නිදහසේ ඉන්නට ඉඩ හැර, හැම මොහොතකම ඔවුන් දෙස ඇහැ ගසාගෙන සිටිය යුතුමය. වෙලාවට විසිල් පාර ගැසිය යුතුය.
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ(එය කියවෙන්නේ ඒ අසල පිහිටුවා ඇති ඵලකයකය.) පාර්ලිමේන්තු මං සන්ධියේ වෝටර්ස් එජ් අසල ඉදිකර ඇති, තාමත් නොයෙක් අංග එකතු වෙමින් පවතින මේ ව්‍යායාම් සහ උද්‍යාන පරිශ‍්‍රය, අපේ රට තව අවුරුදු කීපයකින් පත්වීමට නියමිත් තත්ත්වය අත්හදා බලන තැනක් වැනිය. සියල්ල බැලූ බැල්මට ඉතා කදිමට නිමවා ඇත. පිළිවෙල උරිමයය. නඩත්තුව ඉස්තරම්ය. සියලූ ඉදිකිරීම් සහ නඩත්තු කටයුතු යුද හමුදාව සහ නාවික හමුදාව විසින් මෙහෙය වේ. දහ අතේ ආරක්ෂක නිලධාරීහු වෙති. ‘‘ජනතා අයිතියට පවරා අතැයි’’ මිනිසුන්ට කියා එන එන එකා දෙස ඇහැ ගහගෙන ඉන්නට ආරක්ෂක නිලධාරීන් යොදවා ඇත. අතාර්කික නීති රැසකි. නිදහස, සැහැල්ලූව රස විඳීම මිනිසුන්ට ඕනෑ හැටියට කරන්නට බැරිය. කකුල තියන්නේ කොතනද, පස්ස තියන්නේ කොතනද, අත කොච්චරක් දික් කළ යුතුද, කී වාරයක් උඩ පැනිය යුතුද,…..මේ ආදී වශයෙන් සියලූ දේ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි. මිනිසුන්ට ඇත්තේ, (ඇත්තෙන්ම දැන් මිනිසුන් කරන්නේද එයයි) අමාත්‍යාංශයෙන් හදා දෙන සැහැල්ලූවේ පැකේජය පාවිච්චි කර, පොටෝ අරගෙන ගෙදර යාමය.
වරෙක මම මිත‍්‍රයෙකු සමග නිදහස් චතුරස‍්‍රයේ කණුවක් යට වාඩි වී, කුමක් හෝ වැඩක් කරන්නට ලැප් ටොප් එක දිග ඇරගත්තෙමි. ඈතින් පුටුවක වාඩි වී සිටි ගැටවර සිකුරිටි පරල වී අප අසලට විදගෙන ආවේය. ඔහු සිටියේ මහත් උදහසිනි. ‘‘ලැප්ස් තියාගෙන වැඩ කරන්ඩ දෙන්න බෑ’’ මාත් මිතුරාත් ඒ තහනමට හේතුව කුමක්දැයි දිගින් දිගටම ඔහුගෙන් විමසද්දී ඔහු කීවේ එය ආරක්ෂක අමාත්‍යාංශයෙන් තමන්ට දී ඇති උපදෙසක් බවයි. ඕනෑනම් තණකොළ පිට්ටනියට ගොස් වැඩ කරන්නැයි ඔහු අපට කීවේය. අව්වේ ලැප්ටොප් එකක් තියාගෙන වඩ කළ නොහැකි නිසා මෙතනට ආවා යැයි අප කී වීට ඔහු කීවේ, ආරක්ෂක හේතු මත කිසිසේත්ම ඊට ඉඩ දිය නොහැකි බවයි. අපේ රටේ ආරක්ෂක නීති රීතිවල විකල් ස්වභාවයට වඩා මගේ ඉහමොල රත් වූයේ, පීඩිත පන්තියේ අප වැනිම පුරවැසියෙකු වන මේ ගැටවර සෙකුරිටි, ඒ අභූත නීති රීති ක‍්‍රියාත්මක කරන්නට තමන්ට ලබා දී ඇති සොච්චම් බලය කරට ගෙන මයිල් පුප්පාගෙන දාන පාට් එකටයි. මේ අපේ රටේ පොදු ජනතාවගේ ඛේදවාචකයයි.
ආරක්ෂක ලේකම්වරයාගේ ව්‍යාපෘතිය යටතේ, මාදිවෙල ඉදිකර ඇති ව්‍යායාම් පරිශ‍්‍රය ද සුන්දර තැනකි. පස් යටකර හැමතැනකම කොන්ක‍්‍රීට් ගල් කෑලි අල්ලා ඇති නමුත් එතැනට ගිය විට සැහැල්ලූ හැඟීමක් ඇතිවේ. නමුත් ටික වේලාවකින් සෙකුරිටිලා එහෙන් මෙහෙන් එබෙන විට, ඒ හැඟීම අතුරුදහන් වේ. දිනක් රාත‍්‍රී 10. 30 ට පමණ අප මිතුරන් දෙදෙනෙකුත් සමග එතැන පසුකර එන විට, දියවන්නාව අසබඩ සඳ එළිය යට පාළුවට ඇති ගල් බංකු දැක, මඳකට වාඩි වී හිඳ යමුයි සිතා එහි ගියෙමු. අප, පරිසරයේ නිහඬබවට ගරු කරමින් බොහොම සෙමින් කතා කරමින් සල්ලාපයෙන් හිඳිද්දී, රයිපලයකුත් එල්ලා ගත් පොලිස් නිලධාරියෙක් ආවේය. අපි කවුද මෙතන මේ ? මොනවා කරනවාදැයි ඇසූ ඔහු, අපට දැන්මම පිට වී යන්නැයි කීවේය. ‘‘මෙතන හදලා තියෙන්නෙ ව්‍යායාම් කරන්න…නිකරුණේ ගැවසෙන්න බෑ….අනික දැන් වෙලාව 10 පහුවෙලා’’. ‘‘අපි ව්‍යායාම් මං තීරුවේ දුව දුව කතා කළොත් ඉන්න දෙනවාද ’’ යි මගේ වාචාල මිතුරා ඇසූ විට අපි ඔහුවත් ඇදගෙන වාහනයට ගොඩ වූයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ උදහසට ලක් වීමේ ආදීනව ඕනෑවටත් වඩා හොඳින් දන්නා නිසයි.
දියවන්නාව අබියස සිදුවෙන දේ අපේ රට අද පසුකරමින් සිටින, අධ්‍යාත්මය කුණු වුණු සමාජ සංස්කෘතික මොහොත ඉතා නිවැරදිව පිළිබිඹු කරනවා නේදැයි මට සිතේ. රටක් ලෙස අප පසුකර ආ ඉතිහාසය උද්දච්ච ලෙස අමතක කරමින්, ඒ පිළිබඳ සියලූ සලකුණු බුල්ඩෝසර් කර, ඇස් බැන්දුං සංවර්ධනයත්, ජනාධිපති පවුලටත්, මැති ඇමතිවරුන්ටත්, ඒ අයගේ චක්ගෝලයින්ටත් මිස වෙන කාටවත් ඇඟට නොදැනෙන සෞභාග්‍යයකුත් මවා පා ඇත. අහිංසකයින්ගේ ආරාමය චප්ප කර දැමූ තැන ඇත්තේ විසිතුරු මල් අලෙවි කරන කුටිය. පාර්ලිමේන්තුවට හැරෙන පාර ආරම්භ වන තැන මංසන්ධියේ ඉදිකර තිබූ ඝාතනයට ලක් වූ නාලන්ද එල්ලාවල මහතාගේ පිළිරුව අද එතැන නැත. එයට කුමක් වුණාදැයි මා දන්නේ නැත. අද එතැන ඇත්තේ, ජාතික ඇඳුම ඇඳ සාටකය දමා ගත් අභිමානවත් පිරිමියෙක් සහ ඔසරිය ඇඳ මුතු පොට දැමූ ගැහැණියක් සහ ඔවුන් දෙදෙනාගේ පාමුලින් ගොවි, ගෙවිලියන්, පැරණි වෙදෙක්යැයි සිතිය හැකි වියපත් අයෙක්, පොතක් අතින් ගත් ළමයෙක් ආදී වශයෙන් වන පිරිසක් පිළිඹිබු කරන පිළිරුවකි. (එහි අර්ථය එතරම් පැහැදිලි නැත. ඒ බණ්ඩාරනායක සහ පංච මහා බලවේගය යැයි එකවරටම සිතුණත්, එවැන්නන් කිසිසේත් විය නොහැකි බව පසුව සිහිපත් විය.) එය සුදෝ සුදුය.
හැමදෙයක්ම පාලනය වෙන්නේ හමුදාව අතිනි. ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණයෙනි.
(මළවුන් වෙනුවෙන් ඉදිකළ සෙහොන් සහ ස්මාරක කඩා බිඳ දමන්නේත්, හමුදාව. හැමදේම පාලනය කරන්නේත් ,උතුරේ පමණක් නොවේ, හමුදාවය)
මේ සියල්ල දෙස බලා සිටින, හිරි වට්ටවන ලද, පොදු ජනතාවට එකම තැන වට ගණං දුවන්නට නිදහස් පරිශ‍්‍රයක් ලබා දී ඇත. රාත‍්‍රියට පණ ගන්වන විස්මිත වතුර මලට වශී නොවී සිටිය නොහැකිය. දියවන්නාවේ පාවෙන බෝට්ටුවේ අවහන්හල දිහා බලා ඉඳ ගෙදර ගිහින් පාන් කෑල්ලක් කෑවත් සැපය. රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයෙන් කියන විදියට සැහැල්ලූව විඳගන්නවානං සෙකුරිටිලාගේ විසිල් වලින් සහ පොලිසීයේ කුරුමාණම්වලින් කරදරයක් නැත. ඔලූවලටට පොලූ වලින් ගසා හීලෑ කළ ජනතාව රුදුරු ආඥාදායකත්වයක් අහෝ සැපයි කියමින් සොඳුරු ලෙස විඳගනිමින් සිටිති.
දියවන්නාව අසබඩ අද පෙනෙන පින්තූරය විශාලනය කර බැලූවොත්, නුදුරේදී හදා නිමවන ශ‍්‍රී ලංකාව දැකගත හැකිවෙනු ඇත.
නදී කම්මැල්ලවීර | Nadee Kammallaweera
ශී‍්‍ර ලංකාව අපරාධකාරයන්ගේ කෙම්බිමක්
June 18, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance
ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත් බොරුවක් වන්නේය.
නීතිය හා සාමයේ පූර්ණ ගරාවැටීම
පැහැදිළිවම, ඉහළ පෙළේ ‘ත‍්‍රස්තවාදී’ සිදුවීම් ගැනවත්, ‘සිවිල්-හමුදා’ ක‍්‍රියාකාරකම් වේශයෙන් උතුරු නැගෙනහිර පෙදෙස්වල කෙරෙන උග‍්‍ර හමුදා ආක‍්‍රමණිකත්වය ගැනවත් මම මෙහිදී කතා නොකරමි. මේ වනාහී, දකුණේ තත්වය හෙවත් ‘සාමාන්‍ය’ නීතිය බලපැවැත්වීමට අදාළව කෙරෙන සළකා බැලීමක් පමණි. උදාහරණයක් වශයෙන්, සිය දියණියගේ විවා මංගල්‍යය සඳහා වන රුපියල් මිලියන ගණනක මුදලක් රැගෙන යමින් සිටි ව්‍යපාරිකයාගේ පවුලේ සාමාජිකයන්ව පසු ගිය සෙනසුරාදා ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් කොල්ලකනු ලැබීම, ආරක්ෂක ලේකම්වරයාගේ හිත සනහන ඉහත කී මායාව සමග පෑහෙන්නේ නැති බව පෙන්වා දිය හැක. පැහැදිළිවම එම සිද්ධියෙන් ක්ෂතියට පත්විණැ යි සිතිය හැකි එම ව්‍යාපාරිකයා ඉන් වැඩි දවසක් නොගොස් හෘදයාබාධයකින් මියගියේය. මෙවැනි සිදුවීම් අසාමාන්‍ය නැත. නිතරම පාහේ දෛනික ප‍්‍රවෘත්ති වාර්තාවන්ට ඒවා ඇතුළත් වෙයි.
හැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැනි සිදුවීම් ඇති වීමම නොව, ඒවා විසඳීමට පොලීසිය මුළුමණින්ම අසමත් වීමයි. එදා යුද්ධය පැවති ඉතා දරුණු වකවානුවේ පවා රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක වීම, උසස්ම මට්ටමේ නොපැවැත්වුණත්, අද තරම් නීතිය හා සාමයේ පිරිහීමක් කිසි දවසක මෙරටේ දකින්ට ලැබී නැති බව කිව යුතුය. වඩාත් උත්ප‍්‍රාසාත්මක වන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නීතියෙන් ගැලවී මෙවැනි අපරාධවල යෙදෙන තත්වයක් වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, යුද්ධයෙන් පසුව වීමයි.
නීතියට අතපෙවිය නොහැකි බලගතු පොලිස්කාරයෝ
කොන්ත‍්‍රාත්තුවක් මත ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බිහිසුණු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධනව පසුගිය දා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, දේශපාලනික බලපුලූවන්කාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් හුදෙක් ලාභය සඳහාම අපරාධ ක‍්‍රියාකාරකම්වල යෙදෙන සාමාන්‍ය රටාවේ එක් නිමිති අවස්ථාවක් පමණි. මොහු අතීතයේදීත්, කුරිරු වධබන්ධන සහ ඝාතනවලට පෙළඹවීම් සහ ඒවා වහංගු කිරීම් සම්බන්ධයෙන් විවිධ චෝදනා ලැබූවෙකි. එහෙත් බලගතු තැන්වලින් ලද අනුග‍්‍රහය නිසා කිසි විටෙක ඔහුව නීතිය ඉදිරියට ගෙනාවේ නැත. තමා මිනීමරුවෙකු බවත්, තමාට එදිරිවන ඕනෑම කෙනෙකු ගැන වගබලා ගැනීමට, නිදහස් වීමෙන් පසු තමන් පසුබට නොවන බවත්, මේ සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියාට ඔහු විසින්ම තර්ජනය කොට සිටීම, මේ නිලධාරියා කොතෙක් නීතියේ රැහැනෙන් විනිර්මුක්ත පුද්ගලයෙකු දැ යි පෙන්වන කදිම නිදසුනකි. කෙසේ වෙතත්, මේ සිද්ධිය පවා, ඒ ගැන දැනට ඇති මහජන උනන්දුව මැකී යන විට, ඉබේම පැත්තකට වීසි වී යනු ඇතැ යි බොහෝ දෙනා නරුම ආකාරයකින් හෝ සැක කිරීම, ඇත්තෙන්ම අස්වාභාවික නැත.
ඒ නිසා, යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව, ආරක්ෂක ලේකම්වරයා පෙන්වන්ට තැත් කරන ආකාරයේ සාමකාමී පාරාදීස දීපයකට වඩා, ඉතා දරුණු ආකාරයේ දේශපාලක-සාපරාධීත්වයේ කෙම්බිමකට සමීප වෙයි. මේ නිසා, පොලීසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබා ගැනෙන්නේ ‘ජාතික ආරක්ෂක මුලෝපායක’ අංගයක් වශයෙනැ යි එම කතාවේ දීම රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පැවසීම, මොන විදිහකින්වත් කෙනෙකුට ඒත්තු යන තර්කයක් නොවේ.
ඔහුගේ මෙම ස්ථාවරය, මේ කොලමේ මීට පෙර පෙන්වා දී ඇති පරිදි, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශවලටත් කෙලින්ම පටහැනිව පවතී. එම නිර්දේශ යෝජනා කෙරුණේ වාර්තාවේ පිටු පිරැවීමට නොවේ. හමුදා ව්‍යුහය තුළ තවදුරටත් නොරැඳී සිවිල් අධිකාරියක තත්වයට පොලිස් දෙපාර්තමේන්තුව පත්විය යුතුව ඇතැ යි එම කොමසාරිස්වරුන් යෝජනා කෙළේ ඉතා යහපත් හේතු පෙරදැරිවයි. පොලීසියට ආරෝපණය වී ඇති හමුදා ප‍්‍රතිරූපයෙන් අත්මිදී මහජන ප‍්‍රසාදය දිනා ගැනීම, පොලිසිය තුළ සිවිල් අධිකාරිය යළි ස්ථාපිත කිරීම සහ පොලිසියේ අභ්‍යන්තර විනය පාලනය ප‍්‍රතිසංවිධානය කිරීම වැනි හේතු ඊට පෙරදැරි වූ බවට සැකයක් නැත.
ලොමු දැහැගන්වන දණ්ඩමුක්තිය
පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ විනය පාලනයක් කොහෙත්ම පාහේ නැති කම, ශ‍්‍රී ලංකාවේ නීතිය හා සාමය පිරිහීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වීමට බලපෑ එක් හේතුවකි. 2008 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් එම සභාව හමුවේ, ශ‍්‍රී ලංකා පරිපාලන වාර්තාවක තොරතුරු ඉදිරිපත් කරමින් මේ කරුණු පෙන්වා දුනි:
‘‘දෙපාර්තමේන්තු ඇතුළේ කෙරෙන විනය පරීක්ෂණ මුළුමණින්ම පාහේ ක‍්‍රියාත්මක වන්නේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට එරෙහිවයි. පොලීසියේ පහළ නිලධාරීන් විසින් කරනු ලබන වධබන්ධන සහ ඝාතන සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්, විනයානුකූලව හෝ අපරාධ තලයක දී, වගවීමට බැඳෙන්නේ නැත. එය, දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණ ක‍්‍රියාවලීන්ට මෙන්ම, බාහිර අධිකරණමය ක‍්‍රියාවලීන්ට ද බලපාන සත්‍යයක් වන්නේය. 2001 දී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ල කරන ලද දෝෂදර්ශන සම්බන්ධයෙන් සියයට 86 ක්ම වැරදිකරුවන් කොට ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන්ව ය. පොලිස් අධිකාරීවරුන්, සියයට 0.04 ක් පමණි.’’
මේ විශේෂ නියෝජිතයා 2005 දී එම වාර්තාව ලියන අවස්ථාවේ තිබුණු ලංකාවේ තත්වය අද වන විට ඊට වඩා සිය ගුණයකින් උග‍්‍ර වී ඇත. පොලිස් දෙපාර්තමේන්තුව එක පැත්තකින් දේශපාලනීකරණය වීමත්, තවත් පැත්තකින් හමුදාකරණය වීමත් නිසා රටේ ජනයාට ඇති කෙරෙන අහිතකර බලපෑම කොතෙක් ද යත්, අද වන විට, සාමාන්‍ය මිනිසාට පමණක් නොව, ආර්ථික වශයෙන් බලවත් පුද්ගලයන්ට පවා පොලීසියේ මැරවර බලයෙන් නිදහස්ව ජීවත් වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. ඊටත් වඩා, දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී නිදහසේ අපරාධ කිරීමට කෙනෙකුට ඇති හැකියාව නිසා මේ තත්වය තවත් දරුණු කෙරේ. යකඩ පොලූ මුගුරු සහ බයිසිකල් චේන් අතැතිව මහ දවල් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩාවැදී පහර දුන් කිසි මැරයෙකු මේ දක්වා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ එයයි. මතුවට ද ඒ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණ පැවැත්වෙතැ යි විශ්වාස කළ නොහේ. වඩාත් බියකරු ප‍්‍රවණතාව වන්නේ එයයි. එම සන්දර්භය තුළ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලීසිය කෙරෙහි ඉටු කරතැ යි කියන අධීක්ෂණ කාර්ය භාරයේ සාර්ථකත්වයක් ගැන ලේකම්වරයා කෙසේ නම් වහසි බස් කියන්න ද?
නිහඩව සිටීමේ විනාශකාරී ප‍්‍රතිවිපාක
වසර කිහිපයකට පෙර ව්‍යවස්ථානුකූලව පත්කරන ලද ‘ජාතික පොලිස් කොමිසම’ මගින් පොලිස් දෙපාර්තමේන්තුව විනයගත කිරීමට තැත් කළ අවස්ථාවේ, පොලීසිය (විශ‍්‍රාමික සහ සේවයේ නියුතු බලධාරින්) මෙන්ම, බලය හොබවන දේශපාලඥයෝ ද ඊට බලවත් සේ විරෝධය පෑහ. අනතුරුව, ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් එම කොමිසමට සාමාජිකයන් පත්කිරීම හරහා එම කොමිසම සතුව එතෙක් පැවති සුපිළිපන් භාවයේ ශ්ලේෂ මාත‍්‍රයක්වත් ඉතිරි නොවන තැනට කටයුතු කෙරිණ. අවසානයේ දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, පොලිස් දෙපාර්තමේන්තුව ගැන කෙරෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම කොමිසමට එතෙක් පැවති බලය සරුවපිත්තල ආභරණයක් පමණක් බවට පත්කෙරුණි. පාතාල කල්ලි සහ හමුදා අපරාධකරුවන් සමග අත්වැල් බැඳගෙන සාපරාධී ක‍්‍රියාවන්හි නිරත වන, දේශපාලනික වශයෙන් බලවත් සහ අන්ත දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට මොනම බලයක්වත් අද පවතින ‘ජාතික පොලිස් කොමිසමට’ නැත.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පෙලෙන මායාවට ප‍්‍රතිපක්ෂව වර්තමානයේ සැබෑ තත්වය වන්නේ, සරළ වැදගත්කමේ සිට බරපතල වැදගත්කමකින් යුත් සිදුවීම් දක්වා ක‍්‍රියාත්මක විය යුතුව ඇති රටේ නීතිය හා සාමය පොදුවේ වල්වැදී ඇති බවයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, මේ පාලකයන් විසින් නිර්දය අන්දමින් ‘ජාතික පොලිස් කොමිසමේ’ තටු කපා දමද්දී නිහඩව සිටි රටකට, මෙවැනි වන්දියක් ගෙවන්නට සිදුවීම ස්වභාවිකයි. ගතවන සෑම මොහොතක් පාසාම, ඒ විනාශකාරී ප‍්‍රතිවිපාකවලින් විඳවීමට, අප ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය. සැබවින්ම, අද පවතින යථාර්ථය වන්නේ එයයි.
කිෂාලි පින්තු ජයවර්ධන |
_________________________________________________________________________________________
2013 ජුනි 16 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Sri Lanka: A haven for Criminals
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ
June 17, 2013 by Gamini Viyangoda
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance
සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය ලෝකය තුළ පහසුවෙන් අලෙවි කළ හැකි ‘ප‍්‍රවෘත්තියක්’ කිරීමට, අර කියන සිදුවීම් අතර තිබිය යුතු අන්තර් තර්කනය එයින් ඉවත් කළ යුතුය. එම අන්තර් තර්කනය නැති වන තරමට, අර විදිහේ සිදුවීමක් පාදක කරගන්නා ‘ප‍්‍රවෘත්තියක’ වටිනාකම දෙගුණ තෙගුණ වෙයි. ඉස්සර එසේ නොවේ. ප‍්‍රවෘත්ති අගයක් ඇති සුරංගනා කතාවක පවා යම් තර්කනයක් තිබුණි.
සඳ මත මිනිස් ජීවීන් වාසය කරති යි බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු ‘සොයාගත්’ බවට, ඇමරිකාවේ ‘නිව්යෝර්ක් සන්’ පුවත්පත 1835 පළ කළ ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තිය ඊට නිදසුනකි. මේ ප‍්‍රවෘත්තිය ‘සත්‍යයක්’ කිරීමට කරුණු කිහිපයක් අවශ්‍ය කෙළේය. ‘අපේක්ෂාව’ ඉන් පළමුවැන්නයි. පෘථුවියේ හැරුණු කොට, තවත් තැන්වල මිනිස් ජීවීන් ඇති බවට මිනිසුන් තුළ වන අපේක්ෂාව, සාමූහික තනිකම හඟින පොදු මිනිස් විඥානයකට සැපයෙන විමතිමය පැන් පොදක් විය. ඒ අපේක්ෂා සන්තර්පණය සඳහා ඊළඟට ‘විශේෂඥ’ මතයක් එදා අවශ්‍ය කෙළේය. බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල්ගේ නමින් එය ප‍්‍රකාශයට පත්වීම හරහා, ඊට අවශ්‍ය කරන විද්‍යාත්මක බර එම ප‍්‍රවෘත්තියට සැපයුණි. මෙම ප‍්‍රවෘත්තියේ පැවති විශේෂත්වය වුණේ, තමාගේ නමින් මෙවැනි මතයක් ලෝකයේ වෙනත් තැනක පළවී ඇති බවක්, බොහෝ කලක් යන තෙක්මත් ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල් පවා නොදැන සිටීමයි. එනම්, එය මුළුමණින් මාධ්‍ය විසින්ම තිරපිටපත රචනා කොට, අධ්‍යක්ෂණය කරන ලද ‘ස්වාධීන’ නිෂ්පාදනයක් වූ බවයි. එදා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පැවති නොදියුණුව තුළ එය අස්වාභාවික නොවුණි.
ලංකාවේ දේශපාලඥයෙකුට යුරෝපයේ දී එක්නැලිගොඩව හමු වීමේ සිද්ධිය තුළ යම් තර්කයක් තිබිය යුතු යැයි, එය වාර්තා කරන මාධ්‍යවේදියාවත් ඔහුගේ ග‍්‍රාහකයාවත් (පාඨකයා/පේ‍්‍රක්ෂකයා) බරසාරව බලාපොරොත්තු වන්නේ නැත. ප‍්‍රවෘත්තිය නිකුත් වන්නේ දේශපාලඥයෙකුගේ කටින් නම් එය හොඳටම සෑහේ. අද වන විට දෛනිකව ලංකාවේ ප‍්‍රවෘත්ති ‘නිෂ්පාදනය’ කරන්නේ දේශපාලඥයා ය. මාධ්‍යකරුවා එය විකුණා ලාභ ලබයි. ‘සත්‍යය’ එහි දී වැදගත් නැත. ශිෂ්ටත්වය අදාළ නැත.
අතුරුදහන් වීම, ලංකාවේ සුදුවෑන් දේශපාලනය තුළ පරමයකි. පරමයක් යනු, නොවෙනස් වන සහ ආපසු හැරවිය නොහැකි සත්‍යයකි. උදාහරණයක් වශයෙන්, මරණය පරමයකි. ඒ අරුතින් ගත් විට, ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරෙන අතුරුදහන් කැරැවීමේ ප‍්‍රපංචය කාටත් තේරෙන භාෂාවකින් මෙසේ ලියා දැක්විය හැක: ‘ඉස්සුවොත් ඉස්සුවාම ය. ආපසු පැමිණීමක් නැත.’
අනිත් අතට, වර්තමාන පාලනය යනු කණපිට දේශපාලනයක් මතම යැපෙන්නකි. එනම්, සම්මත අර්ථයේ සියල්ල කණපිට හැරවීම එම දේශපාලනයේ ආත්මය වන බවයි. උදාහරණයක් වශයෙන්, මර්වින් සිල්වාට අයත් අමාත්‍යාංශය හඳුන්වන්නේ, ‘මහජන සම්බන්ධතා’ යනුවෙනි. ජනතාව සමග සහෘද ආශ‍්‍රයකට වැඩියෙන්ම ගැලපෙන තැනැත්තා මර්වින් සිල්වා යැයි ජනාධිපතිවරයා විසින්ම තීරණය කිරීම, ‘බුද්ධිමත් ජනතාව’ යැයි මෙතෙක් කල් උඩදැමූ හුරතල් සංකල්පයට දුන් කණේ පහරකි. රට කරවන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෞතම බුදුන් වහන්සේට ඈතින් නෑකම් කියති යි කලාකරුවෙකු කියන විට, කලාවේ ‘ප‍්‍රබන්ධය’ අපට එකපැහැර අවබෝධ වෙයි. මේ සියල්ල ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ අන්තර්-තර්කනයකින් නොව, කණපිට තර්කනයකිනි.
එක්නැලිගොඩ ‘අතුරුදහන් විය’. අද ? මුහුදු ගිය ධිවරයෙකු හෙට ආපසු ගෙදර නාවොත් ඔහු අතුරුදහන් වූ අයෙකු වශයෙන් සැළකේ. එහෙත්, ඔහු මියගොස් ඇති බවක් එයින් අනිවාර්යයෙන් අදහස් නොකෙරේ. උදාහරණයක් වශයෙන්, උපාලි විජේවර්ධන මීට දශක කිහිපයකට පෙර අහසේ දී අතුරුදහන් විය. පළමුව ඔහුගේ ආපසු පැමිණීම පතා බෝධි පුජා පැවැත්වු ජනතාව, අවසානයේ දී ඔහුගේ ඊළඟ භවයට අනුමෝදන් විය හැකි පින් පැමිණවීම් කළහ. එසේ තිබිය දී, මෑතක පළවූ එක් පුවත්පත් වාර්තාවකට අනුව, ඔහු කොහේදෝ රටක සිරගෙයක කල් ගෙවන්නේ ලූ. මේ විදිහටම, අර මුහුදු ගිය ධීවරයා ද ඔස්ටේ‍්‍රලියාවට ගොස් වෙනත් පෙලවහක් කරගෙන ඉන්නවා වන්නටත් බැරි නැත. ‘අතුරුදහන් වීම’ තුළ එකී අනියත භාවය හැම විටකම තිබේ. තවත් විදිහකින් කිවහොත්, අතුරුදහන් වීම ‘පරම’ නැත.
එහෙත් ‘අතුරුදහන් කැරැවීම’ එසේ නොවේ. එය පරමයකි. දැන්, ඉහත සඳහන් කළ කණපිට දේශපාලනයේ හැටියට, මේ ‘අතුරුදහන් කැරැවීම’ තුළ ඇති ඒ පරමත්වය පවා දූෂණය කළ යුතුව ඇත. අතුරුදහන් කැරැවීම, අතුරුදයන් වීමක් බවට පරිවර්තනය කළ හැක්කේ එසේ ය. ඒ සඳහා දක්ෂ දූෂකයන් අවශ්‍ය කෙරේ. මීට කලකට ඉහත දී, එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන බව, එවකට ජනාධිපති උපදේශකයෙකු වශයෙන් සිටි මොහාන් පීරිස් ජාත්‍යන්තර සම්මේලනයක් අමතමින් ලෝකයා ඉදිරියේ ‘හෙළිදරව්’ කෙළේය. ඒ මොහොතේ පටන්, ලෝකයා ඉදිරියේ එක්නැලිගොඩ ‘ජීවත් විය.’ ඊට කලකට පසු, එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ ‘දෙයියෝ තමයි’ යනුවෙන් ලංකාවේ අධිකරණයක් ඉදිරියේ ඔහුම කියා සිටියේය. මෙසේ සීමිත කාලයකට එක්නැලිගොඩට පණ දී, අනතුරුව දෙවියන් පමණක් දන්නා පරලොවකට ඔහුව පිටමං කළ මොහාන් පීරිස් අද අපේ අධිකරණයේ මුල් පුටුව හොබවයි.
එතැන් සිට ප‍්‍රගීත් එක්නැලිගොඩ නැවත වතාවක් නොපවතින පරමයක් බවට පත්විය. කාලය ඉක්ම ගියේය. දැන්, මෙතෙක් නමින් හැඳින නොසිටි අප‍්‍රකට දේශපාලඥයෙක් නැවතත් අර පරමය දූෂණය කිරීම සඳහා ඔසවා තැබෙයි. තට්ටෙ ගාගෙන ජීවමානව සිටි එක්නැලිගොඩව ඔහුට යුරෝපයේ දී හමු වී තිබේ. ඒ, මීට හය මාසයකට කලිනි. එහෙත්, කල් යල් බලා, හෙවත් සතර පෙරනිමිති බලා, ඔහු අපට එය හෙළිකර සිටින්නේ දැන් ය. මේ පුද්ගලයා හරහා අපේ පාලකයන්, නැවතත් එක්නැලිගොඩව ජීවමාන කොට, ඔහුගේ අතුරුදහන් කැරැවීම කණපිට හරවා තිබේ. මේ අළුත් ‘ශුභාරංචිය’ හරහා එක්නැලිගොඩගේ නොපැවැත්මේ පරමය නැවතත් සාහසිකව දූෂණය කිරීම තුළින්, අප‍්‍රකට ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු, ප‍්‍රකට නාමධාරියෙකු වෙමින්, ජාතික දේශපාලන තලයට පිවිසෙයි.
මේ දේශපාලඥයාට අනුව, ඔහුගේ මේ හෙළිදරව්ව දැන ගත් සැණින්, සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාව හමු වී සිය සැමියා ගැන සොයා බැලිය යුතුව තිබූණේ ලූ. නැවතත් අප එළැඹෙන්නේ අර කී කණපිට දේශපාලනයේ ඉසව්වට යි.
එක්නැලිගොඩ යනු, ලංකාව පමණක් නොව, මුළු ලෝකයාම ‘රවටමින්’ ස්වේච්ඡාවෙන් අතුරුදහන් වී සිටින්නෙකි. ඒ අර්ථයෙන් ඔහු ‘අපරාධකරුවෙකි’. එවැනි අපරාධකරුවෙකු දුටු සැණින්, නීතිගරුක පුරවැසියෙකුගේ, විශේෂයෙන් රටක නීති සම්පාදනයේ යෙදෙන මහජන නියෝජිතයෙකුගේ වගකීම විය යුතුව තිබුණේ, ප‍්‍රංශයේ හෝ වෙනත් රටක ඔහු දුටු තැනට නුදුරු පොලිස් ස්ථානයකට ඒ බව දැනුම් දීමයි. ලංකාවේ දී නීති ගරුකත්වය අවමයෙන්ම අපේක්ෂා කළ හැකි වරප‍්‍රසාදිත මිනිස් කොට්ටාසය දේශපාලඥයන් වන නිසා, එවැන්නක් ගැන ඔහුට හීනෙන්වත් සිතෙන්නට නැතුව ඇති.
ලංකාවට පැමිණීමෙන් පසුව පවා ඔහුට ඒ ගැන හදිසියක් නොවුණි. අවුරුදු භාගයක්ම, මේ ‘අපරාධකරුවා’ අල්ලා නොගෙන කාලය කාදැමුණි. කමක් නැහැ, දැන් එම අපරාධකරුවා ඉන්නා තැනක් ගැන හෝඩුවාවක් අපේ පොලීසියට තිබේ. ඒ හෝඩුවාව සපයන මේ සාක්ෂිකරුවා ගෙන්වා වහා පරීක්ෂණ ආරම්භ කිරීම පොලීසියේ වගකීමක් විය යුතුව තිබිය දී, සන්ධ්‍යා එක්නැලිගොඩ කුමක් සඳහා නම්, ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කරන්න ද?
[Image Credit:http://passionparade.blogspot.com/]
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda
මාධ්‍ය ආචාර ධර්ම සහ තථ්‍යතා පරීක්ෂාව
June 15, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Media, Media and Communications, Politics and Governance
‘‘ආණ්ඩුවේ වංචාව සාර්ථකව හෙළිදරව් කළ හැක්කේ, යදම් රහිත නිදහස් මාධ්‍යකට පමණි’’
(පෙන්ටගන් ලියවිලි පිළිබඳ ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය)
රාජපක්ෂලා ඔවුන්ගේ ‘මාධ්‍ය ආචාර ධර්ම යෝජනා’ රටේ නීතියක් බවට පත්කළහොත්, ශ‍්‍රී ලංකාවටත් ‘ඇමතිසත්‍යයක්’ (සත්‍යය අමාත්‍යාංශයක්) ලැබෙනු නොඅනුමානයි. එවිට, ශ‍්‍රී ලංකා මාධ්‍යයේ භූමිකාව, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරබල්ලා’ යන සම්මත අරුතින් ‘රාජපක්ෂලාගේ ඔඩොක්කු කුක්කා’ බවට අළුතින් නිර්වචනය කළ යුතු වනු ඇත.
එහි ප‍්‍රතිවිපාකයක් වශයෙන් බිහි වන ඕර්වෙල්ලියානු* යථාර්ථය තුළ, රජයේ සේවකයෙකුව ගස් බැදීමට මර්වින් සිල්වාටත්, රග්බි තරග විනිසුරුවරයෙකුට පහර දීමට රෝහිත රාජපක්ෂටත්, දෙනෝදාහක් මැද්දේ අවසර ලැබෙනු ඇත. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට හෝ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට ලැබෙන්නේ නැත. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එසේ වාර්තා කිරීම මගින්, ‘‘රටේ සදාචාරයට සහ මහජන අපේක්ෂාවන්ට නොගැළපෙන හෝ මහජන වින්දනය සහ සදාචාරයේ ප‍්‍රමිතීන් පහත් තත්වයකට බාල්දු කෙරෙන’’ තත්වයක් ඇති විය හැකි නිසා ය.
එසේම, අපේ පරිසරයට නොගැළපෙන ක‍්‍රමවේද සහ යල්පැන ගිය තාක්ෂණය භාවිත කරමින් බලශක්ති බලාගාරයක් පිහිටුවීමට චීන සමාගමකට අවසර ලැබෙන්නේය. එහෙත් ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට අවසරයක් මාධ්‍යයට නොලැබෙන්නේය. මන්ද යත්, (අපේක්ෂිත නීතියට අනුව) එය, ‘‘ජාත්‍යන්තර සම්බන්ධතා කෙරෙහි බලපාන විවේචනයක්’’ විය හැකි බැවිනි.
එසේම, සිංහල-බෞද්ධ උන්මත්තකයන්ට ක‍්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට පහර දීමට අවසර ඇතත්, ඒ ගැන වාර්තා කිරීමට සහ අදහස් පළ කිරීමට ඉඩක් මාධ්‍යට නැත. මන්ද යත්, එසේ වීමෙන්, ‘‘ආගමික කණ්ඩායම් සහ ප‍්‍රජාවන් පිළිබඳ අපහාසාත්මක අදහස් පළවිය හැකි නිසා හෝ ආගමික සහ වාර්ගික සංහිඳියාවට අනර්ථකර ආකාරයෙන් වාර්ගික සහ ආගමික අසමගිය රෝපණය විය හැකි’’ නිසා ය.
එසේම, තමන් මවා ගත් ද්‍රෝහීන්ට සහ සතුරන්ට ප‍්‍රසිද්ධියේ බැන වැදීමට ගෝඨාභය රාජපක්ෂට හැකි වන අතර, එසේ බැන වැදීම ඔහුගේ ‘ක්‍රෝධාවේශයකැ’ යි වාර්තා කිරීමට මාධ්‍යට හැකිවන්නේ නැත. මන්ද යත්, එය, ‘‘අසභ්‍ය වන, අපකීර්තිකර වන, සචේතනික බොරුවක් වන, ඇනුම්පද කීමක් වන…’’ බැවිනි.
ම්ලේච්ඡ, අසාධාරණ සහ අනීතික දෝෂාභියෝගයක් අගවිනිසුරුවරියට එරෙහිව ගෙන ඒමට රාජපක්ෂලාට බාධාවක් නැති අතර, ඒ ගැන වාර්තා කිරීම ‘‘ජනතාව නොමග යවනසුළු ප‍්‍රවෘත්තියක්’’ විය හැකි නිසා, මාධ්‍යට එය තහනම් ය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් පැහැර ගැනීමට බාධාවක් නැත: හොර විගණන වාර්තාවක් සැපයීමට ‘රණවිරු සේවා අධිකාරියට’ අවසර ඇත. එහෙත්, ඒ කිසිවක් ගැන වාර්තා කිරීම, අදහස් පළ කිරීම, ‘‘හිංසනය දිරිමත් කිරීමක් හෝ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට බාධාවක් විය හැකි හෝ ජාතික-විරෝධී ආකල්ප බෝ කිරීමක් හෝ’’ විය හැකි නිසා, තහනම් ය.
අවංක විනිසුරුවරුන් තොග පිටින් දඩුවම් පිණිස මාරු කර යැවීමට රාජපක්ෂගේ ශ්‍රේෂ්ඨාධිකරණයට අවසර ඇත. එසේම අල්ලස් ගත් පුද්ගලයන්ට උසස් වීම දීමටත් පිළිවන. එහෙත් ඒ කිසිවක් ගැන වාර්තා කිරීම හෝ අදහස් පළ කිරීම ‘‘අධිකරණයට අපහාසයක්’’ වන නිසා තහනම් ය.
බලය බෙදා හැරීම ගැන බොරු කියන්ට ජනාධිපතිවරයාටත්, ප‍්‍රගීත් එක්නැලිගොඩ ගැන බොරු කියන්ට ඔහුගේ අගවිනිසුරුවරයාටත්, සංවර්ධනයේ සිට රාජ්‍ය ආරක්ෂාව දක්වා වන කරුණු සම්බන්ධයෙන් බොරු කියන්ට ඔහුගේ සහෝදරයන්ටත් අයිතිය තිබේ. ඒවා කෙබර යැයි කියන්ට මාධ්‍යට අයිතියක් නැත. මන්ද යත්, එය, ‘‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවයට’’ කැළලක් විය හැකි බැවිනි.
හෙළ උරුමයට හෝ බොදුබල සේනාවට, සුළු ජාතීන්ට එරෙහි වෛරය වපුරන්ට පුලූවන. එහෙත් එවැනි ක‍්‍රියා ක්‍රෝධය වැපිරවීමක් වශයෙන් පෙන්නුම් කරන්නට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවිට ‘‘වාර්ගික, භාෂාමය හෝ ආගමික ජන කොටසකට හෝ පුද්ගලයෙකුට එරෙහි විවේචනයක් හෝ මඩ ප‍්‍රහාරයක්’’ විය හැකි බැවිනි.
දුමින්ද සිල්වාට, ඔහුගේ වෛද්‍යවරුන්ට සහ ඔහුගේ නීතිඥයන්ට ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන බොරු කියන්ට පුලූවන. එහෙත් ඒ බොරු හෙළිදරුව් කිරීමට මාධ්‍යට නොහැක. මන්ද යත්, ඒ මගින්, ‘‘පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය, පුද්ගලයෙකුගේ මූල්‍ය තොරතුරු… පුද්ගලයෙකුගේ කායික හෝ මානසික සෞඛ්‍ය තොරතුරු… මහජන අවශ්‍යතා වෙනුවෙන් කෙලින්ම අදාළ නොවෙතොත්’’ පළ කළ නොහැකි නිසා ය.
මහින්ද රාජපක්ෂව ‘හිරු දෙවියන්’, ‘සඳ දෙවියන්’ සහ ‘ත‍්‍රීසිංහලයේ නරේන්ද්‍රයන්’ වශයෙන් මුරුංගා අත්තේ තැබිය හැකිය. එහෙත් සුළුජාතික ආගමක් වෙනුවෙන් පෙනී සිටීම, ‘‘මිථ්‍යා විශ්වාසයක් හෝ අන්ධ භක්තියක්’’ විය හැකි නිසා මාධ්‍යට තහනම් ය.
බලවතුන්ට සහ ඔවුන්ගේ නෑහිතවතුන්ට මිනී මරන්ට පිළිවන. වධහිංසා පමුණුවන්නට පිළිවන. ස්ත‍්‍රීන් දූෂණය කරන්ට පිළිවන. සුදු වෑන් එවා මිනිසුන්ව උස්සන්ට පිළිවන. එවැනි රුදුරු ක‍්‍රියා වාර්තා කරන්නට මාධ්‍යට නුපුලූවන. මන්ද යත් එය, ‘‘දාමරිකත්වය, මත්ද්‍රව්‍ය ආසක්තිය, පරපීඩාකාමය, ලිංගික සල්ලාලකම සහ අසභ්‍ය දේවල්’’ පතුරුවා හැරීමක් විය හැකි බැවිනි.
රාජපක්ෂලාව වර්ණනා කිරීමට සහ ‘ආසියාවේ ආශ්චර්ය’ තුළ සිදුවන අපරාධ සහ දූෂණ නොතකා ඉන්නට බැරි කමක් නැත. එහෙත් වකුගඩු රෝග වසංගතය පිළිබඳ කැබිනට් වාර්තාව කූට ආකාරයෙන් වෙනස් කළෝ කවරහු දැ යි ප‍්‍රශ්න කිරීමට, සහල්වල සීමාන්තික කැඞ්මියම් අන්තර්ගතය ගැන ප‍්‍රශ්න කිරීමට, නීති කඩන ස්වකීය ඇබිත්තයන්ට ජනාධිපතිවරයා ආචාර ධර්ම හඳුන්වා දෙන්නේ කවදා දැ යි ප‍්‍රශ්න කිරීමට, 2005 දී රුපියල් බිලියන 32 ක් ඉපෑයූ රාජ්‍ය ආයතන 2012 දී රුපියල් බිලියන 107 ක් පාඩු ලබන්නේ කෙසේ දැ යි ප‍්‍රශ්න කිරීමට මාධ්‍යට පුලූවන් කමක් නැත. මන්ද යත්, එවැනි ප‍්‍රශ්න, ‘‘ආචාරධර්ම විරෝධී සහ නීති විරෝධී’’ විය හැකි බැවිනි.
‘අපේ නායකතුමා කරන දේවල් අපි කවුරුත් හැම මොහොතකම අනුමත කරමු’’ යැයි, හිට්ලර්ගේ රහස් පොලීසියේ නිර්මාතෘ හර්මන් ගෝරිං වරක් ප‍්‍රකාශ කෙළේය. ලංකාවේ මාධ්‍යයේ ප‍්‍රධාන ක‍්‍රියාන්විත මූලධර්මය මෙවැනි අනුකෘතියකට ඌනනය වන කාලය ඈත නැත. පාලකයන්ට සහ ඔවුන්ගේ සහචරයන්ට ස්තෝත‍්‍ර ගයන, රජයේ ප‍්‍රතිවාදීන්ට දෙස් දෙවෙල් තියන සහ අනිත් සියලූ දේවල් ගැන නිහඩව සිටින මාධ්‍යක්, එහි ප‍්‍රතිඵලය වශයෙන් බිහිවෙනු ඇත. දිනපතා සියල්ල යහපතට හැරෙමින් තිබේ ය යන්න, රජයේ මෙන්ම පෞද්ගලික මාධ්‍යයේ ද, එකම පණිවිඩය වෙනු ඇත.
මියැදෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය
‘අළුතෙන් බිහි වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල්’ යනුවෙන් හැඳින්වෙන රටවල් විශේෂයක් තිබේ. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධයට පල්ලම් බසින රටවල් විශේෂයක් ද තිබේ. ශ‍්‍රී ලංකාව වැටෙන්නේ, ඒ ගනයට යි. සමහර විට, එවැනි සංක‍්‍රාන්තියක් ව්‍යුහගතව මුල් ඇදීමට කලින් නතර කර ගැනීමට පුලූවන් කම තිබේ. එහෙත් අවාසනාවකට මෙන්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලංකාව ඒ කඩඉම පැන්නේය. ස්වාධීන කොමිෂන් සභා ජනාධිපති අතකොලූ බවට පත්වීමත් සමග, ජනාධිපති බලතල තවත් උලූප්පමින් ජනාධිපති ධුර වාර ගණන ඉවත් වීමත් සමග, පවුල් ඒකාධිපතිත්වය වෙත වැටී තිබුණු පටු දුෂ්කර මාර්ගය, සුපිරි අධි-වේගී මාර්ගයක් බවට පරිවර්තනය කෙරිණ.
විරෝධය නොපාන, අඥාන සහ මන්දෝත්සාහී ජනතාවක් බිහි කර ගැනීම පාලකයා ඉදිරියේ ඇති ඊළඟ කර්තව්‍යයයි: හීලෑ වූ මාධ්‍යක් ඒ සඳහා ඔහුට අවශ්‍ය කෙරේ.
මිචිගන් විශ්ව විද්‍යාලය මගින් කරන ලද නවතම අධ්‍යයනයකට අනුව, ‘ප‍්‍රවෘත්ති නිදහස ඉහළින් ඇති රටවල්, උසස් පරිසර ගුණයක් සහ උසස් මානව සංවර්ධනයක් භුක්ති විඳින අතර, රටක දූෂණයේ සෑම මට්ටමක්ම හෙළිදරව් කරන මුරබල්ලාගේ භූමිකාව රඟපෑම නිසා උසස් ජීවන තෘප්තියක් ද භුක්ති විඳින්නේය’.
නිදහස් සහ විවේචනාත්මක මාධ්‍යයකින් තොරව, ඇති විය හැකි ව්‍යසනයන් ගැන ජනතාව කල්තියා දැනුවත් කළ නොහැක. අසංවේදී දෙපයට යටින් කෙමෙන් මෝදු වන ගිනි රකුසා ගැන නොතකමින්, විසූවියස් කඳු බෑවුමේ කෙළිලොල් වන්නට එවිට කෙනෙකුට නිදහස තිබේ.
* ජෝර්ජ් ඕවල්ගේ ලෝක ප‍්‍රකට ප‍්‍රහසන නවකතාව වන ‘1984’ සඳහන් පරිදි, අත්තනෝමතික පාලන තන්ත‍්‍රයක මහා බොරුවට සමස්ත සමාජයක්ම ජීරණය කරගැනීමේ මාධ්‍ය ව්‍යාපෘතිය හැඳින්වුණේ, ‘සත්‍යය අමාත්‍යාංශයක්’ යනුවෙනි. එහි දී, ‘සත්‍යය’ යනුවෙන් ගැනුණේ, පාලකයාගේ ‘සත්‍යය’ යි. උදාහරණයක් වශයෙන්, දෙකයි දෙකයි එකතු කළ විට උත්තරය පහ යැයි පාලකයා සිතයි නම්, එය ‘සත්‍යය’ වශයෙන් රටවැසියා භාරගත යුතුය. (පරිවර්තක)
තිසරණී ගුණසේකර
_________________________________________________________________________________________
2013 ජුනි 09 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Media-Ethics & Reality Control
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
වෛරී කථන තහනම අත්‍යාවශ්‍යයි
June 14, 2013 by Karapoththa
Filed under Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance
ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය කරනු වස්, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අඩංගු පනත් කෙටුම්පතක් ලබන සැප්තැම්බරයේ දී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
කර්තෘ සංසදය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පෞද්ගලික මාධ්‍ය ව්‍යාපාර සඳහා 2001 දී සාමූහිකව හඳුන්වා දෙන ලද පුළුල් ආචාර ධර්ම පද්ධතියක් දැනටමත් තිබේ. එය, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගෙන තිබේ. අනිත් අතට, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශකත්වයන් සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව විසින්ම මිස ආණ්ඩුවෙන් නොවන බවත් පැහැදිළියි.
ආණ්ඩුවේ මෙම පියවර දෙස බොහෝ මාධ්‍යවේදීන් බලන්නේ සැකයෙනි. එය, බැටළු හමක් පොරවා ගත් වෘකයෙකු මෙනැ යි ඔවුන්ට සිතේ. මෙම කෙටුම්පතේ එක් වගන්තියකින් වෛරී කථනය පිළිබඳ ඕනෑම ප‍්‍රකාශනයක් තහනම් කිරීමට යෝජනා කෙරේ.
කෙසේ වෙතත්, ආචාර ධර්ම පද්ධතියක් නොව, ජාතීන් අතර වෛරය සහ අසමගියට පාර කපන වෛරී කථන සහ ප‍්‍රකාශන ප‍්‍රසිද්ධ කිරීම සහ විකාශය කිරීම පිළිබඳ දැඩි තහනමක් පැනවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයකි. ජනතාව අවුස්සන පෙළපාලි, මහජන රැලි සහ වෙනත් ඒ හා සමාන රැස්වීම් ද ඊට ඇතුළත් විය යුතුය.
ජාතිවාදීන් ඉතා සුළු පිරිසක් විසින් ජාතීන් අතර අසමගිය සහ වෛරයේ ගිනි දැල් ඇවිලවීමට පෙරමුණ ගෙන වැඩි කාලයක් නැත. යම් හේතුවක් නිසා දැනට තරමක් යටපත්ව ඇති මේ විනාශකාරී බලවේග, සිංහල බහුතරයේ නාමයටත්, සමස්තයක් වශයෙන් රටේ ජාතීන් අතර සමගියටත් සිදු කළ හැකි අනර්ථය තේරුම් නොගෙන තවමත් ඔවුන්ගේ හෝ සමහර විට ඔවුන්ගේ ඇමරිකානු, නෝර්වේ හෝ ඊශ‍්‍රායල් හාම්පුතුන්ගේ න්‍යාය පත‍්‍ර මුස්ලිම් ජනතාවට එරෙහිව පවත්වාගෙන යති.
දශක තුනක වාර්ගික යුද්ධයකින් 2009 දී ගොඩ ආ මෙරටට, සියල්ලන් අනර්ථයට හෙලන තවත් දශක කිහිපයක ලේ හැලීමකට දායක වීමට පුලූවන් කමක් නැත. කෙසේ වෙතත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් කොටස්, විශේෂයෙන් පසුගිය වසරේ හැසිරුනු විලාසය අනුව, වෛරී කථන, වෛරී ප‍්‍රකාශන සහ එක ජාතියක සිත්සතන් තවත් ජාතියකට එරෙහිව උසිගන්වන වෙනත් එවැනි ක‍්‍රියාවන් තහනම් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.
එසේම, 1948 සිට බලයට පැමිණීමට හෝ බලයේ රැඳීමට ජාතිවාදය පාවිච්චි කළ දේශපාලඥයන් ද, ආගම, සංස්කෘතිය සහ ජන වර්ගය ආරක්ෂා කර ගැනීමේ නියාවෙන් ජාතිවාදය මත යැපීමට තැත් කළ මාධ්‍යය ද, මෑත අතීතයෙන් කිසි පාඩමක් උගෙන නැති බවත් මෙයින් පෙන්නුම් කෙරේ. ඇත්තෙන්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ ඇතැම් කොටස්, පළිගැනීමේ ලෝලයෙන් පෙලෙන විනාශකාරී බලවේගවල ප‍්‍රචාරක මෙවලම් බවට බොහෝ දුරට පත්ව සිටී.
මෙය අළුත් දෙයක් නොව. එය පටන් ගත්තේ දශක කිහිපයකට කලිනි. උදාහරණයක් වශයෙන්, නිදහසෙන් පසු ආසන්න වකවානුවේ, ලේක්හවුස් සහ ටයිම්ස් සමූහ ව්‍යපාරය, විවිධ ප‍්‍රජාවන්ට නරකට බලපාන කරුණු ඉස්මතු කළ බව පෙන්වා දිය හැකිය. එහෙත් පොදුවේ ගත් විට, ජාතීන් අතර ද්වේෂය සහ හිංසාව අවුස්සන ආකාරයෙන් ඔවුන් ක‍්‍රියා කෙළේ නැත.
එම සම්ප‍්‍රදාය, දවස පුවත්පත් සමාගමේ සම්ප‍්‍රාප්තියත් සමග පොඩිපට්ටම් කෙරුණි. ව්‍යාපාරික අවශ්‍යතා සඳහා නග්න ජාතිවාදය සිය ප‍්‍රධාන වේදිකාව කර ගැනීමට ඔවුන් මැළි නොවුණි. 1968 අගෝස්තු මාසයේ දී, දෙමළ කොන්ග‍්‍රසය ද ඇතුළත් කරගත් ජාතික ආණ්ඩුවක් සඳහා සහාය ලබා ගැනීමේ පොරොන්දුව මත, දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් හඳුන්වා දෙන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඩඞ්ලි සේනානායක උත්සාහ කෙළේය.
මෙය, පසු කලෙක එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇති කරගත් එකඟතා සමග සසඳන කල, බලය බෙදා හැරීමේ මෘදු ආකෘතියක් සඳහා වූ උත්සාහයකි. පසු කලෙක දකුණු ආසියාවේ දරුණුතම ඝාතක බිමක් බවට ලංකාව පත්කළ දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වය ඒ මගින් වැළැක්වෙන්නටත් ඉඩ තිබුණි.
එහෙත් මේ යෝජිත දිස්ත‍්‍රික් සභා කෙටුම්පතට විරෝධය පෑ දවස පුවත්පත් ආයතනය, බහුතර සිංහල ප‍්‍රජාව තුළ රුදුරු දෙමළ විරෝධයක් අවුලූවන්නට විය. එය මොන තරම් සාහසික වී ද යත්, එම ආයතනයේම ‘දිනපති’ දෙමළ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙක්, ‘‘මේ වෛරී ව්‍යාපාරයෙන් රට ඇදගෙන යනු ඇත්තේ කොයිබට දැ’’ ප‍්‍රශ්න කෙළේය. ඒ ප‍්‍රශ්නයට පිළිතුර අද අපි දනිමු.
යෝජිත දිස්ත‍්‍රික් සභා පනතට නැගුණු විරෝධයේ තරමට එම ප‍්‍රයත්නය අතහැර දැමීමට ඩඞ්ලි සේනානායකට සිදුවිය. එහි නොවැළැක්විය හැකි ප‍්‍රතිවිපාකය වුණේ, තමන්ගේ ජනතාවට එවැනි විසඳුමක් පිළිබඳ ප‍්‍රතිඥා දී සිටි ෆෙඩරල් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමයි. ෆෙඩරල් පක්ෂයට තිබුණු විකල්පය කුමක් දැ යි අසනු ලදුව, පසු කලෙක ඝාතනය වූ ෆෙඩරල් පක්ෂ නායක අමිර්තලිංගම් සහ එවකට වීරකේසරී පුවත්පතේ සේවය කළ අභාවප‍්‍රාප්ත ත්‍යාගරාජා මට මෙසේ කීහ: ‘‘ඩඞ්ලි අවංකවම සිය ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීමට උත්සාහ කළා. ඒත්, ජාතිවාදී බලවේග ඒක ඇහුරුවා. ඒක නිසා, ආණ්ඩුවෙන් ඉවත් වෙලා පිට ඉඳං ආණ්ඩුවට සහාය දීම ඇරෙන්න ෆෙඩරල් පක්ෂයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.’’
මාධ්‍ය ඊට වඩා සාධාරණ විණි නම්, පොරොන්දු වූ පරිදි ‘දිස්ත‍්‍රික් සභා’ඇති කෙරුණි නම්, දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වයත්, පසු කලෙක ඇති වු ජන සංහාරය සහ රට ආපස්සට ගිය ගමනත් වළක්වා ගන්නට තිබුණි.
එහෙත් එයින් හතළිස් පස් වසරක් ගෙවී ඇති අද, මිනිස් සංහාරයක් සහ මහා විනාශයක් අවසානයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වන මහජන එක්සත් පෙරමුණ, බලය බෙදා හැරීමේ ඒකකය වශයෙන් දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් යෝජනා කරමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන්නැ යි ඉල්ලන විට, මතුපිටින් පෙනෙන්ට ඇත්තේ මොළේ පෑදී ඇති බවකි. එහෙත් එම යෝජනාව, බලය බෙදාහැරීම සඳහා නොව, පළාත් සභා අහෝසි කිරීම මාර්ගයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සුළු ජාතීන්ට හිමිව ඇති අයිතීන් අහිමි කිරීම සඳහා වන විගඩමකට වැඩි දෙයක් නොවේ.
2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව, සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජන කොටසක්ම එකාවන්ව, දේශපාලඥයන් සහ මාධ්‍ය ව්‍යාපාරය අතීතයෙන් පාඩම් උගනිති යි බලාපොරොත්තු වූහ. විවිධ ජන කොටස් සාධනීය දිශානතියක් කරා ඒකරාශී කරමින් රට ඉදිරියට ගෙන යාමට උරදෙනු ඇතැ යි බලාපොරොත්තු වූහ. අවාසනාවකට ඒ සියළු ප‍්‍රාර්ථනා දැන් සුනුවිසුණු වී ගොසිනි. දේශපාලඥයෝ තවමත් ඡන්ද බැංකුවම ඉලක්ක කරති. අනිත් පැත්තෙන්, මාධ්‍යයේ වගකීම් විරහිත ආවරණය, දෙමළ ජනතාවට සහ මෑතක සිට මුස්ලිම් ජනතාවට එරෙහිව බහුතර සිංහල ප‍්‍රජාව උසිගන්වන වෑයමකට එක දිගටම උරදෙයි.
පසු ගිය වසරක පමණ කාලය තිස්සේ කුඩා කණ්ඩායමක චන්ඩි ව්‍යාපෘති උඩ දමමින් මාධ්‍යයේ ඇතැම් කොටස් කටයුතු කළ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ, රට ගැන කිසි තැකීමක් නැතිව, දේශපාලඥයන්ගේ පටු ව්‍යාපෘති සාධනය සඳහා වන මෙවලම් වශයෙන් කටයුතු කිරීම හැරෙන්නට අපේ මාධ්‍යයට වෙනත් ඉදිරි දැක්මක් නැති බවයි.
මේ කණ්ඩායම මොන තරම් කුඩා වුවත් ඔවුන් නගන හඩ, පමණටත් වඩා රටට අසන්නට සැලැස්වෙයි. උදාහරණයක් වශයෙන්, මේ කෑකෝගසන පිරිස, වර්තමානයේ 225 ක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 10 ක් හෝ 12 ක් වැනි අල්පයකට වැඩි කණ්ඩායමක් නොවේ. එසේ වතුදු, මේ අන්ත සුළුතරයේ හඩ සඳහා මාධ්‍ය තුළ වෙන් කෙරෙන ඉඩ, බහුතරයේ හඩ යටපත් කරන තරම් ය. බොහෝ මාධ්‍ය ආයතන, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිංහලයන්ව අවුළුවන මතවාද මුල් තැනක් දී නිදහසේ බෙදාහරිනු ලැබේ. අනවශ්‍ය හලාල් ආහාර සහ සත්ව ඝාතනය වැනි ප‍්‍රශ්න උඩ දමමින්, නැති ප‍්‍රශ්න ඇති කරන්නේ ඔවුන් ය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් උණුසුම් ආකාරයෙන් කෙරෙන සංවාද තුළින් අපට පෙනෙන්නේ, අපේ දේශපාලඥයන්වත්, මාධ්‍යවත් අංශු මාත‍්‍රයකින්වත් වෙනස්ව නැති බවයි. ඉතිහාසයෙන් කිසි පාඩමක් උගෙන නැති බවයි. අද ඔවුන් දරණ ආකල්ප, 1968 දිස්ත‍්‍රික් සභා පනතට විරෝධය පෑ ස්ථාවරයෙන් වෙනස් නැත. මේ තත්වය යටතේ අද අවශ්‍ය කරන්නේ, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශ නොව, ජාතීන් අතර වෛරය අවුළුවන කිසිවක් ප‍්‍රකාශයට පත්කිරීම හෝ විකාශය තහනම් කෙරෙන පුළුල් නීති මාලාවකි. ඇත්ත වශයෙන්ම, මාධ්‍ය සඳහා වන මාර්ගෝදේශකත්වය සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව වෙතින්ම මිස ආණ්ඩුවෙන් නොවේ.
ලතීෆ් ෆාරුක්
______________________________________________________________________________________________
පරිවර්තනය, ‘යහපාලනය ලංකා‘ අනුග්‍රහයෙනි
[Image credit: www.muni.org]
නගර සංවර්ධනය සදහා කෝවිල ඉවත් කර ‘රථගාලක්’
June 13, 2013 by Karapoththa
Filed under Colombo, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance
කොළඹ, කොල්ලූපිටිය පෙරේරා මාවතේ අරලියගහ මන්දිරයට පිටුපස පිහිටා තිබෙන අවුරුදු 80ක් පැරණි අයිතිහාසික ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නගර සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත. ඒ අනුව ඊයේ(12) ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිලේ තිබුණු පිලිම ඉවත් කර වෙනත් තැනකට රැගෙන යාමට කෝවිල් පරිපාලන පියවර ගත් බව පැවසේ.
1928 දී මෙම කෝවිල ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා ඉඳි කර ඇති අතර දැන් කොළඹ නගරයේ සංවර්ධනය කිරීම සඳහා මෙම කෝවිල පිහිටි ඉඩම අවශ්‍ය බවත් එම නිසා වහාම මෙම කෝවිලට වෙන්කර තිබෙන නවම් මාවතට ඉඩමට රැගෙන යන ලෙස නගර සංවර්ධන අධිකාරිය කෝවිල් පරිපාලනයට නියෝග කර ඇත.
එසේම දැනට කෝවිල තිබෙන ඉඩම් කොටසේ කොළඹ මහ නගර සභා රථ ගාලයක් ඉඳි කිරීමට තීරණයක් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.
නගර සංවර්ධන අධිකාරියේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කළ කෝවිල් පරිපාලනය කෝවිල සඳහා කොල්ලූපිටියේ නෙල්සන් මාවතේ ඉඩම් කොටසක් දෙන ලෙස ඉල්ලා තිබෙන අතර කෝවිල් පරිපාලනයේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අධිකාරිය කෝවිල ඉවත් කිරීම අනිවාර්ය බව පවසා තිබේ.
මේ පිළිබඳව ‘විකල්ප‘ වෙත අදහස් දැක් වූ ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල් භාර පාලනාධිකාරී බාලකි‍්‍රෂ්ණන් මහතා
:
’1928 සිට අද දක්වා ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල කොල්ලූපිරිය පෙරේරා මාවතේ පිහිටා තිබුණා. 1945 වර්ෂයෙන් පසු සෑම අවුරුද්දම උත්සව පවත්වා ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ ආශිර්වාදය අපේ ජනතාව ලබා ගනිමින් සිටියා. මෙම කෝවිලට සෑම ජාතියටම අයත් ජනතාව පැමිණ වැඳ පුදා ගැනීම විශේෂත්වයක්.’
‘ඒත් දින 10 කට පෙර නගර සංවර්ධන අධිකාරිය විසින් අප වෙත ලියුමක් යොමු කර, රටේ සංවර්ධන කි‍්‍රයාමාර්ගයට කෝවිල් ඉඩම අවශ්‍යවන බවත් දින 10කින් කෝවිල ඉවත් කරන ලෙසත් ඒ ඔස්සේ නියෝග කර තිබෙනවා. ඒ සඳහා වෙනත් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස අප කළ ඉල්ලීමට නවම් මාවතේ ඉඩම් කොටසක් වෙන් කර ඇති බව දැන්වූවා. නවම් මාවතේ වෙන් කර ඇති ඉඩම කෝවිල් ඉඳි කිරීමට සුදුසු තැනක් නෙමෙයි. එම ප‍්‍රදේශය පිරිසිදු පරිසරයකුත් නෙවෙයි. ඒ නිසා අපි කොළඹ 3 ප‍්‍රදේශයේ ඉඩම් කොටසක් අපි ඉල්ලා සිටියා. නමුත් නගර සංවර්ධන අධිකාරිය ඒ පිළිබඳව කිසිඳු සැළකිල්ලක් දැක්වූවේ නැහැ. නගර සංවර්ධන අධිකාරිය දුන් දින 10 ක කාල සීමාව ඊයෙන් අවසන් වුණා. නමුත් අපි තව දින 10ක කාල සීමාවක් අධිකාරියෙන් ඉල්ලා සිටියා. දෙන්න බැහැ කිව්වා. එම නිසා වෙනත් කි‍්‍රයාමාර්ගයක් නොමැතිව ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ පිලිමය ඉවත් කර ආමර් වීදියේ තිබෙන නිවසක තැබීමට තීරණය කරා. පසුව විශේෂ පූජාවෙන් පසුව පිලිම ඉවත් කරගෙන ගියා.’
‘අපි හිතන්නේ මේවා ඉතාමත් වැරැදි කි‍්‍රයා මාර්ග කියලයි.’
ඒ සමඟ නැෙඟනහිර තිබෙන උගණ මුරුගන් කෝවිල අසල බෞද්ධ විහාරයක් ඉඳි කිරීමට කටයුතු කරන බව ආරංචි මාර්ග පවසයි. මෙයට ලාහුගල ප‍්‍රාදේශ ලේකම් සහ පානම විහාරයේ විහාරාධිපති ඇතුළු කණ්ඩායමක් උත්සහ දරණ බව ජනතාව චෝදනා කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් පැවසූවේ,” ෛඑතිහාසිකව හින්දු බැතිමතුන් විසින් වන්දනා කරමින් සිටින උගණ මුරුගන් කෝවිල පිහිටා තිබෙන පරිසරයේ විහාරයක් ඉඳි කිරීම කිසි සේත්ම අනුමැති කරන්න බැහැ. මෙය ඉතා මතා හින්දු ජනතාවගේ හිතට වේදනා ගෙන දෙන්නක්‘‘ බව ඔහු පැවසීය.
මේ පිළිබඳව විකල්ප වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර පොන්. සෙල්වරාසා :
‘උගණ මුරුගන් කෝවිල පරිසරයේ විහාරයල් ඉඳි කිරීමට අපි අනුමැතිය දෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි අම්පාර දිස්ති‍්‍රක් දිසාපති දැනුවත් කර අපේ කණසල්ල පළ කළා. ඒ මොහොතේ දිසාපතිතුමා පැවසුවා, විහාරාධිපතිවහන්සේ පෙත්සමක් භාරදුන් බවෙ. එම පෙත්සමෙන්, උගණ කෝවිල අසල ඉඩම් අක්කර කිහිපයක් අවශ්‍ය බවත් ඔවුන් විහාරයක් ඉඳි කිරීමට යන බවත් පොසොන් පෝය දිනයට පෙර එම ප‍්‍රදේශයේ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට යන බවත් කියා තිබෙන බවත් ඔහු පවසා සිටියා. ඉන් පසු කෝවිල් පරිපාලනය හා ප‍්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා නොකර ඉඩම් වෙන් කරන්න බැරි බව විහාරාධිපතිවහන්සේට දිසාධිපති තුමා දැනුම් දුන් බව අප වෙත ඔහු දන්වා සිටියා.’
‘නමුත් කිසිඳු අවස්ථාවක උගන කෝවිල් පරිසරයේ විහාරයක් ඉඳි කිරීමට ඉඩ නොදෙන බව දිසාපතිතුමා අප වෙත ප‍්‍රකාශ කළා.පසුගිය ජූනි පළමු වෙනිදා රාති‍්‍රයේදී මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පිහිටි කුරුක්කල් මඩම් ශී‍්‍ර සෙල්ල කදිර්කාමර් කෝවිල, මාංකාඩු පිල්ෙලෙයාර් කෝවිල, කිරාන් කුලම් අයියනාර් කෝවිල, පාණ්ඩිරුප්පු ත‍්‍රව්පදි අම්මන් කෝවිල යන කෝවිල් හතරක් කඩා එහි තිබූ පිලිම වලට නාඳුනන පිරිස හානි කර තිබුණා. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනමුත් තවම කිසිඳු සැකකරුවෙක් අත් අඩංගුවට පත්වී නැහැ.’
උතුරේ ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි?
June 12, 2013 by Karapoththa
Filed under Democracy, Features, Human Rights, Kilinochchi, Peace and reconciliation, Politics and Governance
කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත් කිරීමේ නිළධාරියා ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කළ එස්. වීරකත්තිපිල්ලයි තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් උතුරෙහි සෑම දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයකම පසුගිය මස ඉඩම් කාර්‍යාලයක් විවෘත කර ඇති අතර මෙම කාර්‍යාලය මඟින් උතුරෙහි රැඳී සිටින හමුදාවට අවශ්‍ය පෞද්ගලික ඉඩම් කඩිනමින් අත්පත්කරදීමේ කටයුතු ද ආරම්භකර තිබුණි.
මෙවැනි තත්වයක පසුගිය අප්‍රේල් මස යාපනය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස කටයුතු කළ ආර්. සිවසුවාමි මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ගියේය. අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස පත්කරන ලද එස් වීරකත්තිප්පිල්ලයි මහතාද තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ, හමුදාව විසින් ඉඩම් අත්පත්කිරීම පිළිගත නොහැකි හෙයින් ඔවුන් තම දූරයෙන් ඉල්ලා අස්වී යන බවට එහි වැඩිදුරටත් පැවසෙන අතර එම පුරප්පාඩූ වූ ධූරයන් සඳහාවූ මෙතෙක් කිසිවකු ඇයඳුම්කර නොමැතිවීම ද විශේෂත්වයකි.
කෙසේ නමුත් උතුරේ දහස් ගණනක් අවතැන් ජනයාගේ ඉඩම් තවමත් ඔවුන්ට ලබා දීමට අදාල බළධාරීන් කටයුතු නොකිරීම තුළ, හමුදාව විසින් ඔවුන්ගේ ඉඩම් පරිහරණය කරන බවට පසුගිය කාලය පුරා වාර්තා වූ අතර, වලිකාමම් ප්‍රදේශයේ ජනයාගේ ඉඩම් ගැටලුව ගැන ඊයේ(11) ද විකල්ප තුළ විස්තරාත්මක සටහනක් පළවිය. එහිදී ද ඔවුන් පවසා සිටියේ තම මුල් පදිංචි ස්ථානයන් හමුදාව විසින් අත්පත්කර ගෙන තිබෙන නිසා තමන්ට එම ඉඩම් නොලැබී යන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
කෙසේ නමුත් උතුරේ ජනයාට අයිති ඉඩම්, ඔවුන්ට ලබා දීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සවිල් පරිපාලනය හා සම්බන්ධ වූවක් වුවත් අන් සෑම තැනදීම මෙන් ඉඩම් ගැටලුවටත් හමුදාව සෘජුවම මැදිහත් වී ඇතැයි උතුරේ ජනයා චෝදනා කරයි. ඒ තත්ත්වයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් සදහා පත්කරන ලද නිළධාරීන් මෙසේ තම රැකියාවලින් ඉල්ලා අස්වීම පිළිබදච එම ජනයා තුල තව තවත් සැක සංකා මතු වීම නොවැලැක්විය හැකිය.
ඒබැවින් යුද්ධයෙන් වසර 4කට පසුත්, සිවිල් ජනජීවිතයේ කාර්යයන් සදහා සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම සිදුකරනවා යැයි පවසන ආණ්ඩුව වහාම කළයුතු වන්නේ මෙම ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි ද යන්න සොයා බැලීමයි. එසේම නිළධාරීන් ලවා හමුදාවට ඉඩම් ලබා දීමට ප්‍රථම වසර ගණනාවක් අවතැන්ව සිටි උතුරේ ජනයාගේ ඉඩම් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම නොවේද? එසේ නොවුනහොත් ‘ආණ්ඩුව යෝජනා කරන සංහිදියාව‘ හෝ තව තවත් ඈතට යනවා මිසක ලගා කර ගත හැකි වන්නේ නම් නැත.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම
June 10, 2013 by Karapoththa
Filed under Colombo, Constitutional Reform, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance
‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’)
රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු නොවන්නෙකුගෙනි. ඒ, ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ගෙනි. රාජපක්ෂ සහෝදරවරු කටයුතු කරන ආකාරය පිළිබඳ බ්ලේක් මහතාගේ නිරීක්ෂණ, රාජපක්ෂලාගේ බල ග‍්‍රහණයට එරෙහිව දැනට ඉතිරිව ඇති අවසාන බාධකය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අකර්මණ්‍ය කිරීමේ ඔවුන්ගේ වර්තමාන සැලැස්ම කෙරෙහි විශේෂ එළියක් විහිදුවයි. ඔහු වරක් කියා ඇත්තේ මෙසේය:
‘‘ජනාධිපතිවරයා, බොහෝ විට, තීරණ ගැනීමට අදිමදි කරයි. විශේෂයෙන්, වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔහු කල් මරයි. සමහර විට, තීරණ ගැනීම මුළුමණින්ම මගහරින ඔහු, බොහෝ වගකීම් ගෝඨාභයට සහ බැසිල්ට පැවරීම හරහා ජනතා අප‍්‍රසාදයෙන් වැළකී සිටීමට බලයි. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රතිපත්ති සහ දේශපාලන ප‍්‍රතිපත්ති හැඩගැස්වීමෙහි ලා ඔහුගේ සහෝදරයන් රඟපාන්නේ වැදගත් සහ බලපුලූවන්කාර භූමිකාවකි. ඊටත් වඩා, ඔවුන්ගේ ලොකුම රාජකාරියක් වන්නේ, ජනාධිපතිවරයා සඳහා අවශ්‍ය කරන දේශපාලනික ආවරණය සැපයීමයි. ඇතැම් තීරණ ගෝඨාභයට සහ බැසිල්ට බැර වීමට ඉඩ හැරීම මගින්, දේශීය තලයේ සහ ජාත්‍යන්තර තලයේ විවේචනයට ලක්විය හැකි ප‍්‍රශ්නවලට තමන්ගේ සම්බන්ධයක් නැතැ යි ලෝකයාට ඇඟවීමේ හැකියාව ඔහුට ලැබේ.’’
මහින්ද රාජපක්ෂ මිත‍්‍රශීලී ය. බොහෝ දෙනා කියන පරිදි, ප‍්‍රසන්න ය. ගෝඨාභය රාජපක්ෂ, අශිෂ්ටයෙකු වන තරමට, දඩබ්බර ය. බැසිල් රාජපක්ෂ, තෙල් බේරෙන ජේත්තුකාරී ය. දේශපාලනික සූක්ෂම ශ‍්‍රම විභජනයකට කියාපු, එකිනෙකට වෙනස් එවැනි බාහිර චරිත විලාසයන් නිසා, ඔවුන්ගේ පරමාර්ථ අතර ඒකමිතියක් නැතැ යි යන අදහසක් කෙනෙකු තුළ ඇති කෙරෙන අතර, බොහෝ විට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති, යම්තාක් අපසාරී (සමහර විට එකිනෙකාට පරස්පර) දිසානතීන් කෙරෙහි යොමු වෙතැ යි ද කෙනෙකුට සිතෙයි. එවැනි වෙනස් පුද්ගල චරිත ස්වභාවයන් නිසා, විටින් විට, මිථ්‍යාවන් සහ විවිධ කටකතා ද පැතිරෙයි: ‘‘මහින්ද මධ්‍යස්ථයි. ගෝඨාභය තමයි, නපුරා’’ ‘‘මහින්ද දැන් බැසිල්/ගෝඨාභය එක්ක එච්චර හොඳ නැහැ.’’ ‘‘මහින්ද, දැන් ගෝඨාභය/බැසිල්ගේ හිරකාරයෙක් වෙලා’’ වැනි කටකතා එමටයි.
ඕනෑම පවුලක සහෝදරයන් අතර සිදුවන්නාක් මෙන්, රාජපක්ෂලාටත් පෞද්ගලිකව වෙනස් මතිමතාන්තර ඇති. ඒ සමගම, ඔවුන්ට පොදු දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ද තිබේ. බලයේ සෑම දශමයක්ම තමන්ගේ සාමූහික අත්වලට ගොනු කර ගැනීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. බලයට සහ බලපෑමට අදාළ තමන්ගෙන් පිටස්තර වෙනත් ඕනෑම ස්ථානයක් වෙතොත් එය සුනුවිසුණු කර දැමීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. (අධිකරණයට එරෙහි ප‍්‍රහාරයේ දී ඔවුන් තිදෙනාම එකාවන්ව කඳවුරු ගැසුණු අවස්ථාව ඊට මනා නිදසුනකි). පවුලේ පාලනය ආරක්ෂා කර ගැනීමටත්, පවුල් වංශයේ පාරම්පරික උරුමය රැක ගැනීමටත් ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුණි නම්, මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපති පදවියට උරුම කියන්නේ කවුරුන් ද යන ප‍්‍රශ්නය ගැන මතභේද ඇති වන්නට ඉඩ තිබුණි. එවැනි මතභේද විශාල ගැටුම්වලට පාර කපන්නට තිබුණි. ඒ මගින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලාගෙන් ගැලවෙන්නට අවස්ථාවක් ද පෑදෙන්නට තිබුණි. එහෙත් ජනාධිපති ධුර සීමාව ඉවත් කිරීමත් සමග(18) ඒ සාධනීය විභවය අහෝසි විය. දැන් සහෝදරයන්ට තමන්ව බලවත් කර ගැනීමටත් අනිත් සෑම කෙනෙකුවම බලරහිත කිරීමටත්, එකාවන්ව වැඩ කළ හැකිය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හීලෑ කිරීම, ඒ බල පේ‍්‍රරණයේ මූලික අංගයකි. ඒ සංශෝධනය මේ දක්වාවත් නොනැසී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව, එය අවලංගු කළහොත් ඇති විය හැකි ඉන්දියානු/බටහිර ප‍්‍රතිචාරය ගැන රාජපක්ෂලා තුළ තිබෙන විචිකිච්ඡාවන් නිසාම පමණි.
රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය, නිසගයෙන්ම කේන්ද්‍රාභිසාරී ය.(බලය තනි අතකට ගොනු කර ගැනීමේ ප‍්‍රවණතාව). බලය බෙදාහදා ගැනීම කෙරෙහි සහෝදරයන් තුළ ඇති අප්පිරියාව ඔවුන්ගේ බොක්කෙන්ම එන්නකි. පැහැදිළිවම ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළ විට, අධිකරණයට එරෙහිව ඔවුන් එතරම් විසප්පු වුණේ එබැවිනි. තමන්ගේ බලයෙන් පරිබාහිර පළාත් සභාවකට ඔවුන් විරුද්ධ වන්නේත් ඒ අර්ථයෙනි. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් මගහැර යන්නට සහෝදරයන්ට හැකි වුණු තාක් කල්, එය ගැටළුවක් නොවුණි. එහෙත් ඉන්දියාවෙන් දෙන අල්ලසට ගිජු වීමට සිද්ධ වීම නිසා එම තත්ත්වය වෙනස් වුණි: ඒ අල්ලස වූ කලී වෙන කිසිවක් නොව, රාජපක්ෂලා ලවා සැප්තැම්බරයේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හුවමාරුවක් වශයෙන්, නොවැම්බරයේ හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට රාජපක්ෂලා වෙනුවෙන් ඉන්දියානු සහයෝගය සැපයීමයි.
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ බලය බෙදා හැරීමට එරෙහි රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ, ඔවුන්ට තේරීම් දෙකක් තිබේ: සකී‍්‍රය බලයක් රහිත උතුරු පළාත් සභාවක් සඳහා නියමිත කාලයේ මැතිවරණය පැවැත්වීම ඉන් එකකි. නැතහොත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු කිරීමේ හදිසි අවදානමක් පෙන්වමින් බිය ගන්වා, පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ඉන්දියානු අනුමැතිය ලබා ගැනීම තවත් එකකි. (මේ අතර, 13 වැනි සංශෝධනය හෑල්ලූ කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය වර්ජනය කළහොත්, රාජපක්ෂලාට එම මැතිවරණය ජයගත හැකි වන්නට ද පිළිවන).
රාජපක්ෂලාගේ මේ අළුත්ම උප්පරවැට්ටියට, මීට පෙර දී සේම, මෙවරත් ඉන්දියාව හසු වේ ද? එසේ නැතිව, මුලින් ඇති කරගත් එකඟතාවට ගරු කරන්නැ යි උදක්ම ඉල්ලා සිටී ද? හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ප‍්‍රාණ ඇපකරුවෙකු වශයෙන් ගන්නට තරම් කොන්දක් ඉන්දියාවට තිබෙයි ද?
ප‍්‍රතිගාමී ව්‍යාපෘතියක්
2007 ජුනි 06 වැනි දා පාන්දර පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹ නවාතැන් පොලවල් වැටලූහ. ඒවායේ ලැගුම්ගෙන සිටි දෙමළ ජාතිකයන් (ඉතා මහළු සහ රෝගී අයවළුන් පවා) උතුරු-නැගෙනහිර ගම්වලට යැවීම සඳහා බස්වලට පැටවුණි. මේ පලවා හැරීම නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වන විටත්, පළමු බස් රථ සිය ගමන් අරඹා තිබුණි.
කොළඹ නවාතැන් ගෙන සිටි දෙමළ වැසියන්ව (කළු කොටි සාමාජිකයන් ඔවුන් අතර සිටිති ය යන සැකය මත) මෙසේ කොළඹින් පිටමං කිරීමට තීරණය කෙළේ ආණ්ඩුවේ ඉහළම තැන්වලිනි. මේ ව්‍යවස්ථා-විරෝධී සහ ජාතිවාදී පියවර, ගෝඨාභය රාජපක්ෂ ඉතා රළු ආකාරයෙන් යුක්ති සහගත කළ අතර මහින්ද රාජපක්ෂ ද, ඊට වඩා තරමක් සුමටව, ඊට අනුමැතිය පෑවේය.
ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු මෙවැනි වාර්ගික දාමරිකත්වයක් ගැන සිතා ගැනීමට පවා පුලූවන් කමක් තිබුණේ නැත. එහෙත් ඒ, රාජපක්ෂලා බලයට පැමිණෙන තෙක් පමණි.
මහින්ද රාජපක්ෂ (එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලහත්කාරී වර්ජනයට ස්තුතිවන්ත වන්නට) පළමු ජනාධිපතිවරණය ජයගන්නා අවස්ථාව වන විට, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකගේ ආකල්පය, ජාතිවාදී නොවන හෝ පශ්චාත්-ජාතිවාදී එකකැ යි කිව හැකිය. ජාතික ප‍්‍රශ්නය සඳහා නොමසුරු දේශපාලනික විසඳුමක අවශ්‍යතාව එදා රටේ බහුතරයකගේ පිළිගැනීම විය. උදාහරණයක් වශයෙන්, 2006 ජුනි/ජුලි මාසයේ ‘මාර්ග ආයතනය’ මගින් පවත්වන ලද මත විමසුමකට අනුව, සියයට 66 ක්, ඒකීය රාජ්‍ය රාමුවෙන් එහා යන දේශපාලන විසඳුමකට එකඟතාව පළකළහ. ඒ පොදු මනෝ භාවය, එදා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ස්ථාවරයන් සමග සමපාත වුණි: ඒ පක්ෂ දෙකම, අර්ධ-ෆෙඩරල් හෝ ෆෙඩරල් විසඳුමකට එදා සහාය පෑහ.
එසේ පැවති දකුණේ සිංහලයන්ගේ චින්තනය, අනතුරුව පසුගාමී වෙනසකට ලක්වුණේ, රාජපක්ෂ පාලනයේ විපාකයක් වශයෙන් මිස, නිරායාසයෙන් නොවේ. ජාතික ප‍්‍රශ්නයක් ඇතැ යි තමන් විශ්වාස නොකරන බව සහෝදරවරු මුලදීම වාගේ පෙන්නුම් කළහ. ඒ සමගම, හතරවැනි ඊලාම් යුද්ධය වනාහී, බාහිර රටක මැදිහත් වීමක් හරහා 1987 දී සිංහල-බෞද්ධයාට අහිමි කරන ලද, 1956 සිට ඔහු භුක්ති විඳිමින් සිටි ප‍්‍රමුඛස්ථානය නැවත ඔහුට අත්පත් කර දීමේ ව්‍යාපෘතියක ප‍්‍රධාන අක්ෂය වශයෙන්, ඔවුහූ අර්ථගැන්වූහ.
ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය සඳහා අවැසි සහයෝගීතා පදනම ගොඩනගනු වස්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය හරහා තමන් සහ බහුතර ජනතාවක් අතරේ ෙසෙද්ධාන්ති බැම්මක් සකසා ගැනීමට සහෝදරවරුන්ට අවශ්‍ය කෙළේය. ඒ සමගම, පොදු ආර්ථික අඳෝනා මත, අනාගත සිංහල-දෙමළ-මුස්ලිම් එක්සත් බවක් ඇති නොවන සේ ජාතිවාදී විරසකයක් නඩත්තු කෙරෙන තැනට වගබලා ගැනීමත්, ඔවුන්ගේ තවත් අවශ්‍යතාවක් විය. සකල බලය ඩැහැගැනීමේ ඔවුන්ගේ අභිලාෂයට එරෙහි වන 13 වැනි සංශෝධනය යථා කාලයේ නිෂේධ කිරීමේ දේශපේ‍්‍රමී ආවරණයක් ඊට අවශ්‍ය කෙරේ.
මේ අභිමතාර්ථ සාධනය සඳහා ආමන්ත‍්‍රණය කළ යුත්තේ, සිංහල ආත්මයේ වඩා විචාරවත් සහ මානුෂික පාර්ශ්වයට නොව, ‘සිංහල පමණයි’ පනත සහ 83 කළු ජුලිය බිහි කළ, දුර්ජන, මුග්ධ සහ නිර්දය පාර්ශ්වයටයි. ඒ සිදුවීම් දෙකම, අපේ අත්වැරැද්දක් වශයෙන් මේ සහෝදරවරු නොදුටහ.
උතුරු-නැගෙනහිර ප‍්‍රශ්නය, හුදෙක් ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ මොහොතේ එම ප‍්‍රශ්නයත් ඉබේ දුරු වන්නේය. ජාතික ප‍්‍රශ්නය කියා දෙයක් ඇත්තෙන්ම නැත්නම්, ජාතීන් අතර බලය බෙදා හැරීම මත පදනම් වන දේශපාලන විසඳුමක් අනවශ්‍ය වෙනවා පමණක් නොව, හානිකර ද වන්නේය. හරියට, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු රසායන චිකිත්සාවකට (කිමෝතෙරපි) ලක්කරන්නා සේ ය. මේ සන්දර්භය තුළ, සාමය ගොඩනැගීම යනු, තලූ මැරීමට ඇති යම් ආර්ථික සංවර්ධනයකට ගැටගැසූ, නීතිය හා සාමය රැක ගැනීමේ වැඩපිළිවෙලකට එහා දෙයක් නොවේ. තවත් විදිහකින් කිවහොත්, සාමය සහතික කළ හැක්කේ, තව තවත් හමුදා කඳවුරු ගොඩනැගීම, තව තවත් හමුදා ආම්පන්න මිළදී ගැනීම සහ තද නීති රෙගුලාසි පැනවීම සමග මුහුන් කෙරෙන යටිතල ව්‍යාපෘති සහ ඉඳහිට සැපයෙන දීමනාවන් මගින් මිස, බලය බෙදාහැරීමෙන් නොවන බවයි.
රාජපක්ෂලාගේ එම චින්තනය තුළ, 13 වැනි සංශෝධනයට අද එල්ල කෙරෙන ප‍්‍රහාරය, අනිවාර්ය කෙරෙන්නේය.
13 වැනි සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම, එක්තරා ආකාරයකින් නවතම ‘සිංහල පමණයි’ ව්‍යාපෘතියකි. සාමය සහ සංහිඳියාව ඒ මගින් උවදුරට පත්වෙනු නියති. මධ්‍යස්ථ දෙමළ ජාතිකයන් පවා පරාරෝපිත නෂ්ටාපේක්ෂාවට පත්වෙනු නියති. අවසානයේ, බෙදුම්වාදී සටන්පාඨය යළි තිරිහන්ව, වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අසාර්ථක නායකයෙකුගේ සිට, අප විසින් වරදවා වටහාගනු ලැබූ අනාගත වක්තෘවරයෙකුගේ තත්වයට නංවාලනු ඇත.
තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
__________________________________________________________________________________________
2013 ජුනි 06 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Disembowelling the 13th Amendment ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්




Repost This Article





















