ශී‍්‍ර ලංකාව අපරාධකාරයන්ගේ කෙම්බිමක්
June 18, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance
ශ‍්‍රී ලංකාව අද වන විට ‘සාමයේ පූර්ණ ප‍්‍රතිලාභ’ භුක්ති විඳින්නේ යැයි, කොතලාවල ආරක්ෂක කටයුතු පිළිබඳ ‘විශ්ව විද්‍යාලයේ’ දී කතාවක් පවත්වමින් ගෝඨාභය රාජපක්ෂ පැවසීම, ඕනෑම දිනක මේ රටේ පුවත්පතක ශීර්ෂ පාඨයක් ගෙන බැලූවොත් බොරුවක් වන්නේය.
නීතිය හා සාමයේ පූර්ණ ගරාවැටීම
පැහැදිළිවම, ඉහළ පෙළේ ‘ත‍්‍රස්තවාදී’ සිදුවීම් ගැනවත්, ‘සිවිල්-හමුදා’ ක‍්‍රියාකාරකම් වේශයෙන් උතුරු නැගෙනහිර පෙදෙස්වල කෙරෙන උග‍්‍ර හමුදා ආක‍්‍රමණිකත්වය ගැනවත් මම මෙහිදී කතා නොකරමි. මේ වනාහී, දකුණේ තත්වය හෙවත් ‘සාමාන්‍ය’ නීතිය බලපැවැත්වීමට අදාළව කෙරෙන සළකා බැලීමක් පමණි. උදාහරණයක් වශයෙන්, සිය දියණියගේ විවා මංගල්‍යය සඳහා වන රුපියල් මිලියන ගණනක මුදලක් රැගෙන යමින් සිටි ව්‍යපාරිකයාගේ පවුලේ සාමාජිකයන්ව පසු ගිය සෙනසුරාදා ආයුධ සන්නද්ධ කල්ලියක් විසින් කොල්ලකනු ලැබීම, ආරක්ෂක ලේකම්වරයාගේ හිත සනහන ඉහත කී මායාව සමග පෑහෙන්නේ නැති බව පෙන්වා දිය හැක. පැහැදිළිවම එම සිද්ධියෙන් ක්ෂතියට පත්විණැ යි සිතිය හැකි එම ව්‍යාපාරිකයා ඉන් වැඩි දවසක් නොගොස් හෘදයාබාධයකින් මියගියේය. මෙවැනි සිදුවීම් අසාමාන්‍ය නැත. නිතරම පාහේ දෛනික ප‍්‍රවෘත්ති වාර්තාවන්ට ඒවා ඇතුළත් වෙයි.
හැබෑ ප‍්‍රශ්නය වන්නේ, එවැනි සිදුවීම් ඇති වීමම නොව, ඒවා විසඳීමට පොලීසිය මුළුමණින්ම අසමත් වීමයි. එදා යුද්ධය පැවති ඉතා දරුණු වකවානුවේ පවා රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක වීම, උසස්ම මට්ටමේ නොපැවැත්වුණත්, අද තරම් නීතිය හා සාමයේ පිරිහීමක් කිසි දවසක මෙරටේ දකින්ට ලැබී නැති බව කිව යුතුය. වඩාත් උත්ප‍්‍රාසාත්මක වන්නේ, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නීතියෙන් ගැලවී මෙවැනි අපරාධවල යෙදෙන තත්වයක් වැඩියත්ම දකින්ට ලැබෙන්නේ, යුද්ධයෙන් පසුව වීමයි.
නීතියට අතපෙවිය නොහැකි බලගතු පොලිස්කාරයෝ
කොන්ත‍්‍රාත්තුවක් මත ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමට සම්බන්ධ බිහිසුණු නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන වාස් ගුණවර්ධනව පසුගිය දා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය, දේශපාලනික බලපුලූවන්කාර පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් හුදෙක් ලාභය සඳහාම අපරාධ ක‍්‍රියාකාරකම්වල යෙදෙන සාමාන්‍ය රටාවේ එක් නිමිති අවස්ථාවක් පමණි. මොහු අතීතයේදීත්, කුරිරු වධබන්ධන සහ ඝාතනවලට පෙළඹවීම් සහ ඒවා වහංගු කිරීම් සම්බන්ධයෙන් විවිධ චෝදනා ලැබූවෙකි. එහෙත් බලගතු තැන්වලින් ලද අනුග‍්‍රහය නිසා කිසි විටෙක ඔහුව නීතිය ඉදිරියට ගෙනාවේ නැත. තමා මිනීමරුවෙකු බවත්, තමාට එදිරිවන ඕනෑම කෙනෙකු ගැන වගබලා ගැනීමට, නිදහස් වීමෙන් පසු තමන් පසුබට නොවන බවත්, මේ සිද්ධියට අදාළව ඔහුව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරියාට ඔහු විසින්ම තර්ජනය කොට සිටීම, මේ නිලධාරියා කොතෙක් නීතියේ රැහැනෙන් විනිර්මුක්ත පුද්ගලයෙකු දැ යි පෙන්වන කදිම නිදසුනකි. කෙසේ වෙතත්, මේ සිද්ධිය පවා, ඒ ගැන දැනට ඇති මහජන උනන්දුව මැකී යන විට, ඉබේම පැත්තකට වීසි වී යනු ඇතැ යි බොහෝ දෙනා නරුම ආකාරයකින් හෝ සැක කිරීම, ඇත්තෙන්ම අස්වාභාවික නැත.
ඒ නිසා, යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාව, ආරක්ෂක ලේකම්වරයා පෙන්වන්ට තැත් කරන ආකාරයේ සාමකාමී පාරාදීස දීපයකට වඩා, ඉතා දරුණු ආකාරයේ දේශපාලක-සාපරාධීත්වයේ කෙම්බිමකට සමීප වෙයි. මේ නිසා, පොලීසිය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තබා ගැනෙන්නේ ‘ජාතික ආරක්ෂක මුලෝපායක’ අංගයක් වශයෙනැ යි එම කතාවේ දීම රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා පැවසීම, මොන විදිහකින්වත් කෙනෙකුට ඒත්තු යන තර්කයක් නොවේ.
ඔහුගේ මෙම ස්ථාවරය, මේ කොලමේ මීට පෙර පෙන්වා දී ඇති පරිදි, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශවලටත් කෙලින්ම පටහැනිව පවතී. එම නිර්දේශ යෝජනා කෙරුණේ වාර්තාවේ පිටු පිරැවීමට නොවේ. හමුදා ව්‍යුහය තුළ තවදුරටත් නොරැඳී සිවිල් අධිකාරියක තත්වයට පොලිස් දෙපාර්තමේන්තුව පත්විය යුතුව ඇතැ යි එම කොමසාරිස්වරුන් යෝජනා කෙළේ ඉතා යහපත් හේතු පෙරදැරිවයි. පොලීසියට ආරෝපණය වී ඇති හමුදා ප‍්‍රතිරූපයෙන් අත්මිදී මහජන ප‍්‍රසාදය දිනා ගැනීම, පොලිසිය තුළ සිවිල් අධිකාරිය යළි ස්ථාපිත කිරීම සහ පොලිසියේ අභ්‍යන්තර විනය පාලනය ප‍්‍රතිසංවිධානය කිරීම වැනි හේතු ඊට පෙරදැරි වූ බවට සැකයක් නැත.
ලොමු දැහැගන්වන දණ්ඩමුක්තිය
පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේ විනය පාලනයක් කොහෙත්ම පාහේ නැති කම, ශ‍්‍රී ලංකාවේ නීතිය හා සාමය පිරිහීම කෙරෙහි ජාත්‍යන්තර අවධානය යොමු වීමට බලපෑ එක් හේතුවකි. 2008 පෙබරවාරි මාසයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පිලිප් ඇල්ස්ටන් එම සභාව හමුවේ, ශ‍්‍රී ලංකා පරිපාලන වාර්තාවක තොරතුරු ඉදිරිපත් කරමින් මේ කරුණු පෙන්වා දුනි:
‘‘දෙපාර්තමේන්තු ඇතුළේ කෙරෙන විනය පරීක්ෂණ මුළුමණින්ම පාහේ ක‍්‍රියාත්මක වන්නේ පහළ ශ්‍රේණිවල නිලධාරීන්ට එරෙහිවයි. පොලීසියේ පහළ නිලධාරීන් විසින් කරනු ලබන වධබන්ධන සහ ඝාතන සම්බන්ධයෙන් ඉහළ නිලධාරීන්, විනයානුකූලව හෝ අපරාධ තලයක දී, වගවීමට බැඳෙන්නේ නැත. එය, දෙපාර්තමේන්තු අභ්‍යන්තර පරීක්ෂණ ක‍්‍රියාවලීන්ට මෙන්ම, බාහිර අධිකරණමය ක‍්‍රියාවලීන්ට ද බලපාන සත්‍යයක් වන්නේය. 2001 දී පොලිස් දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ල කරන ලද දෝෂදර්ශන සම්බන්ධයෙන් සියයට 86 ක්ම වැරදිකරුවන් කොට ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන්ව ය. පොලිස් අධිකාරීවරුන්, සියයට 0.04 ක් පමණි.’’
මේ විශේෂ නියෝජිතයා 2005 දී එම වාර්තාව ලියන අවස්ථාවේ තිබුණු ලංකාවේ තත්වය අද වන විට ඊට වඩා සිය ගුණයකින් උග‍්‍ර වී ඇත. පොලිස් දෙපාර්තමේන්තුව එක පැත්තකින් දේශපාලනීකරණය වීමත්, තවත් පැත්තකින් හමුදාකරණය වීමත් නිසා රටේ ජනයාට ඇති කෙරෙන අහිතකර බලපෑම කොතෙක් ද යත්, අද වන විට, සාමාන්‍ය මිනිසාට පමණක් නොව, ආර්ථික වශයෙන් බලවත් පුද්ගලයන්ට පවා පොලීසියේ මැරවර බලයෙන් නිදහස්ව ජීවත් වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත. ඊටත් වඩා, දණ්ඩමුක්තිය හෙවත් නීතියෙන් ගැලවී නිදහසේ අපරාධ කිරීමට කෙනෙකුට ඇති හැකියාව නිසා මේ තත්වය තවත් දරුණු කෙරේ. යකඩ පොලූ මුගුරු සහ බයිසිකල් චේන් අතැතිව මහ දවල් කැළණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයට කඩාවැදී පහර දුන් කිසි මැරයෙකු මේ දක්වා පොලීසියෙන් අත්අඩංගුවට ගෙන නොතිබීමෙන් පෙනී යන්නේ එයයි. මතුවට ද ඒ සිද්ධිය ගැන සාධාරණ පරීක්ෂණ පැවැත්වෙතැ යි විශ්වාස කළ නොහේ. වඩාත් බියකරු ප‍්‍රවණතාව වන්නේ එයයි. එම සන්දර්භය තුළ, ආරක්ෂක අමාත්‍යාංශය විසින් පොලීසිය කෙරෙහි ඉටු කරතැ යි කියන අධීක්ෂණ කාර්ය භාරයේ සාර්ථකත්වයක් ගැන ලේකම්වරයා කෙසේ නම් වහසි බස් කියන්න ද?
නිහඩව සිටීමේ විනාශකාරී ප‍්‍රතිවිපාක
වසර කිහිපයකට පෙර ව්‍යවස්ථානුකූලව පත්කරන ලද ‘ජාතික පොලිස් කොමිසම’ මගින් පොලිස් දෙපාර්තමේන්තුව විනයගත කිරීමට තැත් කළ අවස්ථාවේ, පොලීසිය (විශ‍්‍රාමික සහ සේවයේ නියුතු බලධාරින්) මෙන්ම, බලය හොබවන දේශපාලඥයෝ ද ඊට බලවත් සේ විරෝධය පෑහ. අනතුරුව, ව්‍යවස්ථා විරෝධී ආකාරයෙන් එම කොමිසමට සාමාජිකයන් පත්කිරීම හරහා එම කොමිසම සතුව එතෙක් පැවති සුපිළිපන් භාවයේ ශ්ලේෂ මාත‍්‍රයක්වත් ඉතිරි නොවන තැනට කටයුතු කෙරිණ. අවසානයේ දී, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමත් සමග, පොලිස් දෙපාර්තමේන්තුව ගැන කෙරෙන මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමට එම කොමිසමට එතෙක් පැවති බලය සරුවපිත්තල ආභරණයක් පමණක් බවට පත්කෙරුණි. පාතාල කල්ලි සහ හමුදා අපරාධකරුවන් සමග අත්වැල් බැඳගෙන සාපරාධී ක‍්‍රියාවන්හි නිරත වන, දේශපාලනික වශයෙන් බලවත් සහ අන්ත දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව කටයුතු කිරීමට මොනම බලයක්වත් අද පවතින ‘ජාතික පොලිස් කොමිසමට’ නැත.
ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා පෙලෙන මායාවට ප‍්‍රතිපක්ෂව වර්තමානයේ සැබෑ තත්වය වන්නේ, සරළ වැදගත්කමේ සිට බරපතල වැදගත්කමකින් යුත් සිදුවීම් දක්වා ක‍්‍රියාත්මක විය යුතුව ඇති රටේ නීතිය හා සාමය පොදුවේ වල්වැදී ඇති බවයි. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට, මේ පාලකයන් විසින් නිර්දය අන්දමින් ‘ජාතික පොලිස් කොමිසමේ’ තටු කපා දමද්දී නිහඩව සිටි රටකට, මෙවැනි වන්දියක් ගෙවන්නට සිදුවීම ස්වභාවිකයි. ගතවන සෑම මොහොතක් පාසාම, ඒ විනාශකාරී ප‍්‍රතිවිපාකවලින් විඳවීමට, අප ඕනෑම කෙනෙකුට සිදුවිය හැකිය. සැබවින්ම, අද පවතින යථාර්ථය වන්නේ එයයි.
කිෂාලි පින්තු ජයවර්ධන |
_________________________________________________________________________________________
2013 ජුනි 16 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Sri Lanka: A haven for Criminals
ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ
June 17, 2013 by Gamini Viyangoda
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance
සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය ලෝකය තුළ පහසුවෙන් අලෙවි කළ හැකි ‘ප‍්‍රවෘත්තියක්’ කිරීමට, අර කියන සිදුවීම් අතර තිබිය යුතු අන්තර් තර්කනය එයින් ඉවත් කළ යුතුය. එම අන්තර් තර්කනය නැති වන තරමට, අර විදිහේ සිදුවීමක් පාදක කරගන්නා ‘ප‍්‍රවෘත්තියක’ වටිනාකම දෙගුණ තෙගුණ වෙයි. ඉස්සර එසේ නොවේ. ප‍්‍රවෘත්ති අගයක් ඇති සුරංගනා කතාවක පවා යම් තර්කනයක් තිබුණි.
සඳ මත මිනිස් ජීවීන් වාසය කරති යි බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු ‘සොයාගත්’ බවට, ඇමරිකාවේ ‘නිව්යෝර්ක් සන්’ පුවත්පත 1835 පළ කළ ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තිය ඊට නිදසුනකි. මේ ප‍්‍රවෘත්තිය ‘සත්‍යයක්’ කිරීමට කරුණු කිහිපයක් අවශ්‍ය කෙළේය. ‘අපේක්ෂාව’ ඉන් පළමුවැන්නයි. පෘථුවියේ හැරුණු කොට, තවත් තැන්වල මිනිස් ජීවීන් ඇති බවට මිනිසුන් තුළ වන අපේක්ෂාව, සාමූහික තනිකම හඟින පොදු මිනිස් විඥානයකට සැපයෙන විමතිමය පැන් පොදක් විය. ඒ අපේක්ෂා සන්තර්පණය සඳහා ඊළඟට ‘විශේෂඥ’ මතයක් එදා අවශ්‍ය කෙළේය. බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල්ගේ නමින් එය ප‍්‍රකාශයට පත්වීම හරහා, ඊට අවශ්‍ය කරන විද්‍යාත්මක බර එම ප‍්‍රවෘත්තියට සැපයුණි. මෙම ප‍්‍රවෘත්තියේ පැවති විශේෂත්වය වුණේ, තමාගේ නමින් මෙවැනි මතයක් ලෝකයේ වෙනත් තැනක පළවී ඇති බවක්, බොහෝ කලක් යන තෙක්මත් ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල් පවා නොදැන සිටීමයි. එනම්, එය මුළුමණින් මාධ්‍ය විසින්ම තිරපිටපත රචනා කොට, අධ්‍යක්ෂණය කරන ලද ‘ස්වාධීන’ නිෂ්පාදනයක් වූ බවයි. එදා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පැවති නොදියුණුව තුළ එය අස්වාභාවික නොවුණි.
ලංකාවේ දේශපාලඥයෙකුට යුරෝපයේ දී එක්නැලිගොඩව හමු වීමේ සිද්ධිය තුළ යම් තර්කයක් තිබිය යුතු යැයි, එය වාර්තා කරන මාධ්‍යවේදියාවත් ඔහුගේ ග‍්‍රාහකයාවත් (පාඨකයා/පේ‍්‍රක්ෂකයා) බරසාරව බලාපොරොත්තු වන්නේ නැත. ප‍්‍රවෘත්තිය නිකුත් වන්නේ දේශපාලඥයෙකුගේ කටින් නම් එය හොඳටම සෑහේ. අද වන විට දෛනිකව ලංකාවේ ප‍්‍රවෘත්ති ‘නිෂ්පාදනය’ කරන්නේ දේශපාලඥයා ය. මාධ්‍යකරුවා එය විකුණා ලාභ ලබයි. ‘සත්‍යය’ එහි දී වැදගත් නැත. ශිෂ්ටත්වය අදාළ නැත.
අතුරුදහන් වීම, ලංකාවේ සුදුවෑන් දේශපාලනය තුළ පරමයකි. පරමයක් යනු, නොවෙනස් වන සහ ආපසු හැරවිය නොහැකි සත්‍යයකි. උදාහරණයක් වශයෙන්, මරණය පරමයකි. ඒ අරුතින් ගත් විට, ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරෙන අතුරුදහන් කැරැවීමේ ප‍්‍රපංචය කාටත් තේරෙන භාෂාවකින් මෙසේ ලියා දැක්විය හැක: ‘ඉස්සුවොත් ඉස්සුවාම ය. ආපසු පැමිණීමක් නැත.’
අනිත් අතට, වර්තමාන පාලනය යනු කණපිට දේශපාලනයක් මතම යැපෙන්නකි. එනම්, සම්මත අර්ථයේ සියල්ල කණපිට හැරවීම එම දේශපාලනයේ ආත්මය වන බවයි. උදාහරණයක් වශයෙන්, මර්වින් සිල්වාට අයත් අමාත්‍යාංශය හඳුන්වන්නේ, ‘මහජන සම්බන්ධතා’ යනුවෙනි. ජනතාව සමග සහෘද ආශ‍්‍රයකට වැඩියෙන්ම ගැලපෙන තැනැත්තා මර්වින් සිල්වා යැයි ජනාධිපතිවරයා විසින්ම තීරණය කිරීම, ‘බුද්ධිමත් ජනතාව’ යැයි මෙතෙක් කල් උඩදැමූ හුරතල් සංකල්පයට දුන් කණේ පහරකි. රට කරවන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෞතම බුදුන් වහන්සේට ඈතින් නෑකම් කියති යි කලාකරුවෙකු කියන විට, කලාවේ ‘ප‍්‍රබන්ධය’ අපට එකපැහැර අවබෝධ වෙයි. මේ සියල්ල ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ අන්තර්-තර්කනයකින් නොව, කණපිට තර්කනයකිනි.
එක්නැලිගොඩ ‘අතුරුදහන් විය’. අද ? මුහුදු ගිය ධිවරයෙකු හෙට ආපසු ගෙදර නාවොත් ඔහු අතුරුදහන් වූ අයෙකු වශයෙන් සැළකේ. එහෙත්, ඔහු මියගොස් ඇති බවක් එයින් අනිවාර්යයෙන් අදහස් නොකෙරේ. උදාහරණයක් වශයෙන්, උපාලි විජේවර්ධන මීට දශක කිහිපයකට පෙර අහසේ දී අතුරුදහන් විය. පළමුව ඔහුගේ ආපසු පැමිණීම පතා බෝධි පුජා පැවැත්වු ජනතාව, අවසානයේ දී ඔහුගේ ඊළඟ භවයට අනුමෝදන් විය හැකි පින් පැමිණවීම් කළහ. එසේ තිබිය දී, මෑතක පළවූ එක් පුවත්පත් වාර්තාවකට අනුව, ඔහු කොහේදෝ රටක සිරගෙයක කල් ගෙවන්නේ ලූ. මේ විදිහටම, අර මුහුදු ගිය ධීවරයා ද ඔස්ටේ‍්‍රලියාවට ගොස් වෙනත් පෙලවහක් කරගෙන ඉන්නවා වන්නටත් බැරි නැත. ‘අතුරුදහන් වීම’ තුළ එකී අනියත භාවය හැම විටකම තිබේ. තවත් විදිහකින් කිවහොත්, අතුරුදහන් වීම ‘පරම’ නැත.
එහෙත් ‘අතුරුදහන් කැරැවීම’ එසේ නොවේ. එය පරමයකි. දැන්, ඉහත සඳහන් කළ කණපිට දේශපාලනයේ හැටියට, මේ ‘අතුරුදහන් කැරැවීම’ තුළ ඇති ඒ පරමත්වය පවා දූෂණය කළ යුතුව ඇත. අතුරුදහන් කැරැවීම, අතුරුදයන් වීමක් බවට පරිවර්තනය කළ හැක්කේ එසේ ය. ඒ සඳහා දක්ෂ දූෂකයන් අවශ්‍ය කෙරේ. මීට කලකට ඉහත දී, එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන බව, එවකට ජනාධිපති උපදේශකයෙකු වශයෙන් සිටි මොහාන් පීරිස් ජාත්‍යන්තර සම්මේලනයක් අමතමින් ලෝකයා ඉදිරියේ ‘හෙළිදරව්’ කෙළේය. ඒ මොහොතේ පටන්, ලෝකයා ඉදිරියේ එක්නැලිගොඩ ‘ජීවත් විය.’ ඊට කලකට පසු, එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ ‘දෙයියෝ තමයි’ යනුවෙන් ලංකාවේ අධිකරණයක් ඉදිරියේ ඔහුම කියා සිටියේය. මෙසේ සීමිත කාලයකට එක්නැලිගොඩට පණ දී, අනතුරුව දෙවියන් පමණක් දන්නා පරලොවකට ඔහුව පිටමං කළ මොහාන් පීරිස් අද අපේ අධිකරණයේ මුල් පුටුව හොබවයි.
එතැන් සිට ප‍්‍රගීත් එක්නැලිගොඩ නැවත වතාවක් නොපවතින පරමයක් බවට පත්විය. කාලය ඉක්ම ගියේය. දැන්, මෙතෙක් නමින් හැඳින නොසිටි අප‍්‍රකට දේශපාලඥයෙක් නැවතත් අර පරමය දූෂණය කිරීම සඳහා ඔසවා තැබෙයි. තට්ටෙ ගාගෙන ජීවමානව සිටි එක්නැලිගොඩව ඔහුට යුරෝපයේ දී හමු වී තිබේ. ඒ, මීට හය මාසයකට කලිනි. එහෙත්, කල් යල් බලා, හෙවත් සතර පෙරනිමිති බලා, ඔහු අපට එය හෙළිකර සිටින්නේ දැන් ය. මේ පුද්ගලයා හරහා අපේ පාලකයන්, නැවතත් එක්නැලිගොඩව ජීවමාන කොට, ඔහුගේ අතුරුදහන් කැරැවීම කණපිට හරවා තිබේ. මේ අළුත් ‘ශුභාරංචිය’ හරහා එක්නැලිගොඩගේ නොපැවැත්මේ පරමය නැවතත් සාහසිකව දූෂණය කිරීම තුළින්, අප‍්‍රකට ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු, ප‍්‍රකට නාමධාරියෙකු වෙමින්, ජාතික දේශපාලන තලයට පිවිසෙයි.
මේ දේශපාලඥයාට අනුව, ඔහුගේ මේ හෙළිදරව්ව දැන ගත් සැණින්, සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාව හමු වී සිය සැමියා ගැන සොයා බැලිය යුතුව තිබූණේ ලූ. නැවතත් අප එළැඹෙන්නේ අර කී කණපිට දේශපාලනයේ ඉසව්වට යි.
එක්නැලිගොඩ යනු, ලංකාව පමණක් නොව, මුළු ලෝකයාම ‘රවටමින්’ ස්වේච්ඡාවෙන් අතුරුදහන් වී සිටින්නෙකි. ඒ අර්ථයෙන් ඔහු ‘අපරාධකරුවෙකි’. එවැනි අපරාධකරුවෙකු දුටු සැණින්, නීතිගරුක පුරවැසියෙකුගේ, විශේෂයෙන් රටක නීති සම්පාදනයේ යෙදෙන මහජන නියෝජිතයෙකුගේ වගකීම විය යුතුව තිබුණේ, ප‍්‍රංශයේ හෝ වෙනත් රටක ඔහු දුටු තැනට නුදුරු පොලිස් ස්ථානයකට ඒ බව දැනුම් දීමයි. ලංකාවේ දී නීති ගරුකත්වය අවමයෙන්ම අපේක්ෂා කළ හැකි වරප‍්‍රසාදිත මිනිස් කොට්ටාසය දේශපාලඥයන් වන නිසා, එවැන්නක් ගැන ඔහුට හීනෙන්වත් සිතෙන්නට නැතුව ඇති.
ලංකාවට පැමිණීමෙන් පසුව පවා ඔහුට ඒ ගැන හදිසියක් නොවුණි. අවුරුදු භාගයක්ම, මේ ‘අපරාධකරුවා’ අල්ලා නොගෙන කාලය කාදැමුණි. කමක් නැහැ, දැන් එම අපරාධකරුවා ඉන්නා තැනක් ගැන හෝඩුවාවක් අපේ පොලීසියට තිබේ. ඒ හෝඩුවාව සපයන මේ සාක්ෂිකරුවා ගෙන්වා වහා පරීක්ෂණ ආරම්භ කිරීම පොලීසියේ වගකීමක් විය යුතුව තිබිය දී, සන්ධ්‍යා එක්නැලිගොඩ කුමක් සඳහා නම්, ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කරන්න ද?
[Image Credit:http://passionparade.blogspot.com/]
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda
ගව ඝාතන නවතනු! අරුන්දික රැක ගනිමු!!
June 16, 2013 by Sunanda Deshapriya
Filed under Colombo, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance
යුග නිර්මාණක ජනමාධ්‍යවේදියකු වූ ඇත්ත පුවත්පතෙහි කර්තෘව සිටි බී.ඒ. සිරිවර්ධන ළකුණ සහිත පුවත් ශිර්ෂ පාඨයක් කළකට පසු දැක ගන්නට ලැබුණේ වෙබ් අවකාශයේ ය. ‘‘ඒ ගව ඝාතන නවතනු, අරුන්දික රැක ගනිමු’’ යන්නයි.
එජාප රජය හදිසි නීතිය යටතේ පුවත්පත් වාරණයක් පණවා ජනමාධ්‍ය මර්දනය කර තිබු වකවානුක ඇත්ත පුවත්පතෙහි කප්පාදු කරන ලද පුවත් නිසා හිස්ව ගිය ඉඩෙහි ‘බල්ලො කෑවා’ යනුවෙන් සදහන් කිරීමට පියවර ගැනුනේ ද කතුවර සිරිවර්ධන යටතේ ය. එසේ පුවත් වාරණය කරන ලද්දේ නිසි බලධාරියා විසිනි. අනෙක් පුවත්පත් එවැනි වාරණයන් සඳහන් කළේ ‘නිසි බලධාරියා විසින් වාරණය කරන ලදී’ කියා ය. මෙම ‘බල්ලො කෑවා’ යන යෙදුම නිසා නිසි බලධාරියා බල්ලකු හා සමාන කර ඇතැයි ඇත්ත පුවත්පතට විරුද්ධව චෝදනාවක් ඉදිරිපත් විය. කතුවර සිරිවර්ධන තර්ක කළේ බල්ලන්ගේ කාරිය බලා ගැනීම බැවින් යනු බල්ලො කෑවා යන්න ‘බලන්නන් විසින් කා දමන ලදී’ ලෙස ද අර්ථ දැක්විය හැකි බවයි.
ගවයා යනු හරකා බැවින් ද හරක් වැඩ යනු ගොන් නොහොත් මෝඩ වැඩ යැයි සැළකෙන නිසා ද ගව ඝාතන නතර කරනු යන්නෙන් මෝඩ වැඩ ඝාතනය නොකළ යුතු යැයි අදහස් වන්නේ යැයි අපට කතුවර සිරිවර්ධන අනුව යමින් තර්ක කළ හැකිය. මන්ද යත් මෙම ශීර්ෂ පාඨයෙන් ව්‍යංගයෙන් කියැවෙන්නේ අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ හරක් නොහොත් මෝඩ කතා බව නිසා ය. හරකා උනාට උම්බෑ කියන්න එපා යැයි යන කියමනෙහි ද හරකා යනුවෙන් අදහස් වන්නේ මෝඩ මිනිසෙකි.
ඡායාරෑපය, අරුන්දික ප්‍රනාන්දු සිරස රෑපවාහිනිය සමග ප්‍රගීත් ගැන කරන ලද සකච්ඡාවේ වීඩියෝවෙන් ලබාගත් Screen Shot එකකි.
අරුන්දික ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයක් පට්ටපල් බොරුවක් වුවද එය මෝඩ කතාවක් යැයි කීවොත් ශ‍්‍රී ලංකාවේ පවත්නා කැකිල්ලේ නීතිය අනුව අප දඟගෙට යැවිය යුතු යැයි දශ ලක්ෂයක පෙත්සමක් අත්සන් කරන්නට වුවද බැරි නැත. එබැවින් ආරම්භයේ දීම කියා සිටිය යුත්තේ මෙහිලා මෝඩ කතාවක් ලෙස සඳහන් කැරෙන්නේ පාර්ලිමේන්තුවේදී කළ කතාව නොව වෙනත් ජනමාධ්‍ය හමුවෙහි අරුන්දික ප‍්‍රනාන්දු විසින් කරන ලද ගොන් කතා බව ය. පාර්ලිමේන්තුවෙහි දී කළ ඒ රටක් වටිනා කතාව ආරක්ෂා කිරීම කතානායක රාජපක්ෂට බාර කරමු.
අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ ‘සුනන්ද දේශප‍්‍රිය ජිනීවා හි ශ‍්‍රී ලංකා දේශප්‍රෙමී උද්ඝෝෂණයක් කඩා කප්පල් කිරීමට’ තලප්පාවක් බැඳගෙන ආ බවය. 2009 වසරේදී ශ‍්‍රී ලංකාවෙන් පිටවී මෙහි පැමිණීමෙන් පසු මා කවදාකවත් තලප්පාවක් බැඳ නැත. එම ප‍්‍රකාශය බොරුවක් පමණක් නොව ගොන් කතාවකි. ගොන් කතාවක් වන්නේ තමන්ට සනාථ කිරීමට නොහැකි කතාවක් වන නිසා ය. සිංහල උපහැරණයෙන් කියන්නේ නම් උම්බෑ කීමකි. මෙම කියන සිදුවීමෙහි දී ගන්නා ලද මගේ ජායාරුප ශ‍්‍රී ලංකාවේ පුවත් පතක පළ විය. (එම සිදුවීම පිලිබඳව මා විසින් පවරන ලද නඩු විභාගයක් ඇති බැවින් ඒ පිළිබඳව වැඩි දුර නොලියමි) එම ජායාරූප සැළකිල්ලෙන් බලන ඕනෑම අයෙකුට පෙනී යනු ඇත්තේ මා පැළද සිටන්නේ සීතලට පළදින හිස් වැස්මක් මිස තලප්පාවක් නොවන බවය. තලප්පාවක් සහ හිස්වැස්මක වෙනස නොදන්නා මිනාසකුට කිව හැකි විශේෂනය කුමක්දැයි තීරණය කිරීම පාඨකයිනට පවරමි.
එම සිදුවීම සම්බන්ධයෙන්ම අරුන්දික ප‍්‍රනාන්දු තවත් අඥාන නොහොත් ගොන් ප‍්‍රකාශයක් කරයි. එනම් එම අවස්ථාවේදී මා සමඟ හිස බූ ගෑ නූස් පුද්ගලයකු සිටි බවත් ඒ අතුරුදහන්ව සිටින ජනමාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ බවත් ය. යළිත් වතාවක් පෙර කී ජායාරුප විමසා බලන ඕනෑම අයෙකුට පෙනී යනු ඇත්තේ එහි මා සිටින්නේ තනිවම බව ය. එහි දී එල්ල වූ තර්ජන නිසා ජිනීවා පොලීසිය ආරක්ෂාව පිණිස මා ඉවතට කැඳවා යන ජායාරුප ද ඒ අතර වේ. එම ජායාරූපයන්හි මා සිටින්නේ ද තනිව ම ය. මෙම සිදුවීම රජයේ රූපවාහිනී ආයතන විසින් ද ප‍්‍රචාරය කරන ලද නමුත් ඒ කිසිම අවස්ථාවක අරුන්දික ප‍්‍රනාන්දු කියන නූස් හිස බූ ගෑ අද්භූත පුද්ගලයා ගැන චවනයක්වත් කියැවුනේ නැත. දැන් හදිසියේ ම අරුන්දික ප‍්‍රනාන්දු මෙම පුද්ගලයා මා සමඟ සිටි බව සොයා ගෙන තිබෙන්නේ කෙසේ ද? හීනයක්වත් දැකලා ද? මේ වනාහී හරක් කතා නොවේ නම් බූරු කතා විය යුතු ය.
එපමණක් නොවේ. අරුන්දික ප‍්‍රනාන්දු කියන්නේ ප‍්‍රගීත් එක්නැළිගොඩ සැඟවී රහසේ යුරෝපයේ ජීවත්වන බවය. එවැනි රහසේ ජීවත්වන පුද්ගලයකු රාජපාක්ෂික පිරිස් විසින් පවත්වන උද්ඝෝෂනයක් ඉදිරිපිටට එනු ඇතැයි කල්පනා කරන්නේ මොන මෝඩයා ද? එපමණක් නොව මෙවැනි උද්ඝෝෂණයන්ට එන බොහෝ දෙනෙකු ලෙහෙසියෙන් හඳුනා ගන්නා මා වැනි අයකු සමඟ ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිටට ප‍්‍රගීත් එක්නැළිගොඩ හිස බූ ගා ගෙන එනු ඇතැයි සිතිය හැක්කේ මෝඩයෙකුට හැර වෙන කවරකුට ද? මෙම සිදුවීම ඇති වූ 2012 මාර්තු මාසයේ මානව හිමිකම් කවුන්සිලයේ ශ‍්‍රී ලංකාව පිළිබඳ සාකච්ජා වාර්තාකරණය පිණිස සියයකට ආසන්න රාජපාක්ෂික ජනාමාධ්‍යකරුවන් ද කැඳවා තිබණි. එවැනි පිරිසක් සැරි සරන ජිනීවා වැනි කුඩා නගරයකට සැඟවී ජීවත්වන ජනමාධ්‍යවේදියකු පැමිණෙනු ඇත් ද? හරකා උනාට උම්බෑ කියන්න එපා යැයි සිංහලයෙන් කියන්නේ මෙවැනි කතා වලට ය.
මෝඩකමට සීමාවක් නැත. අරුන්දික ප‍්‍රනාන්දු පෙන්වන්නේ ඒ කියමනේ ඇති ඇත්ත ය. මෙළෙස මා සමඟ ප‍්‍රගීත් එක්නැළිගොඩ ජිනීවා හි දුටුවේ යැයි එම සිදුවීමෙන් මාස 14කට පසුව ඇදබාන අරුන්දික ප‍්‍රනාන්දුට එක කරුණක් අමතක වී තිබේ. එනම් එම මාර්තු මාසයේ දී අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා ද ජිනීවා හි සිටි බව ය. ඇය මානව හිමිකම් කවුන්සිලයේ එම 19 වන සැසිවාරයේ පැවැති සමාන්තර රැස්වීමක කතා කළා ය. ඇයගේ කතාව සිංහලට පරිවර්ථනය කරන ලද්දේ මා විසිනි. මේ කරුණූ දැන සිටියා නම් බේගලය තවත් රවුම් කිරීමට අරුන්දික ප‍්‍රනාන්දුට හැකි වන්නට තිබුණි. නමුත් ඔහු එවැනි කිසිවක් කීවේ නැත.
මා හැදි වැඩුනු අම්බලන්ගොඩ පචවිලි මාමා යැයි ජනප‍්‍රවාද ගත බේගල් කතාකරුවකු සිටී. ඔහු බේගල් ඇද බෑවේ කෛරාටිකමට නොව හාස්‍යට ය. බේගල්කරුවකුගේ ලක්ෂණය නම් එක් බොරුවක් වැසීමට තවත් බොරුවක් කීම යි. දේශපාලන පචවිලි මාමා කෙනෙකු වන අරුන්දික ප‍්‍රනාන්දු ද එසේ ය. ඔහු කියන තවත් ගල් පැලෙන බොරුවක් නම් අතුරුදහන් වූ බව කියන තවත් ජනමාධ්‍යවේදීන් මෙළෙස සැඟවී යුරෝපයේ ජීවත්වන බව යි. ඒ ඔහුගේ පවය ලොකු කිරීමට ය. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් කී දෙනෙකු අතුරුදහන් වී ඇතැයි වාර්තා වී තිබේ දැයි මෙම පචවිලි මාමා දන්නේ නැත. ප‍්‍රගීත් හැරුණු විට පසුගිය කාලයෙහි අතුරුදහන් වූ බවට වාර්තා වී ඇත්තේ එක් ජනමාධ්‍යවේදියකු පමණි. ඒ 2007 වර්ශයේ පෙබරවාරි 15 දින යාපනයේ දී අරුදහන් වූ සුබ‍්‍රමනියම් රාමචන්ද්‍රන් ය. ප‍්‍රශ්ණ කිරීමට යුද හමුදා මුර පොළක රඳවා ගත් බවට වාර්තා වීමෙන් පසු ඔහු යළි දකින්නට ලැබුණේ නැත. එළෙස තිබිය දී අතුරුදහන් වූ බව කියන ජනමාධ්‍යවේදින් ගණනාවක් යුරෝපයේ සැඟවී ජිවත් වන බව කීම පචයක් ද? මෝඩ කතාවක් ද? බූරු කමක් ද?
මංජුල වෙඩිවර්ධන සමඟ ප‍්‍රගීත් තමා හමුවට ආවේ යැයි කියන අරුන්දික බේගලයට මංජුල සජීවීවම පිළිතුරු දී දුන්නේ අරුන්දික ප‍්‍රනාන්දු අභියස ම ය. ඊට පිළිතුරු වශයෙන් පචවිලි මාමා තවත් බේගලයක් අතේ රෝල් කළේ ය. එනම් මංජුල ප‍්‍රංශයේ ජීවත් වන්නේ රහසේ බැවින් ඔහුට මෙය පිළිගැනීමට දුෂ්කර යැයි කියා ය. එළෙස රහසින් ජීවත්වන අයකු කවි ලියා පළ කරනු ඇත් ද? ප‍්‍රසිද්ධියේ දේශපාලන ක‍්‍රියාකාරීන් සමඟ සාකච්ජා කොට ලිපි ලියනු ඇති ද? අප කිසිවකු ජීවත්වන්නේ රහසේ නොවේ.
ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ එක් දර්ශකයක් වන්නේ ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම සහ ජනමාධ්‍ය ආයතනයන්ට ප‍්‍රහාරයන් එල්ල කිරීම පිළිබඳ පරීක්ෂනයන් පවත්වා වරදකරුවන්ට දඩුවම් කිරීම ය. ප‍්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම ඒ අතර එක් සිදුවීමක් පමණි. අරුන්දික වර්ගයේ බේගල්කරුවන් ලවා සනාථ කළ නොහැකි අතේ රෝල් බව බැලූ බැල්මටම පෙනී යන මුසාවාද තෙපලවීමෙන් මාධ්‍ය මර්දනයේ යතාර්ථය වසන් කළ නොහැක.
අවසාන වශයෙන් ද කිව යුත්තේ හරක් වුනාට උම්බෑ ගාන්න එපා කියා ය.
(මෙම ලිපියෙන් ගවයිනට අපහාස කිරීමට අදහස් නොකළ බව සළකන්න)
සුනන්ද දේශප‍්‍රිය | Sunanda Deshapriya
අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම
June 14, 2013 by Manjula Wediwardhana
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance
අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත් මිත‍්‍රකම් කළින් සැළසුම් කළ හැකිය. අරුන්දික ප‍්‍රනාන්දු කිසිමදාක මගේ මිතුරෙකු නො වන්නේ එබැවිනි. දැනහැඳුනුම්කමක් මෙසේ මිත‍්‍රකමක් ලෙස දක්වීමට සහ ඒ හරහා රටේ මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල ප‍්‍රමුඛ සිද්ධියක් මුළුමනින් ම අසත්‍ය ප‍්‍රබන්ධයක් බවට පත්කිරීමට අරුන්දික ප‍්‍රනාන්දු ගන්නා නින්දිත උත්සාහය මම පළමුකොටම පිළිකුල්සහගතව හෙළා දකිමි. එසේම ඔහුගේ මනංකල්පික සිද්ධියට අමනෝඥ ලෙස මා ඇඳා තිබීම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමි. ප‍්‍රජතන්ත‍්‍රවිරෝධී වත්මන් මිනීමරු ආණ්ඩුවේ සීමා රහිත ප‍්‍රබන්ධ අතරේ වන තවත් ප‍්‍රබන්ධයක රගපාන්නට බැරි නළුවකුගේ තත්වයට අරුන්දික ප‍්‍රනාන්දු පත්ව ඇත. මිත‍්‍රකම් නිර්මාණය වීමට හේතු තිබේ. මිත‍්‍රත්වයන් ගොඩනැෙ`ගන්නේ මූලධාර්මික කාරණා, ජීවන දර්ශනයේ සමාන්තරකම් , රුචි අරුචිකම් ආදී ලකුණු මත ය. නමුත් අරුන්දික යනු ඉතිහාසයේ කිසිම දවසක මා සම`ග මිත‍්‍රකමක් ගොඩනැගීමට අවශ්‍ය කිසිදු සුදුසුකමක් සපුරා ඇත්තෙකු නොවේ. ඒ බැව් ඔහුගේ පාදඩ දේශපාලන භාවිතය නිරීක්ෂණයෙන් පමණක් වුව පැහැදිලි කර ගැනීමට පිළිවන.
වත්මන් මිනීමරු ආණ්ඩුව පැහැදිලව වගකිවයුතු ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීමට නිෂ්චිත පිළිතුරක් නොදී, විවිධ කවටයන් යොදමින් ‘ප‍්‍රගීත් ඉන්නවා’ යැයි පවසන්නට ආණුඩව මෙ තරම්ම වලිකන්නේ ඇයි?
ප‍්‍රගීත් එක්නැලිගොඩගේ මාධ්‍යභාවිතයට ඉතිහාසයක් ඇත. ඔහු අවසන් වරට සිදුකළ ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය මැදිහත් වීම් මත පමණක් ඔහුගේ භාවිතය රඳා පවතින්නේ නැත. ශ‍්‍රී ලාංකීය ජනසමාජයේ සංස්කෘතික කතාකාවට අතිශයින් සාධනීය මැදිහත් වීමක් කරමින් 80 දශකයේ ප‍්‍රකාශිත මාවත සගරාව දක්වා ඔහුගේ මාධ්‍ය ඉතිහාසය ගොඩ නැගී ඇති බැවිනි. එ බැවින් ඔහු වනාහී ගිරා පෝතකයකු නොව සමාජ විග‍්‍රහයක් සහිත මාධ්‍යවේදියකු හා සමාජ ක‍්‍රීයාකාරිකයකු බව අප වටහා ගත යුතු ය. ආණ්ඩව සමග ඍජුවම සම්බන්ධවන කුලී ලියන්නන් මෙන්ම ඒ බව සගවා ගනිමින් එකී කාර්යයේම නිරතවෙන මාධ්‍යවේදින් යැයි හඳුන්වා ගන්නා සියල්ලන් අවශ්‍යයෙන්ම අතහැර දමන ඉතිහාසය එයයි.
කෙසේ වුවද ඔහු අතුරුදහන් කිරීමෙන් පසු ආණ්ඩුවට ගැළවී හෝ ම`ග හැර දමා සිටිය හැකි දහස් ගණන්ක් සිද්ධි අතරේ වන තවත් එක් සිද්ධියක් නොවුණේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ තම සැමියා වෙනුවෙන්ද, දරුවන් දෙදෙනා තම පියා වෙනුවෙන්ද අඛන්ඩව අනිකුත් මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන හා විපක්ෂයේ සියලූ දේශපාලන සංවිධාන සමග එක්වී සටන් ක‍්‍රියා මාර්ග ගැනීම හේ තුවෙනි. එය අනවරත අරගලයක් මෙනි. එ බැවින් තවමත් ප‍්‍රගීත් සජීවි පුද්ලගයෙකු ලෙස සමාජය තුළ රඳවා ගැනීමට මෙම ප‍්‍රයත්නය පැහැදිලිවම සමත් වී තිබුණි. අප පවා එම අරගලයට දායක වූ අතර ප‍්‍රගීත් අතුරුදහන් කර දෙසිය වැනි දිනයේ පැවති සම්මන්ත‍්‍රණයේදී සන්්‍යා විසින් කියවන ලද්දේ මා විසින් ලියන ලද කවියකි. එළි දැක්වීමට නියමිත ප‍්‍රගීත් පිළිබඳ අලූත් කෘතියේ ද මා විසින් ලියැවුණු වෙනත් රචනාවක් වේ. කෙසේ හෝ සියල්ලන්ගේම මැදිහත්වීමෙන් අඛන්ඩව සිද්ධ වෙමින් පැවතියේ මෙම සිද්ධිය දිගින් දිගට ම ජාත්‍යන්තරයේ සංවාදයට බඳුන් වීමයි. සන්ධ්‍යා හා දරු දෙදෙනාද, ඔවුන් වටේ සිටින සියලූම දෙනා හා සංවිධාන ද නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ නම් ප‍්‍රගීත් පිළිබඳ මතකය මෙසේ අදටත් ජීවමානව නොපවතිනවා සේ ම ප‍්‍රගීත්ගේ සිද්ධිය මෙතරම් දුරදිග ගෙනයන්නට ආණුඩවට ද වුවමනා නොවනු ඇත.
ප‍්‍රගීත් පිළිබඳ මුලින්ම අරුන්දික පන්නයේ ප‍්‍රකාශයක් කළේ එවක ආණ්ඩුවේ මාධ්‍ය කටහඬ වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. ඔහු පවසා සිටියේ ප‍්‍රගීත් සිටින බවත් ඔහුව අද හෙට ඉදිරිපත් කිරීමට කියමිත බවත් ය. ඔහුගේ ආයෝජනයට කෘතගුණ සැළකූ ආණ්ඩුව විසින් ඔහුගේ තත්වය ආයෝජන ප‍්‍රවර්ධන කැබිනට් අමාත්‍යධූරය දක්වා ප‍්‍රවර්ධනය කෙරුණි.
ඉන් අනතුරුව නීතිපති මොහාන් සිල්වා ජිනීවාහී එක්සත් ජාතීන්ගේ වදහහිංසවටන්ට එරෙහි කමිටුවේ 2011 නොවැම්බර් සැසිවාරයේ දී පැවසූයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ වෙනත් රටක දේශපාලන රැකවරණ ලබා සිටිනා බව ය. ජාත්‍යන්තරයට එසේ කී මොහාන් පීරිස් ශ‍්‍රී ලංකාවේ අධිකරණයට පවසා සිටියේ ප‍්‍රගීත් ඉන්නා තැනක් දන්නේ දෙවියන් පමණක් බවයි. නිර්ලජ්ජිත ආණ්ඩුවක් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ එවන් බේගලයක් කීමට අවදානමක් ගැනීමේ නින්දිත, නීච ක‍්‍රියාවට කෘතගුණ සැළකීමක් ලෙස ආණ්ඩුවෙන් ඔහුට පිරිනැමුණේ සමස්ථ අධිකරණ දේහයේ ම අග‍්‍රවිනිශ්චයකාර තනතුර ය.
ප‍්‍රගීත් සම්බන්ධයෙන් ම මෙවන් බොරුවකට සම්මාදම් වීම නිසා තමන්ටත් එවන් දොළ පිදේනියක් ලැබෙන්නට පිළිවනැයි අරුන්දික මන්ත‍්‍රිවරයා හිතනවා වන්නට ඇත. අද හෙටම නියෝජ්‍ය අමාත්‍යධූරයක දිවුරුදීමට ඔහු සිහින දකිනවා වන්නට පිළිවන. අවම වශයෙන් අධීක්ෂණ මන්ත‍්‍රීධූරයක්වත් ලබා ගැනීම ඔහුගේ උත්සාහය වන්නට පිළිවන. සියලූම විෂයයන් ‘සීනි කිරීම’ දක්වාම බෙදා ඇති බැවින් ඒ සඳහා විෂයයක් සොයා ගැනීම අතිශයින් බැ?රුම් කාර්යයක් වන්නට පිළිවන. ‘දැන හැඳුනුම්කම් අලූත්වැඩියා කිරීම’ හෝ ‘අතුරුදහන් වූවන් සොයා දීම’ වැනි විෂයක් යටතේ නව අමත්‍යංශයක් පිහිටුවා එය ඔහුට බාර දීමට ඉඩ ඇති බවට ඔහුගේ ටිකිරි මොළයට දැනෙනවා වන්නටද පිළිවන.
මෙහි වඩාත් උත්ප‍්‍රාසාත්මක කරුණ වන්නේ මෙම ප‍්‍රකාශය නිසා ප‍්‍රගීත් පිළිබඳ සිද්ධියේ මේ මොහොතේදී ප‍්‍රගීත්ටත් වඩා ගොදුර බවට පත්ව ඇත්තේ අරුන්දික මන්ත‍්‍රීවරයා වීම ය. මේ බව ජනාධිපතිවරයා ඇතුළු සියල්ලන්ම දන්නා කරුණකි. එය නොදැන සිටින්නෙකු වේ නම් ඒ අරුන්දිකම පමණි. කලින් වතා වලදී මෙන් ලක්ෂ්මන් යාපා හා මොහාන් පීරිස් බඳු කිසියම් ම හෝ විශ්වාසනීයත්වයක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු මේ වන විට ආණ්ඩුවට ආණ්ඩුව තුළින්ම සොයා ගත නොහැකි වීමෙන් අරුන්දික ප‍්‍රනාන්දු බඳු රජවාසල කවට කේවට්ටයන් යොදා ගැනීමට සිදුවීමෙන් ආණ්ඩුවට සිය තාවකාලික අරමුණ පවා සාක්ෂාත් කර ගැනීමට නො හැකි වි ඇත.
අරුන්දිකගේ මෙම සැළසුම්සහගත නෙයියාඩගම තුළ පිළිතුරු දියයුතු කිසිවක් නැත. එය මුළුමනින්ම මනංකල්පිතයක් වන බැවිනි. ප‍්‍රංශයේ දී කිසිදු දිනෙක අරුන්දික ප‍්‍රනාන්දු නැමැත්තා මට හමුවී නැත. ඔහු එකම එක් වතාවක් ප‍්‍රංශයට පැමිණ මා ද හඳුනන වෙනත් පුද්ගලයකුගේ දුරකතනයකින් මා හට කතාකළේ ය. ඒ මෙයින් වසරකුත් මාස 3කට පෙර 2012 මාර්තු මාසයේ ජිනිවාහි පැවති එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පසු ඊට ආසන්න දිනයක ය. එදා මා හමුවන්නට ඔහු කැමැති බව දුරකතනයෙන් කියා සිටියත් ඔහු හමුවීමට මට කිසිදු හේතුවක් හෝ අවශ්‍යතාවක් නොතිබූ බැවින් අප අතර හමුවීමක් සිදු නොවිණි.
එහෙත් For the sake of argument යන පදනම පමණක් මත මා ප‍්‍රශ්න කිහිපයක් හෝ මතු කිරීම ඔහුගේ සංතෘෂ්ටියට හේතු වනු ඇත.
මා මේ නගන ප‍්‍රශ්න වලට මවිසින් උත්තර දෙනු ලැබීම අවශ්‍ය නොවන්නේ අරුන්දිකට මා හමුවූවාට, මට ඔහු හමුවී නැති බැවිනි. එහෙත් අරුන්දික මේවාට මට නොව රට හමුවේ පිළිතුරු දිය යුතු ය. මන්දයත් අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් හා පිටුවහලේ සිටින මා ද ඇතුළත් සිද්ධියක් ඔහුට අත්විඳින්නට සිදුවී ඇති බැවිනි.
1 ඔහු පවසන්නේ ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දී මා හමුවූයේ 2013 ජනවාරි 09 වැනිදා රාත‍්‍රීයේ බව ය. එදින ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කීයටද, කවරකුගේ දුරකථනයෙන් ද යන්න ප‍්‍රකාශ කළ යුතු ය. (සන්ධ්‍යාට කියන්නා සේ කතා කිරීමට ස්කයිප් බඳු වෙනත් මාර්ග ඇතැයි නොකියන්නේ නම් බෙහෙවින් කාතඥ වෙමු.) එවිට ඔහු එවැනි දුරක තන ඇමතුමක් මට ලබාදුන්නාද නැතිනම් එය ඔහු ගේ ප‍්‍රබන්ධයක් ද යන්න ඔප්පු කර පෙන්විය හැකි ය.
2 අරුන්දික පවසන්නේ අප හමුවීමට මිලංක නම් පුද්ගලයා සමග Out of Paris හි කිසියම් ස්ථානයකට පැමිණි බවයි. ඔවුන්ගේ දැනුම වැදගත් විය හැකි බැවින් එය මේසේ හඳුන්වා දීමට අපට හැකි ය. පැරිස් නම් වන කේන්ද්‍ර නගරය පරිපාලනයේ පහසුව සඳහා Arrondisment නම් වන දිස්ත‍්‍රීක්ක වශයෙන් සැළකිය හැකි පරිපාලන ඒකක 20කට බෙදා ඇත. Out of Paris යනුවෙන් හඳුන්වන්නේ මේ ඒකක 20ට පිටතින් පවතින් ප‍්‍රංශ දූපත (Ile- de- France) යන කළාපයට ඇතුළත් සෙසු ප‍්‍රදේශ වලට ය. මා සිටියේ යැයි පැවසෙන අරුන්දික නොදන්නා, ඔහුගේ අනුගාමිකයා දන්නා ආසන්නම නගරය කුමක්ද?
3 ඔහු මා හමුවන්නට රැගෙන ආවායැයි කියන මිලංක නැමැති පුද්ගලයා මගේ සොයා බැලීම් වලට අනුව පැරිසියේ වෙසෙන දේශපාලනය ගැන මුං ඇටයක තරම්වත් දෙයක් නොදන්නා කැපුවත් නිල් පන්නයේ කිසිදු විචාරශීලීභාවයක් නැති නිල් බලකා මුහුණුවරක් සහිත අලූත් ශ‍්‍රීලංකාකාරයෙකි (SLFP). ඒ බැව් පැරිසියේ වෙසෙන ශ‍්‍රීපනිප ක‍්‍රියාකාරීන්ගෙන් විමසා දැන ගත හැකි ය. මේ පුද්ගලයා අරුන්දිකගේ මිතුරෙක්ද? මිත‍්‍රයෙක් නම් ඒ මිත‍්‍රකම කවර පදනමකින් පවතින්නක්ද? එහි ඉතිහාසය කුමක්ද? මේ මිත‍්‍ර මිලංක ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරිකයෙක්ද? නැද්ද? මේ පුද්ගලයා නිවාඩුවකට ශ‍්‍රී ලංකාවට ගියාද? නිවාඩුවකට ගියා නම් ඒ කවදා සිටද? නොඑසේ නම් අරුන්දික ඉතුත් ජූනි 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ඓතිහාසික අමනෝඥ ප‍්‍රකාශයෙන් පසු ක්ෂණිකව ලංකාවට ගෙන්වා ගත්තාද? නැද්ද?
4 අරුන්දික අවම වශයෙන් මා හමුවීමට එනවිට අදාල ස්ථාන නාමය නොදැන ආවා යැයි සිතූවද මා ප‍්‍රගීත් එක්නැලිගොඩ යැයි කෙනෙකු පෙන්වා දුන් පසුත් ස්ථානය මතක තබා ගැනීමට ක‍්‍රියා නොකළේ ඇයි?
5 ප‍්‍රගීත් එක්නැලිිගොඩ යනු ශ‍්‍රී ලංකාවේ රජයට මහත් බලපෑමක් ඇති සිද්ධියක කතා නායකයා ය. එවන් කෙනෙකු මා පෙන්වූයේ නම් ඒ මොහාතේ ම පැරිස් නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීම මහජන නියෝජිතයකු වන ඔහු ගේ අනුල්ලංඝනීය වගකීමකි. එසේ කළේ ද? ඒ පිළිබඳ සාක්ෂි මොනවාද? ඒ සම්බන්ධයෙන් මාස හයකට පසු එම තානාපති කාර්යාලය ගෙන ඇති පියවරයන් මොනවාද? මන්ත‍්‍රීවරයා එසේ තානාපති කාර්යාලයට පැමිණිලි නොකළේ නම් ඒ ඇයි?
6 එසේ ම ඔහු ශ‍්‍රීලනිපය නියෝජනය කරන මහජන නියෝජිතයකු වශයෙන් පැරිස් නගරයේ ඇති ශ‍්‍රීලනිප පැරිස් ශාඛාවේ නිළධාරීන් දැනුවත් කළ යුතු ය. එසේ කළේද? කවුරුන් හමුවේද? එම ශාඛාව මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද? එවැනි දැනුවත් කිරීමක් සිදු නොකළේ නම් ඒ ඇයි?
7 ශ‍්‍රී ලංකාවේ ‘අදාළ අංශවලට’ මේ පිළිබඳව තමන් දැනුම් දුන්බව මන්ත‍්‍රීවරයා කියයි. ඒ ‘අදාළ අංශ’ මොනවාද? එසේ දැනුම් දුන්බවට ඇති සාක්කි මොනවාද? ඒ ඒ ‘අදාළ අංශ’ මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග කවරේද? ඒවායේ ප‍්‍රගතිය කුමක්ද?
8 මේ පියවරයන් කිසිවක් නොගත්තේ නම් වගකිවයුතු මන්ත‍්‍රීවරයකු වශයෙන් ඔහු මාස හයක් තිස්සේ මෙය වසන් කරගෙන සිටියේ ඇයි? පසුගිය මාර්තුවේ එනම් අරුන්දික ප‍්‍රනාන්දු දැන් එළිකරන හමුවීමෙන් මාස තුනක් ගියතැන පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ද ප‍්‍රගීත් ගේ අතුරුදන් කිරීම ගැන ප‍්‍රශ්නය සාකච්ඡුාවට බඳුන් වූ අතර, එය එවර ද ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අවාසියට පැවැති එක් ප‍්‍රමුඛ කාරණයක් විය. මෙතරම් වැදගත් සමුළුවක දී, එහි විමසීමට භාජනය වන ප‍්‍රමුඛ සිද්ධියක් ගැන මෙතරම් වැදගත් සාක්ෂ්‍යක් ළඟ තබාගෙනත් මන්ත‍්‍රීවරයා හෝ ආණ්ඩුව ඒ ගැන කටේ කෙලපොදක් ජිනීවාහි දී බිම නොහෙලූවේ ඇයි?
9 ප‍්‍රංශය හෝ පැරිසිය ගැන කිසිවක් නොදන්නා බව අගවන්නට අරුන්දික තැත් කරයි. එහෙත් ඔහුට ප‍්‍රංශය අලූත් තැනක් නොවේ. එබැවින් ඔහුගේ දෙමාපියන් පැරිසියේ ස්ථිර පදිංචියට පැමිණ ඇත්තේ කවරදාකදැයි ඔහු කිව යුතු ය. ඔහු මෙතෙක් කී වතාවක් ප‍්‍රංශයට පැමිණ තිබේද?
10 දෙමාපියන්ට අමතරව ඔහුට ප‍්‍රංශයේ වෙනත් ඥාතිවරු සිටිත්ද? සිටී නම් ඒ කවුරුන්ද?
11 මිලංක යන්නාගේ නමට අමතරව ඔහු තව නම් දෙකක් මේ සිද්ධියට ඈඳා ගනියි. පළමුවැන්න කර්නල් නිලංග ය. කර්නල් නිලංග යනුවෙන් ඔහු හඳුන්වන හමුදා නිලධාරියා නිලංග ප‍්‍රනාන්දු නම් ඔහු මා පංතියේ සිටි ශීෂ්‍යයෙකි. මතකයට අනුව නිලංග අරුන්දිකගේ පංතියේ සිටියකු නොවේ. පාසැලෙන් නික්ම යාමෙන් පසු මා නිලංග පළමුවරට හා අවසාන වරට දුටුවේ එකම දිනයකදී ය. වසර 15කට පමණ ඉහත පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර වාර්ෂික සීමිත ඕවර කි‍්‍රකට් තරගයකින් පසුව ය. එවක ඔහු ලූතිනන්වරයෙකු හෝ කපිතාන්වරයෙකු වන්නට ඇත. නමුත් මේ සිද්ධියෙන් පසු නැවතත් ඔහු හා මා අතර කිසිදු සමබන්ධතාවයක් පැවතී නැත. එබඳු අවශ්‍යතාවක් මා තුළ පැවතියේ නැත. ඔහුටද එසේ වන්නට පිළිවන. මෙකී හමුවීමට අමතරව අවම වශයෙන් එක්වතාවක් හෝ මා හා නිලංග මුණ ගැසී හෝ අවම වශයෙක් කතා කර හෝ ඇත්දැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?
12 අරුන්දික සඳහන් කරන අනෙක් නම අසේල ය. ඔහු මේ පවසන්නේ අසේල ඩයස් ගැන නම් ඔහු අපට වඩා වසර පන්ති දෙකකින් පහළ සිටි අප පාසලේම චණ්ඩිපහේ ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයා ඇතුළු කණ්ඩායමෙන් අරුන්දික විවිධ අඩන්තේට්ටම් විඳ ඇත. එහෙත් අරුන්දික තමා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත්වූ විගස මෙම අසේල ඩයස් තමන්ගේ ලේකම්වරයෙකු ලෙස බඳවාගෙන තිබුණි. නමුත් මෙම අසේල ඩයස් හා මා අතර කිසියම්ම හෝ සම්බන්ධයක් පාසල තුළ හෝ පාසලෙන් ඉවත්වීමෙන් පසු ඉන් පිටත පැවති යැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?
13 කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලය ප‍්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කිසිඳු තොරතුරක් තම රජය සතුව නැතැයි නිල වශයෙන් ප‍්‍රකාශකර සිටියදී පවා පැරිසියේ පිහිටි සිංහල සංගම් සියල්ලක්ම ප‍්‍රගීත් ප‍්‍රංශයේ ජීවත් වන බව තහවුරු කරන්නේය යි අරුන්දික පවසයි. ඒ කුමන සංගම්ද යන්න හා සාමාජිකයන් සියල්ලන්ම නොවුණත් අවම වශයෙන් ප‍්‍රගීත් ගැන දන්නා මෙම සංගම්හි ප‍්‍රමුඛ නිළධාරීන්ව නම් කරලීමට අරුන්දික ක‍්‍රීයා කළ යුතු ය. එසේ කිරීමට ඔහුට හැකිද?
14 ප‍්‍රගීත් ප‍්‍රංශයේ ඉන්නා බවට කරන ලද මේ ‘අඩ වසරක් පැරැණි නවතම සොයාගැනීමත්’ සමඟ අරුන්දික ප‍්‍රනාන්දු හෝ ආණ්ඩුව ගෙන ඇති රාජ්‍ය තාන්ත‍්‍රික කි‍්‍රයාමාර්ග කවරේද? විශේෂයෙන් කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලයේ නිවේදනය සම්බන්ධයෙන් මේ වන තුරු ගෙන ඇති පියවර මොනවාද?
තත්වය මෙසේ තිබියදී හිටිහැටියේ ම පාර්ලිමේන්තුවේ දී ප‍්‍රගීත් ගැන කියන්නට අරුන්දිකට ඇති වන මාරාන්තික හදීසිය කුමක්දැයි විමසා බැලිය යුතු ය. ඇත්ත වශයෙන් ම ඒ හදිසිය ඇත්තේ අරුන්දිකට නොව ඔහු වැනි අඳබාල හෙන්චයියන් රූකඩ සේ නටවා නාඩගම් පෙන්වන ආණ්ඩුවට ය. දෙමළ මළසිරුරු දස දහස් ගණනින් කඳු ගැසීමෙන් නොනැවතී ඔවුන්ගේ භූමිය පවා මංකොල්ලකමින් සිටින ආණ්ඩවකට කළ හැක්කේ මෙවන් නෙයියාඩගම් නැටීම පමණකි. කිසිඳු වගවිභාගයකින් තොරව පවත්නා දෙමළ දේශපාලන සිරකරුවන්ද ඇතුළු අතුරුදහන් කිීරීමේ සිද්ධි දහස් ගණනකි. ජාත්‍යන්තර පර්යේෂණවලින් සත්‍ය බවට තහවුරු වූ යුද අපරාධවලට සම්බන්ධ බලවත් වීඩියෝ හා ඡුායාරූපමය සාක්ෂ්‍ය බොහොමයකි. මේ කිසිවක් ගැන පිළිගතහැකි පරීක්ෂණයක් නැත. වගකිවයුත්තෙක් නැත. අතුරුදන් වූවකු හෝ අතුරුදන් කරවූවකු ද නැත. ඇත්තේ ලිංමැඩි සිිංහල ජාතිවාදීන් පිනවන මේ ජාතියේ නාඩගම් නැටීම් පමණි. මේවා මේ ලංමැඩි ජාතිවාදීන්ට හරිගියාට රටතුළ වෙසෙන විවෘත මනසක් ඇති සැබෑ මනුෂ්‍යයන්ට හරියන්නේත් නැත. සම්මුති ගිවිසුම් ආදියෙන් හා රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් බැඳීම් ඇති ජාත්‍යන් තරයට හරියන්නේත් නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ෙලෙ එළැඹෙන අගෝසතු මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය. ඇගේ වාර්ථාවද සහිතව සැප්තැම්බරයේ යළිත් ජිනීවා මානව හිමිකම් කොමිසම රැුස්වීමට නියමිත ය. සුවිශාල ජාත්‍යන්තර විරෝධයක් හමුවේ නොවැම්බරයේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ය. ඒ හැම තැනකදී ම ප‍්‍රගීත්ගේ අතුරුදන් වීම යළි යළිත් ප‍්‍රශ්න කැරෙනු ඇත. මේ ප‍්‍රශ්න කිරීම්වලින් බේරීමට ප‍්‍රගීත් සිද්ධිය ගැන මෙවැනි ප‍්‍රබන්ධ කතාවක් ගොතා එය සිය ඇම්බැට්ටයකු ලවා කියවීමෙන් හැකිවෙතැයි කිසිදු රාජ්‍ය තාන්ත‍්‍රික ඥානයක් නැති රාජපක්ෂ රෙජීමය සිතනවා ඇත. අනෙක් අතට ජාත්‍යන්තර තලයේ කුමක් වුවත්, මේ ප‍්‍රශ්නය මේ ප‍්‍රධාන ජාත්‍යන්තර අවස්ථාවනිහි දී මතුපිටට පැමිණෙන විට ලංකාවේ මිනිසුන් හෝ රවටාගැනීමට මේ ප‍්‍රබන්ධය ඉවහල් වනු ඇතැයි ඔවුන් සිතනවා වන්නට පිළිවන. මේ කිසිවක් ගැන හාකවිසියක් නොදන්නා අරුන්දික වැන්නෝ නොදන්නා නාඩගමක බහුබූතයන්ට අඳිති.
අවසානයේ එකම එක කරුණක් දක්වමි. කලක් අරුන්දික හා මා දෛනිකව මුණගැසුණු පාසැල ඔහුට සිහිපත් වනු පිණිසය. ප‍්‍රකට ලියවිල්ලක් වන ශාන්ත පීතරයන්ගේ පළමුවැනි සාමාන්‍ය පත‍්‍රයේ තුන්වැනි පරිිෙඡ්දයේ දසවැනි වගන්තියේ ඔහු මෙසේ ලියයි.
‘‘යහපත් දවස් දකින්නට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතාකිරීමෙන්ද වළක්වා ගනීවා.’’
ශාන්ත පීතර නාමකරණය සහිත ස්ථානයකට පොත් බෑගයක් ඔසවාගෙන ඒමට අමතරව එම නාමකරණයෙන් අබමල් රොනක දෙයක්වත් තම ජීවිතයට උකහා ගැනීමට අරුන්දික ප‍්‍රනාන්දු සමත් වි නැත. මේ සිද්ධිය තුළින් අරුන්දිකට මේ තාක් හැකිවී තිබෙන්නේ තමන් පාසල්ගිය මන්ත‍්‍රීවරයෙකු බවට මා ලවා සහතිකයක් ලබා ගැනීම පමණෙකි.
මංජුල වෙඩිවර්ධන | Manjula Wediwardena
2013 ජූනි 12
වෛරී කථන තහනම අත්‍යාවශ්‍යයි
June 14, 2013 by Karapoththa
Filed under Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance
ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය කරනු වස්, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අඩංගු පනත් කෙටුම්පතක් ලබන සැප්තැම්බරයේ දී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
කර්තෘ සංසදය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පෞද්ගලික මාධ්‍ය ව්‍යාපාර සඳහා 2001 දී සාමූහිකව හඳුන්වා දෙන ලද පුළුල් ආචාර ධර්ම පද්ධතියක් දැනටමත් තිබේ. එය, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගෙන තිබේ. අනිත් අතට, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශකත්වයන් සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව විසින්ම මිස ආණ්ඩුවෙන් නොවන බවත් පැහැදිළියි.
ආණ්ඩුවේ මෙම පියවර දෙස බොහෝ මාධ්‍යවේදීන් බලන්නේ සැකයෙනි. එය, බැටළු හමක් පොරවා ගත් වෘකයෙකු මෙනැ යි ඔවුන්ට සිතේ. මෙම කෙටුම්පතේ එක් වගන්තියකින් වෛරී කථනය පිළිබඳ ඕනෑම ප‍්‍රකාශනයක් තහනම් කිරීමට යෝජනා කෙරේ.
කෙසේ වෙතත්, ආචාර ධර්ම පද්ධතියක් නොව, ජාතීන් අතර වෛරය සහ අසමගියට පාර කපන වෛරී කථන සහ ප‍්‍රකාශන ප‍්‍රසිද්ධ කිරීම සහ විකාශය කිරීම පිළිබඳ දැඩි තහනමක් පැනවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයකි. ජනතාව අවුස්සන පෙළපාලි, මහජන රැලි සහ වෙනත් ඒ හා සමාන රැස්වීම් ද ඊට ඇතුළත් විය යුතුය.
ජාතිවාදීන් ඉතා සුළු පිරිසක් විසින් ජාතීන් අතර අසමගිය සහ වෛරයේ ගිනි දැල් ඇවිලවීමට පෙරමුණ ගෙන වැඩි කාලයක් නැත. යම් හේතුවක් නිසා දැනට තරමක් යටපත්ව ඇති මේ විනාශකාරී බලවේග, සිංහල බහුතරයේ නාමයටත්, සමස්තයක් වශයෙන් රටේ ජාතීන් අතර සමගියටත් සිදු කළ හැකි අනර්ථය තේරුම් නොගෙන තවමත් ඔවුන්ගේ හෝ සමහර විට ඔවුන්ගේ ඇමරිකානු, නෝර්වේ හෝ ඊශ‍්‍රායල් හාම්පුතුන්ගේ න්‍යාය පත‍්‍ර මුස්ලිම් ජනතාවට එරෙහිව පවත්වාගෙන යති.
දශක තුනක වාර්ගික යුද්ධයකින් 2009 දී ගොඩ ආ මෙරටට, සියල්ලන් අනර්ථයට හෙලන තවත් දශක කිහිපයක ලේ හැලීමකට දායක වීමට පුලූවන් කමක් නැත. කෙසේ වෙතත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් කොටස්, විශේෂයෙන් පසුගිය වසරේ හැසිරුනු විලාසය අනුව, වෛරී කථන, වෛරී ප‍්‍රකාශන සහ එක ජාතියක සිත්සතන් තවත් ජාතියකට එරෙහිව උසිගන්වන වෙනත් එවැනි ක‍්‍රියාවන් තහනම් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.
එසේම, 1948 සිට බලයට පැමිණීමට හෝ බලයේ රැඳීමට ජාතිවාදය පාවිච්චි කළ දේශපාලඥයන් ද, ආගම, සංස්කෘතිය සහ ජන වර්ගය ආරක්ෂා කර ගැනීමේ නියාවෙන් ජාතිවාදය මත යැපීමට තැත් කළ මාධ්‍යය ද, මෑත අතීතයෙන් කිසි පාඩමක් උගෙන නැති බවත් මෙයින් පෙන්නුම් කෙරේ. ඇත්තෙන්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ ඇතැම් කොටස්, පළිගැනීමේ ලෝලයෙන් පෙලෙන විනාශකාරී බලවේගවල ප‍්‍රචාරක මෙවලම් බවට බොහෝ දුරට පත්ව සිටී.
මෙය අළුත් දෙයක් නොව. එය පටන් ගත්තේ දශක කිහිපයකට කලිනි. උදාහරණයක් වශයෙන්, නිදහසෙන් පසු ආසන්න වකවානුවේ, ලේක්හවුස් සහ ටයිම්ස් සමූහ ව්‍යපාරය, විවිධ ප‍්‍රජාවන්ට නරකට බලපාන කරුණු ඉස්මතු කළ බව පෙන්වා දිය හැකිය. එහෙත් පොදුවේ ගත් විට, ජාතීන් අතර ද්වේෂය සහ හිංසාව අවුස්සන ආකාරයෙන් ඔවුන් ක‍්‍රියා කෙළේ නැත.
එම සම්ප‍්‍රදාය, දවස පුවත්පත් සමාගමේ සම්ප‍්‍රාප්තියත් සමග පොඩිපට්ටම් කෙරුණි. ව්‍යාපාරික අවශ්‍යතා සඳහා නග්න ජාතිවාදය සිය ප‍්‍රධාන වේදිකාව කර ගැනීමට ඔවුන් මැළි නොවුණි. 1968 අගෝස්තු මාසයේ දී, දෙමළ කොන්ග‍්‍රසය ද ඇතුළත් කරගත් ජාතික ආණ්ඩුවක් සඳහා සහාය ලබා ගැනීමේ පොරොන්දුව මත, දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් හඳුන්වා දෙන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඩඞ්ලි සේනානායක උත්සාහ කෙළේය.
මෙය, පසු කලෙක එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇති කරගත් එකඟතා සමග සසඳන කල, බලය බෙදා හැරීමේ මෘදු ආකෘතියක් සඳහා වූ උත්සාහයකි. පසු කලෙක දකුණු ආසියාවේ දරුණුතම ඝාතක බිමක් බවට ලංකාව පත්කළ දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වය ඒ මගින් වැළැක්වෙන්නටත් ඉඩ තිබුණි.
එහෙත් මේ යෝජිත දිස්ත‍්‍රික් සභා කෙටුම්පතට විරෝධය පෑ දවස පුවත්පත් ආයතනය, බහුතර සිංහල ප‍්‍රජාව තුළ රුදුරු දෙමළ විරෝධයක් අවුලූවන්නට විය. එය මොන තරම් සාහසික වී ද යත්, එම ආයතනයේම ‘දිනපති’ දෙමළ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙක්, ‘‘මේ වෛරී ව්‍යාපාරයෙන් රට ඇදගෙන යනු ඇත්තේ කොයිබට දැ’’ ප‍්‍රශ්න කෙළේය. ඒ ප‍්‍රශ්නයට පිළිතුර අද අපි දනිමු.
යෝජිත දිස්ත‍්‍රික් සභා පනතට නැගුණු විරෝධයේ තරමට එම ප‍්‍රයත්නය අතහැර දැමීමට ඩඞ්ලි සේනානායකට සිදුවිය. එහි නොවැළැක්විය හැකි ප‍්‍රතිවිපාකය වුණේ, තමන්ගේ ජනතාවට එවැනි විසඳුමක් පිළිබඳ ප‍්‍රතිඥා දී සිටි ෆෙඩරල් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමයි. ෆෙඩරල් පක්ෂයට තිබුණු විකල්පය කුමක් දැ යි අසනු ලදුව, පසු කලෙක ඝාතනය වූ ෆෙඩරල් පක්ෂ නායක අමිර්තලිංගම් සහ එවකට වීරකේසරී පුවත්පතේ සේවය කළ අභාවප‍්‍රාප්ත ත්‍යාගරාජා මට මෙසේ කීහ: ‘‘ඩඞ්ලි අවංකවම සිය ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීමට උත්සාහ කළා. ඒත්, ජාතිවාදී බලවේග ඒක ඇහුරුවා. ඒක නිසා, ආණ්ඩුවෙන් ඉවත් වෙලා පිට ඉඳං ආණ්ඩුවට සහාය දීම ඇරෙන්න ෆෙඩරල් පක්ෂයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.’’
මාධ්‍ය ඊට වඩා සාධාරණ විණි නම්, පොරොන්දු වූ පරිදි ‘දිස්ත‍්‍රික් සභා’ඇති කෙරුණි නම්, දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වයත්, පසු කලෙක ඇති වු ජන සංහාරය සහ රට ආපස්සට ගිය ගමනත් වළක්වා ගන්නට තිබුණි.
එහෙත් එයින් හතළිස් පස් වසරක් ගෙවී ඇති අද, මිනිස් සංහාරයක් සහ මහා විනාශයක් අවසානයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වන මහජන එක්සත් පෙරමුණ, බලය බෙදා හැරීමේ ඒකකය වශයෙන් දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් යෝජනා කරමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන්නැ යි ඉල්ලන විට, මතුපිටින් පෙනෙන්ට ඇත්තේ මොළේ පෑදී ඇති බවකි. එහෙත් එම යෝජනාව, බලය බෙදාහැරීම සඳහා නොව, පළාත් සභා අහෝසි කිරීම මාර්ගයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සුළු ජාතීන්ට හිමිව ඇති අයිතීන් අහිමි කිරීම සඳහා වන විගඩමකට වැඩි දෙයක් නොවේ.
2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව, සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජන කොටසක්ම එකාවන්ව, දේශපාලඥයන් සහ මාධ්‍ය ව්‍යාපාරය අතීතයෙන් පාඩම් උගනිති යි බලාපොරොත්තු වූහ. විවිධ ජන කොටස් සාධනීය දිශානතියක් කරා ඒකරාශී කරමින් රට ඉදිරියට ගෙන යාමට උරදෙනු ඇතැ යි බලාපොරොත්තු වූහ. අවාසනාවකට ඒ සියළු ප‍්‍රාර්ථනා දැන් සුනුවිසුණු වී ගොසිනි. දේශපාලඥයෝ තවමත් ඡන්ද බැංකුවම ඉලක්ක කරති. අනිත් පැත්තෙන්, මාධ්‍යයේ වගකීම් විරහිත ආවරණය, දෙමළ ජනතාවට සහ මෑතක සිට මුස්ලිම් ජනතාවට එරෙහිව බහුතර සිංහල ප‍්‍රජාව උසිගන්වන වෑයමකට එක දිගටම උරදෙයි.
පසු ගිය වසරක පමණ කාලය තිස්සේ කුඩා කණ්ඩායමක චන්ඩි ව්‍යාපෘති උඩ දමමින් මාධ්‍යයේ ඇතැම් කොටස් කටයුතු කළ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ, රට ගැන කිසි තැකීමක් නැතිව, දේශපාලඥයන්ගේ පටු ව්‍යාපෘති සාධනය සඳහා වන මෙවලම් වශයෙන් කටයුතු කිරීම හැරෙන්නට අපේ මාධ්‍යයට වෙනත් ඉදිරි දැක්මක් නැති බවයි.
මේ කණ්ඩායම මොන තරම් කුඩා වුවත් ඔවුන් නගන හඩ, පමණටත් වඩා රටට අසන්නට සැලැස්වෙයි. උදාහරණයක් වශයෙන්, මේ කෑකෝගසන පිරිස, වර්තමානයේ 225 ක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 10 ක් හෝ 12 ක් වැනි අල්පයකට වැඩි කණ්ඩායමක් නොවේ. එසේ වතුදු, මේ අන්ත සුළුතරයේ හඩ සඳහා මාධ්‍ය තුළ වෙන් කෙරෙන ඉඩ, බහුතරයේ හඩ යටපත් කරන තරම් ය. බොහෝ මාධ්‍ය ආයතන, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිංහලයන්ව අවුළුවන මතවාද මුල් තැනක් දී නිදහසේ බෙදාහරිනු ලැබේ. අනවශ්‍ය හලාල් ආහාර සහ සත්ව ඝාතනය වැනි ප‍්‍රශ්න උඩ දමමින්, නැති ප‍්‍රශ්න ඇති කරන්නේ ඔවුන් ය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් උණුසුම් ආකාරයෙන් කෙරෙන සංවාද තුළින් අපට පෙනෙන්නේ, අපේ දේශපාලඥයන්වත්, මාධ්‍යවත් අංශු මාත‍්‍රයකින්වත් වෙනස්ව නැති බවයි. ඉතිහාසයෙන් කිසි පාඩමක් උගෙන නැති බවයි. අද ඔවුන් දරණ ආකල්ප, 1968 දිස්ත‍්‍රික් සභා පනතට විරෝධය පෑ ස්ථාවරයෙන් වෙනස් නැත. මේ තත්වය යටතේ අද අවශ්‍ය කරන්නේ, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශ නොව, ජාතීන් අතර වෛරය අවුළුවන කිසිවක් ප‍්‍රකාශයට පත්කිරීම හෝ විකාශය තහනම් කෙරෙන පුළුල් නීති මාලාවකි. ඇත්ත වශයෙන්ම, මාධ්‍ය සඳහා වන මාර්ගෝදේශකත්වය සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව වෙතින්ම මිස ආණ්ඩුවෙන් නොවේ.
ලතීෆ් ෆාරුක්
______________________________________________________________________________________________
පරිවර්තනය, ‘යහපාලනය ලංකා‘ අනුග්‍රහයෙනි
[Image credit: www.muni.org]
නගර සංවර්ධනය සදහා කෝවිල ඉවත් කර ‘රථගාලක්’
June 13, 2013 by Karapoththa
Filed under Colombo, Features, Human Rights, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance
කොළඹ, කොල්ලූපිටිය පෙරේරා මාවතේ අරලියගහ මන්දිරයට පිටුපස පිහිටා තිබෙන අවුරුදු 80ක් පැරණි අයිතිහාසික ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල වෙනත් ස්ථානයකට මාරු කරන ලෙස නගර සංවර්ධන අධිකාරිය නියෝග කර ඇත. ඒ අනුව ඊයේ(12) ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිලේ තිබුණු පිලිම ඉවත් කර වෙනත් තැනකට රැගෙන යාමට කෝවිල් පරිපාලන පියවර ගත් බව පැවසේ.
1928 දී මෙම කෝවිල ජනතාවට වැඳ පුදා ගැනීම සඳහා ඉඳි කර ඇති අතර දැන් කොළඹ නගරයේ සංවර්ධනය කිරීම සඳහා මෙම කෝවිල පිහිටි ඉඩම අවශ්‍ය බවත් එම නිසා වහාම මෙම කෝවිලට වෙන්කර තිබෙන නවම් මාවතට ඉඩමට රැගෙන යන ලෙස නගර සංවර්ධන අධිකාරිය කෝවිල් පරිපාලනයට නියෝග කර ඇත.
එසේම දැනට කෝවිල තිබෙන ඉඩම් කොටසේ කොළඹ මහ නගර සභා රථ ගාලයක් ඉඳි කිරීමට තීරණයක් කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.
නගර සංවර්ධන අධිකාරියේ නියෝගය ප‍්‍රතික්‍ෂේප කළ කෝවිල් පරිපාලනය කෝවිල සඳහා කොල්ලූපිටියේ නෙල්සන් මාවතේ ඉඩම් කොටසක් දෙන ලෙස ඉල්ලා තිබෙන අතර කෝවිල් පරිපාලනයේ ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළ අධිකාරිය කෝවිල ඉවත් කිරීම අනිවාර්ය බව පවසා තිබේ.
මේ පිළිබඳව ‘විකල්ප‘ වෙත අදහස් දැක් වූ ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල් භාර පාලනාධිකාරී බාලකි‍්‍රෂ්ණන් මහතා
:
’1928 සිට අද දක්වා ශී‍්‍ර පූමාරි අම්මන් කෝවිල කොල්ලූපිරිය පෙරේරා මාවතේ පිහිටා තිබුණා. 1945 වර්ෂයෙන් පසු සෑම අවුරුද්දම උත්සව පවත්වා ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ ආශිර්වාදය අපේ ජනතාව ලබා ගනිමින් සිටියා. මෙම කෝවිලට සෑම ජාතියටම අයත් ජනතාව පැමිණ වැඳ පුදා ගැනීම විශේෂත්වයක්.’
‘ඒත් දින 10 කට පෙර නගර සංවර්ධන අධිකාරිය විසින් අප වෙත ලියුමක් යොමු කර, රටේ සංවර්ධන කි‍්‍රයාමාර්ගයට කෝවිල් ඉඩම අවශ්‍යවන බවත් දින 10කින් කෝවිල ඉවත් කරන ලෙසත් ඒ ඔස්සේ නියෝග කර තිබෙනවා. ඒ සඳහා වෙනත් ඉඩම් කොටසක් ලබා දෙන ලෙස අප කළ ඉල්ලීමට නවම් මාවතේ ඉඩම් කොටසක් වෙන් කර ඇති බව දැන්වූවා. නවම් මාවතේ වෙන් කර ඇති ඉඩම කෝවිල් ඉඳි කිරීමට සුදුසු තැනක් නෙමෙයි. එම ප‍්‍රදේශය පිරිසිදු පරිසරයකුත් නෙවෙයි. ඒ නිසා අපි කොළඹ 3 ප‍්‍රදේශයේ ඉඩම් කොටසක් අපි ඉල්ලා සිටියා. නමුත් නගර සංවර්ධන අධිකාරිය ඒ පිළිබඳව කිසිඳු සැළකිල්ලක් දැක්වූවේ නැහැ. නගර සංවර්ධන අධිකාරිය දුන් දින 10 ක කාල සීමාව ඊයෙන් අවසන් වුණා. නමුත් අපි තව දින 10ක කාල සීමාවක් අධිකාරියෙන් ඉල්ලා සිටියා. දෙන්න බැහැ කිව්වා. එම නිසා වෙනත් කි‍්‍රයාමාර්ගයක් නොමැතිව ශී‍්‍ර පූමාරි අම්මන් මෑණියන්ගේ පිලිමය ඉවත් කර ආමර් වීදියේ තිබෙන නිවසක තැබීමට තීරණය කරා. පසුව විශේෂ පූජාවෙන් පසුව පිලිම ඉවත් කරගෙන ගියා.’
‘අපි හිතන්නේ මේවා ඉතාමත් වැරැදි කි‍්‍රයා මාර්ග කියලයි.’
ඒ සමඟ නැෙඟනහිර තිබෙන උගණ මුරුගන් කෝවිල අසල බෞද්ධ විහාරයක් ඉඳි කිරීමට කටයුතු කරන බව ආරංචි මාර්ග පවසයි. මෙයට ලාහුගල ප‍්‍රාදේශ ලේකම් සහ පානම විහාරයේ විහාරාධිපති ඇතුළු කණ්ඩායමක් උත්සහ දරණ බව ජනතාව චෝදනා කරයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ ප්‍රදේශවාසියෙක් පැවසූවේ,” ෛඑතිහාසිකව හින්දු බැතිමතුන් විසින් වන්දනා කරමින් සිටින උගණ මුරුගන් කෝවිල පිහිටා තිබෙන පරිසරයේ විහාරයක් ඉඳි කිරීම කිසි සේත්ම අනුමැති කරන්න බැහැ. මෙය ඉතා මතා හින්දු ජනතාවගේ හිතට වේදනා ගෙන දෙන්නක්‘‘ බව ඔහු පැවසීය.
මේ පිළිබඳව විකල්ප වෙත අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර පොන්. සෙල්වරාසා :
‘උගණ මුරුගන් කෝවිල පරිසරයේ විහාරයල් ඉඳි කිරීමට අපි අනුමැතිය දෙන්නේ නැහැ. මේ පිළිබඳව අපි අම්පාර දිස්ති‍්‍රක් දිසාපති දැනුවත් කර අපේ කණසල්ල පළ කළා. ඒ මොහොතේ දිසාපතිතුමා පැවසුවා, විහාරාධිපතිවහන්සේ පෙත්සමක් භාරදුන් බවෙ. එම පෙත්සමෙන්, උගණ කෝවිල අසල ඉඩම් අක්කර කිහිපයක් අවශ්‍ය බවත් ඔවුන් විහාරයක් ඉඳි කිරීමට යන බවත් පොසොන් පෝය දිනයට පෙර එම ප‍්‍රදේශයේ බෝධීන් වහන්සේ රෝපණය කිරීමට යන බවත් කියා තිබෙන බවත් ඔහු පවසා සිටියා. ඉන් පසු කෝවිල් පරිපාලනය හා ප‍්‍රදේශවාසීන් සමඟ සාකච්ඡා නොකර ඉඩම් වෙන් කරන්න බැරි බව විහාරාධිපතිවහන්සේට දිසාධිපති තුමා දැනුම් දුන් බව අප වෙත ඔහු දන්වා සිටියා.’
‘නමුත් කිසිඳු අවස්ථාවක උගන කෝවිල් පරිසරයේ විහාරයක් ඉඳි කිරීමට ඉඩ නොදෙන බව දිසාපතිතුමා අප වෙත ප‍්‍රකාශ කළා.පසුගිය ජූනි පළමු වෙනිදා රාති‍්‍රයේදී මඩකලපුව දිස්ත‍්‍රික්කයේ පිහිටි කුරුක්කල් මඩම් ශී‍්‍ර සෙල්ල කදිර්කාමර් කෝවිල, මාංකාඩු පිල්ෙලෙයාර් කෝවිල, කිරාන් කුලම් අයියනාර් කෝවිල, පාණ්ඩිරුප්පු ත‍්‍රව්පදි අම්මන් කෝවිල යන කෝවිල් හතරක් කඩා එහි තිබූ පිලිම වලට නාඳුනන පිරිස හානි කර තිබුණා. මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනමුත් තවම කිසිඳු සැකකරුවෙක් අත් අඩංගුවට පත්වී නැහැ.’
උතුරේ ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි?
June 12, 2013 by Karapoththa
Filed under Democracy, Features, Human Rights, Kilinochchi, Peace and reconciliation, Politics and Governance
කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත් කිරීමේ නිළධාරියා ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කළ එස්. වීරකත්තිපිල්ලයි තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් උතුරෙහි සෑම දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයකම පසුගිය මස ඉඩම් කාර්‍යාලයක් විවෘත කර ඇති අතර මෙම කාර්‍යාලය මඟින් උතුරෙහි රැඳී සිටින හමුදාවට අවශ්‍ය පෞද්ගලික ඉඩම් කඩිනමින් අත්පත්කරදීමේ කටයුතු ද ආරම්භකර තිබුණි.
මෙවැනි තත්වයක පසුගිය අප්‍රේල් මස යාපනය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස කටයුතු කළ ආර්. සිවසුවාමි මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ගියේය. අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස පත්කරන ලද එස් වීරකත්තිප්පිල්ලයි මහතාද තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ, හමුදාව විසින් ඉඩම් අත්පත්කිරීම පිළිගත නොහැකි හෙයින් ඔවුන් තම දූරයෙන් ඉල්ලා අස්වී යන බවට එහි වැඩිදුරටත් පැවසෙන අතර එම පුරප්පාඩූ වූ ධූරයන් සඳහාවූ මෙතෙක් කිසිවකු ඇයඳුම්කර නොමැතිවීම ද විශේෂත්වයකි.
කෙසේ නමුත් උතුරේ දහස් ගණනක් අවතැන් ජනයාගේ ඉඩම් තවමත් ඔවුන්ට ලබා දීමට අදාල බළධාරීන් කටයුතු නොකිරීම තුළ, හමුදාව විසින් ඔවුන්ගේ ඉඩම් පරිහරණය කරන බවට පසුගිය කාලය පුරා වාර්තා වූ අතර, වලිකාමම් ප්‍රදේශයේ ජනයාගේ ඉඩම් ගැටලුව ගැන ඊයේ(11) ද විකල්ප තුළ විස්තරාත්මක සටහනක් පළවිය. එහිදී ද ඔවුන් පවසා සිටියේ තම මුල් පදිංචි ස්ථානයන් හමුදාව විසින් අත්පත්කර ගෙන තිබෙන නිසා තමන්ට එම ඉඩම් නොලැබී යන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
කෙසේ නමුත් උතුරේ ජනයාට අයිති ඉඩම්, ඔවුන්ට ලබා දීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සවිල් පරිපාලනය හා සම්බන්ධ වූවක් වුවත් අන් සෑම තැනදීම මෙන් ඉඩම් ගැටලුවටත් හමුදාව සෘජුවම මැදිහත් වී ඇතැයි උතුරේ ජනයා චෝදනා කරයි. ඒ තත්ත්වයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් සදහා පත්කරන ලද නිළධාරීන් මෙසේ තම රැකියාවලින් ඉල්ලා අස්වීම පිළිබදච එම ජනයා තුල තව තවත් සැක සංකා මතු වීම නොවැලැක්විය හැකිය.
ඒබැවින් යුද්ධයෙන් වසර 4කට පසුත්, සිවිල් ජනජීවිතයේ කාර්යයන් සදහා සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම සිදුකරනවා යැයි පවසන ආණ්ඩුව වහාම කළයුතු වන්නේ මෙම ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි ද යන්න සොයා බැලීමයි. එසේම නිළධාරීන් ලවා හමුදාවට ඉඩම් ලබා දීමට ප්‍රථම වසර ගණනාවක් අවතැන්ව සිටි උතුරේ ජනයාගේ ඉඩම් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම නොවේද? එසේ නොවුනහොත් ‘ආණ්ඩුව යෝජනා කරන සංහිදියාව‘ හෝ තව තවත් ඈතට යනවා මිසක ලගා කර ගත හැකි වන්නේ නම් නැත.
‘‘ජාති-විරෝධී’’ විවේචන යනු හරියටම කුමක් ද?
June 12, 2013 by Vikalpa
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Media and Communications, Politics and Governance
මෙලෝ චාරයක් නැති ආණ්ඩුවකට රටේ මාධ්‍ය වෙනුවෙන් ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කළ හැක්කේ කෙසේ ද? මාධ්‍ය ආචාර ධර්ම කෙටුම්පතක් සාකච්ඡාවට ගෙන ඇතැ යි යන ආණ්ඩුවේ පූච්චානම් කතාවක් යන මෙවන් සමයක එම ප‍්‍රශ්නය අතිශය කාලෝචිත ය.
ආචාර ධර්මවලින් වඳපීදුනු රජයේ මාධ්‍ය
ප‍්‍රතිවාදීන් දඩයම් කිරීමේ සහ විසම්මුතිකයන් හඹා යාමේ අරමුණින් රාජ්‍ය මාධ්‍ය උපයෝගී කර ගැනීමේ දී, මීට පෙර සිටි අනිත් හැම අශුද්ධවන්ත පාලනයකටම වඩා මේ ආණ්ඩුව අතිශය විෂඝෝර බව, දැනටමත් පෙන්නුම් කොට තිබේ. උදාහරණයක් වශයෙන්, මාස කිහිපයකට පෙර, ශ‍්‍රී ලංකාවේ 43 වැනි අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයේ විවේචකයන්ට රජයේ මාධ්‍ය යොදාගෙන, සකල ශීලාචාර ප‍්‍රමිතීන් කඩකරමින් මඩගැසූ ආකාරය අපි දුටුවෙමු. එහි දී, දෝෂාභියෝගයට ලක්වූ අගවිනිසුරුවරිය ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ තමන්ට ප‍්‍රතිවාදී යැයි හැඟුණු අයවළුන්ගේ චරිත ඝාතනය සඳහා ආණ්ඩුවේ දඩබල්ලන්ව ආතක්පාතක් නැතිව යොදාගැනුණේ, අන්ත නිර්දය අයුරිනි.
දඩබල්ලන්ට සුපුරුදු පරිදිම, හාම්පුතා කසය ගසන සැණින්, මොවුහූ කට දෙකොණින් පෙණ දමමින් විළිස්සන්ට වූහ. එයාකාරයෙන්, තමන්ව පමණක් නොව, මුළු රටමත් ඔවුහූ හෑල්ලූවට ලක්කළහ. පොදුරාජ්‍ය මණ්ඩලයේ ඓතිහාසික නීති සම්ප‍්‍රදායකට උරුම කියන ශ‍්‍රී ලංකාව වැනි රටක් සිය ප‍්‍රධාන අධිකරණ නිලධාරිනියට නිර්ලජ්ජී ලෙස අඩන්තේට්ටම් කරන හැටි, අදහාගත නොහැකිව ලෝකයා බලා උන්හ.
දැන්, රටේ මාධ්‍යට සදාචාරය දේශනා කරන්ට එන්නේ එවැනි ආණ්ඩුවකි. මුග්ධත්වයට සීමා මායිම් නැත. එක පිස්සුවක් වැහෙන්නේ, ඊට වඩා ලොකු පිස්සුවකිනි. කරකියාගත හැකි දෙයක් නැති පේ‍්‍රක්ෂකයන් සේ ශ‍්‍රී ලාංකිකයෝ ඒවා දෙස බලා සිටිති.
‘තොරතුරු දැනගැනීමේ අයිතිය’ ප‍්‍රතික්ෂේප කිරීම
තවත් පැත්තකින්, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතියක් වශයෙන් ගෙන ඒම එක දිගටම ප‍්‍රතික්ෂේප කරන්නේ, ඊට අදාළව ක‍්‍රමවත්ව සංගෘහිත කළ, (අවංක භාවයෙන් කීර්තිමත් හිටපු නීතිපතිවරයෙකු වන, ජනාධිපති නීතිඥ, අභාවප‍්‍රාප්ත කේ. සී. කමලසබේනස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක) කෙටුම්පතක් 2004 වසරේ සිට රජයේ ව්‍යවස්ථා කෙටුම්පත් කාර්යාලයේ තවමත් පුස්කකා තබාගෙන සිටින ආණ්ඩුවකි. එවැනි පනතකට විරෝධය පෑම සඳහා ‘ජාතික ආරක්ෂාව’ වැනි ව්‍යාජ හේතු මුල දී ගෙනහැර දැක්වුණි. එහෙත්, මේ කියන අයිතියට ගැනෙන පරිපථයෙන්, ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ කාරණය නිදහස් කොට ඇති බව, එවිට නීති විශේෂඥයෝ පෙන්වා දුන්හ. ඇරත්, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ තුළ, එය ඉල්ලා සිටින්නන්ගේ හිතුමතේට ඉඩක් ඇතැ යි කියන ආණ්ඩුවේ ප‍්‍රති-තර්කය පුස්සක් බවත්, යම් විවාදාපන්න අවස්ථාවක දී, මහජන අවශ්‍යතා සහ ආණ්ඩුවේ අවශ්‍යතා අතර සියුම් තුලනයක් කිරීමේ කාර්යභාරය අධිකරණයට පැවරෙන බවත් පෙන්වා දෙනු ලැබුණි. ඉන් පසු, එවැනි බොරු අවසර ගෙනහැර පෑම අවසන් වුණි.
දැන් අප ඉදිරියේ ඇත්තේ, මේ මගහැරීම අරභයා පාලකයාගේ පැත්තෙන් බොරුවට හෝ හේතු දැක්වීමක් අවශ්‍ය නැතැ යි සිතන, අන්ත නින්දනීය තත්වයකි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කිරීමට සූදානමක් නැති බවත්, ඒ වෙනුවෙන් නිදහසට කරුණු කීමේ උවමනාවක් ද නැති බවත් කියන්නට අද ආණ්ඩුවට ලජ්ජාවක් නැත. එය, සකල ශීලාචාරකම් පරයන උද්ධච්ච භාවයකි. මේ හිතුවක්කාරී තීරණයේ සිටින, දකුණු ආසියාවේ එකම රට ලංකාවයි. ඒ අර්ථයෙන් ගත් විට, රටේ මාධ්‍ය ප‍්‍රජාව සමස්තයක් වශයෙන් සිටින්නේ, අන්ත අසාර්ථකත්වයකයි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතියේ’ යහපත ගැන කොළඹ පැවැත්වෙන විවිධ සම්මන්ත‍්‍රණවල ආරාධික කථිකයන්ගේ සාරගර්භ කතා කොතෙකුත් තිබියේ වී නමුත්, ඒ තිත්ත ඇත්තෙන් ගැලවෙන්නට අපට පුලූවන් කමක් අපට නැත.
ආණ්ඩුවේ මේ දඩබ්බර ප‍්‍රතික්ෂේප කිරීමේ හරය වශයෙන් පවතින්නේ, මහජන මුදල් පරිහරණය කරන ආකාරය ගැන මොනම පරීක්ෂාවකටවත් ඔවුන් තුළ ඇති නොසූදානමයි. එය, ආණ්ඩුවේ හැම අස්සක් මුල්ලක් නෑරම පවතින ප‍්‍රතිපත්තියකි. විකාර ආචාර ධර්ම පද්ධතියක් හරහා තවදුරටත් මාධ්‍යයේ ගෙල සිර කිරීමට ආණ්ඩුව ගන්නා ප‍්‍රයත්නය එහි ප‍්‍රතිඵලයකි. එබැවින් කිසි දවසක, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කිරීමට මේ ආණ්ඩුව ඉදිරිපත් නොවෙනු ඇත. බලවතුන්ගේ හොඳ හිත නැති කරගත් අගවිනිසුරුවරියකට එරෙහිව සහ තවත් දිස්ත‍්‍රික් විනිසුරුවරයෙකු කළා යැයි කියන දූෂණයකට එරෙහිව විදුලි වේගයෙන් ඇවිස්සෙන ‘අල්ලස් සහ දූෂණ කොමිසමක්’, දේශපාලන කම්බ හොරුන් පස්සෙන් මත්තටත් පන්නන්නේ නැති බව, ඒ අනුව, සහතිකයි.
ආණ්ඩුවේ වගකීම් කෝ?
කෙසේ වෙතත්, මේ කියන ඊනියා ‘ආචාර ධර්ම පද්ධතිය’ කුමක් දැ යි විමසා බලමු. ‘පුද්ගලයාගේ අයිතීන් සේම, පොදුවේ මහජනයාට දැන ගැනීමට ඇති අයිතියත් මේ ආචාර ධර්ම පද්ධතිය මගින් ආරක්ෂා කෙරෙනු ඇතැ’ යි, එහි මුල් ෙඡ්දවලින් කියැවේ. එහෙත් ආණ්ඩුව මත පැවරෙන විශේෂිත වගකීම් සමහරකින් තොරව, ‘මහජනයාට දැන ගැනීමට ඇති අයිතිය’ (එනම්, තොරතුරු දැන ගැනීමට මහජනයාට ඇති අයිතිය) ආරක්ෂා කෙරෙන්නේ කෙසේද? ඒ සන්දර්භය තුළ ආණ්ඩුවට පැවරෙන වගකීම් කවරේ ද? උදාහරණයක් වශයෙන්, ඉහත කී, කුණු කූඩයට ගිය 2004 කෙටුම්පත තුළ, එක්තරා නියමිත වටිනාකමකට වැඩි සෑම ව්‍යාපෘතියකටම අදාළ සියලූ විස්තර සැපයීමට ආණ්ඩුව බැඳී සිටියේය. තමන්ගේ මුදල් රටේ පාලකයන් විසින් වැය කරන්නේ කෙසේ දැ යි දැන ගැනීමට මහජනතාවට ඇති අයිතිය ඒ මගින් සුරක්ෂිත කිරීමට අපේක්ෂා කෙරුණි.
ඒ කෙටුම්පත තුළ තවත් වැදගත් කාරණයක් තිබුණි. එහි 34 වැනි වගන්තියට අනුව, ‘දුෂ්කෘත නිවේදකයන්’ (යම් හොරකමක් හෝ දූෂණයක් හෝ අක‍්‍රමිකතාවක් පිළිබඳ රහසින් තොරතුරු සපයන්නන්) යම් තාක් දුරකට එම පනත මගින් ආරක්ෂා කළ යුතුව තිබුණි. ඒ අනුව, මේ පනත යටතේ සැපයීමට නීතියෙන් අවසර ඇති ඕනෑම තොරතුරක් යම් රජයේ සේවකයෙකු සපයන්නේ සද්භාවයෙන් යුතුව නම් සහ සපයන තොරතුරු මූලික වශයෙන් නිවැරදි ය යන සාධාරණ විශ්වාසයක් ඇත්නම් සහ යම් අක‍්‍රමිකතාවක් නිසා ඕනෑම පුරවැසියෙකුගේ හෝ පරිසරයේ සෞඛ්‍යයට හෝ ආරක්ෂාවට බරපතල තර්ජනයක අනතුරක් ඇති නම්, එවැනි තොරතුරක් සපයන ‘දුෂ්කෘත නිවේදකයෙකුට’ එම පනත තුළ නීතිමය ආරක්ෂාව සැපයේ. මේ ෙඡ්දය ඇතුළත් කරන ලද්දේ, යම් සේවකයෙකු තුළ ඇති කෝන්තරයක් හෝ අසන්තෝසයක් පෙරදැරිව තොරතුරු හෙළි කිරීම වළක්වාලීම සහ තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතිය අතර සාධාරණ තුලනයක් ඇති කර ගැනීම සඳහා ය.
අනිත් අතට, මෙම ෙඡ්දය අනුව, තොරතුරු හෙළි කිරීමට කෙනෙකුට ඇති නිදහස පටු කෙරෙති යි කෙනෙකුට හැෙඟන්නට පිළිවන. ඇත්ත වශයෙන්ම නම් සිදුවිය යුත්තේ, යම් නිලධාරියෙකු තොරතුරු සපයන්නේ සද්භාවයෙන් නම්, ඒ හේතුව නිසාම එවැන්නෙකු මෙවැනි නීතියක් මගින් ආරක්ෂා කරගත යුතු බවයි. එහෙත්, වර්තමානයේ පවතින පරිදි කිසිදු තොරතුරක් හෙළි කිරීමට ඇති තහනම ඉදිරියේ මෙය පවා යම් ඉදිරි පියවරකි. කෙසේ වෙතත්, එම කෙටුම්පතත්, තවත් එවැනි වෙනත් දියුණු යෝජනාත් තවම තිබෙන්නේ කුණු කූඩයේ ය. ඊනියා මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හරහා ජනතාවට ‘දැන ගැනීමට’ ඇති අයිතියක්, වර්තමාන පාලකයන් ස්ථාපිත කරන්නට සැරසෙන්නේ එවැනි තත්වයක ය.
නොපැහැදිළි සහ බොල් භාෂා භාවිතය
වැරදි තොරතුරක් පළ කළහොත් ඒ ගැන නිවැරදි කිරීමක් පළකොට සමාව අයැදීමක් කළ යුතු බවට, ලංකා කර්තෘ සංසදයේ ස්වයං ආචාර ධර්ම පද්ධතිය තුළ දැනටත් ඇති පැනවීම් නැවතත් මෙම පනතට ඇතුල් කර තිබීමට අමතරව, අයාලේ යන නිර්වචන, සදොස් භාෂා ව්‍යවහාර සහ එකම දේ නැවත නැවතත් කීම වැනි කරුණුවලින් ද, මේ කියන ආණ්ඩුවේ ආචාර ධර්ම පද්ධතිය ගහණ ය. උදාහරණයක් වශයෙන්, අධිකරණයට අපහාස වන කරුණු පළ කිරීම ගැන එක තැනක අවවාද කරන අතරේ, ‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවයට හානි විය හැකි’ වැනි, බොල් සහ නොපැහැදිළි යෙදුම් මත පදනම් වෙමින්, තවත් තහනම් කිරීම් පැනවෙයි. ‘විධායකයේ, අධිකරණයේ සහ ව්‍යවස්ථාදායකයේ සුපිළිපන් භාවය’ යනුවෙන් හරියටම අදහස් කරන්නේ කුමක් දැ යි වටහාගත යුත්තේ තම තමන්ට රිසි පරිදි ය. මේ කියන ආයතනවලින් එකකවත් සුපිළිපන් භාවයක් අද වන විට ඉතිරිව ඇත් ද යන්න තවත් වැදගත් ප‍්‍රශ්නයකි.
වඩාත් භයානක සහ අනාගතයට වඩාත් අනතුරුදායක ඇඟවීම් දනවන්නේ, ‘ජාති-විරෝධී ආකල්ප’ ප‍්‍රවර්ධනය කෙරෙන ප‍්‍රවෘත්තිවලට එරෙහිව කෙරෙන නියෝගත් මේ තුළ අඩංගු වීමයි. ‘ජාති-විරෝධී’ යන්නෙහි ඇත්තම අර්ථය කුමක් ද? මෙය, ‘ආණ්ඩු-විරෝධී’ යන්නට සමාන අරුත් දනවන්නක් විය නොහැකි ද? තවත් වගන්තියකින්, ‘ජනතාව නොමග යවන’ තොරතුරු ගැනත් අනතුරු අඟවයි. දැනටමත් බෙල්ල හිරකොට ඇති ලංකාවේ මාධ්‍ය කෙරෙහි මෙවැනි අවිනිශ්චිත සහ නොමග යවනසුළු භාෂාවක් තුළින් සිදුවිය හැකි අනර්ථය සිතා ගැනීම අපහසු නැත.
අන්ත ප‍්‍රශ්නකාරී පියවරක්
ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය සඳහා යම් ආචාර ධර්ම පද්ධතියක් නොපැවතිය යුතු බවක් මේ කර්කශ නිරීක්ෂණවලින් අදහස් වන්නේ නැත. ඇත්ත වශයෙන්ම, එවැන්නක් දැනටමත් පවතින්නේය. එසේම, ස්වයං-නියාමනයේ දී, අදාළ සාරධර්ම කෙරෙහි අනිවාර්ය අවනත භාවයක් සහතික නොකෙරෙන්නේ යැයි ද කෙනෙකුට තර්ක කළ හැකිය. එහි යම් ඇත්තක් ද නැතුවා නොවේ.
එහෙත් එවැනි ගැටළුවකට විසඳුම වන්නේ, ප‍්‍රතිපත්තිමය ආචාර ධර්ම පද්ධතියක් රජයෙන් පැනවීම නොව. ඊටත් වඩා, අවම ආචාර ධර්ම කෙරෙහි පවා මොනම තැකීමක්වත් නැති වත්මන් ආණ්ඩුවෙන් එවැන්නක් පැනවීම මොන විදිහකින්වත් පිළිගත හැක්කක් නොවේ. එවැනි ප‍්‍රශ්නකාරී පියවරක් තුළ, ප‍්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය තවදුරටත් මර්දනය කිරීමේ ශක්‍යතාවක් ඇතැ යි අපට සිතෙන්නේ එබැවිනි.
කිෂාලි පින්තු ජයවර්ධන
____________________________________________________________________________________________________________________
2009 ජුනි 09 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවු What are Anti-National Criticisms exactly? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්



Repost This Article























