පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ
June 17, 2013 by Gamini Viyangoda
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Media, Media and Communications, Politics and Governance
සුරංගනා කතාවක ව්‍යාජත්වය අභිබවා විමතියක් උපදින්නේ සහ එම විමතිය හරහා රස ජනනය කැරැවීමක් සිදු වන්නේ, සුරංගනා කතාව ගොඩනැංවෙන සිදුවීම් අතර පවතින අන්තර් තර්කනයක් පාදක කර ගනිමිනි. එහෙත්, එම සුරංගනා කතාවම නූතන මාධ්‍ය ලෝකය තුළ පහසුවෙන් අලෙවි කළ හැකි ‘ප‍්‍රවෘත්තියක්’ කිරීමට, අර කියන සිදුවීම් අතර තිබිය යුතු අන්තර් තර්කනය එයින් ඉවත් කළ යුතුය. එම අන්තර් තර්කනය නැති වන තරමට, අර විදිහේ සිදුවීමක් පාදක කරගන්නා ‘ප‍්‍රවෘත්තියක’ වටිනාකම දෙගුණ තෙගුණ වෙයි. ඉස්සර එසේ නොවේ. ප‍්‍රවෘත්ති අගයක් ඇති සුරංගනා කතාවක පවා යම් තර්කනයක් තිබුණි.
සඳ මත මිනිස් ජීවීන් වාසය කරති යි බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥයෙකු ‘සොයාගත්’ බවට, ඇමරිකාවේ ‘නිව්යෝර්ක් සන්’ පුවත්පත 1835 පළ කළ ආන්දෝලනාත්මක ප‍්‍රවෘත්තිය ඊට නිදසුනකි. මේ ප‍්‍රවෘත්තිය ‘සත්‍යයක්’ කිරීමට කරුණු කිහිපයක් අවශ්‍ය කෙළේය. ‘අපේක්ෂාව’ ඉන් පළමුවැන්නයි. පෘථුවියේ හැරුණු කොට, තවත් තැන්වල මිනිස් ජීවීන් ඇති බවට මිනිසුන් තුළ වන අපේක්ෂාව, සාමූහික තනිකම හඟින පොදු මිනිස් විඥානයකට සැපයෙන විමතිමය පැන් පොදක් විය. ඒ අපේක්ෂා සන්තර්පණය සඳහා ඊළඟට ‘විශේෂඥ’ මතයක් එදා අවශ්‍ය කෙළේය. බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල්ගේ නමින් එය ප‍්‍රකාශයට පත්වීම හරහා, ඊට අවශ්‍ය කරන විද්‍යාත්මක බර එම ප‍්‍රවෘත්තියට සැපයුණි. මෙම ප‍්‍රවෘත්තියේ පැවති විශේෂත්වය වුණේ, තමාගේ නමින් මෙවැනි මතයක් ලෝකයේ වෙනත් තැනක පළවී ඇති බවක්, බොහෝ කලක් යන තෙක්මත් ශ‍්‍රීමත් ජෝන් හෙර්ෂෙල් පවා නොදැන සිටීමයි. එනම්, එය මුළුමණින් මාධ්‍ය විසින්ම තිරපිටපත රචනා කොට, අධ්‍යක්ෂණය කරන ලද ‘ස්වාධීන’ නිෂ්පාදනයක් වූ බවයි. එදා සන්නිවේදන ක්ෂේත‍්‍රයේ පැවති නොදියුණුව තුළ එය අස්වාභාවික නොවුණි.
ලංකාවේ දේශපාලඥයෙකුට යුරෝපයේ දී එක්නැලිගොඩව හමු වීමේ සිද්ධිය තුළ යම් තර්කයක් තිබිය යුතු යැයි, එය වාර්තා කරන මාධ්‍යවේදියාවත් ඔහුගේ ග‍්‍රාහකයාවත් (පාඨකයා/පේ‍්‍රක්ෂකයා) බරසාරව බලාපොරොත්තු වන්නේ නැත. ප‍්‍රවෘත්තිය නිකුත් වන්නේ දේශපාලඥයෙකුගේ කටින් නම් එය හොඳටම සෑහේ. අද වන විට දෛනිකව ලංකාවේ ප‍්‍රවෘත්ති ‘නිෂ්පාදනය’ කරන්නේ දේශපාලඥයා ය. මාධ්‍යකරුවා එය විකුණා ලාභ ලබයි. ‘සත්‍යය’ එහි දී වැදගත් නැත. ශිෂ්ටත්වය අදාළ නැත.
අතුරුදහන් වීම, ලංකාවේ සුදුවෑන් දේශපාලනය තුළ පරමයකි. පරමයක් යනු, නොවෙනස් වන සහ ආපසු හැරවිය නොහැකි සත්‍යයකි. උදාහරණයක් වශයෙන්, මරණය පරමයකි. ඒ අරුතින් ගත් විට, ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරෙන අතුරුදහන් කැරැවීමේ ප‍්‍රපංචය කාටත් තේරෙන භාෂාවකින් මෙසේ ලියා දැක්විය හැක: ‘ඉස්සුවොත් ඉස්සුවාම ය. ආපසු පැමිණීමක් නැත.’
අනිත් අතට, වර්තමාන පාලනය යනු කණපිට දේශපාලනයක් මතම යැපෙන්නකි. එනම්, සම්මත අර්ථයේ සියල්ල කණපිට හැරවීම එම දේශපාලනයේ ආත්මය වන බවයි. උදාහරණයක් වශයෙන්, මර්වින් සිල්වාට අයත් අමාත්‍යාංශය හඳුන්වන්නේ, ‘මහජන සම්බන්ධතා’ යනුවෙනි. ජනතාව සමග සහෘද ආශ‍්‍රයකට වැඩියෙන්ම ගැලපෙන තැනැත්තා මර්වින් සිල්වා යැයි ජනාධිපතිවරයා විසින්ම තීරණය කිරීම, ‘බුද්ධිමත් ජනතාව’ යැයි මෙතෙක් කල් උඩදැමූ හුරතල් සංකල්පයට දුන් කණේ පහරකි. රට කරවන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ගෞතම බුදුන් වහන්සේට ඈතින් නෑකම් කියති යි කලාකරුවෙකු කියන විට, කලාවේ ‘ප‍්‍රබන්ධය’ අපට එකපැහැර අවබෝධ වෙයි. මේ සියල්ල ඉෂ්ට සිද්ධ කෙරෙන්නේ අන්තර්-තර්කනයකින් නොව, කණපිට තර්කනයකිනි.
එක්නැලිගොඩ ‘අතුරුදහන් විය’. අද ? මුහුදු ගිය ධිවරයෙකු හෙට ආපසු ගෙදර නාවොත් ඔහු අතුරුදහන් වූ අයෙකු වශයෙන් සැළකේ. එහෙත්, ඔහු මියගොස් ඇති බවක් එයින් අනිවාර්යයෙන් අදහස් නොකෙරේ. උදාහරණයක් වශයෙන්, උපාලි විජේවර්ධන මීට දශක කිහිපයකට පෙර අහසේ දී අතුරුදහන් විය. පළමුව ඔහුගේ ආපසු පැමිණීම පතා බෝධි පුජා පැවැත්වු ජනතාව, අවසානයේ දී ඔහුගේ ඊළඟ භවයට අනුමෝදන් විය හැකි පින් පැමිණවීම් කළහ. එසේ තිබිය දී, මෑතක පළවූ එක් පුවත්පත් වාර්තාවකට අනුව, ඔහු කොහේදෝ රටක සිරගෙයක කල් ගෙවන්නේ ලූ. මේ විදිහටම, අර මුහුදු ගිය ධීවරයා ද ඔස්ටේ‍්‍රලියාවට ගොස් වෙනත් පෙලවහක් කරගෙන ඉන්නවා වන්නටත් බැරි නැත. ‘අතුරුදහන් වීම’ තුළ එකී අනියත භාවය හැම විටකම තිබේ. තවත් විදිහකින් කිවහොත්, අතුරුදහන් වීම ‘පරම’ නැත.
එහෙත් ‘අතුරුදහන් කැරැවීම’ එසේ නොවේ. එය පරමයකි. දැන්, ඉහත සඳහන් කළ කණපිට දේශපාලනයේ හැටියට, මේ ‘අතුරුදහන් කැරැවීම’ තුළ ඇති ඒ පරමත්වය පවා දූෂණය කළ යුතුව ඇත. අතුරුදහන් කැරැවීම, අතුරුදයන් වීමක් බවට පරිවර්තනය කළ හැක්කේ එසේ ය. ඒ සඳහා දක්ෂ දූෂකයන් අවශ්‍ය කෙරේ. මීට කලකට ඉහත දී, එක්නැලිගොඩ විදේශ රටක ජීවත් වන බව, එවකට ජනාධිපති උපදේශකයෙකු වශයෙන් සිටි මොහාන් පීරිස් ජාත්‍යන්තර සම්මේලනයක් අමතමින් ලෝකයා ඉදිරියේ ‘හෙළිදරව්’ කෙළේය. ඒ මොහොතේ පටන්, ලෝකයා ඉදිරියේ එක්නැලිගොඩ ‘ජීවත් විය.’ ඊට කලකට පසු, එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ ‘දෙයියෝ තමයි’ යනුවෙන් ලංකාවේ අධිකරණයක් ඉදිරියේ ඔහුම කියා සිටියේය. මෙසේ සීමිත කාලයකට එක්නැලිගොඩට පණ දී, අනතුරුව දෙවියන් පමණක් දන්නා පරලොවකට ඔහුව පිටමං කළ මොහාන් පීරිස් අද අපේ අධිකරණයේ මුල් පුටුව හොබවයි.
එතැන් සිට ප‍්‍රගීත් එක්නැලිගොඩ නැවත වතාවක් නොපවතින පරමයක් බවට පත්විය. කාලය ඉක්ම ගියේය. දැන්, මෙතෙක් නමින් හැඳින නොසිටි අප‍්‍රකට දේශපාලඥයෙක් නැවතත් අර පරමය දූෂණය කිරීම සඳහා ඔසවා තැබෙයි. තට්ටෙ ගාගෙන ජීවමානව සිටි එක්නැලිගොඩව ඔහුට යුරෝපයේ දී හමු වී තිබේ. ඒ, මීට හය මාසයකට කලිනි. එහෙත්, කල් යල් බලා, හෙවත් සතර පෙරනිමිති බලා, ඔහු අපට එය හෙළිකර සිටින්නේ දැන් ය. මේ පුද්ගලයා හරහා අපේ පාලකයන්, නැවතත් එක්නැලිගොඩව ජීවමාන කොට, ඔහුගේ අතුරුදහන් කැරැවීම කණපිට හරවා තිබේ. මේ අළුත් ‘ශුභාරංචිය’ හරහා එක්නැලිගොඩගේ නොපැවැත්මේ පරමය නැවතත් සාහසිකව දූෂණය කිරීම තුළින්, අප‍්‍රකට ප‍්‍රාදේශීය දේශපාලඥයෙකු, ප‍්‍රකට නාමධාරියෙකු වෙමින්, ජාතික දේශපාලන තලයට පිවිසෙයි.
මේ දේශපාලඥයාට අනුව, ඔහුගේ මේ හෙළිදරව්ව දැන ගත් සැණින්, සන්ධ්‍යා එක්නැලිගොඩ ජනාධිපතිවරයාව හමු වී සිය සැමියා ගැන සොයා බැලිය යුතුව තිබූණේ ලූ. නැවතත් අප එළැඹෙන්නේ අර කී කණපිට දේශපාලනයේ ඉසව්වට යි.
එක්නැලිගොඩ යනු, ලංකාව පමණක් නොව, මුළු ලෝකයාම ‘රවටමින්’ ස්වේච්ඡාවෙන් අතුරුදහන් වී සිටින්නෙකි. ඒ අර්ථයෙන් ඔහු ‘අපරාධකරුවෙකි’. එවැනි අපරාධකරුවෙකු දුටු සැණින්, නීතිගරුක පුරවැසියෙකුගේ, විශේෂයෙන් රටක නීති සම්පාදනයේ යෙදෙන මහජන නියෝජිතයෙකුගේ වගකීම විය යුතුව තිබුණේ, ප‍්‍රංශයේ හෝ වෙනත් රටක ඔහු දුටු තැනට නුදුරු පොලිස් ස්ථානයකට ඒ බව දැනුම් දීමයි. ලංකාවේ දී නීති ගරුකත්වය අවමයෙන්ම අපේක්ෂා කළ හැකි වරප‍්‍රසාදිත මිනිස් කොට්ටාසය දේශපාලඥයන් වන නිසා, එවැන්නක් ගැන ඔහුට හීනෙන්වත් සිතෙන්නට නැතුව ඇති.
ලංකාවට පැමිණීමෙන් පසුව පවා ඔහුට ඒ ගැන හදිසියක් නොවුණි. අවුරුදු භාගයක්ම, මේ ‘අපරාධකරුවා’ අල්ලා නොගෙන කාලය කාදැමුණි. කමක් නැහැ, දැන් එම අපරාධකරුවා ඉන්නා තැනක් ගැන හෝඩුවාවක් අපේ පොලීසියට තිබේ. ඒ හෝඩුවාව සපයන මේ සාක්ෂිකරුවා ගෙන්වා වහා පරීක්ෂණ ආරම්භ කිරීම පොලීසියේ වගකීමක් විය යුතුව තිබිය දී, සන්ධ්‍යා එක්නැලිගොඩ කුමක් සඳහා නම්, ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කරන්න ද?
[Image Credit:http://passionparade.blogspot.com/]
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda
අරුන්දිකගේ ‘‘එක්නැලිගොඩ’’නාඩගමේ අසාර්ථක පිටපත ගැන මගේ කියැවීම
June 14, 2013 by Manjula Wediwardhana
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Life quips, Media, Media and Communications, Politics and Governance
අපට දැන හැඳුනුම්කම් කලින් සැළසුම් කළ නො හැකි ය. දැන හැඳුනුම්කම් එසේ සැළසුම් කළ හැකි වී නම් මා පමණක් නොව තවත් බොහෝ අය අරුන්දික ප‍්‍රනාන්දු වැන්නන් දැන හඳුනාගන්නේ නැත. එහෙත් මිත‍්‍රකම් කළින් සැළසුම් කළ හැකිය. අරුන්දික ප‍්‍රනාන්දු කිසිමදාක මගේ මිතුරෙකු නො වන්නේ එබැවිනි. දැනහැඳුනුම්කමක් මෙසේ මිත‍්‍රකමක් ලෙස දක්වීමට සහ ඒ හරහා රටේ මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල ප‍්‍රමුඛ සිද්ධියක් මුළුමනින් ම අසත්‍ය ප‍්‍රබන්ධයක් බවට පත්කිරීමට අරුන්දික ප‍්‍රනාන්දු ගන්නා නින්දිත උත්සාහය මම පළමුකොටම පිළිකුල්සහගතව හෙළා දකිමි. එසේම ඔහුගේ මනංකල්පික සිද්ධියට අමනෝඥ ලෙස මා ඇඳා තිබීම මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමි. ප‍්‍රජතන්ත‍්‍රවිරෝධී වත්මන් මිනීමරු ආණ්ඩුවේ සීමා රහිත ප‍්‍රබන්ධ අතරේ වන තවත් ප‍්‍රබන්ධයක රගපාන්නට බැරි නළුවකුගේ තත්වයට අරුන්දික ප‍්‍රනාන්දු පත්ව ඇත. මිත‍්‍රකම් නිර්මාණය වීමට හේතු තිබේ. මිත‍්‍රත්වයන් ගොඩනැෙ`ගන්නේ මූලධාර්මික කාරණා, ජීවන දර්ශනයේ සමාන්තරකම් , රුචි අරුචිකම් ආදී ලකුණු මත ය. නමුත් අරුන්දික යනු ඉතිහාසයේ කිසිම දවසක මා සම`ග මිත‍්‍රකමක් ගොඩනැගීමට අවශ්‍ය කිසිදු සුදුසුකමක් සපුරා ඇත්තෙකු නොවේ. ඒ බැව් ඔහුගේ පාදඩ දේශපාලන භාවිතය නිරීක්ෂණයෙන් පමණක් වුව පැහැදිලි කර ගැනීමට පිළිවන.
වත්මන් මිනීමරු ආණ්ඩුව පැහැදිලව වගකිවයුතු ප‍්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීමට නිෂ්චිත පිළිතුරක් නොදී, විවිධ කවටයන් යොදමින් ‘ප‍්‍රගීත් ඉන්නවා’ යැයි පවසන්නට ආණුඩව මෙ තරම්ම වලිකන්නේ ඇයි?
ප‍්‍රගීත් එක්නැලිගොඩගේ මාධ්‍යභාවිතයට ඉතිහාසයක් ඇත. ඔහු අවසන් වරට සිදුකළ ලංකා ඊනිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය මැදිහත් වීම් මත පමණක් ඔහුගේ භාවිතය රඳා පවතින්නේ නැත. ශ‍්‍රී ලාංකීය ජනසමාජයේ සංස්කෘතික කතාකාවට අතිශයින් සාධනීය මැදිහත් වීමක් කරමින් 80 දශකයේ ප‍්‍රකාශිත මාවත සගරාව දක්වා ඔහුගේ මාධ්‍ය ඉතිහාසය ගොඩ නැගී ඇති බැවිනි. එ බැවින් ඔහු වනාහී ගිරා පෝතකයකු නොව සමාජ විග‍්‍රහයක් සහිත මාධ්‍යවේදියකු හා සමාජ ක‍්‍රීයාකාරිකයකු බව අප වටහා ගත යුතු ය. ආණ්ඩව සමග ඍජුවම සම්බන්ධවන කුලී ලියන්නන් මෙන්ම ඒ බව සගවා ගනිමින් එකී කාර්යයේම නිරතවෙන මාධ්‍යවේදින් යැයි හඳුන්වා ගන්නා සියල්ලන් අවශ්‍යයෙන්ම අතහැර දමන ඉතිහාසය එයයි.
කෙසේ වුවද ඔහු අතුරුදහන් කිරීමෙන් පසු ආණ්ඩුවට ගැළවී හෝ ම`ග හැර දමා සිටිය හැකි දහස් ගණන්ක් සිද්ධි අතරේ වන තවත් එක් සිද්ධියක් නොවුණේ ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ තම සැමියා වෙනුවෙන්ද, දරුවන් දෙදෙනා තම පියා වෙනුවෙන්ද අඛන්ඩව අනිකුත් මාධ්‍ය සංවිධාන, සිවිල් සංවිධාන හා විපක්ෂයේ සියලූ දේශපාලන සංවිධාන සමග එක්වී සටන් ක‍්‍රියා මාර්ග ගැනීම හේ තුවෙනි. එය අනවරත අරගලයක් මෙනි. එ බැවින් තවමත් ප‍්‍රගීත් සජීවි පුද්ලගයෙකු ලෙස සමාජය තුළ රඳවා ගැනීමට මෙම ප‍්‍රයත්නය පැහැදිලිවම සමත් වී තිබුණි. අප පවා එම අරගලයට දායක වූ අතර ප‍්‍රගීත් අතුරුදහන් කර දෙසිය වැනි දිනයේ පැවති සම්මන්ත‍්‍රණයේදී සන්්‍යා විසින් කියවන ලද්දේ මා විසින් ලියන ලද කවියකි. එළි දැක්වීමට නියමිත ප‍්‍රගීත් පිළිබඳ අලූත් කෘතියේ ද මා විසින් ලියැවුණු වෙනත් රචනාවක් වේ. කෙසේ හෝ සියල්ලන්ගේම මැදිහත්වීමෙන් අඛන්ඩව සිද්ධ වෙමින් පැවතියේ මෙම සිද්ධිය දිගින් දිගට ම ජාත්‍යන්තරයේ සංවාදයට බඳුන් වීමයි. සන්ධ්‍යා හා දරු දෙදෙනාද, ඔවුන් වටේ සිටින සියලූම දෙනා හා සංවිධාන ද නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ නම් ප‍්‍රගීත් පිළිබඳ මතකය මෙසේ අදටත් ජීවමානව නොපවතිනවා සේ ම ප‍්‍රගීත්ගේ සිද්ධිය මෙතරම් දුරදිග ගෙනයන්නට ආණුඩවට ද වුවමනා නොවනු ඇත.
ප‍්‍රගීත් පිළිබඳ මුලින්ම අරුන්දික පන්නයේ ප‍්‍රකාශයක් කළේ එවක ආණ්ඩුවේ මාධ්‍ය කටහඬ වූ අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය. ඔහු පවසා සිටියේ ප‍්‍රගීත් සිටින බවත් ඔහුව අද හෙට ඉදිරිපත් කිරීමට කියමිත බවත් ය. ඔහුගේ ආයෝජනයට කෘතගුණ සැළකූ ආණ්ඩුව විසින් ඔහුගේ තත්වය ආයෝජන ප‍්‍රවර්ධන කැබිනට් අමාත්‍යධූරය දක්වා ප‍්‍රවර්ධනය කෙරුණි.
ඉන් අනතුරුව නීතිපති මොහාන් සිල්වා ජිනීවාහී එක්සත් ජාතීන්ගේ වදහහිංසවටන්ට එරෙහි කමිටුවේ 2011 නොවැම්බර් සැසිවාරයේ දී පැවසූයේ ප‍්‍රගීත් එක්නැලිගොඩ වෙනත් රටක දේශපාලන රැකවරණ ලබා සිටිනා බව ය. ජාත්‍යන්තරයට එසේ කී මොහාන් පීරිස් ශ‍්‍රී ලංකාවේ අධිකරණයට පවසා සිටියේ ප‍්‍රගීත් ඉන්නා තැනක් දන්නේ දෙවියන් පමණක් බවයි. නිර්ලජ්ජිත ආණ්ඩුවක් වෙනුවෙන් ජාත්‍යන්තරය හමුවේ එවන් බේගලයක් කීමට අවදානමක් ගැනීමේ නින්දිත, නීච ක‍්‍රියාවට කෘතගුණ සැළකීමක් ලෙස ආණ්ඩුවෙන් ඔහුට පිරිනැමුණේ සමස්ථ අධිකරණ දේහයේ ම අග‍්‍රවිනිශ්චයකාර තනතුර ය.
ප‍්‍රගීත් සම්බන්ධයෙන් ම මෙවන් බොරුවකට සම්මාදම් වීම නිසා තමන්ටත් එවන් දොළ පිදේනියක් ලැබෙන්නට පිළිවනැයි අරුන්දික මන්ත‍්‍රිවරයා හිතනවා වන්නට ඇත. අද හෙටම නියෝජ්‍ය අමාත්‍යධූරයක දිවුරුදීමට ඔහු සිහින දකිනවා වන්නට පිළිවන. අවම වශයෙන් අධීක්ෂණ මන්ත‍්‍රීධූරයක්වත් ලබා ගැනීම ඔහුගේ උත්සාහය වන්නට පිළිවන. සියලූම විෂයයන් ‘සීනි කිරීම’ දක්වාම බෙදා ඇති බැවින් ඒ සඳහා විෂයයක් සොයා ගැනීම අතිශයින් බැ?රුම් කාර්යයක් වන්නට පිළිවන. ‘දැන හැඳුනුම්කම් අලූත්වැඩියා කිරීම’ හෝ ‘අතුරුදහන් වූවන් සොයා දීම’ වැනි විෂයක් යටතේ නව අමත්‍යංශයක් පිහිටුවා එය ඔහුට බාර දීමට ඉඩ ඇති බවට ඔහුගේ ටිකිරි මොළයට දැනෙනවා වන්නටද පිළිවන.
මෙහි වඩාත් උත්ප‍්‍රාසාත්මක කරුණ වන්නේ මෙම ප‍්‍රකාශය නිසා ප‍්‍රගීත් පිළිබඳ සිද්ධියේ මේ මොහොතේදී ප‍්‍රගීත්ටත් වඩා ගොදුර බවට පත්ව ඇත්තේ අරුන්දික මන්ත‍්‍රීවරයා වීම ය. මේ බව ජනාධිපතිවරයා ඇතුළු සියල්ලන්ම දන්නා කරුණකි. එය නොදැන සිටින්නෙකු වේ නම් ඒ අරුන්දිකම පමණි. කලින් වතා වලදී මෙන් ලක්ෂ්මන් යාපා හා මොහාන් පීරිස් බඳු කිසියම් ම හෝ විශ්වාසනීයත්වයක් නිර්මාණය කර ගැනීමට හැකියාවක් ඇති පුද්ගලයෙකු මේ වන විට ආණ්ඩුවට ආණ්ඩුව තුළින්ම සොයා ගත නොහැකි වීමෙන් අරුන්දික ප‍්‍රනාන්දු බඳු රජවාසල කවට කේවට්ටයන් යොදා ගැනීමට සිදුවීමෙන් ආණ්ඩුවට සිය තාවකාලික අරමුණ පවා සාක්ෂාත් කර ගැනීමට නො හැකි වි ඇත.
අරුන්දිකගේ මෙම සැළසුම්සහගත නෙයියාඩගම තුළ පිළිතුරු දියයුතු කිසිවක් නැත. එය මුළුමනින්ම මනංකල්පිතයක් වන බැවිනි. ප‍්‍රංශයේ දී කිසිදු දිනෙක අරුන්දික ප‍්‍රනාන්දු නැමැත්තා මට හමුවී නැත. ඔහු එකම එක් වතාවක් ප‍්‍රංශයට පැමිණ මා ද හඳුනන වෙනත් පුද්ගලයකුගේ දුරකතනයකින් මා හට කතාකළේ ය. ඒ මෙයින් වසරකුත් මාස 3කට පෙර 2012 මාර්තු මාසයේ ජිනිවාහි පැවති එක්සත් ජාතීන්ගේ සැසිවාරයට පසු ඊට ආසන්න දිනයක ය. එදා මා හමුවන්නට ඔහු කැමැති බව දුරකතනයෙන් කියා සිටියත් ඔහු හමුවීමට මට කිසිදු හේතුවක් හෝ අවශ්‍යතාවක් නොතිබූ බැවින් අප අතර හමුවීමක් සිදු නොවිණි.
එහෙත් For the sake of argument යන පදනම පමණක් මත මා ප‍්‍රශ්න කිහිපයක් හෝ මතු කිරීම ඔහුගේ සංතෘෂ්ටියට හේතු වනු ඇත.
මා මේ නගන ප‍්‍රශ්න වලට මවිසින් උත්තර දෙනු ලැබීම අවශ්‍ය නොවන්නේ අරුන්දිකට මා හමුවූවාට, මට ඔහු හමුවී නැති බැවිනි. එහෙත් අරුන්දික මේවාට මට නොව රට හමුවේ පිළිතුරු දිය යුතු ය. මන්දයත් අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් හා පිටුවහලේ සිටින මා ද ඇතුළත් සිද්ධියක් ඔහුට අත්විඳින්නට සිදුවී ඇති බැවිනි.
1 ඔහු පවසන්නේ ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දී මා හමුවූයේ 2013 ජනවාරි 09 වැනිදා රාත‍්‍රීයේ බව ය. එදින ඔහු මට දුරකථන ඇමතුමක් ලබා දුන්නේ කීයටද, කවරකුගේ දුරකථනයෙන් ද යන්න ප‍්‍රකාශ කළ යුතු ය. (සන්ධ්‍යාට කියන්නා සේ කතා කිරීමට ස්කයිප් බඳු වෙනත් මාර්ග ඇතැයි නොකියන්නේ නම් බෙහෙවින් කාතඥ වෙමු.) එවිට ඔහු එවැනි දුරක තන ඇමතුමක් මට ලබාදුන්නාද නැතිනම් එය ඔහු ගේ ප‍්‍රබන්ධයක් ද යන්න ඔප්පු කර පෙන්විය හැකි ය.
2 අරුන්දික පවසන්නේ අප හමුවීමට මිලංක නම් පුද්ගලයා සමග Out of Paris හි කිසියම් ස්ථානයකට පැමිණි බවයි. ඔවුන්ගේ දැනුම වැදගත් විය හැකි බැවින් එය මේසේ හඳුන්වා දීමට අපට හැකි ය. පැරිස් නම් වන කේන්ද්‍ර නගරය පරිපාලනයේ පහසුව සඳහා Arrondisment නම් වන දිස්ත‍්‍රීක්ක වශයෙන් සැළකිය හැකි පරිපාලන ඒකක 20කට බෙදා ඇත. Out of Paris යනුවෙන් හඳුන්වන්නේ මේ ඒකක 20ට පිටතින් පවතින් ප‍්‍රංශ දූපත (Ile- de- France) යන කළාපයට ඇතුළත් සෙසු ප‍්‍රදේශ වලට ය. මා සිටියේ යැයි පැවසෙන අරුන්දික නොදන්නා, ඔහුගේ අනුගාමිකයා දන්නා ආසන්නම නගරය කුමක්ද?
3 ඔහු මා හමුවන්නට රැගෙන ආවායැයි කියන මිලංක නැමැති පුද්ගලයා මගේ සොයා බැලීම් වලට අනුව පැරිසියේ වෙසෙන දේශපාලනය ගැන මුං ඇටයක තරම්වත් දෙයක් නොදන්නා කැපුවත් නිල් පන්නයේ කිසිදු විචාරශීලීභාවයක් නැති නිල් බලකා මුහුණුවරක් සහිත අලූත් ශ‍්‍රීලංකාකාරයෙකි (SLFP). ඒ බැව් පැරිසියේ වෙසෙන ශ‍්‍රීපනිප ක‍්‍රියාකාරීන්ගෙන් විමසා දැන ගත හැකි ය. මේ පුද්ගලයා අරුන්දිකගේ මිතුරෙක්ද? මිත‍්‍රයෙක් නම් ඒ මිත‍්‍රකම කවර පදනමකින් පවතින්නක්ද? එහි ඉතිහාසය කුමක්ද? මේ මිත‍්‍ර මිලංක ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරිකයෙක්ද? නැද්ද? මේ පුද්ගලයා නිවාඩුවකට ශ‍්‍රී ලංකාවට ගියාද? නිවාඩුවකට ගියා නම් ඒ කවදා සිටද? නොඑසේ නම් අරුන්දික ඉතුත් ජූනි 5 වැනිදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ඓතිහාසික අමනෝඥ ප‍්‍රකාශයෙන් පසු ක්ෂණිකව ලංකාවට ගෙන්වා ගත්තාද? නැද්ද?
4 අරුන්දික අවම වශයෙන් මා හමුවීමට එනවිට අදාල ස්ථාන නාමය නොදැන ආවා යැයි සිතූවද මා ප‍්‍රගීත් එක්නැලිගොඩ යැයි කෙනෙකු පෙන්වා දුන් පසුත් ස්ථානය මතක තබා ගැනීමට ක‍්‍රියා නොකළේ ඇයි?
5 ප‍්‍රගීත් එක්නැලිිගොඩ යනු ශ‍්‍රී ලංකාවේ රජයට මහත් බලපෑමක් ඇති සිද්ධියක කතා නායකයා ය. එවන් කෙනෙකු මා පෙන්වූයේ නම් ඒ මොහාතේ ම පැරිස් නගරයේ පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුවත් කිරීම මහජන නියෝජිතයකු වන ඔහු ගේ අනුල්ලංඝනීය වගකීමකි. එසේ කළේ ද? ඒ පිළිබඳ සාක්ෂි මොනවාද? ඒ සම්බන්ධයෙන් මාස හයකට පසු එම තානාපති කාර්යාලය ගෙන ඇති පියවරයන් මොනවාද? මන්ත‍්‍රීවරයා එසේ තානාපති කාර්යාලයට පැමිණිලි නොකළේ නම් ඒ ඇයි?
6 එසේ ම ඔහු ශ‍්‍රීලනිපය නියෝජනය කරන මහජන නියෝජිතයකු වශයෙන් පැරිස් නගරයේ ඇති ශ‍්‍රීලනිප පැරිස් ශාඛාවේ නිළධාරීන් දැනුවත් කළ යුතු ය. එසේ කළේද? කවුරුන් හමුවේද? එම ශාඛාව මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද? එවැනි දැනුවත් කිරීමක් සිදු නොකළේ නම් ඒ ඇයි?
7 ශ‍්‍රී ලංකාවේ ‘අදාළ අංශවලට’ මේ පිළිබඳව තමන් දැනුම් දුන්බව මන්ත‍්‍රීවරයා කියයි. ඒ ‘අදාළ අංශ’ මොනවාද? එසේ දැනුම් දුන්බවට ඇති සාක්කි මොනවාද? ඒ ඒ ‘අදාළ අංශ’ මාස හයක් තිස්සේ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති කි‍්‍රයාමාර්ග කවරේද? ඒවායේ ප‍්‍රගතිය කුමක්ද?
8 මේ පියවරයන් කිසිවක් නොගත්තේ නම් වගකිවයුතු මන්ත‍්‍රීවරයකු වශයෙන් ඔහු මාස හයක් තිස්සේ මෙය වසන් කරගෙන සිටියේ ඇයි? පසුගිය මාර්තුවේ එනම් අරුන්දික ප‍්‍රනාන්දු දැන් එළිකරන හමුවීමෙන් මාස තුනක් ගියතැන පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේ දී ද ප‍්‍රගීත් ගේ අතුරුදන් කිරීම ගැන ප‍්‍රශ්නය සාකච්ඡුාවට බඳුන් වූ අතර, එය එවර ද ශ‍්‍රී ලංකා ආණ්ඩුවේ අවාසියට පැවැති එක් ප‍්‍රමුඛ කාරණයක් විය. මෙතරම් වැදගත් සමුළුවක දී, එහි විමසීමට භාජනය වන ප‍්‍රමුඛ සිද්ධියක් ගැන මෙතරම් වැදගත් සාක්ෂ්‍යක් ළඟ තබාගෙනත් මන්ත‍්‍රීවරයා හෝ ආණ්ඩුව ඒ ගැන කටේ කෙලපොදක් ජිනීවාහි දී බිම නොහෙලූවේ ඇයි?
9 ප‍්‍රංශය හෝ පැරිසිය ගැන කිසිවක් නොදන්නා බව අගවන්නට අරුන්දික තැත් කරයි. එහෙත් ඔහුට ප‍්‍රංශය අලූත් තැනක් නොවේ. එබැවින් ඔහුගේ දෙමාපියන් පැරිසියේ ස්ථිර පදිංචියට පැමිණ ඇත්තේ කවරදාකදැයි ඔහු කිව යුතු ය. ඔහු මෙතෙක් කී වතාවක් ප‍්‍රංශයට පැමිණ තිබේද?
10 දෙමාපියන්ට අමතරව ඔහුට ප‍්‍රංශයේ වෙනත් ඥාතිවරු සිටිත්ද? සිටී නම් ඒ කවුරුන්ද?
11 මිලංක යන්නාගේ නමට අමතරව ඔහු තව නම් දෙකක් මේ සිද්ධියට ඈඳා ගනියි. පළමුවැන්න කර්නල් නිලංග ය. කර්නල් නිලංග යනුවෙන් ඔහු හඳුන්වන හමුදා නිලධාරියා නිලංග ප‍්‍රනාන්දු නම් ඔහු මා පංතියේ සිටි ශීෂ්‍යයෙකි. මතකයට අනුව නිලංග අරුන්දිකගේ පංතියේ සිටියකු නොවේ. පාසැලෙන් නික්ම යාමෙන් පසු මා නිලංග පළමුවරට හා අවසාන වරට දුටුවේ එකම දිනයකදී ය. වසර 15කට පමණ ඉහත පැවති ශාන්ත ජෝෂප් – ශාන්ත පීතර වාර්ෂික සීමිත ඕවර කි‍්‍රකට් තරගයකින් පසුව ය. එවක ඔහු ලූතිනන්වරයෙකු හෝ කපිතාන්වරයෙකු වන්නට ඇත. නමුත් මේ සිද්ධියෙන් පසු නැවතත් ඔහු හා මා අතර කිසිදු සමබන්ධතාවයක් පැවතී නැත. එබඳු අවශ්‍යතාවක් මා තුළ පැවතියේ නැත. ඔහුටද එසේ වන්නට පිළිවන. මෙකී හමුවීමට අමතරව අවම වශයෙන් එක්වතාවක් හෝ මා හා නිලංග මුණ ගැසී හෝ අවම වශයෙක් කතා කර හෝ ඇත්දැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?
12 අරුන්දික සඳහන් කරන අනෙක් නම අසේල ය. ඔහු මේ පවසන්නේ අසේල ඩයස් ගැන නම් ඔහු අපට වඩා වසර පන්ති දෙකකින් පහළ සිටි අප පාසලේම චණ්ඩිපහේ ශිෂ්‍යයෙකි. මෙම ශිෂ්‍යයා ඇතුළු කණ්ඩායමෙන් අරුන්දික විවිධ අඩන්තේට්ටම් විඳ ඇත. එහෙත් අරුන්දික තමා මන්ත‍්‍රීවරයෙකු වශයෙන් පත්වූ විගස මෙම අසේල ඩයස් තමන්ගේ ලේකම්වරයෙකු ලෙස බඳවාගෙන තිබුණි. නමුත් මෙම අසේල ඩයස් හා මා අතර කිසියම්ම හෝ සම්බන්ධයක් පාසල තුළ හෝ පාසලෙන් ඉවත්වීමෙන් පසු ඉන් පිටත පැවති යැයි අරුන්දිකට ඔප්පු කළ හැකිද?
13 කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලය ප‍්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ කිසිඳු තොරතුරක් තම රජය සතුව නැතැයි නිල වශයෙන් ප‍්‍රකාශකර සිටියදී පවා පැරිසියේ පිහිටි සිංහල සංගම් සියල්ලක්ම ප‍්‍රගීත් ප‍්‍රංශයේ ජීවත් වන බව තහවුරු කරන්නේය යි අරුන්දික පවසයි. ඒ කුමන සංගම්ද යන්න හා සාමාජිකයන් සියල්ලන්ම නොවුණත් අවම වශයෙන් ප‍්‍රගීත් ගැන දන්නා මෙම සංගම්හි ප‍්‍රමුඛ නිළධාරීන්ව නම් කරලීමට අරුන්දික ක‍්‍රීයා කළ යුතු ය. එසේ කිරීමට ඔහුට හැකිද?
14 ප‍්‍රගීත් ප‍්‍රංශයේ ඉන්නා බවට කරන ලද මේ ‘අඩ වසරක් පැරැණි නවතම සොයාගැනීමත්’ සමඟ අරුන්දික ප‍්‍රනාන්දු හෝ ආණ්ඩුව ගෙන ඇති රාජ්‍ය තාන්ත‍්‍රික කි‍්‍රයාමාර්ග කවරේද? විශේෂයෙන් කොළඹ පිහිටි ප‍්‍රංශ තානාපති කාර්යාලයේ නිවේදනය සම්බන්ධයෙන් මේ වන තුරු ගෙන ඇති පියවර මොනවාද?
තත්වය මෙසේ තිබියදී හිටිහැටියේ ම පාර්ලිමේන්තුවේ දී ප‍්‍රගීත් ගැන කියන්නට අරුන්දිකට ඇති වන මාරාන්තික හදීසිය කුමක්දැයි විමසා බැලිය යුතු ය. ඇත්ත වශයෙන් ම ඒ හදිසිය ඇත්තේ අරුන්දිකට නොව ඔහු වැනි අඳබාල හෙන්චයියන් රූකඩ සේ නටවා නාඩගම් පෙන්වන ආණ්ඩුවට ය. දෙමළ මළසිරුරු දස දහස් ගණනින් කඳු ගැසීමෙන් නොනැවතී ඔවුන්ගේ භූමිය පවා මංකොල්ලකමින් සිටින ආණ්ඩවකට කළ හැක්කේ මෙවන් නෙයියාඩගම් නැටීම පමණකි. කිසිඳු වගවිභාගයකින් තොරව පවත්නා දෙමළ දේශපාලන සිරකරුවන්ද ඇතුළු අතුරුදහන් කිීරීමේ සිද්ධි දහස් ගණනකි. ජාත්‍යන්තර පර්යේෂණවලින් සත්‍ය බවට තහවුරු වූ යුද අපරාධවලට සම්බන්ධ බලවත් වීඩියෝ හා ඡුායාරූපමය සාක්ෂ්‍ය බොහොමයකි. මේ කිසිවක් ගැන පිළිගතහැකි පරීක්ෂණයක් නැත. වගකිවයුත්තෙක් නැත. අතුරුදන් වූවකු හෝ අතුරුදන් කරවූවකු ද නැත. ඇත්තේ ලිංමැඩි සිිංහල ජාතිවාදීන් පිනවන මේ ජාතියේ නාඩගම් නැටීම් පමණි. මේවා මේ ලංමැඩි ජාතිවාදීන්ට හරිගියාට රටතුළ වෙසෙන විවෘත මනසක් ඇති සැබෑ මනුෂ්‍යයන්ට හරියන්නේත් නැත. සම්මුති ගිවිසුම් ආදියෙන් හා රාජ්‍යතාන්ත‍්‍රික වශයෙන් බැඳීම් ඇති ජාත්‍යන් තරයට හරියන්නේත් නැත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් නවනීදම් පිල්ෙලෙ එළැඹෙන අගෝසතු මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත ය. ඇගේ වාර්ථාවද සහිතව සැප්තැම්බරයේ යළිත් ජිනීවා මානව හිමිකම් කොමිසම රැුස්වීමට නියමිත ය. සුවිශාල ජාත්‍යන්තර විරෝධයක් හමුවේ නොවැම්බරයේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක හමුව ශ‍්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත ය. ඒ හැම තැනකදී ම ප‍්‍රගීත්ගේ අතුරුදන් වීම යළි යළිත් ප‍්‍රශ්න කැරෙනු ඇත. මේ ප‍්‍රශ්න කිරීම්වලින් බේරීමට ප‍්‍රගීත් සිද්ධිය ගැන මෙවැනි ප‍්‍රබන්ධ කතාවක් ගොතා එය සිය ඇම්බැට්ටයකු ලවා කියවීමෙන් හැකිවෙතැයි කිසිදු රාජ්‍ය තාන්ත‍්‍රික ඥානයක් නැති රාජපක්ෂ රෙජීමය සිතනවා ඇත. අනෙක් අතට ජාත්‍යන්තර තලයේ කුමක් වුවත්, මේ ප‍්‍රශ්නය මේ ප‍්‍රධාන ජාත්‍යන්තර අවස්ථාවනිහි දී මතුපිටට පැමිණෙන විට ලංකාවේ මිනිසුන් හෝ රවටාගැනීමට මේ ප‍්‍රබන්ධය ඉවහල් වනු ඇතැයි ඔවුන් සිතනවා වන්නට පිළිවන. මේ කිසිවක් ගැන හාකවිසියක් නොදන්නා අරුන්දික වැන්නෝ නොදන්නා නාඩගමක බහුබූතයන්ට අඳිති.
අවසානයේ එකම එක කරුණක් දක්වමි. කලක් අරුන්දික හා මා දෛනිකව මුණගැසුණු පාසැල ඔහුට සිහිපත් වනු පිණිසය. ප‍්‍රකට ලියවිල්ලක් වන ශාන්ත පීතරයන්ගේ පළමුවැනි සාමාන්‍ය පත‍්‍රයේ තුන්වැනි පරිිෙඡ්දයේ දසවැනි වගන්තියේ ඔහු මෙසේ ලියයි.
‘‘යහපත් දවස් දකින්නට කැමැති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතාකිරීමෙන්ද වළක්වා ගනීවා.’’
ශාන්ත පීතර නාමකරණය සහිත ස්ථානයකට පොත් බෑගයක් ඔසවාගෙන ඒමට අමතරව එම නාමකරණයෙන් අබමල් රොනක දෙයක්වත් තම ජීවිතයට උකහා ගැනීමට අරුන්දික ප‍්‍රනාන්දු සමත් වි නැත. මේ සිද්ධිය තුළින් අරුන්දිකට මේ තාක් හැකිවී තිබෙන්නේ තමන් පාසල්ගිය මන්ත‍්‍රීවරයෙකු බවට මා ලවා සහතිකයක් ලබා ගැනීම පමණෙකි.
මංජුල වෙඩිවර්ධන | Manjula Wediwardena
2013 ජූනි 12
වෛරී කථන තහනම අත්‍යාවශ්‍යයි
June 14, 2013 by Karapoththa
Filed under Colombo, Constitutional Reform, Democracy, Features, Human Rights, Media and Communications, Peace and reconciliation, Politics and Governance
ජනමාධ්‍ය සහ ප‍්‍රවෘත්ති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියන පරිදි, සියලූ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය සඳහා වන ‘ආචාර ධර්ම පද්ධතියක්’ හඳුන්වා දීමට ආණ්ඩුව සැරසෙයි. රජයේ ‘ඬේලි නිව්ස්’ පුවත්පතට අනුව, ‘රටට වැඩදායක මාධ්‍ය සංස්කෘතියක්’ නිර්මාණය කරනු වස්, මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් අඩංගු පනත් කෙටුම්පතක් ලබන සැප්තැම්බරයේ දී අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
කර්තෘ සංසදය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පෞද්ගලික මාධ්‍ය ව්‍යාපාර සඳහා 2001 දී සාමූහිකව හඳුන්වා දෙන ලද පුළුල් ආචාර ධර්ම පද්ධතියක් දැනටමත් තිබේ. එය, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ පුවත්පත් පැමිණිලි කොමිසම විසින් පිළිගෙන තිබේ. අනිත් අතට, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශකත්වයන් සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව විසින්ම මිස ආණ්ඩුවෙන් නොවන බවත් පැහැදිළියි.
ආණ්ඩුවේ මෙම පියවර දෙස බොහෝ මාධ්‍යවේදීන් බලන්නේ සැකයෙනි. එය, බැටළු හමක් පොරවා ගත් වෘකයෙකු මෙනැ යි ඔවුන්ට සිතේ. මෙම කෙටුම්පතේ එක් වගන්තියකින් වෛරී කථනය පිළිබඳ ඕනෑම ප‍්‍රකාශනයක් තහනම් කිරීමට යෝජනා කෙරේ.
කෙසේ වෙතත්, ආචාර ධර්ම පද්ධතියක් නොව, ජාතීන් අතර වෛරය සහ අසමගියට පාර කපන වෛරී කථන සහ ප‍්‍රකාශන ප‍්‍රසිද්ධ කිරීම සහ විකාශය කිරීම පිළිබඳ දැඩි තහනමක් පැනවීම මේ මොහොතේ අත්‍යාවශ්‍ය දෙයකි. ජනතාව අවුස්සන පෙළපාලි, මහජන රැලි සහ වෙනත් ඒ හා සමාන රැස්වීම් ද ඊට ඇතුළත් විය යුතුය.
ජාතිවාදීන් ඉතා සුළු පිරිසක් විසින් ජාතීන් අතර අසමගිය සහ වෛරයේ ගිනි දැල් ඇවිලවීමට පෙරමුණ ගෙන වැඩි කාලයක් නැත. යම් හේතුවක් නිසා දැනට තරමක් යටපත්ව ඇති මේ විනාශකාරී බලවේග, සිංහල බහුතරයේ නාමයටත්, සමස්තයක් වශයෙන් රටේ ජාතීන් අතර සමගියටත් සිදු කළ හැකි අනර්ථය තේරුම් නොගෙන තවමත් ඔවුන්ගේ හෝ සමහර විට ඔවුන්ගේ ඇමරිකානු, නෝර්වේ හෝ ඊශ‍්‍රායල් හාම්පුතුන්ගේ න්‍යාය පත‍්‍ර මුස්ලිම් ජනතාවට එරෙහිව පවත්වාගෙන යති.
දශක තුනක වාර්ගික යුද්ධයකින් 2009 දී ගොඩ ආ මෙරටට, සියල්ලන් අනර්ථයට හෙලන තවත් දශක කිහිපයක ලේ හැලීමකට දායක වීමට පුලූවන් කමක් නැත. කෙසේ වෙතත්, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ඇතැම් කොටස්, විශේෂයෙන් පසුගිය වසරේ හැසිරුනු විලාසය අනුව, වෛරී කථන, වෛරී ප‍්‍රකාශන සහ එක ජාතියක සිත්සතන් තවත් ජාතියකට එරෙහිව උසිගන්වන වෙනත් එවැනි ක‍්‍රියාවන් තහනම් කිරීමේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.
එසේම, 1948 සිට බලයට පැමිණීමට හෝ බලයේ රැඳීමට ජාතිවාදය පාවිච්චි කළ දේශපාලඥයන් ද, ආගම, සංස්කෘතිය සහ ජන වර්ගය ආරක්ෂා කර ගැනීමේ නියාවෙන් ජාතිවාදය මත යැපීමට තැත් කළ මාධ්‍යය ද, මෑත අතීතයෙන් කිසි පාඩමක් උගෙන නැති බවත් මෙයින් පෙන්නුම් කෙරේ. ඇත්තෙන්ම, මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ ඇතැම් කොටස්, පළිගැනීමේ ලෝලයෙන් පෙලෙන විනාශකාරී බලවේගවල ප‍්‍රචාරක මෙවලම් බවට බොහෝ දුරට පත්ව සිටී.
මෙය අළුත් දෙයක් නොව. එය පටන් ගත්තේ දශක කිහිපයකට කලිනි. උදාහරණයක් වශයෙන්, නිදහසෙන් පසු ආසන්න වකවානුවේ, ලේක්හවුස් සහ ටයිම්ස් සමූහ ව්‍යපාරය, විවිධ ප‍්‍රජාවන්ට නරකට බලපාන කරුණු ඉස්මතු කළ බව පෙන්වා දිය හැකිය. එහෙත් පොදුවේ ගත් විට, ජාතීන් අතර ද්වේෂය සහ හිංසාව අවුස්සන ආකාරයෙන් ඔවුන් ක‍්‍රියා කෙළේ නැත.
එම සම්ප‍්‍රදාය, දවස පුවත්පත් සමාගමේ සම්ප‍්‍රාප්තියත් සමග පොඩිපට්ටම් කෙරුණි. ව්‍යාපාරික අවශ්‍යතා සඳහා නග්න ජාතිවාදය සිය ප‍්‍රධාන වේදිකාව කර ගැනීමට ඔවුන් මැළි නොවුණි. 1968 අගෝස්තු මාසයේ දී, දෙමළ කොන්ග‍්‍රසය ද ඇතුළත් කරගත් ජාතික ආණ්ඩුවක් සඳහා සහාය ලබා ගැනීමේ පොරොන්දුව මත, දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් හඳුන්වා දෙන පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ඩඞ්ලි සේනානායක උත්සාහ කෙළේය.
මෙය, පසු කලෙක එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග ඇති කරගත් එකඟතා සමග සසඳන කල, බලය බෙදා හැරීමේ මෘදු ආකෘතියක් සඳහා වූ උත්සාහයකි. පසු කලෙක දකුණු ආසියාවේ දරුණුතම ඝාතක බිමක් බවට ලංකාව පත්කළ දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වය ඒ මගින් වැළැක්වෙන්නටත් ඉඩ තිබුණි.
එහෙත් මේ යෝජිත දිස්ත‍්‍රික් සභා කෙටුම්පතට විරෝධය පෑ දවස පුවත්පත් ආයතනය, බහුතර සිංහල ප‍්‍රජාව තුළ රුදුරු දෙමළ විරෝධයක් අවුලූවන්නට විය. එය මොන තරම් සාහසික වී ද යත්, එම ආයතනයේම ‘දිනපති’ දෙමළ පුවත්පතේ සේවය කළ මාධ්‍යවේදියෙක්, ‘‘මේ වෛරී ව්‍යාපාරයෙන් රට ඇදගෙන යනු ඇත්තේ කොයිබට දැ’’ ප‍්‍රශ්න කෙළේය. ඒ ප‍්‍රශ්නයට පිළිතුර අද අපි දනිමු.
යෝජිත දිස්ත‍්‍රික් සභා පනතට නැගුණු විරෝධයේ තරමට එම ප‍්‍රයත්නය අතහැර දැමීමට ඩඞ්ලි සේනානායකට සිදුවිය. එහි නොවැළැක්විය හැකි ප‍්‍රතිවිපාකය වුණේ, තමන්ගේ ජනතාවට එවැනි විසඳුමක් පිළිබඳ ප‍්‍රතිඥා දී සිටි ෆෙඩරල් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමයි. ෆෙඩරල් පක්ෂයට තිබුණු විකල්පය කුමක් දැ යි අසනු ලදුව, පසු කලෙක ඝාතනය වූ ෆෙඩරල් පක්ෂ නායක අමිර්තලිංගම් සහ එවකට වීරකේසරී පුවත්පතේ සේවය කළ අභාවප‍්‍රාප්ත ත්‍යාගරාජා මට මෙසේ කීහ: ‘‘ඩඞ්ලි අවංකවම සිය ප‍්‍රතිඥාව ඉෂ්ට කිරීමට උත්සාහ කළා. ඒත්, ජාතිවාදී බලවේග ඒක ඇහුරුවා. ඒක නිසා, ආණ්ඩුවෙන් ඉවත් වෙලා පිට ඉඳං ආණ්ඩුවට සහාය දීම ඇරෙන්න ෆෙඩරල් පක්ෂයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.’’
මාධ්‍ය ඊට වඩා සාධාරණ විණි නම්, පොරොන්දු වූ පරිදි ‘දිස්ත‍්‍රික් සභා’ඇති කෙරුණි නම්, දෙමළ තරුණයන්ගේ කැරලිකාරීත්වයත්, පසු කලෙක ඇති වු ජන සංහාරය සහ රට ආපස්සට ගිය ගමනත් වළක්වා ගන්නට තිබුණි.
එහෙත් එයින් හතළිස් පස් වසරක් ගෙවී ඇති අද, මිනිස් සංහාරයක් සහ මහා විනාශයක් අවසානයේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශ්වකරුවෙකු වන මහජන එක්සත් පෙරමුණ, බලය බෙදා හැරීමේ ඒකකය වශයෙන් දිස්ත‍්‍රික් සභා ක‍්‍රමයක් යෝජනා කරමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා ක‍්‍රමය අහෝසි කරන්නැ යි ඉල්ලන විට, මතුපිටින් පෙනෙන්ට ඇත්තේ මොළේ පෑදී ඇති බවකි. එහෙත් එම යෝජනාව, බලය බෙදාහැරීම සඳහා නොව, පළාත් සභා අහෝසි කිරීම මාර්ගයෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ සුළු ජාතීන්ට හිමිව ඇති අයිතීන් අහිමි කිරීම සඳහා වන විගඩමකට වැඩි දෙයක් නොවේ.
2009 මැයි මාසයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව, සිංහල, දෙමළ සහ මුස්ලිම් ආදී සෑම ජන කොටසක්ම එකාවන්ව, දේශපාලඥයන් සහ මාධ්‍ය ව්‍යාපාරය අතීතයෙන් පාඩම් උගනිති යි බලාපොරොත්තු වූහ. විවිධ ජන කොටස් සාධනීය දිශානතියක් කරා ඒකරාශී කරමින් රට ඉදිරියට ගෙන යාමට උරදෙනු ඇතැ යි බලාපොරොත්තු වූහ. අවාසනාවකට ඒ සියළු ප‍්‍රාර්ථනා දැන් සුනුවිසුණු වී ගොසිනි. දේශපාලඥයෝ තවමත් ඡන්ද බැංකුවම ඉලක්ක කරති. අනිත් පැත්තෙන්, මාධ්‍යයේ වගකීම් විරහිත ආවරණය, දෙමළ ජනතාවට සහ මෑතක සිට මුස්ලිම් ජනතාවට එරෙහිව බහුතර සිංහල ප‍්‍රජාව උසිගන්වන වෑයමකට එක දිගටම උරදෙයි.
පසු ගිය වසරක පමණ කාලය තිස්සේ කුඩා කණ්ඩායමක චන්ඩි ව්‍යාපෘති උඩ දමමින් මාධ්‍යයේ ඇතැම් කොටස් කටයුතු කළ ආකාරයෙන් පෙන්නුම් කරන්නේ, රට ගැන කිසි තැකීමක් නැතිව, දේශපාලඥයන්ගේ පටු ව්‍යාපෘති සාධනය සඳහා වන මෙවලම් වශයෙන් කටයුතු කිරීම හැරෙන්නට අපේ මාධ්‍යයට වෙනත් ඉදිරි දැක්මක් නැති බවයි.
මේ කණ්ඩායම මොන තරම් කුඩා වුවත් ඔවුන් නගන හඩ, පමණටත් වඩා රටට අසන්නට සැලැස්වෙයි. උදාහරණයක් වශයෙන්, මේ කෑකෝගසන පිරිස, වර්තමානයේ 225 ක් වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් 10 ක් හෝ 12 ක් වැනි අල්පයකට වැඩි කණ්ඩායමක් නොවේ. එසේ වතුදු, මේ අන්ත සුළුතරයේ හඩ සඳහා මාධ්‍ය තුළ වෙන් කෙරෙන ඉඩ, බහුතරයේ හඩ යටපත් කරන තරම් ය. බොහෝ මාධ්‍ය ආයතන, මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව සිංහලයන්ව අවුළුවන මතවාද මුල් තැනක් දී නිදහසේ බෙදාහරිනු ලැබේ. අනවශ්‍ය හලාල් ආහාර සහ සත්ව ඝාතනය වැනි ප‍්‍රශ්න උඩ දමමින්, නැති ප‍්‍රශ්න ඇති කරන්නේ ඔවුන් ය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන දැන් උණුසුම් ආකාරයෙන් කෙරෙන සංවාද තුළින් අපට පෙනෙන්නේ, අපේ දේශපාලඥයන්වත්, මාධ්‍යවත් අංශු මාත‍්‍රයකින්වත් වෙනස්ව නැති බවයි. ඉතිහාසයෙන් කිසි පාඩමක් උගෙන නැති බවයි. අද ඔවුන් දරණ ආකල්ප, 1968 දිස්ත‍්‍රික් සභා පනතට විරෝධය පෑ ස්ථාවරයෙන් වෙනස් නැත. මේ තත්වය යටතේ අද අවශ්‍ය කරන්නේ, මාධ්‍ය සඳහා වන මාර්ගෝපදේශ නොව, ජාතීන් අතර වෛරය අවුළුවන කිසිවක් ප‍්‍රකාශයට පත්කිරීම හෝ විකාශය තහනම් කෙරෙන පුළුල් නීති මාලාවකි. ඇත්ත වශයෙන්ම, මාධ්‍ය සඳහා වන මාර්ගෝදේශකත්වය සැපයිය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව වෙතින්ම මිස ආණ්ඩුවෙන් නොවේ.
ලතීෆ් ෆාරුක්
______________________________________________________________________________________________
පරිවර්තනය, ‘යහපාලනය ලංකා‘ අනුග්‍රහයෙනි
[Image credit: www.muni.org]
උතුරේ ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි?
June 12, 2013 by Karapoththa
Filed under Democracy, Features, Human Rights, Kilinochchi, Peace and reconciliation, Politics and Governance
කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත් කිරීමේ නිළධාරියා ලෙස ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් පත්කළ එස්. වීරකත්තිපිල්ලයි තම ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි ග්ලෝබල් ටැමිල් වෙබ් අඩවිය වාර්තා කරයි. එහි වැඩිදුරටත් සදහන් වන්නේ, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය විසින් උතුරෙහි සෑම දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයකම පසුගිය මස ඉඩම් කාර්‍යාලයක් විවෘත කර ඇති අතර මෙම කාර්‍යාලය මඟින් උතුරෙහි රැඳී සිටින හමුදාවට අවශ්‍ය පෞද්ගලික ඉඩම් කඩිනමින් අත්පත්කරදීමේ කටයුතු ද ආරම්භකර තිබුණි.
මෙවැනි තත්වයක පසුගිය අප්‍රේල් මස යාපනය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස කටයුතු කළ ආර්. සිවසුවාමි මහතා තම ධූරයෙන් ඉල්ලා අස්වී ගියේය. අනතුරුව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ඉඩම් අත්පත්කිරීමේ නිළධාරියා ලෙස පත්කරන ලද එස් වීරකත්තිප්පිල්ලයි මහතාද තම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
එහි වැඩිදුරටත් සදහන් වන්නේ, හමුදාව විසින් ඉඩම් අත්පත්කිරීම පිළිගත නොහැකි හෙයින් ඔවුන් තම දූරයෙන් ඉල්ලා අස්වී යන බවට එහි වැඩිදුරටත් පැවසෙන අතර එම පුරප්පාඩූ වූ ධූරයන් සඳහාවූ මෙතෙක් කිසිවකු ඇයඳුම්කර නොමැතිවීම ද විශේෂත්වයකි.
කෙසේ නමුත් උතුරේ දහස් ගණනක් අවතැන් ජනයාගේ ඉඩම් තවමත් ඔවුන්ට ලබා දීමට අදාල බළධාරීන් කටයුතු නොකිරීම තුළ, හමුදාව විසින් ඔවුන්ගේ ඉඩම් පරිහරණය කරන බවට පසුගිය කාලය පුරා වාර්තා වූ අතර, වලිකාමම් ප්‍රදේශයේ ජනයාගේ ඉඩම් ගැටලුව ගැන ඊයේ(11) ද විකල්ප තුළ විස්තරාත්මක සටහනක් පළවිය. එහිදී ද ඔවුන් පවසා සිටියේ තම මුල් පදිංචි ස්ථානයන් හමුදාව විසින් අත්පත්කර ගෙන තිබෙන නිසා තමන්ට එම ඉඩම් නොලැබී යන තත්ත්වයක් ඇති වී තිබෙන බවයි.
කෙසේ නමුත් උතුරේ ජනයාට අයිති ඉඩම්, ඔවුන්ට ලබා දීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම සවිල් පරිපාලනය හා සම්බන්ධ වූවක් වුවත් අන් සෑම තැනදීම මෙන් ඉඩම් ගැටලුවටත් හමුදාව සෘජුවම මැදිහත් වී ඇතැයි උතුරේ ජනයා චෝදනා කරයි. ඒ තත්ත්වයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් සදහා පත්කරන ලද නිළධාරීන් මෙසේ තම රැකියාවලින් ඉල්ලා අස්වීම පිළිබදච එම ජනයා තුල තව තවත් සැක සංකා මතු වීම නොවැලැක්විය හැකිය.
ඒබැවින් යුද්ධයෙන් වසර 4කට පසුත්, සිවිල් ජනජීවිතයේ කාර්යයන් සදහා සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම සිදුකරනවා යැයි පවසන ආණ්ඩුව වහාම කළයුතු වන්නේ මෙම ඉඩම් අත්පත්කිරීමේ නිළධාරීන් ඉල්ලා අස්වන්නේ ඇයි ද යන්න සොයා බැලීමයි. එසේම නිළධාරීන් ලවා හමුදාවට ඉඩම් ලබා දීමට ප්‍රථම වසර ගණනාවක් අවතැන්ව සිටි උතුරේ ජනයාගේ ඉඩම් ඔවුන්ට ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම නොවේද? එසේ නොවුනහොත් ‘ආණ්ඩුව යෝජනා කරන සංහිදියාව‘ හෝ තව තවත් ඈතට යනවා මිසක ලගා කර ගත හැකි වන්නේ නම් නැත.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම
June 10, 2013 by Karapoththa
Filed under Colombo, Constitutional Reform, Democracy, Features, Governance, Human Rights, Peace and reconciliation, Politics and Governance
‘‘පළිගැනීමේ නොව, සීමා නිර්ණයේ දෙවඟන නෙමෙසිස්, ඇස් අයා බලා සිටින්නීය. සීමා පරයන්නන්ට ඈ නිර්දය සේ දඩුවම් කරන්නීය’’ ඇල්බෙයා කැමූ (‘හෙලන්ගේ නික්ම යාම’)
රාජපක්ෂගේ උපාය පරිපාටිය පිළිබඳ එක් තියුණුතම විග‍්‍රහයක් සැපයෙන්නේ ශ‍්‍රී ලාංකිකයෙකු නොවන්නෙකුගෙනි. ඒ, ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති රොබට් බ්ලේක්ගෙනි. රාජපක්ෂ සහෝදරවරු කටයුතු කරන ආකාරය පිළිබඳ බ්ලේක් මහතාගේ නිරීක්ෂණ, රාජපක්ෂලාගේ බල ග‍්‍රහණයට එරෙහිව දැනට ඉතිරිව ඇති අවසාන බාධකය වන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අකර්මණ්‍ය කිරීමේ ඔවුන්ගේ වර්තමාන සැලැස්ම කෙරෙහි විශේෂ එළියක් විහිදුවයි. ඔහු වරක් කියා ඇත්තේ මෙසේය:
‘‘ජනාධිපතිවරයා, බොහෝ විට, තීරණ ගැනීමට අදිමදි කරයි. විශේෂයෙන්, වැදගත් කාරණා සම්බන්ධයෙන් ඔහු කල් මරයි. සමහර විට, තීරණ ගැනීම මුළුමණින්ම මගහරින ඔහු, බොහෝ වගකීම් ගෝඨාභයට සහ බැසිල්ට පැවරීම හරහා ජනතා අප‍්‍රසාදයෙන් වැළකී සිටීමට බලයි. ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ප‍්‍රතිපත්ති සහ දේශපාලන ප‍්‍රතිපත්ති හැඩගැස්වීමෙහි ලා ඔහුගේ සහෝදරයන් රඟපාන්නේ වැදගත් සහ බලපුලූවන්කාර භූමිකාවකි. ඊටත් වඩා, ඔවුන්ගේ ලොකුම රාජකාරියක් වන්නේ, ජනාධිපතිවරයා සඳහා අවශ්‍ය කරන දේශපාලනික ආවරණය සැපයීමයි. ඇතැම් තීරණ ගෝඨාභයට සහ බැසිල්ට බැර වීමට ඉඩ හැරීම මගින්, දේශීය තලයේ සහ ජාත්‍යන්තර තලයේ විවේචනයට ලක්විය හැකි ප‍්‍රශ්නවලට තමන්ගේ සම්බන්ධයක් නැතැ යි ලෝකයාට ඇඟවීමේ හැකියාව ඔහුට ලැබේ.’’
මහින්ද රාජපක්ෂ මිත‍්‍රශීලී ය. බොහෝ දෙනා කියන පරිදි, ප‍්‍රසන්න ය. ගෝඨාභය රාජපක්ෂ, අශිෂ්ටයෙකු වන තරමට, දඩබ්බර ය. බැසිල් රාජපක්ෂ, තෙල් බේරෙන ජේත්තුකාරී ය. දේශපාලනික සූක්ෂම ශ‍්‍රම විභජනයකට කියාපු, එකිනෙකට වෙනස් එවැනි බාහිර චරිත විලාසයන් නිසා, ඔවුන්ගේ පරමාර්ථ අතර ඒකමිතියක් නැතැ යි යන අදහසක් කෙනෙකු තුළ ඇති කෙරෙන අතර, බොහෝ විට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති, යම්තාක් අපසාරී (සමහර විට එකිනෙකාට පරස්පර) දිසානතීන් කෙරෙහි යොමු වෙතැ යි ද කෙනෙකුට සිතෙයි. එවැනි වෙනස් පුද්ගල චරිත ස්වභාවයන් නිසා, විටින් විට, මිථ්‍යාවන් සහ විවිධ කටකතා ද පැතිරෙයි: ‘‘මහින්ද මධ්‍යස්ථයි. ගෝඨාභය තමයි, නපුරා’’ ‘‘මහින්ද දැන් බැසිල්/ගෝඨාභය එක්ක එච්චර හොඳ නැහැ.’’ ‘‘මහින්ද, දැන් ගෝඨාභය/බැසිල්ගේ හිරකාරයෙක් වෙලා’’ වැනි කටකතා එමටයි.
ඕනෑම පවුලක සහෝදරයන් අතර සිදුවන්නාක් මෙන්, රාජපක්ෂලාටත් පෞද්ගලිකව වෙනස් මතිමතාන්තර ඇති. ඒ සමගම, ඔවුන්ට පොදු දේශපාලනික න්‍යාය පත‍්‍රයක් ද තිබේ. බලයේ සෑම දශමයක්ම තමන්ගේ සාමූහික අත්වලට ගොනු කර ගැනීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. බලයට සහ බලපෑමට අදාළ තමන්ගෙන් පිටස්තර වෙනත් ඕනෑම ස්ථානයක් වෙතොත් එය සුනුවිසුණු කර දැමීමට ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. (අධිකරණයට එරෙහි ප‍්‍රහාරයේ දී ඔවුන් තිදෙනාම එකාවන්ව කඳවුරු ගැසුණු අවස්ථාව ඊට මනා නිදසුනකි). පවුලේ පාලනය ආරක්ෂා කර ගැනීමටත්, පවුල් වංශයේ පාරම්පරික උරුමය රැක ගැනීමටත් ඔවුන් තිදෙනාටම අවශ්‍යයි. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොවුණි නම්, මහින්ද රාජපක්ෂගේ දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපති පදවියට උරුම කියන්නේ කවුරුන් ද යන ප‍්‍රශ්නය ගැන මතභේද ඇති වන්නට ඉඩ තිබුණි. එවැනි මතභේද විශාල ගැටුම්වලට පාර කපන්නට තිබුණි. ඒ මගින්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට රාජපක්ෂලාගෙන් ගැලවෙන්නට අවස්ථාවක් ද පෑදෙන්නට තිබුණි. එහෙත් ජනාධිපති ධුර සීමාව ඉවත් කිරීමත් සමග(18) ඒ සාධනීය විභවය අහෝසි විය. දැන් සහෝදරයන්ට තමන්ව බලවත් කර ගැනීමටත් අනිත් සෑම කෙනෙකුවම බලරහිත කිරීමටත්, එකාවන්ව වැඩ කළ හැකිය.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හීලෑ කිරීම, ඒ බල පේ‍්‍රරණයේ මූලික අංගයකි. ඒ සංශෝධනය මේ දක්වාවත් නොනැසී තිබෙන්නේ වෙන කිසිවක් නිසා නොව, එය අවලංගු කළහොත් ඇති විය හැකි ඉන්දියානු/බටහිර ප‍්‍රතිචාරය ගැන රාජපක්ෂලා තුළ තිබෙන විචිකිච්ඡාවන් නිසාම පමණි.
රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය, නිසගයෙන්ම කේන්ද්‍රාභිසාරී ය.(බලය තනි අතකට ගොනු කර ගැනීමේ ප‍්‍රවණතාව). බලය බෙදාහදා ගැනීම කෙරෙහි සහෝදරයන් තුළ ඇති අප්පිරියාව ඔවුන්ගේ බොක්කෙන්ම එන්නකි. පැහැදිළිවම ව්‍යවස්ථා විරෝධී තීන්දුවක් දීම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කළ විට, අධිකරණයට එරෙහිව ඔවුන් එතරම් විසප්පු වුණේ එබැවිනි. තමන්ගේ බලයෙන් පරිබාහිර පළාත් සභාවකට ඔවුන් විරුද්ධ වන්නේත් ඒ අර්ථයෙනි. උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් මගහැර යන්නට සහෝදරයන්ට හැකි වුණු තාක් කල්, එය ගැටළුවක් නොවුණි. එහෙත් ඉන්දියාවෙන් දෙන අල්ලසට ගිජු වීමට සිද්ධ වීම නිසා එම තත්ත්වය වෙනස් වුණි: ඒ අල්ලස වූ කලී වෙන කිසිවක් නොව, රාජපක්ෂලා ලවා සැප්තැම්බරයේ උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හුවමාරුවක් වශයෙන්, නොවැම්බරයේ හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට රාජපක්ෂලා වෙනුවෙන් ඉන්දියානු සහයෝගය සැපයීමයි.
ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ බලය බෙදා හැරීමට එරෙහි රාජපක්ෂලාගේ දේශපාලන ව්‍යාපෘතිය තුළ, ඔවුන්ට තේරීම් දෙකක් තිබේ: සකී‍්‍රය බලයක් රහිත උතුරු පළාත් සභාවක් සඳහා නියමිත කාලයේ මැතිවරණය පැවැත්වීම ඉන් එකකි. නැතහොත්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය කප්පාදු කිරීමේ හදිසි අවදානමක් පෙන්වමින් බිය ගන්වා, පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීම සඳහා ඉන්දියානු අනුමැතිය ලබා ගැනීම තවත් එකකි. (මේ අතර, 13 වැනි සංශෝධනය හෑල්ලූ කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානය මෙම මැතිවරණය වර්ජනය කළහොත්, රාජපක්ෂලාට එම මැතිවරණය ජයගත හැකි වන්නට ද පිළිවන).
රාජපක්ෂලාගේ මේ අළුත්ම උප්පරවැට්ටියට, මීට පෙර දී සේම, මෙවරත් ඉන්දියාව හසු වේ ද? එසේ නැතිව, මුලින් ඇති කරගත් එකඟතාවට ගරු කරන්නැ යි උදක්ම ඉල්ලා සිටී ද? හම්බන්තොට පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව ප‍්‍රාණ ඇපකරුවෙකු වශයෙන් ගන්නට තරම් කොන්දක් ඉන්දියාවට තිබෙයි ද?
ප‍්‍රතිගාමී ව්‍යාපෘතියක්
2007 ජුනි 06 වැනි දා පාන්දර පොලිස් කණ්ඩායම් කිහිපයක් කොළඹ නවාතැන් පොලවල් වැටලූහ. ඒවායේ ලැගුම්ගෙන සිටි දෙමළ ජාතිකයන් (ඉතා මහළු සහ රෝගී අයවළුන් පවා) උතුරු-නැගෙනහිර ගම්වලට යැවීම සඳහා බස්වලට පැටවුණි. මේ පලවා හැරීම නතර කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වන විටත්, පළමු බස් රථ සිය ගමන් අරඹා තිබුණි.
කොළඹ නවාතැන් ගෙන සිටි දෙමළ වැසියන්ව (කළු කොටි සාමාජිකයන් ඔවුන් අතර සිටිති ය යන සැකය මත) මෙසේ කොළඹින් පිටමං කිරීමට තීරණය කෙළේ ආණ්ඩුවේ ඉහළම තැන්වලිනි. මේ ව්‍යවස්ථා-විරෝධී සහ ජාතිවාදී පියවර, ගෝඨාභය රාජපක්ෂ ඉතා රළු ආකාරයෙන් යුක්ති සහගත කළ අතර මහින්ද රාජපක්ෂ ද, ඊට වඩා තරමක් සුමටව, ඊට අනුමැතිය පෑවේය.
ඉන්දු-ලංකා ගිවිසුමෙන් පසු මෙවැනි වාර්ගික දාමරිකත්වයක් ගැන සිතා ගැනීමට පවා පුලූවන් කමක් තිබුණේ නැත. එහෙත් ඒ, රාජපක්ෂලා බලයට පැමිණෙන තෙක් පමණි.
මහින්ද රාජපක්ෂ (එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බලහත්කාරී වර්ජනයට ස්තුතිවන්ත වන්නට) පළමු ජනාධිපතිවරණය ජයගන්නා අවස්ථාව වන විට, ශ‍්‍රී ලාංකිකයන්ගෙන් බහුතරයකගේ ආකල්පය, ජාතිවාදී නොවන හෝ පශ්චාත්-ජාතිවාදී එකකැ යි කිව හැකිය. ජාතික ප‍්‍රශ්නය සඳහා නොමසුරු දේශපාලනික විසඳුමක අවශ්‍යතාව එදා රටේ බහුතරයකගේ පිළිගැනීම විය. උදාහරණයක් වශයෙන්, 2006 ජුනි/ජුලි මාසයේ ‘මාර්ග ආයතනය’ මගින් පවත්වන ලද මත විමසුමකට අනුව, සියයට 66 ක්, ඒකීය රාජ්‍ය රාමුවෙන් එහා යන දේශපාලන විසඳුමකට එකඟතාව පළකළහ. ඒ පොදු මනෝ භාවය, එදා එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද ස්ථාවරයන් සමග සමපාත වුණි: ඒ පක්ෂ දෙකම, අර්ධ-ෆෙඩරල් හෝ ෆෙඩරල් විසඳුමකට එදා සහාය පෑහ.
එසේ පැවති දකුණේ සිංහලයන්ගේ චින්තනය, අනතුරුව පසුගාමී වෙනසකට ලක්වුණේ, රාජපක්ෂ පාලනයේ විපාකයක් වශයෙන් මිස, නිරායාසයෙන් නොවේ. ජාතික ප‍්‍රශ්නයක් ඇතැ යි තමන් විශ්වාස නොකරන බව සහෝදරවරු මුලදීම වාගේ පෙන්නුම් කළහ. ඒ සමගම, හතරවැනි ඊලාම් යුද්ධය වනාහී, බාහිර රටක මැදිහත් වීමක් හරහා 1987 දී සිංහල-බෞද්ධයාට අහිමි කරන ලද, 1956 සිට ඔහු භුක්ති විඳිමින් සිටි ප‍්‍රමුඛස්ථානය නැවත ඔහුට අත්පත් කර දීමේ ව්‍යාපෘතියක ප‍්‍රධාන අක්ෂය වශයෙන්, ඔවුහූ අර්ථගැන්වූහ.
ස්වකීය දේශපාලන ව්‍යාපෘතිය සඳහා අවැසි සහයෝගීතා පදනම ගොඩනගනු වස්, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය හරහා තමන් සහ බහුතර ජනතාවක් අතරේ ෙසෙද්ධාන්ති බැම්මක් සකසා ගැනීමට සහෝදරවරුන්ට අවශ්‍ය කෙළේය. ඒ සමගම, පොදු ආර්ථික අඳෝනා මත, අනාගත සිංහල-දෙමළ-මුස්ලිම් එක්සත් බවක් ඇති නොවන සේ ජාතිවාදී විරසකයක් නඩත්තු කෙරෙන තැනට වගබලා ගැනීමත්, ඔවුන්ගේ තවත් අවශ්‍යතාවක් විය. සකල බලය ඩැහැගැනීමේ ඔවුන්ගේ අභිලාෂයට එරෙහි වන 13 වැනි සංශෝධනය යථා කාලයේ නිෂේධ කිරීමේ දේශපේ‍්‍රමී ආවරණයක් ඊට අවශ්‍ය කෙරේ.
මේ අභිමතාර්ථ සාධනය සඳහා ආමන්ත‍්‍රණය කළ යුත්තේ, සිංහල ආත්මයේ වඩා විචාරවත් සහ මානුෂික පාර්ශ්වයට නොව, ‘සිංහල පමණයි’ පනත සහ 83 කළු ජුලිය බිහි කළ, දුර්ජන, මුග්ධ සහ නිර්දය පාර්ශ්වයටයි. ඒ සිදුවීම් දෙකම, අපේ අත්වැරැද්දක් වශයෙන් මේ සහෝදරවරු නොදුටහ.
උතුරු-නැගෙනහිර ප‍්‍රශ්නය, හුදෙක් ත‍්‍රස්තවාදය පිළිබඳ ප‍්‍රශ්නයක් නම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කළ මොහොතේ එම ප‍්‍රශ්නයත් ඉබේ දුරු වන්නේය. ජාතික ප‍්‍රශ්නය කියා දෙයක් ඇත්තෙන්ම නැත්නම්, ජාතීන් අතර බලය බෙදා හැරීම මත පදනම් වන දේශපාලන විසඳුමක් අනවශ්‍ය වෙනවා පමණක් නොව, හානිකර ද වන්නේය. හරියට, සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙකු රසායන චිකිත්සාවකට (කිමෝතෙරපි) ලක්කරන්නා සේ ය. මේ සන්දර්භය තුළ, සාමය ගොඩනැගීම යනු, තලූ මැරීමට ඇති යම් ආර්ථික සංවර්ධනයකට ගැටගැසූ, නීතිය හා සාමය රැක ගැනීමේ වැඩපිළිවෙලකට එහා දෙයක් නොවේ. තවත් විදිහකින් කිවහොත්, සාමය සහතික කළ හැක්කේ, තව තවත් හමුදා කඳවුරු ගොඩනැගීම, තව තවත් හමුදා ආම්පන්න මිළදී ගැනීම සහ තද නීති රෙගුලාසි පැනවීම සමග මුහුන් කෙරෙන යටිතල ව්‍යාපෘති සහ ඉඳහිට සැපයෙන දීමනාවන් මගින් මිස, බලය බෙදාහැරීමෙන් නොවන බවයි.
රාජපක්ෂලාගේ එම චින්තනය තුළ, 13 වැනි සංශෝධනයට අද එල්ල කෙරෙන ප‍්‍රහාරය, අනිවාර්ය කෙරෙන්නේය.
13 වැනි සංශෝධනයේ අතුණුබහන් ඉරා දැමීම, එක්තරා ආකාරයකින් නවතම ‘සිංහල පමණයි’ ව්‍යාපෘතියකි. සාමය සහ සංහිඳියාව ඒ මගින් උවදුරට පත්වෙනු නියති. මධ්‍යස්ථ දෙමළ ජාතිකයන් පවා පරාරෝපිත නෂ්ටාපේක්ෂාවට පත්වෙනු නියති. අවසානයේ, බෙදුම්වාදී සටන්පාඨය යළි තිරිහන්ව, වේළුපිල්ලේ ප‍්‍රභාකරන් අසාර්ථක නායකයෙකුගේ සිට, අප විසින් වරදවා වටහාගනු ලැබූ අනාගත වක්තෘවරයෙකුගේ තත්වයට නංවාලනු ඇත.
තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
__________________________________________________________________________________________
2013 ජුනි 06 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Disembowelling the 13th Amendment ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්
අයාලේ ගිය විජයග‍්‍රහණයක් සැමරීම
June 1, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance
‘‘සත්‍යය පැවසිය යුතුය. අවසානයේ දී සියල්ලන්ව නිදහස් කරනු ලබන්නේ සත්‍යයෙනි. එහෙත්, සත්‍යය පැවසීම සඳහා ආකල්පමය වෙනසක් අවශ්‍ය කෙරේ.’’ යනුවෙන්, පළමු වරට පාර්ලිමේන්තුව ඇමතූ අවස්ථාවේ මම කීවෙමි. ඉන් තෙවසරක් ගතව ඇති අද වන විටත් ඒ ආකල්පමය වෙනස පෙනෙන්ට නැත. ඒ වෙනුවට අපට දකින්ට ලැබුණේ, විධායකය තුළ බලය කොටු කර ගැනීමට සහ කේන්ද්‍රගත කර ගැනීමට ගත් ප‍්‍රබල ප‍්‍රයත්නයන් ය. විසම්මුතිය වනසන්නට ගත් දැඩි උත්සාහයන් ය. සාධාරණත්වය ඉල්ලා කෙරෙන මැදිහත්වීම්-පුරවැසියන්ගෙන් වේවා, විපක්ෂයෙන් වේවා, ජාත්‍යන්තරයෙන් වේවා-නොතකා හැරීම් ය. යුක්තිය, සංහිඳියාව සහ සත්‍යය සෙවීමේ නිරත වෙනු වෙනුවට, මේ රට, නීතියේ ආධිපත්‍යයත්, ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතනවල ස්වාධීනත්වයත් කෙලසීම කෙරහිම අනවරතයෙන් යෙදී සිටී.
සත්‍යය සහ යුක්තිය යනු, සංහිඳියාවේ පෘථුල කාර්යාවලියේ අත්‍යාවශ්‍ය අංගයන් ය. ඉතාම සරළ අර්ථයෙන් ගත් විට, සංහිඳියාව යනු, වෙනස්කම් සමනය කර ගැනීමයි. එය, අවබෝධය සහ සත්‍යය පිළිගැනීම හරහා ඇරඹෙන ක‍්‍රියාවලියකි. සංහිඳියාව ඇති කිරීම සඳහා රටේ දේශීය යාන්ත‍්‍රණයක් ඇති කෙළේය යන්න තුළම පිළිගැනෙන්නේ, ජන ප‍්‍රජාවන් පරාරෝපණය වී තිබුණු බවයි. එය, සමාජමය සහ ආර්ථික වෙනස්කම් මත පමණක් නොව, ආරක්ෂාව සහ යුක්තිය ඉල්ලා සිටීම මැඩලීමත් නිසා ඇති වූ පරාරෝපණයකි. ‘අනෙකා’ පිළිබඳ රූපකය නංවන අසමානතාව එහි තිබුණි.
මෙවැනි ප‍්‍රශ්න බොහොමයකට ආමන්ත‍්‍රණය කිරීම සඳහා පිහිටුවන ලද ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’, එහි මොන අඩුපාඩුකම් තිබියේ වී නමුත්, යුක්තිය සහ ජාතික සංහිඳියාවට එරෙහිව පවතින ආයතනික බාධක ගණනාවක් හඳුනාගත්තේය. කෙසේ වෙතත්, දේශීය වශයෙන් පිහිටුවන ලද එම කොමිසමේ නිර්දේශ පවා පාලකයන් විසින් චකිතයෙන් යුතුව ප‍්‍රතික්ෂේප කෙරුණි. ජාතීන් අතර ඇති වෙනස්කම් සහ අසමානතා නොපිළිගෙන, මොනම සංහිඳියා ක‍්‍රියාවලියකවත් නිරත විය නොහේ. සැබෑ සංහිඳියාව යනු, එම වෙනස්කම් සහ අසමානතා සමනය කිරීමයි. සෑම පුරවැසියෙකුගේම සමානාත්මතාව ආරක්ෂා කෙරෙන, භෞතික සහ භාවමය ආරක්ෂාව සුරක්ෂිත කෙරෙන සහ ඔවුන්ගේ ජීවිතවල ගෞරවය රැකදෙන සාධනීය පියවර ගැනීම ඊට අවශ්‍ය කෙරේ.
යුද්ධයෙන් පීඩාවට පත් බොහෝ දෙනාගේ භාවමය රැකවරණය රඳා පවතින්නේ ඔවුන්ගේ හිතෛශීන්ට කුමක් වී දැ යි ඔවුන්ට දැන ගැනීමට අවකාශ ඇති තරමටයි. සත්‍යය සෙවීමට අසමත් වීම හේතුවෙන්, අවදියෙන් සිටින සෑම මොහොතකම ඔවුන් විඳවන ඒ ඛේදය නිමාවකට පත් නොකෙරෙන තාක් කල් නිර්මාණය කෙරෙන්නේ, ස්වකීය ජීවිත ඉදිරියට ගෙනයාමෙහි අසමත්, ගන්ධබ්බ ජීවිත සහිත ජන ප‍්‍රජාවකි. ඔවුන්ගේ උවමනා එපාකම් සොයා බලමින් ඔවුන්ට පිළිසරණ වීමට අපට වගකීමක් ඇති අතර, එම ප‍්‍රශ්න විසඳිය හැකි යාන්ත‍්‍රණයක් සම්පාදනය කිරීමට, ඊටත් වඩා වගකීමක් ආණ්ඩුවට ඇත. මේවා, යටිතල සංවර්ධනය මාර්ගයෙන් හෝ ඉඳහිට සැපයෙන සිල්ලර සුභසාධනයකින් හෝ සැපිරිය හැකි නොවේ. අපේ ජන ප‍්‍රජාවන් මුහුණදෙන විෂමතා සැලකිල්ලට නොගෙන කෙරෙන සංවර්ධනය තුඩුදෙනු ඇත්තේ, තව තවත් අපේක්ෂා භංගත්වයට සහ අසහනයටම පමණි.
එසේම, බෙදාහදා ගත හැකි බහු-වාර්ගික අනන්‍යතාවක් ගොඩනැංවීම ද, සංහිඳියාවට අයත් ය. සමානාත්මතාව, ඒ සඳහා අත්‍යාවශ්‍යයි. වාර්ගිකත්වය මත සැළකීමේ වෙනස්කම් වෙතොත්, බෙදාහදාගත හැකි අනන්‍යතා ගොඩනැංවීමක් කළ නොහේ. ඒ තාක් දුරට, සංහිඳියාව යනු, අභ්‍යන්තර කටයුත්තක් වන්නේය.
මීට වසර හතරකට පෙර මැයි 18 වැනි දා යුද්ධය අවසන් වූ සැණින් දැනුණු සහනයේ ප‍්‍රථම හැඟීම, ලේ හැලීම අවසන් ය යන්නයි. තමන්ගේ ජීවිතය සහ නිසි අභිමානයෙන් යුතුව නැවත ජීවිත ගොඩනගාගත හැකි ය යන දීර්ඝ කාලීන අපේක්ෂාව ද ඒ සමග විය. එහෙත්, ගිය සෙනසුරාදා සැමරූ ජයග‍්‍රහණය තුළ තිබුණේ එයින් පළමුවැන්න පමණි. ආරක්ෂාව යනු යුද්ධයක් නැති කම පමණක්ම නොවේ. ආහාරපාන, රැකියා සහ නිවෙසක් ආදිය තිබීමේ භෞතික සමෘද්ධිය ද ඊට අයත් ය. ඒවායින් තොරව ජීවත් වීමේ සතුට ජනතාවක් කෙසේ නම් භුක්ති විඳින්න ද? නිදහස් දා සැමරුම් තුළ, යුද්ධයෙන් පීඩාවට පත් ජීවිතවල අභිමානය සුරක්ෂිත කළ බවට සාක්ෂි නොවිණ. යුද්ධයෙන් ඇති වු තුවාල සුව කර ගැනීම සඳහා සත්‍යය දැන ගැනීමේ සාර්ථක යාන්ත‍්‍රණයක් ඇති බවට සාක්ෂියක් එම සැමරුම් තුළ නොවිණ. ඊටත් වඩා, නිදහස පිළිබඳ කිසි සඳහනක් නොවිණ. ලොකුම ජයග‍්‍රහණය වශයෙන් පෙන්නුම් කෙරුණේ, දැන් යුද්ධයක් නැති බව පමණි. මේ අතර, උතුරේ මියගියවුන් සිහිපත් කිරීම වෙනුවෙන් සංවිධානය කළ අවස්ථා, ආණ්ඩුවේ මාධ්‍යවලින් ගර්හාවට ලක්කිරීම අවාසනාවන්ත තත්වයක් බව කිව යුතුය. සියළු වින්දිතයන් කෙරෙහි වන සහෝදරත්වය සහ අනුකම්පාව පළ කෙරෙන ශෝක දිනයක් ප‍්‍රකාශයට පත්කළ යුතු බව ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමෙනුත්’ නිර්දේශ කොට තිබිය දී, එසේ වීම තවත් කණගාටුදායක ය. එය, එක පාර්ශ්වයක ජයග‍්‍රාහී මානසිකත්වය පිළිඹිබු කළ සැමරුමක් පමණක් විය. එක්තරා අර්ථයකින් ගත් කල, එය අයාලේ ගිය ජයග‍්‍රහණයකි. ඒ අනුව, මේ රටේ වෙසෙන ප‍්‍රජාවන් අතර තවත් වෙනස් කම් ජනිත කරවන අවස්ථාවකි.
‘මානුෂික ජයග‍්‍රාහී දිනයක්’ වශයෙන් උඩ දැමූ මේ උත්සවය විමසා බැලිය යුත්තේ, පවතින යථාර්ථය පසුබිමේ තබාගෙන ය. යම් කිසි ප‍්‍රජාවක්, රටේ ව්‍යවස්ථාවෙන්ම ආරක්ෂා කර දෙන ලද තමන්ගේම භාෂාවෙන් රටේ ජාතික ගීය ගැයීම වළක්වනු ලබන ‘මානුෂික ජයග‍්‍රහණය’ කුමන ජයග‍්‍රහණයක් ද? දරුවන් සහ සැමියන් අහිමි වූ දහස් ගණන් මව්වරුන් සහ බිරියන් ඉදිරියේ, කිසිවෙකු අතුරුදහන්ව නැති බවට අවිනීත ප‍්‍රකාශ කරනු ලබන්නේ, කුමන මානුෂික ජයග‍්‍රහණයක හයියෙන් ද? තමන්ගේ අහිමි වූවන් පිළිබඳ තොරතුරු කතා කිරීමට මේ කාන්තාවෝ අද පවා බිය වෙති. දෙමළ කතා කරන දහස් ගණන් ජනයාව, අක්කර 6000 ක් පමණ වන ඔවුන්ගේ ඉඩම්වලින් පලවා හැරීම, කුමන මානුෂික ජයග‍්‍රහණයකට ගැලපෙන්නක් ද? දිග් ගැස්සුණු යුද්ධයක විනාශය තුළ තමන්ගේ සක‍්‍රීය ජීවිතවලට අයත් බොහෝ දේවල් අහිමි කරගත් සහ යුද්ධයත් අවසන්ව වසර හතරකින් පසුව තවමත් තමන්ගේ ජීවිත ගොඩනගා ගැනීමට පොරබදන ජනතාවක් තුළ මේ යථාර්ථයන් විසින් ඉතිරි කරනු ඇත්තේ, බිය සහ අනියත අස්ථාවරත්වයම පමණි.
සැබෑ සංහිඳියාවක් ඇති කර ගැනීම සඳහා තිබුණු අවස්ථා ප‍්‍රයෝජනයට ගැනීමට ශ‍්‍රී ලංකාව අපොහොසත් වී තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම් ආරක්ෂාව සහ සංහිඳියාව සඳහා රටේ නායකත්වයක් නැත. සිදුවන්නේ එහි අනිත් පැත්තයි. සත්‍යය වසං කිරීමත්, පුරවැසියන්ව ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ ජීවිත නගා සිටුවිම, විශේෂයෙන් අවතැන් වූ ප‍්‍රජාවන්ගේ ජීවිත නගා සිටුවීමට අසමත් වීම, ජන ප‍්‍රජාවන් අතර සැකය සහ නොසන්සුන්තාව උග‍්‍ර කෙරීමට තුඩුදී ඇත. මෙය, වෙනත් උවමනා එපාකම් නිසා මිස නිසි කළමනාකාරීත්වයක් නැතිකම හෝ දුෂ්ට චේතනාවක් නිසා හෝ සිදුවන්නක් නොවේ. එම උවමනා එපාකම් කවරේ ද යන්න, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සහ අර්ථවත් ආකාරයකින් බලයක් බෙදා හැරීමට ඇති නොසූදානම තුළින් පෙන්නුම් කෙරේ. තවද, මාධ්‍ය පාලනය හරහා විපක්ෂය මැඩලීම, දෝෂාභියෝගය, දේශපාලන විරුද්ධවාදීන් අත්අඩංගුවට ගැනීම සහ ‘ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හරහා ඇති කරවනු ලබන භීතිය ආදිය තුළින් ද පෙන්නුම් කෙරේ. එය, ඒවායේ කර්කශ ප‍්‍රතිඵලවලින් කවදත් විඳවන සුළු ජාතීන් සඳහා පමණක් නොව, අවසානයේ දී බහුතරයේ අභිවෘද්ධියට ද වළ කපන, පටු වැඩවසම් අවශ්‍යතාවකි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්
(සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්)
Image Credit:jdsrilanka.blogspot.com
පාලකයාගේ කෝදුවෙන් ජාතිය යළි සැකසීම
May 30, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance
‘‘රදල පාලක කල්ලියක උප්පරවැට්ටි මාලාවක් හරහා දාස භාවයට ආලය කරන ජනතාවක් බිහි කිරීමට හැකි වීම.. මට පෙනෙන හැටියට, අනර්ථකාමී විප්ලවවල ඉෂ්ට සිද්ධියයි.’’
-ඇල්ඩස් හක්ස්ලි (අවසාන විප්ලවය)
[Image Credit:atlanticsentinel.com | President Mahinda Rajapaksa of Sri Lanka prays with thousands of Buddhist monks during a special religious ceremony in Colombo, January 24, 2010 (Reuters)
ජනාධිපතිවරයා මෑතක උගන්ඩාවට ගිය සංචාරයේ දී එරට වැසියන්ගේ බයාදු කල්ක‍්‍රියාව ගැන බෙහෙවින් පැහැදුණු බව වාර්තා විය. ගිය ඉරිදා ‘රිවිර’ පුවත්පතේ දේශපාලන තීරු ලිපියේ සඳහන් පරිදි ලංකාවේ ජනාධිපතිවරයා එරට නායකයාගෙන් මෙසේ අසා ඇත: ‘‘ඔබේ රටේ ජනතාව හරිම කීකරු බව පේනවා. කොහොමද ඒ කීකරුකම හදාගත්තේ?’’ එය, යටත්විජිත ඌරුවකින් ඉතිරිව ඇති ශේෂයක් බව ජනාධිපති මුසේවීනිගේ පිළිතුර වී ඇත. එදා එරටේ සිටි සුදු පාලකයන් උගන්ඩාවේ ස්වදේශීය වැසියන්ව පාලනය කෙළේ, දීනත්වය පුරුෂාර්ථයක් වශයෙන් සමාජගත කිරීමෙනි.
අවිචාරවත් කීකරු භාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට නොගැළපෙන, භයානක දුෂ්චරිතයකි. සමාජයක් එසේ හැසිරීම, අත්තනෝමතික පාලනයක පැවැත්මට අත්‍යාවශ්‍ය කෙරේ. යටත්විජිත පාලකයන් එම රටවල වැසියන්ව සැළකුවේ, නිදහස නිසියාකාරයෙන් පාවිච්චි කිරීමට නොදන්නා දේශපාලනික අතදරුවන් පිරිසක් වශයෙනි. ස්වදේශීය ප‍්‍රජාපීඩක පාලකයන්ට ද, යටත්වැසියන් වූ කලී, නිදහස භුක්ති විඳීමට නොසුදුසු, සදාතන දේශපාලනික අඳබාලයන් ය.
වර්තමාන හයිකාර පාලකයන් මෙන්ම, එම තත්වයට පත්වීමට තතනන අනාගත ප‍්‍රජාපීඩකයන් ද භයානක යැයි සිතන ජනතා අයිතීන් සහ නිදහස් සමුදායක් තිබේ. එයින් වඩාත් වැදගත් වන්නේ, තොරතුරු දැන ගැනීමට ජනතාවකට ඇති අයිතියයි. තමන්ගේ රටේ සිදුවන්නේ කුමක් දැ යි ජනතාව දැන ගැනීම, එවැනි පාලකයන්ගේ තක්සේරුව අනුව, භයානක නිදහසකි. මුද්‍රිත මාධ්‍යයෙන් විශාල පදාසයක් රාජපක්ෂවරුන් විසින් යටපත් කරනු ලැබ දැන් වසර ගණනාවක් වෙයි. දැන් වෙබ් අඩවි ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය වී ඇත. මේ මාසයේ දී පමණක්, ‘ගොසිප් ලංකා’ සහ ‘ලංකා ඊගල්’ යන වෙබ් අඩවි දෙක, නොනිල වශයෙන් තහනමට ලක්කොට තිබේ.
නිදහස් සහ විවේචනාත්මක මාධ්‍යයක් කෙරෙහි රාජපක්ෂවරුන් දක්වන භීතිකාව තේරුම් ගැනීමට අසීරු නැත. ඒ තරමට, ඔවුන්ට සැඟවීමට දේවල් ඇති බැවිනි.
ඉඩම් කොල්ලය උදාහරණයක් වශයෙන් ගන්න. අද මේ ප‍්‍රශ්නයට, උතුරේ දෙමළ ජනතාව පමණක් නොව, දකුණේ සිංහලයෝ ද මුහුණදෙති. දැන් කාලයක් තිස්සේ උතුරේ වාර්ගික ජන ව්‍යාප්තිය සූක්ෂම ලෙසින් වෙනස් කරමින් සිටින රාජපක්ෂලා, දැන් ඊටත් වඩා රහසිගත ආකාරයකින් දකුණේ පංතිමය සහ පක්ෂ දේශපාලනික සංයුතිය ද තමන්ට වාසිදායීව වෙනස් කරමින් සිටිති. ඔවුන්ගේ අවසාන ඉලක්කය වන්නේ, පවුල් පාලනයට එරෙහිව යම් දවසක සිදුවිය හැකි නැගී සිටීමක් හැකි තාක් බෙලහීන කරවන මාදිලියේ නව ජනවිකාශ රටාවක් නිර්මාණය කිරීමයි.
උතුරේ හමුදා කඳවුරු සහ සේනාවාස පිහිටුවීම සඳහා දෙමළ වැසියන්ගේ පුද්ගලික ඉඩකඩම් මේ වන විට අත්පත් කර ගනිමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්, ‘ඉඩම් අත්පත් කරගැනීමේ පනත’ යටතේ යාපනේ ඉඩම් අක්කර 6400 ක් හමුදා සේනාවාස සඳහා දැන් උදුරා ගැනෙමින් තිබීම මෙසේ විස්තර කරයි: ‘‘මීට අදාළව නිකුත් කළ නිවේදනය පරිදි, මේ ඉඩම්වල හිමිකරුවන් ඉන්නා තැනක් සොයා ගැනීමට නැති ලූ. ඇත්තෙන්ම, ආණ්ඩුවෙන්ම පවත්වාගෙන යන නීති විරෝධී ඊනියා අධි-ආරක්ෂිත කලාපයට යාබදව ඇති කඳවුරුවල ඔවුහූ වෙසෙති. අවුරුදු 25 කට වැඩි කාලයක් ඔවුන් එහි ජීවත්ව ඇත. 2006 දී ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පත්කරන ලද කමිටුවකින් ඔවුන්ගේ ඔප්පු පරීක්ෂා කොට, නිරවුල් කොට තිබේ. එහෙත්, බිම් බෝම්බ ඉවත් කිරීමේ කි‍්‍රයාවලිය තවම අවසන්ව නැතැ යි යන ව්‍යාජ හේතුව මත, මේ දක්වා එම ඉඩම්වලට ආපසු යාමට ඔවුන්ට අවසර ලැබී නැත. ආණ්ඩුවේ මේ ප‍්‍රකාශය මොන තරම් බොරුවක් ද යන්න, සොල්දාදුවන් විසින් එම ඉඩම් වගා කරනු දුටු ඕනෑම කෙනෙකුට පෙනී ගිය දෙයකි… කෙසේ වෙතත්, හිටිහැටියේම ආණ්ඩුවේ සැබෑ මුහුණුවර නිරාවරණය වන්නට දැන් පටන්ගෙන තිබේ: මෙසේ පවරාගත් ඉඩම් වෙනත් අයවළුන්ට යථා කාලයේ දී පවරා දීමට යයි: ඒ අනුව, ඔවුහූ උතුරේ අනාගත ඡන්දාදායකයෝ වන්නාහ. මෙවැනිම දැන්වීම් කිලිනොච්චි ප‍්‍රදේශයේත් ප‍්‍රකාශයට පත්කොට තිබේ. එසේම, නැගෙනහිර පළාතේ ඉඩම් ද, හමුදාවට අත්‍යාවශ්‍ය යැයි හැෙඟන කාරණා වෙනුවෙන් අත්පත් කරගන්නා බව, එම පළාතේ ජනතාවට දැනුම්දී තිබේ.’’
මේ හමුදා කඳවුරු සහ සේනාවාස දෙමළ ප‍්‍රදේශ මත පටවන්නේ, ඔවුන්ගේ වාර්ගික ජන සංයුතිය තුළ පවතින ඒකීයත්වය බිඳලීමටයි. එවිට, බලය විමධ්‍යගත කිරීම දුෂ්කර වන අතර, දෙමළ ජනතාව යටත් වැසියන් වශයෙන් එක දිගට නඩත්තු කර ගැනීම පහසු වනු ඇත. එසේම, එම පළාතේ අනාගතේ පැවැත්වෙන මැතිවරණ, හිංසනය සහ අක‍්‍රමිකතාව අවමයෙන් පාවිච්චි කොට ජය ගැනීමට රාජපක්ෂලාට හැකි වෙතැ යි ඔවුන් තුළ ඇති විශ්වාසය, ඒ හා සමානම, තවත් වැදගත් කාරණයකි.
ඉඩම් ඩැහැගැනීමේ ප‍්‍රශ්නයට බොහෝ සිංහලයන් අසංවේදී ය. එය දෙමළ ප‍්‍රශ්නයක් වශයෙන් සළකනු ලැබීම ඊට හේතුවයි. මේ ප‍්‍රශ්නය ගැන සිංහලයන් දක්වන ඒ නොසැලකිල්ල සහ උදාසීනත්වය හැකි තාක් කල් පවත්වා ගැනීම රාජපක්ෂලාගේ අභිමතයයි. දහස් සංඛ්‍යාත කොළඹ දිළිඳු ජනයා ඔවුන්ගේ වාසස්ථානවලින් ඉවත් කරනු ලැබීමේ අවදානම කෙරෙහි යම් අවධානයක් ඇතත්, අම්පාර දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව ඔවුන්ගේ සම්ප‍්‍රදායික බිම්වලින් පලවා හල ව්‍යසනය ගැන කතාබහක් ඇත්තේම නැති තරමි. 2011 දී නාවික හමුදාව, මේ පළාතේ සංචාරක ආකර්ශනයක් සහිත පානම ග‍්‍රාමයට ආසන්නයේ පිහිටි අක්කර 1200 කට අධික ප‍්‍රමාණයක් අල්ලා ගත්තේය. එහි ප‍්‍රතිඵලය වුණේ, ශාස්ත‍්‍රවෙල, රාගම්වෙල, උල්පස්සාවෙල, හොරොව්කන්ද සහ ඇල්ල වැනි ගම්වල සිංහල ගැමියන් දහස් ගණනකට උන්හිටි තැන් සහ ජීවිකාව අහිමි වීමයි. කල්පිටියේ ධීවර ජනතාව ද එවැනිම කරුමයකට ගොදුරු වූහ.
රජය මගින් සංවර්ධන ව්‍යාපෘති සඳහා පෞද්ගලික ඉඩම් අත්පත් කරගන්නා විට, ඒවාට වන්දි ගෙවීමට හෝ ඊට සමාන වාසස්ථාන එම ජනතාවට සැපයීමට හෝ ආණ්ඩුව බැඳී සිටී. පොදුවේ ගත් විට, මීට පෙර පැවති ආණ්ඩු ක‍්‍රියා කෙළේ එලෙසිනි. එහෙත් රාජපක්ෂවරු ඊට වෙනස් ක‍්‍රමයක් අනුයති: නීතියට පිටින්, හමුදා බලයෙන් ඉඩම් ඩැහැ ගැනීම. එවිට එම ප‍්‍රශ්නය, ‘හමුදාකරණය’ කෙරේ. ‘ජාතික ආරක්ෂාව’ නැමැති රැකවරණකාරී ආයිත්තමෙන් දවටනු ලැබේ. ඒ ආකාරයෙන් ඉඩම් හිමියන්ව පහසුවෙන්ම බිය ගැන්විය හැකිය. ඒවා වාර්තා කරන සිංහල මාධ්‍ය නිහඩ කළ හැකිය. පරිසර නීති සහ පුරාවිද්‍යා රෙගුලාසි නොතකා හැරිය හැකිය. උදාහරණයක් වශයෙන්, අම්පාරේ කැලෑ ඉඩම්වල සංවර්ධන කටයුතු කිරීම, වනජීවී දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ මධ්‍යම පරිසර අධිකාරිය මගින් තහනම් කොට ඇතත්, අදාළ ව්‍යාපෘති සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඇතොත්, එවැනි තහනම් නියෝග නොතකා හැරිය හැකි බව නාවික හමුදාව කියයි. අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ඉදි කළ ගොඩනැගිලි සම්බන්ධයෙන් අදහස් දක්වන නාවික හමුදා ප‍්‍රකාශක කෝසල වර්ණකුලසූරියට අනුව, ගොඩනැගීම් කෙරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය සතු ඉඩම්වල නිසා, ඉහත කී දෙපාර්තමේන්තු නියෝග පිළිපැදීමට ඔවුන් බැඳී නැත.
අද රටේ පවතින නීතිය වන්නේ, ආරක්ෂක අමාත්‍යාංශය සහ හමුදාවයි. උතුරු-නැගෙනහිරට පමණක් නොව, සිංහල දකුණටත් එම නියාමයම අදාළ වෙයි. රාජපක්ෂලාගේ පෙට්ටගම් පුරවාගෙන, රාජවංශික රාජපක්ෂ ව්‍යාපෘතිය ශක්තිමත් කොට, රාජපක්ෂ පාලනයට එරෙහි ඕනෑම ජාතික විරෝධයක් අකර්මණ්‍ය කෙරෙන තැනට වගබලා ගැනීම, සාමාන්‍ය ජනයාව දේපළවලින් මෙසේ අස්වාමී කිරීමේ අවසාන අරමුණ වන්නේය.
කැබලිකරණය
ඉඩම් ඩැහැගැනීම නිසා, සිංහල, දෙමළ සහ මුස්ලිම් ප‍්‍රජාව පොදුවේ විපතට පත්වෙති. ඊට අදාළව ඔවුන්ට පොදු එදිරිවාදියෙකු ද සිටී. එබැවින් ඔවුන්ගේ විවිධ විරෝධතා තනි අරගලයකට කේන්ද්‍ර කර ගැනීම, හැම අතකින්ම මනෝඥ ය. එහෙත්, එවැනි අත්‍යාවශ්‍ය ජාතික ව්‍යාපාරයක්, විරුද්ධ පක්ෂවල ද සහභාගීත්වයෙන් යුතුව, පෙළගස්වා ගත යුතු වෙතත්, අවාසනාවකට මෙන්, එම විරෝධය අද පවතින්නේ, කලාප වශයෙන්, වාර්ගික වශයෙන් සහ පංති වශයෙන් වෙන් වෙන්ව ය.
රාජපක්ෂලාගේ අයුක්තිය තමන්ටත් වලංගු වන බව සිංහලයා දැනගන්නවාට රාජපක්ෂලා කැමති නැත. හමුදාව යනු රාජපක්ෂලාගේ මෙවලමක් මිස, කොහෙත්ම ‘අපේ කොල්ලන්’ නොවන බව (හරියට, කොටි සාමාජිකයන් සේවය කෙළේ ප‍්‍රභාකරන්ට මිස දෙමළ ජනතාවට නොවුණා සේ) සිංහලයා දැනගන්නවාට රාජපක්ෂලා කැමති නැත. සිංහල, දෙමළ සහ මුස්ලිම් වින්දිතයන් පොදු වේදිකාවක් ඔස්සේ එක්සත් විරෝධයක් පෑම, රාජපක්ෂලට වහකදුරු මෙනි. මේ නිසා පවුල් පාලනයට එරෙහි එක්සත් විරෝධයක් දියත් වීම වළක්වනු වස්, වාර්ගික ආගමික සහ පංතිමය වශයෙන් ඔවුන්ව කැබලි කිරීම රාජපක්ෂවරුන්ගේ අභිලාෂයයි. ඒ හැරුණු විට, සිංහල-දෙමළ-මුස්ලිම් යන සෑම ජන කොටසක්ම එක දෙයක් සම්බන්ධයෙන් එක්සත් විය යුතු යැයි රාජපක්ෂලා අපේක්ෂා කරති: ඒ, මන්දෝත්සාහීව අහක බලාගෙන සිටීමෙනි.
ලාංකීය ජනතාව රාජපක්ෂලාට ගැළපෙන පරිදි මානසිකව යළි ආකෘතිගත කිරීම රාජපක්ෂ ව්‍යාපෘතියේ අරමුණයි. වෙනස් මතයක් දැරීම අවදානමක් දැරීමකැ යි සිතන නියාලූ ජාතියක් ඔවුන්ට අවශ්‍ය කෙරේ. ඉඩම් කොල්ලය හෝ ළමා අපචාරය ගැන සිතන ජාතියක් වෙනුවට, කෑම පුරුදු හෝ විලාසිතා ගැන වැඩියෙන් උනන්දු වන ජාතියක් ඔවුන්ගේ අපේක්ෂාවයි. ඔවුන්ට ගැලපෙන්නේ, අන්‍යොන්‍ය සැකයේ ගිලූණු, යටහත් අවනත භාවයට පුරුදු ජාතියකි.
තමන්වම විනාශ කෙරෙන සහ යටපත් කෙරෙන ව්‍යාපෘතියකට අවිඥානකව සහයෝගය දෙන ජාතියක් ඔවුන්ට අවශ්‍ය කෙරේ.
තිසරණී ගුණසේකර | Thisarane Gunasekara
__________________________________________________________________________________________
2013 මැයි 26 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Reengineering the Nation ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි
යුද්ධයේ විජයග‍්‍රහණය සැමරීම ප‍්‍රශ්නයක් ද?
May 28, 2013 by Karapoththa
Filed under Colombo, Democracy, Features, Human Rights, Human Security, Peace and Conflict, Peace and reconciliation, Politics and Governance
[Image Credit:xinhuanet]
යම් සාධනීය ඓතිහාසික සිදුවීමක්, එම සිදුවීමෙන් පසු ඇති විය හැකි නිෂේධනීය වර්ධනයන් පවා නොතකමින්, සැමරිය යුතු ද? අපේ ඇතැම් බුද්ධිමතුන් ඊට දෙන පිළිතුර ‘ඔව්’ යන්නයි. මේ පිළිතුර බරසාර කිරීමට දයාන් ජයතිලක පසු ගිය දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියට ලියමින්, ලෝක ඉතිහාසයේ අවස්ථා හතරක් ගෙනහැර දක්වා තිබුණි.
එකක් වන්නේ, ඇමරිකානු නිදහසයි. වහල් ක‍්‍රමය, පීඩිත ජනවර්ගවලට වෙන්කොට සැළකීම සහ ඇමරිකාව පැටලූණු වියට්නාම් යුද්ධය වැනි, ඇමරිකානු නිදහසෙන් පසු ඇති වූ නිෂේධාත්මක සිදුවීම් තිබියදීත්, ජුලි 4 වැනි දාට යෙදෙන ඇමරිකානු නිදහස් දිනය එරට වැසියන් සමරණ බව සහ සැමරිය යුතු බව ඔහු කියයි. ප‍්‍රංශය ගිලූණු ධවල භීෂණය (ප‍්‍රංශ විප්ලවය අවසන් වූ ආසන්න වසර කිහිපය තුළ සිදුවූ ඝාතන රැල්ල) සහ ඇල්ජීරියානු සටන වැනි නිෂේධනීය අවස්ථා නොසලකමින්, එරට වැසියන් ජුලි 14 වැනි දාට නිදහස් දිනය සමරණ බව සහ සැමරිය යුතු බව ඔහු කියයි. මේ ආකාරයටම, අමානුෂික ගුලැග් කඳවුරු පවත්වාගෙන ගියත් රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයත්, 83 කළු ජුලිය තිබුණත්, අපේ නිදහස් දිනයත්, අප සමරණ බව සහ සැමරිය යුතු බව ඔහු කියයි.
ඉහත කී උදාහරණ අතරින් ලංකාව හැරුණු කොට ඉතිරි සියල්ල, ඓතිහාසික සමාජ/දේශපාලනික විපර්යාසයක් ඇති කෙරුණු සහ ඒ හේතුවෙන් ඒවායේ ඓතිහාසික ගමන් මග තීරණාත්මක මංසන්ධියකින් හරවන ලද අවස්ථාවන් ය. ඒ අතරින්, රුසියාව හැරුණු කොට, අනිත් රටවල් දෙකම, එසේ ඇති කරගත් සමාජ විපර්යාසය, එහි ක‍්‍රමික වර්ධනයක් කරා තවමත් ගෙන යමින් සිටී. රුසියාව අද අර කී බොල්ෂෙවික් විප්ලවය ජාතික පරිමාණයකින් හෝ රාජ්‍ය අනුග‍්‍රහයකින් සමරන්නේ නැත.
මේවා එකකට එකක් සමාන නැති බව අමුතුවෙන් කිව යුතු නැත. විදේශ අධිරාජ්‍යවාදයකින් දිනාගත් නිදහසක් ඇමරිකාව සමරන විට, ප‍්‍රංශය සමරන්නේ, තමන්ගේම වන සමාජ ක‍්‍රමයක් සමග සටන් කොට දිනාගත් නිදහසකි. එහෙත් මේ රටවල් හතරේම එක් සමානත්වයක් තිබේ. එනම්, ඒ සෑම සිදුවීමක්ම තවමත් සමරන්නේ (සහ රුසියාවේ දී මෑතක් වන තෙක් සැමරුවේ) එරටේ ‘ජාතික නිදහස් දිනය’ වශයෙන් බවයි. ඒ කිසි තැනක අද අප වාර්ගික අරුතකින් සලකන ‘ජාතිය’ යන වචනය (සිංහල ජාතිය, දෙමළ ජාතිය ආදී වශයෙන්) අදාල වී නැත.
දැන්, කොටි සංවිධානයේ හමුදාමය පරාජයේ සංවත්සරය යෙදෙන මැයි 19 වැනි දා ලංකා ආණ්ඩුව ඇතුළු දකුණේ ජනතාව සමරන්නේ යුද ජයග‍්‍රහණයකි. ඉහත කී රටවල් තුනේම (ඇමරිකාව, ප‍්‍රංශය සහ රුසියාව) සිවිල් යුද්ධ තත්වයක් අඩු වැඩි වශයෙන් පැවතුණි. එහෙත් ඒ කිසි තැනක අර කී වාර්ගික ‘ජාතිය’ සාධකයක් වුණේ නැත. එහි අදහස වන්නේ, ඒ සෑම සිදුවීමක්ම සමාජමය සහ දේශපාලනික විපර්යාසයන් වූ බවයි. මේ නිසා, ඇමරිකාවේ වියට්නාම් යුද්ධය, ප‍්‍රංශයේ ධවල භීෂනය සහ රුසියාවේ ගුලැග් හෝ ලංකාවේ 83 කළු ජුලිය වැනි සිදුවීම්, එම රටවල ‘ජාතික නිදහස’ සැමරීමට බාධාවක් නොවන්නේය.
ඒ සියල්ලට ප‍්‍රතිපක්ෂව, ලංකාවේ සිදුවුණේ, වාර්ගිකත්වයකින් පන්නරය ලද සහ වාර්ගිකත්වයක් මත පදනම් වූ සිවිල් යුද්ධයකි. ඒකීය රාජ්‍යය සහ බෙදුම්වාදය ඊට කෙලින්ම ගැටගැසී තිබුණි. බෙදුම්වාදය යනු, දවසක් උදේ අවදි වන විට මේ රටේ ජනයා හදිසියේ දුටු ප‍්‍රපංචයක් නොවේ. එය (බෙදුම්වාදී චින්තනය) දීර්ඝ කාලීන ක‍්‍රමික විකාශයක කූටප‍්‍රාප්තියක් වශයෙන් සළකන්නේ නම්, බෙදුම්වාදය පරාජය කිරීම යනු, බෙදුම්වාදය ජනනය කළ එකී තත්වයන් (ජාතීන් අතර අසමානාත්මතාව) පරාජය කිරීමක් විය යුතුය. ලංකාවේ රාජ්‍යය පැත්තෙන් යුද්ධය එන්නේ, එකී ජනනීය අවස්ථාවන්ට ආමන්ත‍්‍රණය කිරීම වළකාලන ප‍්‍රධාන බාධකයක් (දේශපාලන විසඳුමකට ඇති ප‍්‍රධාන බාධයක්: ත‍්‍රස්තවාදය?) ඉවත් කර ගැනීම සඳහා යැයි කියැවුණි. තවත් විදිහකින් කිවහොත්, යුද්ධය යනු ඉෂ්ටාර්ථයක් නොවුණි. 2009 මැයි 19 වැනි දාට පෙර සිටි අපේ නායකයන් කී කතා කෙනෙකු විශ්වාස කරන්නේ නම්, යුද්ධය යනු අර ඉෂ්ටාර්ථය සාක්ෂාත් කර ගැනීමේ ප‍්‍රාථමික මෙවලමක් පමණි.
එහි දී වසර 30 කට ආසන්න කාලයක් තුළ රජයේ ආරක්ෂක අංශවල 15,000 ක පමණ පිරිසක් මියගිය අතර යුද්ධයට සම්බන්ධයක් නැති දෙමළ සිවිල් වැසියන් එමෙන් තුන් ගුණයකට අධික ප‍්‍රමාණයක් සති කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මියගියේ යැයි කියැවේ. ‘ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයක’ සිට දෙමළ ජනතාවට එරෙහි යුද්ධයක බවට අර්ථකථනය කෙරෙන මානවීය සහ භෞතික ආඛ්‍යානය නිර්මාණය වීමේ ආරම්භය, වෙනත් ඓතිහාසික සාධක මොහොතකට පසෙකින් තිබ්බත්, එකී සංඛ්‍යාත්මක වෙනස තුළ අපට හමුවෙයි. එහෙත්, ඕනෑම යුද්ධයක නිසඟයෙන් පවතින විනාශකාරී ස්වභාවය සැලකිල්ලට ගැනීමේ දී, දකුණේ බොහෝ සිංහල-බෞද්ධයන් එම තර්කය බැහැර කිරීමට පිළිවන. ඔවුන්ට අනුව, යුද්ධය මුලින්ම ‘ශූන්‍ය සිවිල් ජීවිත ප‍්‍රමාණයකින්’ පටන්ගෙන පසුව, ‘නොවැළැක්විය හැකි අවම විනාශයකින්’ අවසන් කර ගැනීමට හැකි වූ බව ඔවුන් අපට කියාවි.
මේ නිසා එම සත්භාවය/හේතුවාචකය පරීක්ෂණයට ලක්කළ හැකි ඊළඟ කඩඉමට යාමට අපට සිදුවන්නේය. එනම්, යුද්ධයෙන් පසුව අර ඉහතින් කී ජාතික ප‍්‍රශ්නයට පාලකයන් දක්වන සැලකිල්ලේ ස්වභාවය නිරීක්ෂණය කිරීමයි. උතුරේ අධි ආරක්ෂිත කලාප, මහ පරිමාණ අවතැන් වීම්, තවමත් සිදුවන අතුරුදහන් කිරීම්, එම ජනයාගේ කුදු මහත් පැවැත්ම තුළින්ම නිදහස පාගා දැමීම්, ප‍්‍රදේශය වසා පැතිරෙන පෘථුල හමුදා පාලනය වැනි තත්වයන් ගැන මේ වන විට මාධ්‍ය හරහා ප‍්‍රමාණවත් පරිද්දෙන් වාර්තා වී ඇත. එම නිසා ඒ ගැන මෙහි දී සාකච්ඡා නොකෙරේ. කෙසේ වෙතත්, බාගෙට හෝ කරන ලද නැවත පදිංචි කිරීම් හැරුණු කොට, ඉහතින් කී යුද්ධයේ කඩතුරාව යටතේ ඇත්තෙන්ම එදා අවශ්‍ය කළා යැයි යම් විශ්වසනීයත්වයකින් යුතුව රටට පෙන්නුම් කළ හැකි වූ දේවල් (ආරක්ෂිත කලාප සහ සමාජය කෙරෙහි මුදාහැරෙන හමුදා පාලනය වැනි දේවල්) යුද්ධයේ ජයග‍්‍රාහී අවසානයෙන් සිව් වසරක් ගතව තිබිය දී තවමත් මූලික වෙනසකට භාජනය වී නැති බව අපි කවුරුත් දනිමු. එයින් කියැවෙන්නේ, යුද්ධය අවසන්ව ඇතැ යි කීම, රටේ එක ප‍්‍රදේශයකට (දකුණට) පමණක් වලංගු වන කියමනක් බවයි. උතුරට තවම යුද්ධය අවසන් නැත.
ඒ සියලූ ‘අඩුපාඩුකම්’ නොසලකා, දකුණේ විජයග‍්‍රහණය සැමරීම තුළ ඇති අමානුෂීය පරස්පරය දයාන් වැනි කෙනෙකුට නොවැටහීම පුදුමයකි. ඔහු පෙන්වා දෙන ඉහත කී රටවල ‘ජාතික නිදහස’ සමග අපේ ‘යුද ජයග‍්‍රහණය’ අනන්‍ය විය හැක්කේ එක කොන්දේසියක් යටතේ පමණි. එනම්, එම ‘ජයග‍්‍රහණය’ අපට හෙවත් දකුණට ‘නිදහසක්’ වන තරමටම, ඔවුන්ට හෙවත් උතුරු-නැගෙනහිර දෙමළ වැසියාටත් දැනෙන ස්පර්ශනීය ‘නිදහසක්’ විය යුතු බවයි. එම දිගුවෙන් තොරව දකුණේ සිංහලයා සමරණ ඕනෑම ජයග‍්‍රහණයක්, අනිවාර්යයෙන්ම, ‘අපේ ජයග‍්‍රහණය’ සහ ‘උන්ගේ පරාජය’ යන දෙබෙදුමට ගොදුරු වෙයි. එය, ලංකා රාජ්‍යයේ ජයග‍්‍රහණය සඳහා මැයි 19 තියා ගනිමින්, නෑසියන් සඳහා ශෝක වීමට වෙනත් දිනයක් දෙමළ ජනයාට දීමේ (දයාන් යෝජනා කරන පරිදි) පැලැස්තරයකින් විසඳෙන්නේ නැත.
යුද්ධයේ ජයග‍්‍රහණය පෙරටු කොටගෙන, (13 වැනි සංශෝධනය අහෝසි කිරීමේ සූදානම, උතුරට පළාත් සභා මැතිවරණයක් අවශ්‍ය නැතැ යි කීම සහ පළාත් සභාවක් දෙතත්, පොලිස් සහ ඉඩම් බලතල නොදිය යුතු යැයි කීම හරහා) දෙමළ ජනයාට අපේ පාලකයන් සලකන්නේ කෙසේ ද යන්න ගැන වැටහීමක් ලබා ගැනීමට, එම ජයග‍්‍රහණයේම වාසිය කරට ගෙන සිංහලයාට මේ පාලකයන් සළකන්නේ කෙසේ ද යන්න විමසා බැලීමෙන්, අපට හැකියාව තිබේ. 2005 දී බලයට පත් මහින්ද රාජපක්ෂ, යුද්ධය අවසන් වන තෙක්, ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව තවත් මුවහත් කිරීමට නිර්භය වුණේ නැත. එහෙත් යුද්ධය අවසන් වූ වහාම ඔහු 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවේය. මෙයින් පෙනී යන්නේ, යුද ජයග‍්‍රහණයේ හයියෙන්, දෙමළාට පමණක් නොව සිංහලයාට ද කොකා පෙන්වීමේ පන්නරයක් පාලකයාට ලැබී ඇති බවත්, එය උපරිමයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට ඔහු නොපසුබට වන බවත් ය.
ඒ අනුව සලකන විට, අවුරුදු පතා අප සමරණ යුද්ධයේ විජයග‍්‍රහණය, හැබවින්ම තමන්ගේ පරාජයක් වශයෙන් අද ඥානනය කරන දෙමළාගෙන් දකුණේ සිංහලයා වෙනස් වන්නේ, කාලය නැමැති සාධකයෙන් පමණක් බව තේරුම්ගත යුතුව තිබේ. දැනටමත් නැතොත්, හෙට වන විට අපේ වාරයත් එළැඹෙනු ඇත.




Repost This Article























