vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

උවයිස්……තත් බිඳණු ජීවන රිද්මය

dsc01188.JPG

මංජුල වෙඩිවර්ධන

උළුවස්ස හරස් කළ ලී වැටට උඩින් අඩ සඳක් පායා තිබේ. ඊට යටින් කුඩා තාරුකා සඟලක් නිවි නිවී දැල්වේ. අඩ සඳ, ලී වැටේ එල්ලී සිටින සිඟිත්තාගේ නළලත යි. තාරුකා නම් සැඟැවි, සැඟැවී අප දෙස හොරැහින් බලනා ඔහුගේ සිඟිති දෙ ඇස යි.
මම කට ඇද කර, දිව දමා, හිස සොලවා ඔහුට ඇද කරමි. ඔහු හිස ඔසොවා මුහුණ රතු කරගනිමින්, මා සමඟ සැහැල්ලු ව හිනැහෙයි.

ඒ සිනහවේ ජාතියක සලකුණක් නැති. ආගමක සලකුණක් ද නැති. එය නිකැළැල් මිනිසත් බවේ පිළිබිඹුව යි.
ඒ සිනහව, මොහොමඩ් උවයිස්ගේ සිඟිති පුත්‍රයාගේ ය.

‛‛වා ඩා ද රෝස පූ
නා ඔන්රු පත්තියනී’’

බාලසුබ්‍රමනියම්ගේ ගීතයක කොටසක් හදවත තුළින් මතුව ඒ’. ‛‛අපූර්ව වූ රෝස මලක් මම දුටුවෙමි.’’ එකී පද පෙළෙන් ධ්වනිත වනුයේ එබඳු අරුතකි.

ත්‍රිකුණාමලයේ පාලෛයූට්රු හි වෙසෙනා මොහොමඩ් උවයිස් කැමැති එබඳු සංවේදනාවෙන් බර වුණු, නිවුණු සෞන්දර්යයකට ය. ඔහු තුළින් පිළිබිඹු වන්නේ ද නිවුණු තැන්පත් මිනිසෙකි.

උවයිස් අධ්‍යාපනය ලැබුවේ ත්‍රි’මලේ විපුලානන්ද විද්‍යාලයේ ය. මිතුරු ඇසුර බෙහෙවින් ප්‍රිය කළ ඔහුට මුස්ලිම්, දෙමළ මෙන් ම සිංහල මිතුරෝ ද වූහ. සාපෙළ සමත් වූ ඔහු උසස් පෙළ වාණිජ්‍යය හැදෑරී ය. උසස් පෙළින් පසු ඔහු දෙවරක් නොසිතාම තාත්තාගේ ‛බිස්නස්’ වැඩට බැස්සේ ය. එහෙත් ඉස්පාසුවක් ලද විටෙක මිතුරන් ඇසුරේ ගත කිරීමටත්, පිය තෙපුල් තෙපළමින් සැහැල්ලු ව පසුවීමටත් ඔහු ප්‍රිය කළේ ය. ඉඳහිට චිත්‍රපටයක් දෙකක් බැලීමට ද අමතක නොකළේ ය.

‛‛මං පොඩිකාලෙ ඉඳන් සින්දු අහන්න ආසයි. දෙමළ සින්දු තමයි ගොඩක් ඇහෙන්නෙ. විශේෂයෙන් චිත්‍රපටි ගීත. වෙලාවක් හම්බ වුණොත් රේඩියෝ එක කරකවලා ඕන ම සිංදුවක් අහනවා. ඒත් දුක්බර සින්දුවලට තමයි ගොඩක් කැමති’’

දුක්බර ගීතවලට කැමති උවයිස්ගේ සැහැල්ලුවෙන් ගත කළ ජිවිතය දුක්බර වීමට පටන්ගත්තේ වසර 2000 සිංහල-දෙමළ අලුත් අවුරුදු උදාවත් සමඟිනි.

‛‛ඒ වතාවෙ තමයි, මතක ඇති කාලෙක ට්‍රින්කොවලට මියුසිකල් ෂෝ එක්ක ආවෙ. යුද්ධ හින්දා ඒව ඔක්කොම නැවතිල තිබුණෙ. මම හිතන්නෙ, නැගෙනහිර පළාතට ම මේ වගේ ෂෝ එකක් ආවෙ සෑහෙන කාලෙකින්. බැටිකලෝ, අම්පාර වගේ පැතිවලිනුත් කොල්ලො ආව ට්‍රින්කොවලට. ගමේ තියෙන මියුසිකල් ෂෝ එකකට මොන කොල්ලද යන්නැත්තෙ’’

බෝම්බ පුපුරා නොගිය, වෙඩි හුවමාරු නොවුණු තාවකාලික වපසරියක් තුළ ත්‍රි‛මලේ මෙකේෂියර් ක්‍රීඩාංගණය සැණකෙලි සිරියෙන් පුරවන්නට ශක්ති එෆ්.එම්. ආයතනය පුරෝගාමී වී තිබුණි. දවස පුරා විවිධ විචිත්‍රාංගයන්ගෙන් සමන්විත වුණු ක්‍රීඩාංගණය කළුවර වැටෙද්දී ප්‍රසංගයක් බවට පරිවර්තනය විය. යුද්ධයෙන් හෙම්බත්ව සිටි 50,000 අධික තරුණයෝ නිදහසේ ආශ්වාදයට ඉව කරමින් ප්‍රසංග වේදිකාව වටා රොද බඳින්නට වූහ. එහෙත් එය නිමේෂයක උත්කර්ෂයක් පමණක් ම විය.

නිදහසට නොකැමැත්තෝ ක්‍රීඩාංගනය මධ්‍යයේ බෝම්බයක් රඳවා තිබිණි. සිදු වූ මහ පිපිරුමෙන් 12දෙනෙක් මිය ගියහ. රාශියක් බරපතල ලෙස තුවාල ලැබූහ. උවයිස්ට මෙන්ම තවත් සංගීත ලෝලීන් රැසකට දෙපයින් සිටගැනීමේ වරම සදාකාලිකව ම අහිමි කෙරිණි.

‛‛මගේ වටේ හිටපු ඔක්කොට ම තුවාල වුණා. එකට ම හිටපු යාළුවො දෙන්නෙකුගෙ ම කකුල් නැති වුණා. මට දවස් 25ක් විතර යනකන් හරියට සිහි කල්පනාවක් නැතිව හිටියා. ඒත් ලොකුම දේ තමයි ගෙදර අයයි, යාළුවොයි මාව තනි කරලා නොගිය එක’’

උවයිස්ට මාස එක හමාරක් පමණ රෝහලේ ගත කිරීමට සිදු විය. දෙමසක් ඉක්ම යන විට දුක තුනී කරගෙන පියවි ලෝකයට පිවිසීමට තරම් හිත හදාගෙන සිටියේ ය. පස් මසක් ගත වන විට අලුත් කකුලක් සමගින් ඔහු යළි ජීවිතය ඇරඹීය.

‛‛මං මාස 5ක් හිටියා. කකුලක් නැති වුණ එක ඇත්ත. ඒත් මිනිහෙක්ට පුලුවන්ද ඊටත් වඩා කාලයක් නිකං ඉන්න?’’
ඔහු ධෛර්යය වචන බවට පෙරළයි. වේදනාව, සිනහව බවට පෙරළයි.
‛‛මං මාස පහෙන් බිස්නස්වලට බැස්සා’’

උවයිස්ගේ ගෙමිදුල වැට මායිමේ මුණින් අතට පෙරලූ ඔරු කඳකි. පසෙක තැපැල් නයින්ටියකි. මාලු පෙට්ටි කිහිපයක් ඒ මේ අතර විසිර තිබේ. තරාදියක් දැමූ බාල්දියක් ඒ අසල ය. අනෙක් පස ත්‍රිරෝද රථයකි. ඒ අසල, බිත්තියට බර කළ කිහිලිකරු යුගල යි.

‛‛හැම දේ ම වෙන්නෙ හොඳට’’ ඒ උවයිස් සිතන හැටි ය. සියල්ල සාමාන්‍යකරණය වීමට කාලයට ඉඩ දුන් ඔහු, 2005 වසරේ දී විවාහ දිවියට පා තැබී ය. දොරකඩ ලී වැටට උඩින් පෙනෙන සිඟිති රුව, ඒ නව දිවියේ සංතෘෂ්ඨිය යි.

‛‛මිනිස්සුන්ගෙ ආශාවන් වැඩි යි. ඒකයි මේ හැම කරදරේ ම’’

රටේ වාතාවරණය ගැන ඇසූ විට, ඔහු බොහෝ වේලාවක් කල්පනා කර පැවසී ය. දේශකයකු නොවූ ඔහු සිය ලෝක දෘෂ්ටිය අනුව ම දිවි ගෙවිමට වෙර දරයි. එහෙත් උවයිස් කිසි විටෙකත් පරාජය බාර ගන්නෙකු නො වේ.

‛‛ජීවිතය කියන්නෙ චැලේන්ජ් එකක්. ඒක අතඅරින්න බෑ’’

ඔහු ත්‍රිරෝද රථයක් මිල දී ගත්තේ ව්‍යාපාරය කරගෙන යෑම පහසු කර ගැනීමටත්, ලැබුණු විටෙක හයර් එකක් දුවා අමතර යමක් ඉපයීමටත් ය. එහෙත් ඔහුගේ විශේෂිත තත්වය නිසා ඊට බාධා එල්ල විය.

‛‛මං ත්‍රීවිල් එක මොඩිෆයි කළා. මට එළවන්න පහසු විදියට. ඊට පස්සෙ අවුරුදු 3ක් විතර ට්‍රයි කළා ලයිසන් එක ගන්න. කොළඹට හතර පස් වතාවක් ගියා. අන්තිමට කොහොම හරි මං ඒක අරගත්තා.’’

ඒ උවයිස්ගේ ධෛර්යය යි. එය ආදර්ශයක්, අත්දැකීමක් නොවන්නේ කාට ද?

‛‛මං බිස්නස් යනවා. ගෙදර එනවා. මගේ ගෙදර මට නිදහස්. මං කැමතියි ගෙදර ඉන්න. නෑදෑයෝ අතරට වුණත් වැඩිපුර යන්න මං කැමති නෑ. මං කැමති නෑ කවුරුවත් මට අනුකම්පා කරනවට’’



Last 5 posts by Vikalpa_N

150 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment