vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ප්‍රේමචන්ද්‍රන් : පා අටකින් නැගී සිටි මිනිසෙක්

මංජුල වෙඩිවර්ධන

‛‛දුවන්න විතරයි මට බැරි. උත්සාහ කළොත් ඒකත් බැරිකමක් නෑ. ඒත් ඉතින් දුවන්නෙ මොකටද?’’
වේගයෙන් පැද ආ පාපැදිය අප අසල නතර කරමින් වේලුමයිලුම් ප්‍රේචන්ද්‍රන් පවසයි. ඔහු සිටින්නේ සිනහ වී ගත් වන ම ය.
‛‛යං ඇතුළට’’
ඔහු අප සිය නිවහන වෙත කැඳවයි.
එකට යා කළ කුඩා තාවකාලික නවාතැන් පේළි කිහිපයකින් සමන්විත එය සුනාමියෙන් අවතැන් වූවන් වෙනුවෙන් ඉදිවූවකි. ත්‍රි’මලේ ‛‛සල්ලි’’හි පිහිටි එහි පදිංචිව සිටින පවුල් ගණන 27කි. ඉන් පළමු කුඩා නිවස ප්‍රේමචන්දන්ගේ වාසභවන යි.
ප්‍රේමචන්ද්‍රන් ලෑලි බිත්තියට සයිකලය බර කරයි. එසැණ ඔහු වට කර ගන්නා දූවරු තිදෙනෙකි. වැඩිමහලී - දයානා - දස හැවිරිදි ය. මද්දුමී - දිලුක්ෂියා - අක්කාට දෙවසරකින් බාල ය. බඩපිස්සී මධුෂායිනී - මද්දුමීට දෙවසරකින් බාල ය. සැබැවින් ම එය තාවකාලික නවාතැන් පළක් නොව සොම්නසින් පිරී ගිය කැදැල්ලකි.
ප්‍රේමචන්ද්‍රන්ගේ ‛අප්පා’ ධීවරයෙකි. අම්මා, ඔහුට යන්තමට අවුරුද්දක් සපිරෙද්දී මෙලොව හැර ගියා ය. ‛සල්ලි’ මහ විදුහලේ 8 වසරට එළඹීමටත් පෙර ම, අප්පාට ඉසිඹුවක් ලබාදීමත්, අක්කාගේ අනාගතය සුරක්‍ෂිත කිරීමටත් වෙනුවෙන් ඉන්දියන් සාගරය ගැඹරට පිවිසීමට ඔහු තීන්දු කළේ ය.
එහෙත් ප්‍රදේශයේ පැවැති යුදමය වාතාවරණය විසින් ඔහුගේ යෞවන අපේක්‍ෂා අනපේක්‍ෂිත ලෙස සුණු-විසුණු කර දැමිණි.
‛‛ගමේ කරපු රවුන්ඩප් එකකදී මාවත් අපේ ගමේ තව 17 දෙනෙකුත් අත්අඩංගුවට ගත්තා. මං කඳවුරු ගාණක හිටියා. කිසිම වරදක් නොකළ මං වගේ ගොඩක් අය කඳවුරුවල දුක් වින්දා. නිර්දෝෂීකම සිංහලෙන් කියා ගන්න බැරුව’’
කිසිදු චෝදනාවකින් තොර ව වසර එකහමාරක් කඳවුරු බත් කෑ ප්‍රේමචන්ද්‍රන්ට 1987 දී නිදහස ලැබිණි. අප්පාත්, අක්කාත් සොයා ත්‍රිකුණාමලයට ආ ඔහුට දැනගන්නට ලැබුණේ ඔවුන් යුද අනාථයන් ව මුලතිව් හි සරණාගත කඳවුරක දිවි ගෙවන බවයි. ඔවුන් වෙනුවෙන් යළි මුහුදට බැසීමට තීන්දු කළ ප්‍රේමචන්ද්‍රන්, ඔවුන් ත්‍රි’මලේ රැගෙන ඒමට ඇඟිලි ගනිමින් පසු විය. කෙමෙන් තම අරමුණ වෙත ගමන් ගත් ඔහු යළි ‛සල්ලි’ හි වැල්ලබඩට ඔවුන් රැගෙන ඒමට සමත් විය.
‛‛ඒ කාලෙ මෙහෙ හිටියෙ ඉන්දියන් හමුදාව. එල්ටීටීඊ එකත් එක්ක ත්‍රිකුණාමලෙත් සටන් තිබුණා. මොන තත්වෙක උණත් අපි අපේ රස්සාව කරගෙන ගියා.’’
ඔහු කතාව මඳකට නතර කළේ ය. වැලි දූලි මුසු සැඩ සුළං රැල්ලක් අපේ දෑස් රිදවමින් හමා ගියේ ය.
‛‛1989 මැයි මාසෙ 25 දා තමයි මේ සිද්ධිය වුණේ. අපි හිටියෙ ‛රස්සා යන්න’ ලෑස්ති වෙලා, වෙරළේ. එක පාරටම ගිනි බෝලයක් කඩා වැටෙනවා වගේ දැනුණා. මට මට සිහිය එනකොට මං හිටියෙ ඉස්පිරිතාලෙ ඇඳක. මගේ දකුණු කකුල තිබුණෙ නැහැ. එහෙම වුණේ ‛ෂෙල්’ ප්‍රහාරයකින්ලු.’’
අහිමි වූ පාදය වෙනුවෙන් ඔහුට රු. 9500/-ක වන්දි මුදලක් ලැබිණ. ඒ වන විටත් යෞවනයකු වූ ඔහු ඉතිරි ජීවන ගමන ම තනි කකුලෙන් පියමං කළ යුතු විය.
‛‛මට ඕන වුණේ කකුලක් හයිකරගෙන ආයිත් රස්සා යන්න’’
ඔහු එක්තැන්ව සිටියේ මාස 3ක් පමණි. කෘත්‍රිම පාදයක ආධාරයෙන් යළි දෙපයින් සිටගත්තේ ය. සුපුරුදු හබලට අත තැබූ ප්‍රේමචන්ද්‍රන්, තෙප්පමේ නැග කළපු දියට බටුයේ ය. මුරල්ලන් අහිනක්, ගල්මාලු රෑනක්, සාලයන් පොකුරක් ඔහුගේ දැල තුළ කොටු වී යළිත් තෙප්පමට ගොඩ විය. සහනාධාර ජිවිතයක් වෙනුවට තමන් ම උපයන මුදලින් ජීවිතය සරි කරලීමේ ආඩම්බරය යළි ඔහු වෙත ළඟා විය.
සල්ලි හි වැල්ලබඩ, ප්‍රේමචන්ද්‍රන් ගේ හුදෙකලා දිවිය පාදයක් අහිමි වීමෙන් පසුවත් සත් වසරක් පමණ දිගු විය. ප්‍රේමචන්ද්‍රන්ගේ කුඩා නිවසට සිරිකත ළඟා වූයේ ඔහුගේ ධෛර්යය දුටු යෝජනාවක් මඟිනි. ඇය ‛සූරියකලා’ වන්නී ය.
‛‛මට විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා මං කවදාවත් හිතලා නෑ. මං හිතන්නෙ ඒකයි මගේ හිතේ තියෙන සතුට’’
ඔහු සැහැල්ලුවෙන් පවසයි. ඔහු එක පයක වාරුවෙන් වැර වෑයමෙන් ගොඩනගා ගත් අල්පේච්ඡ ජීවිතය රළ පහරින් යළිත් මුහුදුබත් විය. එහෙත් ඒ ගැන වුව ඔහු තුළ කම්පාවක් නැත. නැති වෙන්නට දෙයක් නැති, විඳින්නට තරම් අලුත් පීඩාවක් නැති ප්‍රේමචන්ද්‍රගේ ජීවිතය, බිරිඳ හා දියණියන් තිදෙනාගේ ප්‍රේමයෙන් පිරී ගොසිනි.
‛‛මේ මගේ අටවැනි කකුල’’ ඔහු සිය කෘත්‍රිම පාදය පෙන්වමින් කියයි. අහිමි වූ පාදය ද ගණන් ගෙන බැලුවොත් ඔහු මේ නැගී සිටින්නේ නව වැනි පාදයෙනි. විවිධ ආයතන වරින් වර ඔහුට කෘත්‍රිම පාද ලබාගැනීමට ආධාර කර තිබිණි.
‛‛මේ වගේ කකුලක් මාස හයකට වඩා පාවිච්චි කරන්න බැහැ. ගෙදර ඉන්නව වගේ නෙවෙයි, මූදු රස්සාව කරනකොට කකුලක් වැඩි කලක් ඔරොත්තු දෙන්නෙ නෑ’’
ඔහු මුලින්ම මුහුදට බසින්නට සිතුවේ, තාත්තාගේ බර සැහැල්ලු කර, අක්කාට විවාහයක් කර දීමට ය.
කෙසේ හෝ දැන් ඔහුගේ අක්කා ද විවාහක ය. ඇය සිටින්නේ ද ‛සල්ලි’ සුනාමි කඳවුරේ ම ය.
‛‛මං හිතන් හිටිය හැටියට අක්කගෙ කටයුතු කරගන්න බැරි වුණා. මං උත්සාහ කළා. ඒක අක්ක දන්නව. ඒ හින්ද කමක් නෑ.’’
ඔහු වේදනාවෙන් බර විය යුතු දෑ පවසන්නේ සිනහව සමඟ මුසු කරමිනි. ඒ ප්‍රේමචන්ද්‍රගේ ජීවිතයේ සෞන්දර්යයයි.
දැඩි ආරක්‍ෂක රැකවල් යෙදූ ත්‍රිකුණාමලය නගරයේ මංමාවත් දෙපස රැඳී සිටින සෙබළුන්ගේ සැක මුසු දෑස් මග යන එන්නන් වෙත යොමු වී තිබේ. ප්‍රේමචන්ද්‍රන්, ඒ මාවත් ඔස්සේ සිය පා පැදිය පැදයයි.
බැලූ බැල්මට ඔහු ද සාමාන්‍ය මිනිසෙකු පමණි. එහෙත් යුද්ධය විසින් ඔහුගේ ජීවිතයට ඇති කළ බලපෑම කවුරු නම් දකිත් ද?

Last 5 posts by Manjula Wediwardhana

147 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment