vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ලබන ආත්මෙදිවත් සිංහලයෙක්ව බඳිනවා……

මේ කියන සිද්ධිය සිදුවූයේ, අගෝස්තු 11 වෙනිදා, මමත් මගේ මිත්‍රයෙකුත් යාපනේ සිට කොළඹට ඒමට පලාලි ගුවන්තෙ‍ාටුපොළට එමින් සිටින අතරතුරේදීයි.

A 9 පාර වසා දැමීමත් සමග යාපනේට යාම් ඊම් සිදුවන්නේ ගුවනින් සහ මුහුදිනි. යමක් කමක් ඇති උදවිය ගුවනින් ගමන් කළ අතර අගහිඟකම් ඇති උදවිය මුහුදු මාර්ගය ඔස්සේ මගී නැවකින් සිය අවශ්‍යතා සපුරා ගත්තෝය.

යාපනේ නගරයේ සිට විනාඩි 50 ක පමණ ගමනකින් පසුව මගී පරීක්ෂාව සදහා කට්ටුවානේ හි වාහන නතර කෙරේ. හැඳුනුම්පත් සහ ගුවන් ටිකට්පත් පරීක්ෂාවට ලක් කෙරෙන තුරු මගීන් නැවතී සිටිය යුතුව ඇත්තේ කට්ටුවාන කෝවිලේ කැඩී බිඳී ගිය බිත්ති අතරේය.

පසුව වරකට පස්දෙනා බැගින් ගෙනා ගමන්මලු හා හැඳුනුම්පත් පරීක්ෂාවට ලක් කෙරේ. ගමන් මලු තුළ ඇති සියලුම දේ එළියට අදින පොලිස් හා හමුදා නිලධාරී නිලධාරිනි‍යෝ ඒවා නැවත අසුරාගැනීම මගීන්ටම පවරති.

ඊට පසුව සිදුවන්නේ යාපනයෙන් පිටවන සියලු දෙනාගේ තොරතුරු සටහන්කර ගැනීමයි. දිගු පෝරමයක් අතින් ගත් හමුදා නිලධාරියෙතු අප දිරියේ සිටින කාන්තාවගේ හැඳුනුම්පත ඉල්ලාගෙන එය හොදින් පරීක්ෂාවට ලක් කරයි. නැවත ඔහු කාන්තාව දෙස බලා,

‘’සිංහල නේද?”

‘’ඔව්”

‘’මෙහේ කොහෙද?”

‘’ගෙදර යනවා…ග්‍රෑන්ඩ්පාස්..”

‘’ඉතිං මෙහේ..?”

‘’මම බැඳලා ඉන්නේ මෙහේ දෙමළ කෙනෙක්”

‘’ඇයි දෙමළ කෙනෙක් බැන්දේ?”

ඇය ඊට පිළිතුරු නොදී බිම බලා සිටියි.

‘’ඒක ඉතිං ලව් එකනේ..”

මගේ මිතුරා ඇය වෙනුවෙන් පිළිතුරු සපයයි. හමුදා නිලධාරියා එය එතරම් තැකීමක් නොකර පෝරමය පුරවයි. ඇය සිනාසේ.

‘’ඇයි සිංහල කෙනෙක් හිටියෙම නැද්ද බඳින්න…?”

හමුදා නිලධාරියා ඇය වෙත තවත් පැනයක් යොමුකරයි. ඇය බිම බලා සිටියි. සියලු තොරතුරු සටහන් කරගත් ඔහු හැඳුනුම්පත ඇයට දෙන ගමන්,

‘’ලබන ආත්මෙදිවත් සිංහල මිනිහෙක් බඳිනවා.'’

ඇය නිහඬව පෝලිමේ ඉදිරියට ඇදුණාය.

අ.වි

Last 5 posts by Vikalpa_N

161 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment