යාපනයේ ජීවිත…

‛ඒයි කොහෙද යන්නෙ’ ජීප් රථයේ ඉදිරි අසුනේ වැඩ සිටිනා අප මිත්‍ර මේජර්වරයා මිත්‍ර ලීලාවෙන් අසයි.
‛ජැෆ්නා’ එක්ස්පෝ බස් රථයෙන් බැස ගුවන් හමුදා මුර කපොල්ලක චෙක් වෙමින් සිටින අපි පිළිතුරු බඳිමු.
‛නම්බර්ස් දියල්ලා. මං කෝල් කරන්නම්’ අපේ දුරකථන අංක සිය ජංගම දුරකථනයේ සටහන් කර ගන්නා මිත්‍ර මේජර්වරයා නික්ම යයි. ඔහු යන්නේද යාපනය වෙත ය. ඔහුට අංක දුන් අපේ දුරකථන විසංධි කොට හමුදා බාරයට ගැනේ.
‛මුරුක්කණ්ඩි වලදි හම්බවෙයි’ ගුවන් හමුදා නිලධාරිනිය මඳහසින් යුතුව පවසයි.
පෙරවරු 7.30ට රත්මලානට ආ අප පලාලියට පැමිණෙන්නේ පස්වරු 2.00ට ය. පැයක ගුවන් ගමනක් නමුදු පැය 6.30ක රස්තියාදුවකි. ගුවනේ පැයකි. ඉතිරි කාලය ඉතිරි වැඩවලටය.
පලාලි හීදී ගුවනින් බට තැන ගැහැණු පිරිමි පෝලීම් දෙකකි. සේයා රූ සටහන් කර ගැනීටමත්, ආ තැන - යන තැන සටහන් කරගැනීමටත් ය. තරුණ ගුවන් හමුදා නිලධරයෝ දෙදෙනා මාරුවෙන් මාරුවට ඩිජිටල් කැමරාවකින් සේයා රූ ගනිති. දෙමළින් කියන විස්තර පෝරම ගත කෙරෙන්නේ සිංහලෙනි.
එතැන් සිට මුරුක්කණ්ඩි දක්වා මගීන් රැගෙන යන්නේ හමුදා බස් රියකිනි. එහි සියලු ජනෙල් කවුළු වසා තිර රෙද්දෙන් ආවරණය කර ඇත. තිර රෙද්දක් යන්තමින් හෝ ඇර අධි ආරක්‍ෂක අවකාශය දෙස බලන කවරෙකුට වුව කළු කණ්ණාඩිය දමා ගත් ‛එක්ස්පෝ’ සේවකයාගෙන් කුණු බැණුම් අසන්නට සිදුවේ.
මුරුක්කණ්ඩියේ සිට යාපනය නගරයට අප රැගෙන යාමට පැමිණි ‛එක්ස්පෝ’ බස්රථ පසෙක ගාල් කර ඇත. කලෙකින් ගමට පැමිණි හූදී ජනයෝ එයට නගිනායුරු අපි පසෙකට වී බලා සිටිමු.
යාපනය නගරය දහවලට වෙනදා මෙන්ම කඩිසරය. දහවල ඉක්ම යමින් පවතිද්දී වෙනදාටත් වඩා කඩිසරය. සන්ධ්‍යාවේ පූර්ව අවධිය එළැඹෙද්දීම පොදු වෙළඳ පොළ මෙන්ම නගරයේ කඩ සාප්පු වීදි ද ඉබි යතුරු ලෑම අරඹයි. සවස 3.00 වන විට කඩිගුලක් මෙන් කැළඹෙන නගර මධ්‍යයේ වන මධ්‍යම බස් නැවතුම් පළ 4.00 වන විට හිස් ලූ ලූ අත දුවන ජනතාවගෙන් හිස් වී ශාන්ත ස්වභාවයක් උසුලයි. 5.00 පමණ වන විට මුළු නගරයම උපශාන්තය. ඉඳහිට යනෙන ත්‍රී රෝද රථයක් යතුරු පැදියක්, පාපැදියක් මිස අන් කිසිවකුත් නැති නගරය අරක්ගෙන සිටින්නේ හමුදා සොල්දාදුවන්ම පමණි.
මේ සියල්ලේ පදනම් හේතුව දෛනිකව සවස 7.00ට පැනවෙන ඇඳිරි නීතියයි. ඒ සමඟ උදාවන්නේ අවතාර සැරියරන භීතියේ රාත්‍රීන්ගෙන් එකකි.

අප රාත්‍රීය ගතකිරීම පිණිස තෝරාගෙන සිටින්නේ නල්ලූර් කෝවිලට යාබද තිනක්කුරල් රෙස්ට්, හෝටලයයි. ඉකුත් පස් මසක කාලය තුළ මෙහි පැමිණ ඇත්තේ අමුත්තන් දෙදෙනෙකු පමණි. වායු සමනය කළ කාමරද ඇතුළුව කාමර 12ක් එහි ඇත. එහෙත් බොහෝ රාත්‍රී වල එහි සිටිනුයේ කෝකිවරයාත්, හෝටල රැකවලාත් පමණි.
‛ඒ නයින් මාර්ගය වහල දැම්මට පස්සේ අමුත්තො මෙහෙ එන එක නැවතුණා. හෝටල් කර්මාන්තය 90% කින් විතර බිඳ වැටුණා. දැන් ඉතින් කලාතුරකින් තමයි එන්.ජි.ඕ. වල වැඩකරන අය පවා එන්නේ.’
තිනක්කුරල් රෙස්ට්හි කළමනාකාර එල්.සී. බෙන්ජමින් පවසයි. තිනක්කුරල් රෙස්ට් හි පැවති සශ්‍රීක අවන්හල වැසී ගොස් වසරකුත් ඉක්මවා ඇත.
එහි පසෙක හකුලා ගොඩ ගසා තිබූ යකඩ මේසයක් දිග හැරීමට අප සිවු දෙනෙකු දැරු තැන ව්‍යර්ථ විය. එතරම්ම මළබැඳී ඇති හෙයිනි.
මේ සන්තෑසිය තිනක්කුරල් හෝටලයට පමණක් සීමා වුවක් නොවේ. යාල් බීච්, තීක්කම් ගෙස්ට් හවුස්, ග්‍රීන් ගාඩ්න්ස්, බැස්ටියන් පිල්ලෙයාර් ඇතුළු හෝටල් සියල්ලටම උරුම වූවකි. දෙවසරකට පෙර සේවය කළ සේවකයන්ගෙන් 75%ක් පමණ අඩු කිරීමට සෑම හෝටලයක්, නවතැන්පලක්ම තීන්දු කොට ඇත.
යාපනයට හිරු උදාවන්නේ මෝටාර් හෝ කලාතුවක්කු හඬක් සමඟිනි. නින්දෙන් තිගැස්සි අවදිවුණු අපට දොර කවුළු හැර පිටත බලද්දී දක්නට ලැබුනේ අසල් වැසි නිවසක් ඉදිරිපිට මිදුල අමදිමින් සිටිනා කාන්තාවකි. මෙබඳු හඬවල් යාපනයේ ජීවිත තුළ සාමාන්‍යකරණය වී ඇති සෙයකි.
උදෑසන වුව නගරයේ කඩිමුඩියක් නැත. කඩසාප්පු ඇරෙන්නේ හිමිහිට ය. අපි පොදු වෙළෙඳ පොල වෙත යමින් සිටිමු.
‛දෙන්නෙක් තුන්දෙනෙකු ඉන්න පවුලකට වුණත් දවසකට රුපියල් 1000/- විතර වියදමක් යනවා. මෙහි බඩු ගාණ වැඩියි. මිනිස්සු ජීවත් වෙන්නේ අමාරුවෙන්.’
දවසට අවශ්‍ය කළමණා රැගෙන යන්න උදේ පාන්දරින්ම යාපනය ප්‍රධාන වෙළෙඳපොල වෙත පැමිණි ටී. තංගමනී ගෘහණියකි. යාපනය නගරයේම ඇය පදිංචිව සිටින්නේ සිය විශ්‍රාමික සැමියාත් සමඟයි. ඔවුන්ගේ දුවා දරුවන් සියලු දෙනාම යාපනය හැර ගොසිනි. ඒ යුරෝපා කරයටය. යාපනයේ ජන ජීවිතය පිළිබඳ යථාර්ථය හෙළිදරව් කිරීමක් වැනිය.
‛දුප්පත් මිනිස්සුන්ට නම් මෙහේ ජීවත් වෙන එක අමාරුයි. දැන් බලන්න මේ වම්බටු කිලෝවක් රුපිල් 100/-ක්. අර්තාපල් කිලෝවක් රුපියල් 160/-ක් වෙනවා.’
ඇය වෙලෙන්දා ඉදිරියේ ඇති එලවළු වර්ග පෙන්වමින් අපිට පවසයි.
‛මේ එලවළු ගේන්නේ තින්නවේලි ඉඳන්, චෙක් පොයින්ට් පහු කරගෙන තමයි මේවා ගේන්නේ. ට්‍රාන්ස්පෝර්ට් වලටම යනවා රුපියල් 200ක් විතර.’
වසර 15කට වැඩි කාලයක සිට යාපන පොදු වෙළඳපොළේ වෙළඳාම් කරන ජෙයචන්ද්‍රන් සෙල්වරාජ් සිය දුෂ්කරතාවයන් පෙන්වා දෙයි.
‛හතර වෙනකම් විතරයි බිස්නස් කරන්නේ, ඒත් වැඩිදෙනෙක් දැන් මාර්කට් එකේ බිස්නස් වලට එන්නේ නැහැ. ඈත ඉන්න අයත් ඉක්මනට යනවා මොකද හවසට ඇදිරි නීතිය දානවා.’ සෙල්වරාජ් වැඩි දුරටත් පවසයි.
‛මිනිස්සු ළඟ සල්ලි තියෙනවා. ඒත් පාරට බහින්නේ නැහැ හැම තිස්සෙම චෙකින් නිසා. ඒක මිනිස්සුන්ට කරදරයක් වෙලා.’
සිංහල මහා විද්‍යාලය අසලදී අපට හමුවු බී. නික්සන් ත්‍රිරෝද රථ රියදුරකි. යාපනයේ සිය පියාගේ ගම වුවද මව හලාවත ප්‍රදේශයේ පදිංචිකාරියකි. කෙතරම් දුෂ්කරතාවයක් තිබුණද නික්සන් යාපනය අතහැර යාමට එතරම් කැමැත්තක් නැත.
‛අපි මෙතන ඉඳලා ටවුන් එකට පස්වතාවක් ගියොත් ඒ පස්වතාවම චෙක් කරනවා.’
නික්සන් කියයි.
රත්මලාන බලා ගුවනින් යාමට බලාපොරොත්තු වන මගින් එක් රැස්වන්නේ සිංහල මහා විද්‍යාලය අසලටයි. නික්සන් ඒ සියලු දෙනාගේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බලන්නේ සිය ත්‍රී්‍රිරෝද රැකියාවෙන් ද එපිටට ගොසිනි.
කෙසේ වුවද යාපන අර්ධද්වීපය තුළ ත්‍රීරෝද ගමන් කිරීමේ අවම ගාස්තු වන්නේ රුපියල් 100කි. ටික දුරක් යන මගියකුට බොහෝ මිලක් ගෙවන්නට සිදුවේ. එබැවින් බොහෝ ත්‍රීරෝද රථ රියදුරන් ගමන් දෙකකින් තුනකින් පමණ දිනකට සරිලන මුදල සොයා ගනී.
‛තෙල් ගණන් වැඩියි. ලීටරය රුපියල් 122ක් වෙනවා. ටූටී ඔයිල් කාලක් ඉස්සර රුපියල් 30යි. එත් දැන් රුපියල් අනුවක් වෙනවා.’ නික්සන් ත්‍රිරෝද ගාස්තු වැඩි වීමට හේතු දක්වයි.
‛අද මෙහේ හැම දෙයක්ම 100%කින් පහත වැටිලා තියෙන්නේ. ඒ නයින් පාර ඇරිය නම් අපේ වගාවලට හොඳ ආදායමක් තියෙනවා.’
සිරිප්පිඩි වලදී අපට හමුවන හැට එක් හැවිරිදි ටී. සුබ්‍රමනියම් පවසයි. ඔහු අක්කර 4ක සරුසාර කෙසෙල් වගා බිමකට හිමිකම් කියයි. ඒ ගැන ඔහු කථා කරනුයේ ඉතාමත් ආඩම්බරයෙනි. යාපනයේ සෑම ගොවියෙකුගේම මේ ප්‍රෞඩත්වය දැකිය හැකිය.
‛මේවාට කිසිම පොහොරක් යොදන්නේ නැහැ. මේ පොලව සාරවත්. ඒ හින්ඳා තමයි අපිට හොඳ අස්වැන්නක් ලැබෙන්නේ’
සුබ්‍රමනියම් එසේ කීවද එම අස්වැන්න විකුණාගත නොහැකි වීම ගැනනම් ඔහුට ඇත්තේ කණස්සල්ලකි.
‛නිර්වේලි, අච්චුවේලි, තින්නවේලි කොයි මාර්කට් එකකට අරන් ගියත් ලැබෙන්නේ බොහොම අඩු ගාණක්. ට්‍රාන්ස්පෝර්ට් වියදම් ගියාම අතට ලැබෙන ගාන මදි. ඒ නයින් පාර ඇරලා තිබ්බ කාලේ නම් අපිට හොඳ මාර්කට් එකක් තිබුණා.’
වෙළෙඳ පොළ ප්‍රශ්නය සේම ඔහුට භුමිතෙල් මිළ, කම්කරු කුලිය ද බලපා ඇත.
ගොවින්ට සේම ධීවරයන්ට ද යාපනයේ සිය රැකියාව කරගෙන යාමට ඉස්පාසුවක් නැත. නගරය යාබද ගුරුනගර් ධීවර ගම්මානයේ සිටින ධීවරයන් ගණන 3000කට ආසන්නය. ඔවුන් රැකියාව කරන්නේ හමුදාව විසින් සකස් කරන ලද අපුරු විෂම චක්‍රයකට අනුවය.
එක් දිනකට රැකියාවට යාමට අවසර ලැබෙන්නේ ධීවරයන් 700ක උපරිමයකටය. එයත් පෙරවරු 11.00 සිට පස්වරු 2.00 දක්වා වන පැය තුනක කාල පරාසයකට ය. එයත් අඩි 2ක් පමණ වන නොගැඹුරු කළපු දියෙහිය. එක් ධීවරයෙකුට රැකියාව පිණිස වන අවස්ථාව ලැබෙන්නේ දින 4කට එක් වරක්.
‛අපේ ධීවරයෙකුට සාමාන්‍යයෙන් දින 4කට උපයන්න ලැබෙන්නේ රු. 147 ක මුදලක්. යාපනේ හාල් කිලෝ එකක් රු. 110/-ක් 120/-ක් වෙනවා. මෙහෙම කොහොමද අපි ජීවත් වෙන්නෙ.’
ගුරුනගර් ධීවර සමිතියේ සභාපති එස්. තවරත්නම් පවසයි.
යාපනයේ පොදු ජනජීවිතය මෙසේ ගෙවෙමින් පවතී. සියලු ජනතාව තුළ නිශ්චිතව පවතින එකම දේ අවිනිශ්චිතභාවය පමණි.
කෙටි සැරිසැරීමක අවසන අපි ආපසු හැරී එමින් සිටිමු. ආ මඟ ඔස්සේ ම ය. ‛එක්ස්පෝ’ බස් රථයේ අසුන් සියල්ලම පිරී ගොසිනි. එන විට දුටු මුහුණු වෙනුවට වෙනත් මුහුණු සමූහයකි.
මුරුක්කණ්ඩි මුරපොලේ හැඳුනුම්පත් පිරික්සෙයි. අප ඉදිරියෙන් සිටින කාන්තාව සමඟ සෙබළ සංවාදයකි.
‛කොහෙද ගම’
‛ග්‍රූන්ඩ්පාස්’ ඇය සිංහලය චතුර ලෙස උසුරුවයි.’
‛දෙමළ ද’
‛නෑ සිංහල’
‛මේ කොහෙද ගියේ’
‛යාපනේ’
‛මොකටඳ
‛මහත්තයා එහේ’
‛මහත්තයා දෙමළ ද’
‛ඔව්’
‛ඇයි දෙමළ මිනිහෙක් බැන්ඳේ’
ඇය අසරණව මුහුණ රතු කර ගන්නීය. අපි අනවසරයෙන් සංවාදය මැද්දට පනිමු.
‛එගොල්ලෝ බැඳලා තියෙන්නෙ, ප්‍රේමය නිසා’
සොල්දාදුවා අප දෙස ඔරවා හැඳුනුම්පත ඇය අතට ලබා දෙයි. ඇය යන්නට හැරේ.
‛ලබන ආත්මෙවත් සිංහලයෙක් බඳිනවා’
හැරී යන ඇය වෙත සොල්දාදුවා වචනයෙන් වෙඩි තියයි.
අපි හමුදා බස් රථයකට ගොඩ වෙමු. එහි ජනෙල් ද පෙර සේම කළු තිර රෙදි වලින් ආවරණය කර ඇත. පලාලියට පිවිසෙන මා ඉමේ සිටුවා ඇති කණු දෙකක සවි කළ පුවරුවක මෙසේ සටහන් ව ඇත.
WELCOME
අධි ආරක්‍ෂක කලාපය.
මංජුල වෙඩිවර්ධන
අතුල විතානගේ
සේයා - අතුල විතානගේ
Last 5 posts by Manjula Wediwardhana
- පද්මසිරි - බෝට්ටුවෙන් ට්රයිසිකලයට ගොඩ වූ ධීවරයා - September 3rd, 2007
- යාපනය : අර්ධද්වීපයක මාධ්‍ය සංහාරය - August 31st, 2007
- ප්‍රේමචන්ද්‍රන් : පා අටකින් නැගී සිටි මිනිසෙක් - August 29th, 2007
sam said,
When I see how Jaffna unable to change her misery for all this time, feel so grateful to Late President Premdasa for overcome JVP from south back then. These stories bring back old unpleasant memories of JVP era in south.
poojitha said,
These price hikes are due to LTTE tax
RSS feed for comments on this post · TrackBack URI


