කාංචනා සීගිරි ළඳක්ද?
කාංචනා…සමාජය වෙළාගත් බිහිසුණුබවේ තවත් ගොදුරක්
පසුගිය කාලය තුළ තරුනියන් ගණනාවක් ලිංගික හිංසනයන්ට ලක් කොට ඝාතනය කිරීමේ ඛේදජනක වාර්තා ගණනාවක් අසන්නට ලැබුණි.
2006 වර්ෂයේ මීරිගම කුරුඳුවත්තේ දී මරා දැමූ නිසංසලා හා එම වර්ෂයේ ම මරා දැමූ බුද්ධිකාගේ මරණය ද 2007 වසරේ බදුල්ල පස්සර විභාගයට පෙනී සිටීමට යමින් සිටිය දී දූෂණය කර මරා දැමූ කාංචනා ගේ මරණය පිළිබඳ සිද්ධීන් වාර්තා වූයේ අප බොහෝ දෙනා කණගාටුවට ද කේන්තියට ද පත් කරමිනි.
ස්ත්‍රී හිංසනය දිනෙන් දින වැඩි වීමට හේතුවක් ලෙස බලපාන්නේ ස්ත්‍රීන්ට එරෙහිව පවතින සමාජ ආකල්ප
ය. ගැහැණුන්ගේ නුවණ හැඳි මිටේ තරම්ය, දුර්වලයි, සුකොමලයි, නැමෙන සුළුයි, චපලයි යනාදී වශයෙන් ටෙලිනාට්‍ය තුළ ද,චිත්‍රපටි ඇතුළු සෑම මාධ්‍යයක් තුලම ස්ත්‍රිය නිරූපනය කරයි. මෙවැනි ආකල්පයන් ප්‍රයෝජනයට ගනිමින් ස්ත්‍රීය වෙළඳ භාණ්ඩයක් ලෙස ඇගේ සිරුරේ විවිධ කොටස් ඉස්මතු කරමින් භාණ්ඩ විකුණා ගැනීමේ මෙවළමක් ලෙසද යොදා ගැනේ.
ස්ත්‍රීන්ට එරෙහි ලිංගික හිංසනයන් වැඩි වන්නේ ඇයි ද යන්න පිළිබඳ සමාජය තුළ විවිධ මත පවතියි. ස්ත්‍රී දූෂණ වැඩි වීමට හේතුන් ලෙස කාන්තාවන් තුළම වරද පවතින බවද සමහරු පවසති. කාන්තාවන්ගේ ඇඳුම් විලාසිතාවන් මේ සඳහා බලපාන බව තව කෙනෙක් පවසයි. කාන්තාවන්ගේ අඟ පසඟ නිරාවරණය වන පරිදි ඇඳුම් අඳින විට පිරිමින්ගේ හැඟීම් ඇවිස්සෙන බව ද ඔවුන් සිතයි. එක් ග්‍රාම සේවා නිලධාරි වැඩමුළුවක දී ග්‍රාම නිලධාරී මහතෙකු පැවසූයේ “අපි රහත් වෙලා නෑනෙ” යනුවෙනි. එම වැඩසටහන මෙහෙයවීමට පැමිණ සිටි නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරයා පැවසුයේ “එහෙමනම් මම දවසකට ගර්භනී මාතාවන් හා කාන්තාවන් කී දෙනෙකු දකිනවා ද? එතකොට මගේ හැඟීම් කොච්චර ඇවිස්සෙන්න ඕනෑ ද?”
2007 කාන්තා දිනය සැමරීම සඳහා ගනේවත්තේ දී පැවති ප්‍රබෝධනී වැඩසටහනේ දී දේශනයක් කිරීමට මට අවස්ථාව ලැබුණි. එහිදී කාන්තාවන්ගේ ඇඳුම ස්ත්‍රී දූෂණයට බලපාන්නේ කෙසේ ද ? යන්න පිළිබඳ අදහස් දැක්වීමට මට අවස්ථාව ලැබුණි. ඇඳුම ස්ත්‍රී දුෂණයට බලපාන්නේ නැති බවත් එය බලන ආකාරයේ ප්‍රශ්නයක් පවතින බවත් පැවසීමි. ඇදුම කලින් කලට වෙනස් වන විලාසිතාවකි. අද සාරිය වුවද අදින්නේ වෙ වෙනස් විදියට ය. හැට්ටය නැතිව සාරිය පමණක් ඇදි මව්වරු අතීතයේදීත් සිටි බව ජායාරූප අදත් තිබේ.
මගේ කතාවට ප්‍රතිචාරයක් ලෙස පොලිස් නිලධාරී මහතෙකු ස්ත්‍රී දුෂණයට ඇඳුම් බලපාන බවත් මව්වරු දරුවන්ට අනුබල දීම මව්වරුන්ගේ වරදක් බවත් පැවසුවේය. මේ අදහස දක්වන අය අද සුලභ ය. නමුත් කාංචනා හැඳ සිටියේ පාසල් නිල ඇඳුමය. නිශානි බුද්ධිකා හැඳ සිටියේ මුලු ඇඟම වැසෙන ඇඳුමකි. කුඩා දරුවන් ද සිල් මෑණිවරුන් ද දූෂණයට ලක්වී ඇති බව ඔබ පුවත්පත් වලින් දැක ඇති බවට කිසිඳු සැකයක් නැත. එසේ නම් ඇදුම සහ ලිංගික හිංසනය අතර සබදතාවයක් දක්වන්නේ කෙසේද?
ඔසරියක් ඇද පසුගිය දා කොළඹ ගිය මට බසයේ යනවිට පසුපස ආසනයේ වාඩිවී සිටි මහතෙකුගේ අත් ඉදිරියට විත් මට කරදරයක් වූයේ බයේ පෙරේදා ය. එම අත්දැකීමට මුහූන නොදුන් කාන්තාවක් නැති තරම් විය හැකි ය.
සීගිරි ලඳුන්ගේ සිතුවම් උඩුකය දෙස බලා රසවිඳින්නන් කාමුක වින්දනයක් ලබන්නේ ද? කුඹුරේ සිටින ගොවි රාලගේ අමුඩය දකින කාන්තාවන්ගේ හැඟීම් ඉස්මතු වන්නේ ද?. ඇදුම් විලාසිතා නිසා ස්තීන්ට ලිංගික හිංසයන්ට මුහුණ දෙන්ට සිදුවන්නේ යැයි කියන මහත්වරු සීගිරි ලදුන්ගේ රූප කුරුටු ගෑමට නොකියන්නේ මන්ද? ගොවීන්ගේ අමුඩ ගැලවීමට යෝජනා නොකරන්නේ මන්ද?
කාන්තාවන්ට එරෙහිව සිදුවන ලිංගික හිංසනයට හේතුන් ලෙස කාන්තා ඇදුම් දැක්වීම සැබෑ ප්‍රශ්නය යට ගැසීමකි. රටක පවතින සමාජ ආකල්ප වෙනස් කිරීම මුළු සමාජයේම වගකීමක් වේ.
තිලකා හා භද්‍රා
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


