ජීවිත බේරාගත් කඩොලාන වලට කළගුණ සලකන හැටිද මේ?
මීගමුව තලාදුව ග්‍රාමසේවක කොට්ටාශයේ පිහිටි කඩොල්කැලේ ප්‍රදේශයේ කලපුව අසල බිම් කොටසේ වැවී තිබෙන කඩොලාන ශාඛ විනාශ කර පස් පුරවා නිවාස ඉදිකිරීමට විරුද්ධව කඩොල්කැලේ ග්‍රාමවාසීහු නැගීසිටිති.
සුනාමි ව්‍යසනයේදී කඩොල්කැලේ ප්‍රදේශයට මෙම කඩොලාන ශාඛ නිසා මුහුදු වතුර ඇතුල්වුණේ නැත. කඩොල්කැලේ ග්‍රාමවාසින්ට මේ නිසා කිසිම ජීවිත හානියක් සිදුවී නැත. ඒ වගේම එම ජනතාවගේ නිවාස වලටත් කිසිම හානියක් සිදුවී නැත. කඩොල්කැලේ ගම සුනාමි ව්‍යසනයෙන් හානියට පත් නොවීමට ආධාර වු කඩොලාන ශාඛ විනාශ කිරීම අපරාදයක් බව ග්‍රාමවාසීහු පවසති.
මෙම ප්‍රදේශයේ අක්කර 9ක කඩොලාන ශාඛ වැවී ඇත. සුනාමි ව්‍යසනයෙන් හානියට පත්වූ ජනතාවට ගෙවල් ඉදිකිරීමට මෙම ප්‍රදේශය තෝරාගෙන ඇත. කඩොල්කැලේ ග්‍රාමයේ තරුණයක් මේ ගැන කරුණු පැහැදිලි කරයි.
සුනාමි ව්‍යසනයේදී කඩොල්කැලේ ග්‍රාමවාසීන්ගේ ජීවිත හා ගෙවල් බේරුණේ මෙම කඩොලාන ශාඛ නිසයි. දැන් සුනාමියෙන් ගෙවල් අහිමි වෙච්ච අයට ගෙවල් හදන්න මේ කඩොලාන විනාශ කරන්න පටන්.
මෙම වැඩසටහන විරෝධය පළ කරමින් පසුගිය නොවැම්බර් මාසයේදී අපි ජනපතිටයි, ධීවර ඇමතිටයි, පරිසර ඇමතිටයි ලියුම් යැව්වා. ඒ වුනත්, මෙම වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා පසුගිය සතියේ සිට යන්ත්‍ර මගින් කඩොලාන ශාඛ විනාශ කිරීම ආරම්භ කරලා තියෙනවා.
ලංකාවේ කඩොලාන ශාඛ වර්ග 22ක් තියෙනවා. මේ වර්ග 22කින් 20ක් මෙම ප්‍රදේශයේ වැවෙයි.
කඩොලාන ශාඛ විනාශ කර ගෙවල් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙන නිසා නැවතත් සුනාමි ඇති වුණොත් මේ ගම්වාසින්ගේ ජීවිත බේරාගානීම දුෂ්කර කාර්යක් වෙයි. සුනාමියෙන් හානියට පත්වූ ජනතාවට ගෙවල් ඉදිකර දෙනවට අපි විරුද්ධ නැහැ. එහෙත් ඒ සඳහා දහස් ගණනකගේ ජීවිත බේරා දුන් මේ ස්වභාවික සම්පත විනාශ කර දැමීමට අපි විරුද්ධයි….තවත් ව්‍යසනයක් ආවොත් මෙතන හදන ගෙවල් මිනිස්සුත් එක්කම විනාශ වෙලා යාවි…
මෙම ප්‍රදේශයේ තවත් ධීවරයෙක්,
1977 වසරේදී එජාප රජය කාලයේදී මීගමුව ඡන්ද කොට්ඨාශයෙන් තේරී පත්වූ ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා අක්කර 1,000ක් වු මෙම ප්‍රදේශයෙන් අක්කර 400ක් සුද්ද කර ආදායම් අඩු පවුල්වලට ගෙවල් ඉදිකිරීම සඳහා ඉඩම් බෙදා දුන්නා.
එහෙත් දැන් අක්කර 800ක් පමණ ඉඩමේ කඩොලාන ශාඛ විනාශ කර දමා ආදායම් අඩු පවුල් 1,100කට ඉඩම් බෙදා දී තියෙනවා. කාලයක් තිස්සේ කලපුවේ ධීවර කර්මාන්තයේ යෙදී සිටී ධීවරයන්ට කඩොලාන ශාඛ සහිත සුළු භූමි ප්‍රදේශයක් ඉතුරු වී ඇත. කඩොලාන ශාඛ විනාශ කිරීම නිසා මාළු, ඉස්සෝ, කකුළුවෝ බෝවීම අඩුවී ඇත. මේවා බෝවීමට කඩොලාන ශාඛ ඉතා අවශ්‍ය වේ. කලපුවේදී ධීවර කර්මාන්තයේ යෙදන ධීවරයන්ට මෙම ප්‍රශ්නය නිසා තම කර්මාන්තය ගෙනයෑමට අසීරු වී ඇත.
සුනාමි ව්‍යසනයේදී මෙම ප්‍රදේශ වාසින් බේරුණේ කඩොලාන නිසා. මේ ගැන පිට සිටින ජනතාව කිසිවක් දන්නෙ නෑ.. ඔහු මෙසේ කීය.
මෙම ප්‍රශ්නය විසඳීමට අදාල පාර්ශවය වහම පියවර ගතයුතු බව ගම් වැසියෝ ඉල්ලා සිටිති.
කලානෙන්ජන් - මීගමුව
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


