කටකාර ළමයි…..
මා උගන්වන්නේ කුරුණෑගල නගරයේ ජනප්‍රිය පාසැලක ය. දරුවන් කෙරෙන් නිරායාසයෙන් ඉදිරිපත්වන සමාජ විවේචන පිලිබඳ සටහනකි මේ.
එහි 3 වසර එක් පංතියක ගුරුතුමිය වෙනත් රාජකාරියක් සඳහා පිටතට ගියේ සිසුන්ට මෙසේ පවසමිනි. “කව්රුත් කෑ ගහන්න එපා. දැන් සිංහල පොත් අරන් මගේ රට ගැන වාක්‍ය පහක් ලියන්න”
ටික වේලාවකින් ආපසු පැමිණෙන විට සිසුන් කෑ ගසමින් විශාල ඝෝෂාවක් කරමින් සිටිනු දුටු ගුරුතුමිය මෙසේ පැවසුවා ය. “මම කීවේ කෑගහන්න එපා කියලනෙ. මොකද මේ කෑ ගැහිල්ල? ” එවිට කටකාර සිසුවකු මෙසේ කීය. “ටීචර් අපේ පංතිය හරියට දැන් පාර්ලිමේන්තුව වගේ.”
අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි යන කියමන සිහියට නගන මේ සිදුවීම එම ගුරුවරිය මට කීවේ “ පාර්ලිමේන්තුවට ගිය කලක් ” යැයි කියා කළකිරීමෙන් යුතුව ය.
කුඩා දරුවන් බොහෝ දේ ඉගෙන ගන්නේ වැඩිහිටියන් අනුකරණය කිරීමෙනි. තුන වසර වැනි පංතියක කුඩා ළමුන් ජනමාධ්‍ය තුළින් දකින දෑ ඔවුන්ගේ සිත්හි රඳවා ගන්නා හැටි මේ සිදුවීමෙන් පෙනේ.
තවත් එවැනිම සිදුවීමක් ඊයේ සිදුවිය. උදෑසන 7.30ට පාසැල ආරම්භ වීමට ප්‍රථම විවිධ මට්ටම්හි දරුවෝ පාසැල් පිට්ටනියේ ක්‍රිඩා කරති. හතර වසර දරුවන් කණ්ඩායමක් බෝල ගසමින් සිටි අවස්ථාවේ බෝලය හත වසර දරුවකුගේ ඇඟේ වැදී ඇත. ඔහු එය අහුලාගෙන උඩ දමන්නට විය. එවිට හතර වසර දරුවන් ඔහු වට කරගෙන මෙසේ කියමින් ගහන්නට පටන් ගෙන ඇත.
“මම ප්‍රින්සිපල් සර්ගෙ පුතා, මම කුමාරි ටීචර්ගෙ පුතා, මම රංජන් සර්ගෙ පුතා,” යනාදී වශයෙන් කියමිනි. මේ එක් දරුවකුවත් එම ගුරුවර ගුරුවරියන්ගේ දරුවන් නොවේ. නමුත් කුඩා නමුත් ඔවුන් එසේ කිවේ චණ්ඩිකම් පෙන්වීමට ය.
රටේ ඇමැති දරුවන්ගේ චණ්ඩිකම් ජනප්‍රිය මාතෘකාවක් වන රටක කුඩා දරුවන් පවා ඔවුන් අනුකරණය කිරීමට සැරසෙන බව මේ සිදුවීමෙන් නොපෙන්වන්නේ ද?
කලකට පෙර මා ඉගැන් වූ හතේ පංතියේ දරුවන් කණඩායම් වලට බෙදා නාට්‍යයක් රඟ දක්වන ලෙස කියා සිටි අවස්ථාවේ ද මෙවැනි ම දෙයක් සිදුවිය.
බස්රථයක චණ්ඩිකාර රියදුරකු මගීන්ට කරන හිරිහැර රඟ දැක් වූ ඔව්හු ඊට විසදුමක් වශයෙන් දේශපාලන සහාය පතන සැටි හාස්‍යයෙන් යුතුව පෙන්වූහ.
11වන ශ්‍රේණියේ සමාජ අධ්‍යයනය පාඩමේ එළාර රජු වසු පැටියකු සිය රථයට යටකළ සිය ප්‍රත්‍රයාට දඩුවම් නියම කළ බව ගුරුවරියක උගන්වමින් සිටියේ ද ඊයේ පෙරේදාක ය. එම අවස්ථාවේ දී නැගී සිටි තවත් කටකාර සිසුවකු මෙසේ කීය:
“ඇයි අපේ ආචාර්‍ය මර්වින් අයියා ඇමැතිතුමා?”
සමාජ අධ්‍යයනය විෂය අවස්ථාවේ දරුවන්ට සිය සිතැඟි රඟ දැක්වීමට කියා සිටින බොහෝ අවස්ථාවල අප අත් දකින්නේ නිසඟයෙන් පැන නගින මෙවැනි සමාජ විවේචනයන් ය.
- මැණික්
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


