කෝ ටිකට්…

සම්පත් බණ්ඩාර සමරකෝන්
කෝ ටිකට්…..
අහස් ගැබ කලුවලාවන්ගෙන් පිරී තිබිණි. මොහොතකින් මහා වැස්සක් ඇදහැලෙන්නට විය. වැල්ලවාය තෙලුල්ල මහා විද්‍යාලය අවසන් වී කඩි රැලක් මෙන් ළමුන් දුව විත් බසයට ගොඩවිය. පුද්ගලික බසය ළමුන්ගෙන් පිරී ගියේ ලංකාවේ මගී ප්‍රවාහන සේවාවේ තරම කියාපාමිණි.
ඇයි ඔයාලට සීසන් නැද්ද..?
එක් ශිෂ්‍යාවකගෙන් මම විමසුවෙමි
නෑ තියනවා… ඇයි එහෙනන් මේ බස්වල යන්නේ..?
මේ දවස් ටිකේම මේ වෙලාවට යන ලංගම බස් එක එන්නේ නෑ. ඒ හිංදා මේ බස්වල තමයි යන්නෙ. ඈ මට පිළිතුරු දුන්නා.
වෙල්ලස්සේ උදානය තුළින් මේ ප්‍රදේශවල අලුත් බස් නැවතුම් පොළවල් ඉදිවිය. ඒවා වඩා නවීනත්වයෙන් ඉදි කර ඇති බව පෙනෙන්ට විය. සමහර බස් නැවතුම් පොළවල් විවෘත කරන ලද්දේ රාත්‍රි සංගීත සංදර්ශණ ද පවත්වමිණි. ඒවාට විශාල ලෙස මුදල් ද වැය කොට තිබිණ. නමුත් උදානයක අරුමය නම් පාසල් වේලාවට, පාසල් ළමුන් සදහා බස් රථයක් යොදා ගැනීමට පවා චින්තනය අපොහොසත් වී ඇති බවය. සුලු වේලාවකට පසු ඒ අනෝරා වැස්ස ද අඩුවිය. ඒ වනවිට පාසල් ළමුන්ගෙන් බොහෝ පිරිසක් බසයෙන් බැස ගොස් තිබිණ. කුඩා ගැහැණු ළමයෙක් බසයට ගොඩ වී මා සිටි අසුනට පිටුපස අසුනේ වාඩිවිය. මා ඇය සමග සිනාසුනු පසු ලැජ්ජාශීලි සිනහවකින් ඇය මට සංග්‍රහ කළාය. ඊලග නැවතුමේ බස්රථය නතර කල පසු ඒ සමානම කුඩා දැරිවියන් දෙදෙනෙක් සහ කුඩා පිරිමි ළමයෙක් බසයට ගොඩවිය. ඒ ළමුන්ද පසු පස අසුනට දුව විත් වාඩිවිය. පිරිමි දරුවා තනි අසුනක වාඩි වී සිටියේ ගාම්භීර ලීලාවෙන්.
සල්ලි ගන්න..කොන්දොස්තර තරුණයා පිටුපස අසුන ලඟට විත් ඒ කුඩා දරුවන්ට පැවසීය. සියලු දෙනාම එක විට සල්ලි දිගු කළේ ඔහුට බිය වී දැයි මට සිතුනි.
කෝ ටිකට් එක් කුඩා දැරියක් විමසනු මට ඇසින. ඒ හඩේ ඇති එඩිතර බවත් ශක්තිමත් බවත් නිසා මා පිටුපස අසුන දෙසට හැරුණේ නිරායාසයෙනි.
ටිකට්…මොන ටිකට්ද…කොන්දොස්තර තරුණයා කියාගෙනම ඉදිරි අසුනට අත දිගු කළේ ඉදිරියේ වාඩි වී සිටි කුඩා පිරිමි ළමයාගෙන් මුදල් ගැනීමටය.
ඔහුගෙන් මුදල් ගෙන කොන්දොස්තර තරුණයාට අඩියක්වත් ඉදිරියට යෑමට ලැබුණේ නැත. ටිකට් දෙන්න…ඒ කුඩා පිරිමි ළමයා පැවසුවේ පෙර දැරිවියන් පැවසූ පරිදිමය. ටිකට්..
මොන ටිකට් ද හලෝ…
තමුසෙලා දෙන රු 2.50ට ටිකට් දෙන්න පුලුවන්ද..?
පිස්සුද..?
කොන්දොස්තර තරුණයා කියාගෙන ගියේ ඒ කුඩා ළමුන් සල්ලි නොදී ටිකට් ඉල්ලුවාක් මෙනි. ළමුන් සියලු දෙනාගේ මුහුණු මැළවිය.
මොකද්ද දුවගේ නම..?
අනුරාධා.
පංති යනවාද..?
ඔව්. ශිෂ්‍යත්ව පංති.
මොන ඉස්කෝලෙටද යන්නෙ..?
තෙලුල්ලට.(තෙලුල්ල විද්‍යාලය)
කිසිවක් සිතා ගන්නට නොහැකි වූ මම ඒ දැරියත් සමග කථාකලේ උතුරා යන සතුටිනි. ලංකාවේ පෞද්ගලික ප්‍රවාහන සේවයේ ඇති තක්කඩිභාවයත්, අසංවර කමත් මෙම කොන්දොස්තර තරුණයා කුඩා ළමුන්ට දැක්වූ ප්‍රතිචාරයෙන් මනාව පෙන්නුම් කෙරේ. අනුරාධා වැනි මෙවන් ළමුන් වැල්ලවායට පමණක් නොවේ ජනප්‍රිය යැයි පවසන ඉහළ පෙළේ පාසල්වල සහ සමස්ථ වැඩිහිටි පරපුරටම මහා ආදර්ශයකි.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


