සැහැසි දනව්ව
ශාලාවෙන් බාගයකටත් වැඩිය සෙනඟ ඇවිදින්, ඉස්සරහ පේළියෙ මහාචාර්ය කාලෝ ෆොන්සේකාත්, ජයසේකර අපොන්සුත් වාඩි වෙලා හිටියා. ජයලත් මනෝරත්නයනුත් ටික වෙලාවකින් ඇතුලට එනවා දැක්කා.හරියටම හත වෙද්දි තුන් වන සීනුවත් වැදුනා.මුළු ශාලාවම අදුරෙ ගිලෙද්දි ලුම්බිණි වේදිකාවෙ මන්දාලෝකය මැද්දෙ ගැහැණියකුත් පිරිමියෙකුත් පමණක් දර්ශනය වෙන්න පටන් ගත්තා.
මීයට පිම්බාක් වැනි වූ ශාලාව ඇතුළෙ ටිකෙන් ටික කොළඹින් හුඟාක් ඈත කදුරුවෙලිනුත් එහා අරලගංවිල මායිමට අපි හැමෝම අරගෙන ගිහින් දාල කියල තේරෙන්න පටන් ගත්තා.කොටි කටේ ඉන්න අරලගංවිල චන්ද්‍රාලෝක ලොකු හාමුදුරුවොත්, තමන්ගෙ දෙමව්පියන් මරල දානවා ඇස් දෙකෙන්ම දැක්ක, කතා කරන්න බැරි පුංචි සිරිමලුත්, සැමිය හිරේ ගියාට පස්සෙ ජීවිතේ ගැට ගහ ගන්න උත්සාහ දරණ නන්දාත්, පණ දුන්නෙ අපේම ජීවිත වල අංශු මාත්‍රයකට නේද කියල හැමෝටම හිතෙන්න ඇති.
තමන්ගේ එකම දරුව අසනීප වෙලා කදුරුවෙල ඉස්පිරිතාලෙට ගෙනියන්න පිරිමි පුළුටක්වත් නන්දාට පිහිටට හිටියේ නැහැ.තනියෙන්ම දරුවව ඉස්පිරිතාලෙට අරන්ගිය නන්දට දොස්තර මහත්තයා හොඳටම බැණ වැදුනයි කියල නන්දා මුළු ශාලාවටම ඇහෙන්න කෑ ගහල කියනවා,
‛‛ පොඩි එකා බලපු දොස්තර මහත්තයා මෙච්චර වෙලා දරුවව තියාගෙන මොකක්ද කළේ කියල මට බනින්න පටන් ගත්තා.දෙයියනේ එතකොටයි මම දන්නෙ මම අරගෙන ගිහිල්ල තියෙන්නෙ දරුවගෙ මළකඳ බව.’’
මේ ටික කියද්දි මගේ ඇඟ හිරිවැටිල යනව වගේ තේරුණා.ඒ වෙලාවෙ මගේ ඇහැ කෙළවරෙන් වැටුනෙ කඳුළු බිංදුවක් නෙවෙයි කියල මම කොහොම නම් විශ්වාස කරන්නද? ශාලාවෙ හිටිය හැමෝමත් ගල් ගැහිල වගේ බලාගෙන හිටියෙ දෙයියනේ,අපි මේ ඉඳගෙන ඉන්නෙ මේ වගේ සාපලත් රටක නේදකියල හිතූ නිසා වෙන්න ඇති.
‛‛ ඉස්සර මෙහේ හිටියෙ දෙමෙල්ලු.දෙමෙල්ලු පන්නල සිංහල මිනිස්සු පදිංචි කෙරෙව්වට පස්සෙ තමයි කොටින්ගෙ කරදර පටන් ගත්තෙ.ඊට කලින් මෙහෙම කරදර තිබුණෙ නෑ.’’
චන්ද්‍රාලෝක හාමුදුරුවො කියන මේ කතාව මුළු නාට්‍යයේම තේරුම වගේම අපේ රටේ ඇත්තම ඇත්ත කොච්චර හොඳට කියනවද කියල, එතැන හිටපු මහාචාර්ය තුමාට වගේම අනෙක් හැමෝටමත් හොඳටම තේරුම් ගිහින් තිබුණා.
මෙහෙම ගලාගෙන ගිය නාට්‍යයේ අවසාන ජවනිකාව වේදිකාවෙ දිගහැරෙන්න යද්දි, එතැන හිටියෙ තවදුරටත් චන්ද්‍රාලෝක හාමුදුරුවො නම් නෙමෙයි, සිවුරට ආයුබෝවන් කියපු ලොකු හාමුදුරුවො ගිහි ජීවිතයට ඇවිල්ල තිබුණා.මෙච්චර කල් තමන්ගේ දෙමව්පියො ගැන දැනගෙන හිටියෙ නැති හාමුදුරුවො තමන්ව ජාතක කරපු තාත්තව හොයාගෙන,
‛‛ අපේ අම්මයි තාත්තයි ඉඳල තියෙන්නෙ ත්‍රි …….. පැත්තෙලු.අපේ තාත්ත මූදු කරේ ………. හිටපු දෙමළ මිනිහෙක්ලු.මම තීරණය කළා නන්දා මගේ නෑදෑයන්ව හොයාගෙන යන්න.’’
මේ දිග හැරෙන්නෙ අපේ රටේ ‛‛මුහුන්’’ වුණු ජීවිත වල ,පරම්පරා වල, ඇත්ත කතාන්දරය නොවෙයි කියල කාට හරි හිතත්නවත් පුළුවන්ද? කියල මට හිතෙන්න ගත්ත.
අවුරුදු ගාණක්, පරම්පරා ගාණක්, අපිම බිහිකරපු, අපිම ඇතිදැඩි කරපු,මේ රුදුරු යක්‍ෂයා තවමත් අපිම ආදරෙන් බලා ගන්න හැටි හරිම පුදුමයි නේද? මායිමේ දුක් විඳින චන්ද්‍රාලෝක හාමුදුරුවො අපිට පෙන්නල දෙන්න හැදුවෙ අපේම කුහකකම නේද? කියල නාට්‍ය බලපු හැමෝටම තේරුනේ නැතිනම් හරිම පුදුමයක්.
එදා හැන්දෑවෙ ලුම්බිණි වේදිකාවෙ මේ විදියට දිගහැරුනෙ එම්.සාෆීර්ගෙ අලුත්ම නාට්‍යය ‛‛ සැහැසි දනව්ව’’ සාෆිර්ගෙ මේ උත්සාහය ඇත්තටම අගය කළ යුතුයි.නාට්‍යයේ නාට්‍යමය බව මහ ඉහළින් වර්ණනා කළ නොහැකි වුණත් සංකල්පමය පැත්තෙන් සාෆීර් නිර්භීතයි කියල අපිට පිළිගන්න සිද්ධ වෙනවා.
නාට්‍යය ඉවර වෙලා ඔහුට සුභ පතලා ආපහු එන වෙලාවෙම මම හිතා ගත්තා මේක ලියන්න ඕනෑමයි කියල.ලොකු හේතුවකට නම් නෙවෙයි වේදිකා නාට්‍යයේ කාලීන සමාජ වගකීම හේදිලා යන කාලෙක ‛‛සාෆීර්’’ ගත් උත්සාහය ඇත්තටම ප්‍රසංශනීය හින්දා.සාෆීර් නුඔට දිරි !
සමන් තිලක බණ්ඩාර.
Last 5 posts by Vikalpa_N
- தென்னிலங்கையில் பிரபலமாகும் அரசாங்கத்தின் போர் அணுகுமுறை - May 8th, 2008
- දෙමළ ජීවිතය - May 8th, 2008
- මහජන සේවයට කැපවුණු ලංගම සේවකයෝ - April 21st, 2008
- ජවිපෙ දෙකට කැඩෙයි.....?? - April 9th, 2008
- அதிகாரப் பரவலாக்கத்திற்கு அரசாங்கம் தயாராகிறதா? - March 31st, 2008


