විමල් වීරවංශගේ මාක්ස්වාදය
පුරවැසියකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
මැයි දිනයේ දී ජාත්‍යන්තර ගීතය ගයමින් මාක්ස් එංගල්ස් සහ ලෙනින්ගේ ධජ පතාක යටතේ ගමන් ගන්නා ජනතා විමුක්ති පෙරමුණ පකිස්තානය සහ හයිටිය සම්බන්ධයෙන් ගත් දේශපාලන ස්ථාවරයන් පුදුමාකාරය.
පකිස්ථානයේ දී එය හමුදා පාලකයා රැක ගැනීම පිණිස පාර්ලිමේන්තුවෙහි පෙනී සිටියේ ය. හමුදා පාලනය විසින් මර්ධනයට ලක් කරනු ලබන එරට ප්‍රජාතන්ත්‍රවාදි බලවේග වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ සිය සගයා ලෙස තෝරා ගත්තේ හමුදාපති මුෂාරප් ය.
පකිස්තානයට සාපයක් වී ඇති දිගින් දිගටම හමුදාපතිවරුන් විසින් බලය අල්ලා ගැනීම මෙ මගින් ජනතා විමුක්ති පෙරමුණ සාධාරණ කරයි. මුෂාරප් වසර පහක් පකිස්ථානය සිය හමුදා පාලනය යටතේ පවත්වාගෙන ගියේ සියලූ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන් සහ නීති රීති කෙළෙසමිනි. 2004 ඔක්තෝබර් 14 දින සම්මත කරගත් නීතියක් මගින් ඔහු තමා දෙවන ජනාධිපතිධුර කාලයකට පත් කර ගත්තේ ය.
යුද හමුදාපති වශයෙන් සිටිමින්ම ඔහු පකිස්තානු මුස්ලිම් ලීගය නමින් ව්‍යාජ දේශපාලන පක්ෂයක් සදා ගෙන එමගින් රට පාලනය කිරීමට පිඹුරුපත් සැකසීය. ඔහුගේ ළඟම සගයින් වූයේ මූලධර්මවාදී පිරිස් ය.ඒ සඳහා මුල්ලා මිලිටරි සංධානය නමින් එකතුවක් ද මුෂාරප් පිහිටුවා ගත්තේ ය. මුල් හමුදා අඥාදායකයා වූ ජෙනරල් සියා උල් හක් මෙන්ම ජෙනරල් මුෂාරප් ද බලයේ සිටින්නේ ඇමෙරිකානු සහාය නිසා ය.
ඔහු සියලූ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන පක්ෂ තහනම් කලේ ය. ජනමාධය නිදහස මෙන්ම අධිකරණ ස්වාධිනත්වය පයට පාගා දැමීමට පියවර ගත්තේ ය. නමුත් අන්තිමේ දී ලොව පුරාම පැන නැගුනු මුෂාරප් විරෝධි උද්ඝෝෂනයන් නිසා අඩුම වශයෙන් සිය හමුදා නිල ඇදුම ගැලවීමටවත් මුෂාරප්ට සිදු විය.
ජනතා විමුක්ති පෙරමුණ සිටියේ අඥාදායක මුෂාරප් ගේ පැත්තේය.අහෝ, එහි සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය!!
හයිටියේ එක්සත් ජාතීන්ගේ හමුදා ලෙස සේවය කළ ශ්‍රි ලාංකික සෙබලූ කිහිප දෙනෙක් ලිංගික අපචාරයන්හි යෙදී ඊට දඩුවම් වශයෙන් ඔවුන් සේවය කළ හමුදා ඛන්ඩයම ආපසු එවන ලදී.
එම අවස්තාවෙහි ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ මෙම අපවාර චෝදනා මෙම සෙබළුන් යලි මෙරටට එවීම පිණිස ගොතන ලද අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් බව යි. එම සෙබළුන් හයිටියට යැවීමට සාකච්ජා වන අවස්තාවෙහිදී ජනතා විමුක්ති පෙරමුණ කියා සිටියේ එය ශ්‍රී ලංකාවේ හමුදා බලය දුර්වල කිරීමට ඇටවූ උගුළක් බවයි.
එලෙස අපචාරයට පත් වූ බව කියන හයිටියේ කාන්තාවන් සහ දැරියන් ගැන ජනතා විමුක්ති පෙරමුණට කිසිදු හැගීමක් නැත. ඔවුන් මෙම අපචාර සිද්ධිය මවා පෑමක් බව කියා සිටියේ කිසිදු ගවේශනයක් කරන්නේ නැතිව ය. කිසිදු මාක්ස්වාදියකුට සිය රටෙහි හමුදාව සුපිරිසිදු යැයි පෙන්විම පිනිස වෙනත් රටක පීඩිත පිරිස් බිල්ලට දිය නොහැකි ය. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවෙහි පවා කතා කරන්නේ අප වැනි මාක්ස්වාදී පක්ෂයක් යැයි කියා ය. මාක්ස්වාදයේ එක් පදනමක් වන ප්‍රජාතන්ත්‍රවාදය හයිටියේ කාන්තාවන්ට සහ දැරියන්ට ආදේශ වන්නේ නැත් ද?
මෙම ප්‍රශ්නයේ තවත් පැත්තක් තිබේ. එනම් මෙරට තුළම යුද්ධයට අදාළව සිදුවන මුදලට ලිංගික සේවා සැපයීමයි.
ශ්‍රී ලංකාව තුලම අනුරාධපුරය සහ වව්නියාව යන නගරයන්හි මුදලට ලිංගික සේවා සැපයීම වැඩි පුරම සිදුවන්නේ හමුදා පිරිස් වලට ය. අඩුවයසින් දැරියන් ගැබ් ගැනීම සිදුවන එක් කලාපයක් වන්නේ යුධ තර්ජිත ගම්මානයන් ය. ලිංගික රසය ලාබයට බෙදන පුවත්පත් සඟරා වැඩි පුරම අලෙවි වන නගර පිහිටා ඇත්තේද හමුදා පිරිස් වැඩිපුර ගැවසෙන කලාපයන් හී ය.
මෙම ලිංගික සේවා සැපයුම් ස්ථාන නීති නිලධාරීන්ගේ ඇසට හසු නොවන්නේ එම අවශ්‍යතාවය ඔවුන් ද පිලිගන්නා නිසා විය හැකි ය. කළකට පෙර කරන ලද සමීක්ෂනයක දී පෙනී ගියේ යුද හමුදාවෙන් පැන යාමට එක් හේතුවක් වන්නේ ඉහළ නිලධාරීන්ගෙන් සිදුවන ලිංගික අතවරයන් බව ය.
මෙම ප්‍රශ්නය ඇත්ත ප්‍රශ්නයකි. එය පිළිගැනිමෙන් තොරව ඊට විසදුම් සැපයිය නොහැකි ය.
කියුබානු විප්ලවය සඳහා පුහුණු කළ ගරිල්ලා භටයින් සඳහා ලිංගික රෝගාබාධ නැති බවට තහවුරු කර ගත් වෛශ්‍යාවන් සපයාගත් බව චේ ගුචේරා සිය දින සටහන් හි දක්වා තිබේ. ඉන්දියාව ආක්‍රමණය කළ මෝගල් හමුදා සමඟ ගමන් කිරිම පිණිස වෙනම වෛශ්‍යාවන් කැදවා තිබුණි. ප්‍රංශයේ ජොන් ආර්ක් ගේ හමුදාවෙහි ප්‍රධානතම ගැටලූවක් වූයේ සොල්දාදදුවන් වෛශ්‍යාවන් හඹා යෑම ය.
ඇමෙරිකානු සිවිල් යුද සමයෙහි වොෂින්ටනයේ පමණක් වෛශ්‍යාවන් 7,500 සිටි බව වාර්තා වී තිබේ. සොල්දාදුවන් අතර ලිංගාශ්‍රිත රෝග පැතිරී තිබුනි. පළමු ලෝක යුද සමයෙහි ජර්මානු හමුදා ක්ෂේත්‍ර වෛශ්‍ය නිවාස පවත්වා ගෙන ගිය හ. රුසියානු විප්ලවයෙන් පසු පෙට්රෝග්‍රාඞ් මහජන නියෝජිත සභාව රුසියානු සොල්දාදුවන් සඳහා ද ක්ෂේත්‍ර වෙශ්‍ය නිවාස යෝජනා කළේ ය. දෙවන ලෝක යුද සමයේ දී ජපාන සොල්දාදුවන් සඳහා සැපදෙන ගැහැණු නමින් වෛශ්‍ය සේවාවක් පවත්වා ගෙන ගියෝ ය. දෙවන ලෝක යුද සමයෙහි ජර්මනිය ට ඇතුලූ වූ රුසියානු සොල්දාදුවන් තමන්ට හමු වු සෑම ස්ත්‍රියක් ම ලිංගිකව කෙළෙසූ බව කියනු ලැබේ.
ලිංමැඩි දේශපාලනයක යෙදී සිටින ජනතා විමුක්ති පෙරමුණ ට හයිටියේ සිදුවීම් හරි හැටි තේරුම් ගැනීමට බැරිවීම පුදුමයක් නොවන්නේ එය සහමුලින්ම යුදවාදි ජාතිවාදයෙන් මත් වී ඇති නිසා ය.
අද එයට ඇති එකම ගැලවීම ලෙස එය කල්පනා කරන්නේ අන් සියළු දෙනාට ම වැඩියෙන් යුදවාදී වීම ය. පකිස්තානයේ යුද අඥාදායකයාගේකරට අත දමා ගන්නේත් හයිටියේ කෙළෙසීමට ලක් වු ස්ත්‍රීන් හා දැරියන් අධිරාජ්‍යවාදී කුමංත්‍රණයක හවුල්කරුවන් ලෙස දක්වන්නේත් එනිසා ය.
මේ වනාහී කණගාටුවට කාරණයකට වඩා ඛේදවාචකයකි.
Last 5 posts by Vikalpa Admin
- Interview with train bomb victim - May 27th, 2008
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008
Harshi said,
it is a mirror of the naked truth inside JVP.
RSS feed for comments on this post · TrackBack URI


