රස්සාවයි ගෙදර වැඩයි…..!
පාසැල ඇරී ගෙදර ඒමට මා බසයට ගොඩ වුයේ වැහැර හන්දියෙන්. එතැන් සිට කුරුණෑගල නගරයට යාමට බසයට විනාඩි 10 ක් තරම් කාලයක් ගන්නවා. මා බසයට ගොඩ වූ තැනින්ම මැදිවියේ කාන්තාවක්ද ගොඩ වුණා. මා දන්නා තරමින් ඇය සමුපකාර රෝහලේ ඖෂධහලේ ඖෂධවේදිනියකි. බසයට ගොඩ වන ගමන් ඇය මා වෙත සිනහවක් පෑවේ නිතර බෙහෙත් ගැනීමට ගොස් මා දැක පුරුදු නිසා විය හැකියි.
බසය ඊළගට නැවතුනේ රෝහල අසල ය. මා සිටි අසුන හිස් වූ නිසා ඇය මා අසලින් වාඩි වුයේ කතාවකට ද මුල පුරමින්.
‛‛ඔයාලනං එකයි තිහට ඇරෙනව. අපි දවසම ඉන්න ඕන පැය ගණනක් හිටගෙන. කකුල් දෙකත් රිදෙනව.’’
‛‛අපිත් ඉතිං එකයි තිහ වෙනකං ළමයි එක්ක ඔට්ටු වෙලා ඉතුරු හරිය කරන්නෙ ගෙදර ගෙනිහින්. අතේ තිබුණ ප්‍රගති වාර්තා පොත් මිටිය පෙන්නමින් මා කිව්ව’’.
‛‛අපට ගෙදර ළමයි දෙන්නෙක් බලාගන්න එක කොච්චර අමාරුද? පංතියෙ ළමයි කොච්චර ඉන්නවද?’’
‛‛මගේ පංතියෙ හතලිස් හතක්. සාමාන්‍යයෙන් පනහක් විතර ළමයි ඉන්නව පංතියක.’’
‛‛ඒක නේන්නං. අපේ ගෙදර ඉස්කෝලෙ වැඩ කරන නංගිල දෙන්නෙක් බෝඩ් වෙලා ඉන්නව. ඉස්කෝලෙ ඇරිල ඇවිත් ඒ ගොල්ලො හරියට වැඩ කරනව. අක්කෙ, කොයි රස්සාවත් එකයි කියල ඒ ගොල්ලො කියනව. ඉස්කෝලෙ ඇරිල කලින් ගෙදර ගියා කියල නිදහසක් නෑ. එයාල රෑත් සටහන් ලියනව.’’
‛‛ඒ කරල අපි ගෙදර වැඩත් කරන්න එපා යැ’’ මම කිව්ව.
‛‛ඔව් ඉතිං මම උදේ අටට වැඩට ආහම ගෙදර යනකොට හය විතර වෙනව. එතන ඉදල උයන පිහන වැඩයි අස් කරන වැඩයි ඔක්කොම ඉවර වෙලා නිදා ගන්නකොට හැමදාම වගේ එකොලහ පහු වෙනව. ආයෙත් උදේ වැඩට එන්න ඕන.’’
‛‛ගෙදර අනික් අයගෙන් උදව් එහෙම නැද්ද?’’ මම ඇහුව.
‛‛අපේ මහත්තය හරි හොදයි. ඒත් ගෙදර වැඩනං කරන්නෙ නෑ. තේ එකක්වත් හදා ගන්නෙ නෑ. ගෙදර ඉන්නකොට අම්ම තේ එකක් වත් හදා ගන්න දුන්නෙ නෑ ඉතිං කොහොමද තේ හදන්නෙ ළමයො කියල එයා මට කියනව.’’
‛‛ගෙදර වෙන කව්ද ඉන්නෙ’’. මම ඇහුව.
‛‛ආය ඉන්නෙ පුතාල දෙන්න. එක්කෙනෙක් දහය වසරෙ. පොඩි පුතා අට වසරෙ. ඒ ගොල්ලොත් තාත්ත වගේ තමයි. දුවෙක්වත් හිටියනං ගෙදර වැඩ වලට උදව් කරයි.’’
‛‛ඒකට කරන්න තියෙන්නෙ පුතාලට තමන්ගෙ වැඩ කරගන්න අපිවත් උගන්නන එක’’, කියා මං කිව්වත් එය කියන තරම් ලේසි දෙයක් නොවන බව මම තනියම හිතුව.
‛‛දැන්නං වැඩ කරල එපා වෙලා. මම මහත්තයට කීව දවස් හතරක් පහක් අපි කොහේ හරි යමු නිවාඩු අරන් කියල. එයා ඒකට කැමති නෑ. ගිහින් පහුවදාම එන්න ඕනැලු. ගෙදර සත්තු මැරෙයිලු’’
‛‛එයාට සත්තු බලාන ගෙදර ඉන්න කියලා ඔයා යන්න’’ මා එසේ කී විට ඇයට හිනා ගියා .
‛‛පිරිමි කව්රුවත් දැන් රස්සා නැති ගෑනු ළමයි බඳින්න කැමති නෑ. එයාල බලන්නෙ සල්ලි හම්බ කරන ගෙදර වැඩත් කරන ගෑනු බදින්න. පිරිමි වැඩියෙන්ම කැමති ටීචර්ස්ලට. මගෙ මහත්තය බන්ධනාගාර නියාමක. එයා ගෙදර එන්නෙ දවස් දෙකකට විතර සැරයක්. වැඩ තිබුණොත් ඒත් නෑ. ගෙදර වැඩ බලාකියාගෙන රස්සාවත් කරගෙන පුතාලගෙ වැඩත් මම කරන්න ඕනැ. දැන් මේ මහත්තය හම්බ වෙන්න උසාවියට යන්නෙ. පරක්කුත් ඇති. යන්නම්,’’ කියා ඇය බැස ගියා.
මැණික්.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


