සුබ දිනයක පළ අසුබ ආරංචිය හෙවත් ඝාතකයන්ගේ වසර සංකේතවත් කිරීම
අනවතර දුක් ගැහැට මැද දිවි ගෙවන සමාජයකට නව වසරක් උදා වීම කෙලෙසක සංකේතවත් කරන්නේ ද යන පැනය ඉන් බාහිර ව සිතන්නෙකුට ඇති විය හැකි ය. සුබ ප්‍රාර්ථනා සහ දහසකුත් නැවුම් සිතුවිලි මැද, සුබ මුහුර්තයක් සේ සැළකිය හැකි දිනයක් උදා වුව ද එය ඒ ආකාරයෙන් වැළඳ ගැනීමේ හැකියාව අද ලක් වැසියන්ට අහිමි ය. කෙතරම් වැදගත් හෝ සුබ යැයි උපකල්පනය කළ ද, දිනක් ගෙවී රැය උදා වන විට මෙන් ම, රැයක් ගෙවී දවස උදා වන විට ද අද ලාංකේය සමාජය මත පතිතව ඇත්තේ සැක, බිය, සංකා ය. එවන් සමාජයකට උදා වන සුබ මුහුර්තයක් නැත. එසේ නම් සුබ යැයි විශේෂණයක් යෙදිය හැකි දිනයක් ද නැත්තේ ය.
මේ සියලූ තුන් බිය වසර දශක ගණනාවක් පුරා අත් විඳින ජාතිකත්වයක් වේ නම් ඒ දමිළ ය. උඩින්, බිමින්, ගොඩින් ආදී මේ සියලූ තැන් හි සරන්නා වූ සෑම, ප්‍රපංචයක් වන හෝ නො වන හෝ දෙයින් තැති ගත්තෝ ඔවුහු ය. ආබාධිත වූවෝ ඔවුහු ය. අනාථ වූවෝ ඔවුහු ය. මරණය වැළඳ ගත්තෝ ඔවුහු ය. එහෙත් දමිළ නො වන්නෝ හෙවත් සිංහල සහ මුස්ලිම් ප්‍රජාව ද මේ දුකට ම පත් ව නැතැයි මම නො කියමි. එහෙත් ඒ මඳ වශයෙනි. තව ද නිරන්තර ආක්‍රමණශීලී ප්‍රහාර හේතුවෙන් නො වෙති. මේ අර්බුදය මතු වන්නේ ම දමිළ ජනයාට එරෙහි කෙණෙහිලිකම්වල ප්‍රතිඵල ලෙස බව පිළිගත හැකි නිසා වෙනි.
කල් මැරුණු ව්‍යසන එසේ වුව ද, 2007 වසර ගෙවී යන්නේ රටේ දකුණු ප්‍රදේශයේ ජනතාව අතර කතා බහට ප්‍රධාන මාතෘකා කිහිපයක් ඉතිරි කරමිනි. රට දවන උද්ධමනය, මතුපිට සාකච්ඡාවෙන් බැහැර කිරීමට, මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ රංගනය සමත් වුව ද, යුද උන්මාදයට එය පිළියමක් නො වී ය. ඒ සමඟ ම උදා වූ නත්තල ද එ තරම් සුවිශේෂ බවක් නො ගත්තේ ජනතාව විඳවන තරම හේතුවෙනි. කාල චක්‍රය ඒ කිසිවකට අවනත නො වීම හා තැකීමක් නො කරන නිසාවෙන් කිතු වසින් තවත් වසරක් උදා වූ යේ ය. එම හිරු උදාවත් සමඟ ම එළැඹෙන නව දිනය තුළ වත් අ සුබ ආරංචියක් නො අසා සිටීමට හා අ සුබ දසුනක් නො දැක සිටීමට බොහෝ දෙනා ප්‍රිය කරන බවක් හැෙඟ්. ඒ වාසනාව ශ්‍රී ලාංකේය ජනයාට අහිමි කරවීමට කාල චක්‍රයේ දහයේ කණිසමෙන් ඵළැඹි හෝරාව තුළ වෙඩි වරුසාවක් නිකුත් වූයේ ය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මහජන නියෝජිතයෙක් වූ ටී. මහේෂ්වරන් මහතා ඉලක්ක කරගත් උණ්ඩ වරුසාව පිටකළ තුවක්කුව හා එය දැරූ හස්තයත්, එහි සැළසුම්කරුවොත් උදා වූ වසරට අලූත් පණිවුඩයක් එක් කර ඇත. එ නම් මේ උදා වූ වසර ඝාතකයින්ගේ වසර බව යි. ආගමක්, දහමක්, ශික්ෂණයක්, සංස්කෘතියක් නැති අලූගෝසුවන්ගේ වසර බව යි.
ජෝසප් පරරාජසිංහම්, රවිරාජ් වැන්නවුන් ඝාතනය කළ පසුව ද බොහෝ දෙනා මේ ව්‍යසනයෙන් අත් විය හැකි ප්‍රතිඵල කෙරෙහි අනාවැකි පළ කළ ද එ වැනි දේ යළි යළිත් සිදුවීම වැළැක්වීම සඳහා පරිපූර්ණ විසඳුමක් වෙනුවෙන් කැප නො වූ හ. මහේෂ්වරන් ඝාතනයෙන් පසුව ද එය එසේම විය හැකි ය. අර්බුදය නිමා කිරීම උදෙසා වන විසදුමි යෝජනා කුමක් වුවත් වත්මන් ව්‍යවස්ථාදායකය නියෝජනය කරන දමිළ ජනතා නියෝජිතයින් මෙලෙස ඝාතනය වීම තුළ දමිළ සමාජය දරුණු හුදෙකලා වීමකට බඳුන් වේ. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක, එක් ජාතිකත්වයකට අයත් නියෝජිතයින් ඝාතනය කිරීම මගින් ඇති කරන භීෂණය හමු වේ ඉතිරි අය රට හැර යාමෙන් එම හුදකලා වීම තවත් තීව්‍ර වේ.
විධායක බල අධිකාරියේ සුරතලූන් බවට පත්ව සිටින දමිළ නියෝජිතයින් හැරුණු විට අනෙක් සියලූ දෙනා රට හැර යාමෙන් දමිළ ප්‍රජාවේ කඨෝර හුදකලා වීම හමුවේ විමුක්ති කොටි සටන් කාමීන් එය ශක්තියක් කර ගැනීම නො වැළැක්විය හැකි කරුණකි.
එක් අතකින් යුද්ධයේ මළ බෙරය වයමින්, අනෙක් අතින් එම ඝාතන හෙළා දැකීමට නිවේදන නිකුත් කරන බල දේශපාලනයේ නරුමයන්ට, දකුණේ ජාතිවාදීන් රැවටීමට හැකි තාක් කල් මේ මඩ ගොහොරුව තවත් පරම්පරා කීයක් නම් බිලි ගනී ද?
ජනිත් විපුලගුණ
2008.01.01
Last 5 posts by Vikalpa Admin
- Citizen reports of election violence and malpractices in the Eastern Province - May 5th, 2008
- Scheduled downtime for Vikalpa - April 9th, 2008
- Launch of Citizen Journalism Video Channel in Sri Lanka - Vikalpa YouTube Video - January 9th, 2008
- Video of slain UNP MP T. Maheswaran's funeral in Colombo - January 4th, 2008
- Eyewitness account of today's bomb blast in Colombo, Sri Lanka - January 2nd, 2008


