vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මහේෂ්වරන්, බබියාන් සහ 2008

සුනන්ද දේශප්‍රිය විසිනි

මහේෂ්වරන්, බබියාන් සහ 2008

බබියාන් නොහොත් මුතුකුමාර් සිවපාලන් 2002 මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයෙන් යාපනයට තරඟ කළ මහේෂ්වරන්ගේ දෙවැන්නා විය. එමෙන්ම ඔහු වලිකාමම් ප්‍රදේශයේ නමගිය පුද්ගලයකු ද විය. ඔහු දිගටම යාපනයේ එජාපය නියෝජනය කලේ ය.

පසුගිය 21දා සිය යතුරු පැදියෙන් යමින් සිටි සිවපාලන් ට වෙඩි තබා මරා දමන ලදී. ඒ ගැන මේ තීරු ලිපිය කියවන කී දෙනෙකු දැන සිටියේදැයි නොදනිමි. මා දන්නා බොහෝ දෙනෙකු නම් ඒ පුවත දැන සිටියේ නැත. දකුණේ කිසිදු සිංහල පුවත්පතක් ඒ මරණය වාර්තා කලේ ද නැත.

බබියාන් සහ මහේෂ්වරන් දෙදෙනාම ඉදිරි මැතිවරණයක දී යාපනයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටියේ ය. දැන් ඒ දෙදෙනාම ජීවතුන් අතර නැත.

යාපනයේ දී කොපමන නිරායුද ජනයා දිනපතා මරා දැමෙමින් තිබෙන්නේ ද? පා.ම. මහේෂ්වරන් මරා දැමුනේ එලෙස සිදුවන ඝාතනයන් පිටුපස සිටින බලවේග හෙළිදරව් කරන බවට කල තර්ජනය නිසා ය. රජයේ හමුදා විසින් යාපනය අල්ලා ගෙන 12 වසරකට පසු අද යාපනයේ තත්ත්වය කියා පාන්නේ මරණයේ සහ ඝාතනයේ පිහිටෙන් තොරව යාපනය පාලනය කිරිමට රජයට බැරි බව ය.


මා මහේෂ්වරන් මහතා ප්‍රථම වතාවට මුණ ගැසුනේ 1998 යාපනයේ පළාත් පාලන මැතිවරණ පූර්ව නිරීක්ෂන කටයුතු සඳහා ගිය අවස්ථාවේදී ය. හමු වූ අවස්ථාවේදී ම සුහදශීලීව අප පිළිගත් ඔහු උදෑසන කෑම මේසයට අපට ද ආරාධනා කලේ ය. ඔහු නිහතමානී සහ මිත්‍රශීලි දේශපාලනඥයකු විය. ඒ පළාත්පාලන මැතිවරණයේ දී එවැනි ම සුහදබවකින් අප පිළිගත් සහ නගරාධිපතිනිය බවට පත් සරෝජිනී ද අද ජීවතුන් අතර නැත. ඇයගේ ස්වාධිනත්වය නොරිස්සු එල්ටීටීඊ ය ඇය මරා දැමුවා ය. දෙමළ නොදත් අපට ඇය සිංහලයෙන් කතා කළා ය.

තවත් නගරාධිපති මරණයකට පසුව යාපනයේ නගරාධිපති බවට පත් රවිරාජ් ද ඒ මැතිවරණයට තරඟ වැද සිටියේ ය. සිංහල ජනයා අමතා රූපවාහිනී වාද විවාදයන්හි කතා කළ ඔහු පසුගිය වසරේ කොළඹ දී ඝාතනය කෙරුණි.

අවසාන වතාවට මා මහේෂ්වරන් බැහැ දුටුවේ ඊයේ රැයෙහි එනම් අඟහරුවාදා රැයෙහි ඔහුගේ නිවසේ දී ය. ඔහු අවසාන නින්දෙහි යහන්ගතව සිටි නමුත් ඔහුගේ හඩසතර දෙස නින්නාද දෙමින් තිබුනි. දෙමළ තරුණ පිරිස් අදහා ගත නොහැකිව මෙන් ඒ හඩ ද තිරයේ දිස් වූ ඒ රුව ද දෙස මුව අයා බලා සිටියහ. දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට විසදුම් දෙන ලෙස ඊයේ රැයෙහි මා අසා සිටි ඒ කතාවෙහි මහේෂ්වරන් චතුර ලෙස කරුණු ඉදිරිපත් කරමින් සිටියේ සිංහල බසිනි.

දැන් ඒ හඩ ද නැත. ඝාතනය වී ඇත්තේ සිංහල බසින් දෙමළ ජනයාගේ ප්‍රශ්න ඉදිරිපත් කළ තවත් දේශපාලනඥයෙකි.

පසුගිය කාලය පුරා ඝාතනයට ලක් වූ දෙමළ ජාතික දේශපාලනඥයින් මරා දැමුනේ ඔවුන් සිය ජනයාගේ අපේක්ෂාවන් වචන බවට පත් කළ නිසා ය. විශේෂයෙන්ම සිංහල ජනයාට කතා කළ හැකි හෝ සිංහල ජනයා අතර ද පිළිගැනීමක් තිබූ දෙමළ ජාතික දේශපාලනඥයන් යුද වැදි සිටින දෙපාර්ශවයේ ම ගොදුරු බවට පත් වුණි. නීලන් තිරුචෙල්වම් ඒ අතර කැපි පෙනෙන අපට නැති වූ තවත් අගනා දේශපාලනඥයෙකි.

මහේෂ්වරන් මරා දැමුනේ කවර බලවේගයක් විසින් දැයි කිමට නොදනිමි. නමුත් දෙසැම්බර් 18වනදා දක්වා තර්ජනයට ලක් වූ පාර්ලිමේන්තු මංත්‍රිවරයකු වශයෙන් ඔහුට සපයා තිබූ ආරක්ෂාව ඉවත් කළ ආණ්ඩුව මෙම මරණයට වගකිවයුතු බව ප්‍රසිද්ධියේ කියා සිටිමි.

ඔහුගේ ආරක්ෂාව ඉවත් කලේ අයවැයට පක්ෂව ජන්දය නොදුන් නිසා බව තර්ක කර පෙන්වීමට අවශ්‍ය නැත. ඝාතනය කැරෙන විට ඔහුට සපයා තිබුණේ පොලිස් භටයින් දෙදෙනෙකුගේ ආරක්ෂාව පමණි. ආණ්ඩුව කියන්නේ එලෙස ආරක්ෂාව ඉවත් කලේ අවදානම් පිරික්සුමකින් පසුව බව යි. ඒ පිරික්සුම කලේ කව්ද? ඒ සඳහා අවදානමට මුහුණ දී සිටි මහේෂ්වරන් මහතා විමසුවේ ද? එම වාර්තාව ජනමාධ්‍යට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට ආණ්ඩුව සූදානම්ද?

මහජනයාගේ මුදලින් ඔවුන්ගේ නියෝජිතයිනට සැපයෙන ආරක්ෂාව දේශපාලන හේතු මත ඉවත් කරන ආණ්ඩුවක් දේශපාලන සුජාත බව නැතිකර ගනී. ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට ගිය සැණින්ම අනුර බණ්ඩාරනායකගේ ආරක්ෂාව ඉවත් කලේ අවදානම් පරීක්ෂනයකින් පසු ද? පා.ම. මනෝ ගනේෂන්ගේ ආරක්ෂාව ඉවත් කලේ කුමණ අවදානම් පිරික්සුම් වාර්තාවකින් පසු ද? එල්ටීටීඊ සංවිධානයේ ප්‍රමුඛ ඉලක්කයක් වන හිටපු ජනාධිපති කුමාරතුංගගේ ආරක්ෂාව ඉවත් කළේ ද දේශපාලන පළිගැනිමක් වශයෙනි.

ආණ්ඩුව මෙම මරණයට වග කිව යුත්තේ දේශපාලන පක්ෂපාතීත්වය ලබා ගැනීම පිණිස දේශපාලනඥයින්ට සැපයෙන ආරක්ෂාව ඇමක් සහ තර්ජනයක් ලෙස යොදා ගැනීමේ මෙම දුෂ්ඨ පිළිවෙත නිසා ය. මහේෂ්වරන් ඝාතනයේ රුධිරය සිය අත් වලින් සෝදා යැවීමට ආණ්ඩුව අසමත්වනු ඇත්තේ එනිසා ය. මහේෂ්වරන් ඝාතනය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ගිණුමට බැරවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි ය. හරියට කදිරගාමර් ඝාතනය එල්ටීටීඊ ගිණුමට බැරවීම වැළැක්විය නොහැකි පරිද්දෙනි.

2008 යුද්ධයේ වර්ෂය බව දැන් පැහැදිළි ය. දිනකට එල්ටීටීඊ යේ දසදෙනෙකු ඝාතනය කිරිම සිය ඉලක්කය බව ආණ්ඩුව නිල වශයෙන් කියා අවසන් ය. ප්‍රති - ගරිල්ලා යුද සැළසුම් කියන්නේ එක් ගරිල්ලා භටයකු මරා දැමිම පිණිස නිරායුධ දස දෙනෙකු මරා දැමිම හානියක් නොවන බව යි. 1989 - 90 යුගයේ අප අත් දුටු යුද සැලැස්ම එයයි. දැන් යාපනය අත්දකින්නේ එම යුද සැළැස්ම යි.

අනෙක් අතට එල්ටීටීඊය ද සොල්දාදුවන් මරා දැමිම පිණිස ඇටවෙන සිය බොම්බයන්හි ඉලක්ක බවට පත්වන නිරායුද ජනයා ගැන කිසිදු තැකීමක් නැති බව නිරායුද ජනයා ඉලක්ක කර කැබිතිගොල්ලෑවේ සිට කොම්පඤ්ඤවීදිය දක්වා කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් යළි පැහැදිලි වෙයි.


සියල්ල වනසා සාමය හෝ ජය ලැබීම අද මෙරට පිළිවෙතය. මහේෂ්වරන් වෙනුවෙන් බය නැතිව මෙසේ ලියා තබමි. සාධාරණ යුද්ධයට වඩා අසාධාරණ සාමය යහපත් ය. දිනෙක එය සැබෑ වනු ඇත.

Last 5 posts by Vikalpa_R

277 views for this article so far.

| Share this article on Facebook

JM said,

January 4, 2008 @ 2:07 pm

Maheswaran, as an MP, was only entitled to two guards. These soldiers are paid with our tax money and they should be used at the front lines, not left in Colombo to protect LTTE linked politicians. If he thought his life was under threat, it was up to him to arrange private security. Our soldiers get paid to kill terrorists, not to be a part of the entourage of terrorist apologists.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment