vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

අළුත් අස්වැන්න

ඕං අදනං ලෝඩ් එකක් එනවලු. මග.
”භෝජ, ලෑස්ති වෙයං. ලෑන්ඩ් මයින් එකෙන් ගියපු ලෝඩ් එක මග එනවා. මම එද්දි හවස් වෙනවා. උඹ හවස් වෙද්දි බොඩීස් ටික රෙඩි කරල තියපං”
හා හා පුරා යුද්ධය ඇති වූ පසු නෙලා ගන්නට යන පළමු අස්වැන්න.
සිරි සිරි සිරි පොද වැස්සක් වැස්සා. අළුත් පොළොව සුවඳේ් බෑ.

එකෝමත් එක රටක වෙන ගෑණියෙක් තියාගෙන හිටපු මිනිහා එක්ක තරහ වෙලා ළිඳ් පැනපු ගෑණු.
ගෙදරට හොරෙන් මූදෙ පීනන්න ගෙහුං මැරිච්චි නස්කූනි කොල්ලො.
සොහොන්පල්ලො දූෂණය කරලා මරලා දාපු අවුරුදු කුමාරියො.
බස් වලට අහුවෙලා එතනම මැරිච්චි මිනිස්සු.
බඩ මහත කම්බ හොරු.
තුවාල සමග හිඟන්නො.
ගණිකාවො.
මේ එකම වගේ් ලැයිස්තුව භෝජට ඇති වෙලා. තනි තනි මිනී.
ඇති යන්තං. වෙනසක්.
බලාපොරොත්තුවක් මෝදු වුණා භෝජගෙ හිතේ්.

ඒ හැටි වෙලාවක් ගියේ නෑ.
ට්‍රුක්ටර් එකකින් නෙළු අස්වැන්න භෝජගේ් ලෝකයට ගෙන ආවා. වහල තිබ්බ කාකි රෙද්ද අයින් කරලා පිළිකන්නේ මඩුවට ඒවා බෑවා.
භෝජ බැලුවා.
හරි අපූරු මස් ගොඩක්.
මූණු නැති, ඇස්-කණ් නැති, අත පය හොයා ගන්න බැරි- අයිඩෙන්ටි කාඩ් නැති මස් ගොඩක්.

ඇති යන්තං.
වෙනසක්.

තවමත් පණ පිටින් හිටපු සොල්දාදුවෙක් මැරුණයි කියලා සැක කරන අයගෙ ලැයිස්තුවක් දුන්නා. අනේ් ඒ ලැයිස්තුව භෝජගෙ ඇස් දිහා බලලා දුක හිතෙන විදිහට හිනා වුනා. සොල්දාදුවො, ළමයි, ගෑණු, කළු, සුදු, වයසක, තරුණ, ලස්සන, කැත, අනුරාගික, දුප්පත් - මගෙ අම්මේ ලොකුම ලොකු රංචුවක්. තිස් දෙනෙක්.

ට්‍රුක්ටරේ ලේ පෙරෙන ට්‍රේලරේ අරන් යන්න ගියා.
භෝජට ආසයි.
අළුත් වැඩක්.
කොහෙන්ද පටන් ගන්නේ කියලා ලැයිස්තුව භෝජගෙන් ඇහුවා. ඇත්තටම කොහෙන්ද පටන් ගන්නේ. භෝජ තිගැස්සුනා.
මිනී මස් කන්දයි. ලේ ගොඩයි. මමයි.
තිස් දෙනෙක් ඉන්නවා. පෙට්ටි තිහක් ගන්නවා. මස් ගොඩ ඉවර වෙනතුරු පෙට්ටි වලට පුරෝගෙන පුරෝගෙන යනවා. ලේසිත් නැහැ.
”උඹට පිස්සුද?” ලැයිස්තුවෙ හිටපු දිගම වාසගම තියන එකා ඇහුවා.
”මම මහතයි. මගෙ බර ගමේ එවුං දන්නවා. බොරු කලා කියලා උං උඹව මරයි.”
අනේ් මන්දා. භෝජට හිතුනා. ලේ්සිත් නෑ වගේ. එහෙනං වෙන විදිහක්.
ඉස්සර වෙලාම මස් ගොඩෙන් ඔලු තිහක් හොයා ගන්ඩෝනෙ. ඊගාවට කකුල් තිහක්. ආ නෑ නෑ කකුල් හැටයිනේ. අත් හැටයි. ඇඟ කෑලි තිහයි.
භෝජ ඔලු අරන් වෙනම ගොඩක් ගැහුවා. ඔලු විසි අටයි. දෙකක් නැතිවෙලා. භෝජ බය වුනා. ලැයිස්තුව රැවුවා. එහෙම වෙන්නෙ කොහොමද? ඔළු නැති එවුන් ඉන්නවද?
”ඉන්නවා. ඒත් උං පාරෙ බස් වල යන්නෙ නෑ.” ලැයිස්තුව හිනා වෙවී කිවුවා.
පුදුම වැඩක්. ඒත් ඉතිං මං මොනව කරන්නද?
කකුලුත් ගොඩකට ගැහුවා. එතනත් එක කකුලක් අඩුයි.
”මගෙ කකුලක් තිබ්බෙ නෑ. ඒ හින්දා ඒ ගාන හරි.” ලැයිස්තුවේ හිටපු හාදයෙක් කිවුවා.
අත් සේරම තිබුණා.
ඇඟ කෑලි ගනින්ඩත් බෑ. කේක් එකකට මුද්දරස්පලම් දැම්ම වගේ යකඩ බෝල.
මෙන්න යකෝ වලිගයක්. බල්ලෙකුත් මැරිලා. පාරෙ ඉන්ඩ ඇති.
”අනේ මාමෙ මගෙ බඩේ ලොකු උපන් ලපයක් තිබුණා.” ලැයිස්තුවෙ හිටපු කොලු පැටියෙක් කෑ ගැහුවා. පිස්සු. උපන් ලප තියා බඩක් පපුවක් හොයා ගන්ඩ බැරුව මේ මම ඉන්නෙ. භෝජට මහන්සියි. හොඳටම හති.
”හලෝ, භෝජ උඹ වැඩේ ඉවර කළාද යකෝ මඟුලක් කරනවද?”
මස් ගොඩ දකිද්දි භෝජට තිබුණු සන්තෝසෙ එහෙම් පිටින්ම අතුරුදහන් වෙලා. ඇයි හත් දෙයියනේ් මේ ගණිත ගැටළුව මේ තනි මං කොහොම විසඳන්නද? එහෙන් ලැයිස්තුවෙ එවුන් කෑ ගහනවා.
භෝජ අවුල් වෙලා. දුකෙන්.
ලැයිස්තුවෙ ළමයි අට දෙනයි. ගෑණු දහදෙනයි. පිරිමි දොළොස් දෙනයි. ලොකු පෙට්ටි විසි දෙකයි. අම්මේ. ඔළුවත් කකියනවා. මට ගණං බෑ. එතකොට පොඩි පෙට්ට් අටයි ළමයින්ට.
”මම ළමයෙක් උනාට අපේ් තාත්තටත් වැඩිය උසයි මාමේ” ලැයිස්තුවෙ ඉන්න මාර පැටියෙක්. මට බෑ. මේ වැඩේ කරන්න මට බෑ.
”යකෝ බලපං දැං වෙලාව කීයද? ගමේ එවුං එන්ඩ යන්නෙ බොඩීස් ගෙනි යන්ඩ”
ඕන මඟුලක්. භෝජ පෙට්ටිවල ලැයිස්තුවෙ තියන නම් ලියලා අලෝලා එක පෙට්ටියකට කකුල් දෙකක්, අත් දෙකක්, ඇඟ කෑල්ලක් හිටින විදිහට පුරෝගෙන පුරෝගෙන ගියා. පියයුරු තිබුණු ඇඟ කෑලි ගෑණු නම් තියන පෙට්ටිවලට. ඔළු දෙකක් අරං දෙකට පලලා ඔළු නැති පෙට්ටිවලට දැම්මා.
”අනේ මහත්තයෝ”, ”අනේ මාමේ”, ”අනේ අයියේ”, ”අනේ බුදු මල්ලියේ”, ”රත්තරං පුතේ” හැමෝම කෑ ගහන්න ගත්තා.
”මට මගේම මිනිය දීපං.”
”අනේ මට මගේම මිනිය දීපං.”
ලැයිස්තුවෙ හිර වෙලා ඉන්න එවුං ගැන භෝජට දුකයි.

”ඒයි බූරුවා වැඩේ ඉවරද? මං උඹව රස්සාවෙන් අස් කරනවා.”

භෝජ පෙට්ටි සේරම වහලා සීල් තිබ්බා. භෝජට කඳුළු ආවා. පෙට්ටි වහද්දි ලැයිස්තුවෙ හැමෝම මර ලතෝනි දුන්නා.
භෝජට දුකයි.
මොනවා කරන්නද?
භෝජ අහක බලාගෙන ගිනි කූරක් ගහලා ලැයිස්තුවට ඇල්ලුවා.
තව දුරටත් ”මගේ් මිනිය” කියලා දෙයක් තිබුණේ් නෑ. කාත් කවුරුත් නැති මළ මිනී තිහක් ගෙදර යන්න ආසාවෙන් ගමේ අය එන තුරු බලන් හිටියා.
භෝජ ඒ ගිනි කූරෙන්ම මෙච්චර වෙලා කණේ් තිබ්බ දුම්වැටිය අරන් පත්තු කර ගත්තා.
දුම්වැටියේ ලේ වලින් වයිරම් වැටිලා තිබුණා.

තරංග ජයසේන
koombiyaonline@gmail.com

Last 5 posts by Vikalpa_R

178 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment