දැලිපිහියෙන් මඩකලපුවේ කිරි කෑම
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්
සුනන්ද දේශප්‍රිය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුදවාපු කිරි වලට නම ගත් මඩකළපුවෙහි භයානක ක්‍රිඩාවකට අත ගසා තිබේ. එනම් කට නොකැපෙන සේ දැලි පිහියෙන් කිරි කෑම ය.
මඩකළපුව පලාත්පාලන මැතිවරණය සඳහා ශ්‍රීලනිපය සහ දෙමළ ඊලාම් මහජන විමුක්ති කොටි (ටීඑම්වීපී) එනම් කරුණා- පුල්ලෙයාන් කණ්ඩායම අතර දැන් අවබෝධතා ගිවිසුමක් ඇති වී තිබේ. කිරිකෑම ආරම්භ වන්නේ එතැනිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්නද්ධ දේශපාලන පක්ෂයක් නොවේ. ප්‍රජාත්නත්‍රවාදය අනුගමනය කරන දේශපාලන පක්ෂයකි. ටීඑම්වීපි පක්ෂය කදරුත් දන්නා පරිදි සන්නද්ධ අංශයක් ඇති දේශපාලන පක්ෂයකි.
මඩකලපුවේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිණිස ටීඑම්වීපී පක්ෂය නිරායුධ කළ යුතු බව ඩග්ලස් දේවානන්ද නායකත්වය දරන ඊපීඩීපී ය ඊයේ පෙරේදා ප්‍රසිද්ධියේ කියා සිටියේ ය.
ඊට පිළිතුරු දෙමින් එහි ප්‍රකාශක අසාද් මවුලානා දකුනු ආසියානු මාධ්‍ය ජාලය වෙබ් අඩවියට 23 දින මෙසේ කීවේ ය:
අපේ ආයුධ බිම තියන්න නමි ඊපීඩීපි ය වැනි සංවිධානත් ආයුධ බිම තියන්න ඕනෑ. එ වගේ තවත් සමහර කුඩා දේශපාලන කණ්ඩායම්වලට ආයුධ තියනවා. ඔවුන් සියලු දෙනා සම්පූර්නයෙන්ම නිරායුධ කළොත් අපත් ආයුධ බිම තියනවා.
අපේ දේශපාලන අංශය සන්නද්ධ අංශයෙන් ස්වාධීනයි. මැතිවරණය කටයුතු සඳහා අප ආයුධ පාවිච්චි කරන්නේ නැහැ.”
කරුණා - පිල්ලෙයාන් කණ්ඩායම ආණ්ඩුවේ හමුදාව සමඟ එක්ව එල්ටටීටීඊ ය පරාජය කිරීම සඳහා යුද වැඳුනු බව රහසක් නොවේ. එය සිය කාර්‍යාල සියල්ල පවත්වා ගෙන යන්නේ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක මුර පොළවල් ලෙස ය. නැගෙනහිර ජීවත්වන මහා ජනයා පමණක් නොව එහි යනෙන ඕණැම අයෙකු ඒ බව දනී.
නැගෙනහිර බලය දැන් රජයේ හමුදා සතු නිසා එහි නීතිය සහ පාලනය පැවැත්විය යුත්තේ සන්න්ද්ධ හමුදාවන්හි සහාය ඇතිව ශ්‍රී ලංකා පොලීසිය විසිනි. නමුත් කරුණා - පිල්ලෙයාන් කණ්ඩායම කප්පම් ගන්නා බවත් නඩු විමසා දඩුවම් කරන බවත් ප්‍රසිද්ධ කරුණු ය. එහි ළමා සොල්දාදුවන් සිටී. එහි කාර්‍යාල ඉදිරිපිට අංක තහඩු නැති සුදු වෑන් නතර කර තිබෙන ජායාරූපමය සාක්ෂි පවා තිබේ. එය තවමත් සන්නද්ධ කණ්ඩායමක සිට දේශපාලන කණ්ඩායමක් දක්වා පරිවර්ථනය වී නැත. ඒ සඳහා කළක් ගතවනු ඇත. එම කාලය තිරණය වනු ඇත්තේ යුද්ධය ගමන් ගන්නා දිසාව අනුව ය.
මඩකළපුවේ පළාත්පාලන මැතිවරණය කරුණා - පිල්ලෙයාන් කණ්ඩායම විසින් සිය බලහත්කාරය යොදා ජය ගැනීම වැලැක්විය නොහැකි කරුණකි. එය විසින් දැනටම එම ක්‍රියා දාමය ආරම්භ කර හමාරය. ඊපීඩීපී, ඊපීආර්එල්එප් සහ ප්ලොට් වැනි ආණ්ඩුවේ සහායක බලවේගයන් පවා දැන් ඒ බව ප්‍රකාශ කරයි. ඉන්දු ලංකා ගිවිසුමෙන් පසු ඊපීආර්එල්එප් සංවිධානය උතුරු නැගෙනහිර පළාත් සභාව ජය ගත්තේ ද යම් දුරකට එලෙය ය. එම පක්ෂයේ අවසානය සටහන් වූයේ එමගිනි.
මේ ප්‍රචණ්ඩ ක්‍රියාදාමය නිසා කරුණා - පිල්ලෙයාන් කණ්ඩායම මඩකළපු මහා ජනයා අතර ජනප්‍රිය වන්නේ නැත. එයට බියවනු ඇත. කණගාටුවට කාරණය වන්නේ ශ්‍රීලනිපයත් දැන් එම බෝට්ටුවට ම නැග සිටීම ය. ශ්‍රීලනිප අපේක්ෂකයින් අතර කරුණා - පිල්ලෙයාන් කණ්ඩායමේ ප්‍රධානීන්ගේ බිරින්දන් සහ ඥාතීන් සිටින බව ද දැන් ප්‍රසිද්ධය.
නැගෙනහිර පාලනය රජය යටතේ ඇති බව පෙන්වීම පිණිස පැවැත්වෙන මෙම පළාත් පාලන මැතිවරණය දැනටමත් මඩකළපු ජනයා අතර සුජාත බව නැති කරගෙන තිබේ. එය හදිසියේම නැතත් හිමිහිට එල්ටීටීඊ ය සහ ටීඑම්වීපී ය අතර අප්‍රකාශික යුද්ධයක් බවට පත්වනු ඇත. ශ්‍රීලනිපය හවුල්ව සිටින්නේ එවැනි අනතුරුදායක තමන්ට වැලැක්විය නොහැකි ප්‍රචණ්ඩ ක්‍රියාදාමයකට ය. මඩකළපු දෙමළ ජනයා අතර ශ්‍රීලනිපවට කවර හෝ මට්ටමක සහායක් තිබුනේ නමි මෙමගින් එය අහෝසි වී යනු ඇත.
සමහර විට එය දැලිපිහියෙන් කිරි කෑමකට වඩා භයානක විම ඉඩ තිබේ.
Last 5 posts by Vikalpa_R
- නැගෙනහිර පළාත් ඡන්දයේ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඡන්ද දූෂණ පිළිබඳ පුරවැසි වාර්තාකරණය - May 6th, 2008
- මුහමාලෙයි ජනමාධ්‍ය සටන - May 2nd, 2008
- යුද්ධය අපේ දොරකඩටම ඇවිල්ල - April 27th, 2008
- ජවිපෙ දෙකඩවීම පිළිබඳ ජනතා අදහස් - April 25th, 2008
- මානව හිමිකම් සහ ජනමාධ්‍ය - April 24th, 2008


