vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

දෙමළ දරුවෝ

පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන්

සුනන්ද දේශප්‍රිය

පසුගිය 29 දින මන්නාරමේ මඩු හිදී සිදුවූ ක්ලේමෝ ප්‍රහාරයේ වගකීම ගැනීමට කිසිවකු නැත. නමුත් සිංහල පුවත්පත් විසින් එම සිදුවීම වාර්ථා කළ අන්දම දෙස බලන විට පෙනෙන්නේ, එම පුවත්පත්වල කතුවරුන් එම සිදුවීමේ සැගවිය යුතු දෙයක් ඇතැයි කල්පනා කරන බවයි. මෙම ක්ලේමෝ ප්‍රහාරය එල්ල වූයේ පාසල් දැරියන් පිරි බසයකටය. එහි විපාකයක් ලෙස ශිෂ්‍යාවන් 12 දෙනෙකු, ගුරුවරියන් 03 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු මිය ගියෝය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩිම පිරිසක් ක්ලේමෝ ප්‍රහාරයකින් මිය ගිය අවස්ථාව මෙය වේ. එහිදී පාසල් විදුහල්පතිනියක්ද මිය ගියාය.

මන්නාරම බිෂොප්වරයා මෙම ඝාතනයේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව කියා සිටියේය. එල්.ටී.ටී.ඊ.ය කියා සිටියේ මෙම ප්‍රහාරය ශ්‍රී ලංකා හමුදාවේ දුර දිගු විහිදුම් කණ්ඩායමක ක්‍රියාවක් බවයි. ආණ්ඩුව මෙම ප්‍රහාරයට තමන්ගේ හමුදාවන්ගේ සම්බන්ධයක් නැතැයි කියා සිටියේය.

නමුත්, සාමන්‍යයෙන් දකුණු මැද ප්‍රදේශයන්හිදී සිදුවන මෙවැනි මනුෂ්‍ය ඝාතන, සිය මුල් පුවත් බවට පත්කරගන්නා මෙරට සිංහල පුවත්පත්, මෙම ඝාතනය වාර්තා කළේ සුළු සිදුවීමක් ලෙසය. එකද සිංහල පුවත්පතක් හෝ රූපවාහිනී නාලිකාවක් මෙම ඝාතනයෙන් මිය ගිය දරුවන්ගේ ඡායාරූප පළ කළේ හෝ පෙන්වූයේ නැත.
නමුත් දෙමළ පුවත්පත් (රාජ්‍ය පාලිත තිනකරන් හැර) 30, 31 යන දෙදිනම මුල් පුවත ලෙස වාර්තා කළේ මෙම සමූහ ඝාතනයයි. එමෙන්ම මියගිය සහ තුවාල ලද දරුවන්ගේ ඡායාරූපද එම පුවත්පත් මුල් පිටුවල පළ විය. ඉංග්‍රිසි පුවත්පත් (රාජ්‍ය පාලිත ඩේලි නිව්ස් හැර) මෙම පුවත නිසි වැදගත් කමින් යුතුව වාර්තා කළේය. පැසසිය යුතු මුල් පිට කතුවැකියක් ලියූ දි අයිලන්ඩ් පුවත්පත, මෙම ප්‍රහාරයට රජයේ හමුදා පිරිස් වගකිව යුතු නම් දඬුවම් කළ යුතු බවද කියා සිටියේය. අන් කිසිදු පුවත්පතකට මෙම සිදුවීම කතුවැකියකට තරම් වැදගත් සිදුවීමක් වූයේ නැත.

එසේ නමුත් අප කවුරුත් දන්නා පරිදි දකුණේ සිදුවන මෙවැනි ඝාතනයන් දින ගණනාවක්ම වාර්තා කිරීම සිංහල ජනමාධ්‍යයේ පුරුද්දය. (මඩු ක්ලේමෝ බෝම්බ ප්‍රහාරය වාර්තා කිරීම සිංහල මාධ්‍ය විසින් පහළට දමන ලද්දේ දෙමළ දරුවන් දරුවන් නොවන නිසාද? නැත්නම් මෙම ප්‍රහාරයේ වගකීම ආණ්ඩුවේ හමුදාවන් වෙත පැවරෙනු ඇතැයි බිය නිසාද? බොහෝවිට හේතු දෙකම නිසා විය හැකිය.

නමුත්, මෙම පුවත වසන් කිරීමෙන් යුද්ධය දිනා ගැනීමට හෝ ආණ්ඩුවට සහාය දැක්වීමට හැකි වනු ඇතැයි මෙම ජනමාධ්‍ය සිතන්නේ නම් එය මුළාවකි. මන්ද යත් දෙමළ ජනමාධ්‍ය, මේ සමූහ ඝාතනය ප්‍රමාණවත් පරිදි ආවරණය කරන නිසාය. ඉංග්‍රිසි පුවත්පත්ද නිසි ආවරණයක් ලබා දෙන නිසාය. සිංහල පුවත්පත්හි මෙම ගෝත්‍රිකවාදී වාර්තාකරණයෙන් සිදුවන්නේ, මෙරට සිංහල සහ දෙමළ ජනමාධ්‍ය බෙදා වෙන් කිරීමය. දෙමළ ජනයා යුද්ධය නිසා විදින ගැහැට නොදන්නා සිංහල ජන මනසක් ඇති කිරීමෙන් සිදුවන්නේ රටට යහපතක්ද? අයහපතක්ද?
රට එක සේසත් කිරීම, රට රැක ගැනීම යනාදී වශයෙන් ලියැවෙන අප්‍රමාණ වූ පුවත්පත් කතු වැකි වලින් අදහස් කැරෙන්නේ ඇත්ත වුවමනාවක් නම්, මේ දෙමළ දරුවන් ගැන කඳුළක් නොහෙළීම අප තේරුම් ගන්නේ කෙසේද?
දෙමළ දරුවන් පමණක් නොවේ. කැබිතිගොල්ලෑවේ දී හමු වූ සමූහ මිනී වළ පිළිබඳ කතාවද සිංහල ජනමාධ්‍ය විසින් වසන් කරනු ලැබුයේ මෙලෙසය. එම සමූහ මිනීවල සොයාගත් දා රජයේ ප්‍රධානීහු ජනමාධ්‍යයට කතා කොට එම පුවත වාර්තා නොකරන ලෙස දැන්වූහ. ඊට හේතුවක් දැක්වූයේ නැත. සිංහල සහ ඉංග්‍රිසි ජනමාධ්‍ය එම නියෝ්ගය එලෙසම පිළිගත්හ. එලෙස හිසට වෙඩි තබා මරා වළ දා තිබූ මිනිසුන් සිංහලද, දෙමළද, මුස්ලිම්ද, එල්.ටී.ටී.ඊ. ද, යුද හමුදාවේද කියා දන්නා අයෙක් තවම නැත. අප දන්නා එකම දේ නම් එලෙස මරා දමා තිබුණේ මෙරට පුරවැසියන් 16 දෙනෙකු බවයි. ඉදින්, මේ පුවත සිංහල ජනමාධ්‍ය වසන් කළේ මන්ද? දෙමළ ජනමාධ්‍ය එය ප්‍රධාන පුවතක් සේ වාර්තා කළේ මන්ද? මෙම පිරිස දෙමළ යැයි සිතන නිසාද? මෙම ඝාතනයට ආණ්ඩුව වගකිවයුතු යැයි සිතන නිසාද?
ජනමාධ්‍ය නිදහස නැති රටවල ජනයා ප්‍රවෘත්ති කියැවීමට ඉගෙන ගන්නේ, ඒවායේ ලියා නැත්තේ කුමක් දැයි සොයා බැලීමෙනි. නැත්නම් ජනමාධ්‍ය භාෂාවෙන් කියන්නේ නම් පේළි අතර කියැවීමට ඉගෙන ගැනීමෙනි. ආණ්ඩුවට නිල සහ නොනිල වශයෙන් යටත් ජනමාධ්‍ය වාර්තා නොකරන්නේ කුමක් දැයි විමසා බැලීමෙන් ප්‍රවෘත්තියේ සැඟවුණු තොරතුරු සොයා ගැනීමට ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට සිදුවන යුගයකට අපි ගමන් කරමින් සිටිමු. පසුගිය දෙසතිය තුළ ආණ්ඩුවේ බලධාරීහු කරුණු තුනක් සම්බන්ධයෙන් නොනිල වාරණ පැණවූහ. ඒ කැබිතිගොල්ලෑවේ සමූහ මිනීවල, මඩු ක්ලේමෝ ප්‍රහාරයෙන් පාසැල් දැරියන් මියයාම සහ පසුගිය 31 දා ලංකාදීප පුවත්පතෙහි උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය ය.
මෙසේ සිදුවන්නේ උතුරු නැගෙනහිර යුද්ධයේ තොරතුරු ලිවීමට ජනමාධ්‍යයට ඉඩ නොදිය යුතු යැයි, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කරන පසුබිමක් තුළය. අද ශ්‍රී ලංකාවේ සිංහල පාඨකයා යුද්ධයේ සැබෑ තතු දන්නේ නැත. හරියට වන්නියේ ජීවත්වන දෙමළ ජනයා යුද්ධයේ තතු නොදන්නා පරිදිය. තොරතුරු අන්ධකාරය ඇත්තේ වන්නියේ පමණක් නොවේ. සිංහල ජනමාධය විසින් දකුණේද නිර්මාණය කරන්නේ යුද තොරතුරු අන්ධකාරයකි.

ඔක්කම්පිටියේදී මිය යන පාසල් දරුවනට ලැබෙන අවසන් ගෞරවය සැළකිල්ලට සමාන ගෞරවයක් මඩු හි දී මිය යන පාසල් දැරියනට දකුණේදී නොලැබෙන විට, එහිම අනෙක් පැත්ත වන්නියේදී සිදුවන විට ඊට ජන මාධ්‍ය ද වගකිවයුතු විට කුමන මාධ්‍ය සදාචාරයක් ද? දරුවන් දෙමළ සහ සිංහළ ලෙස බෙදෙන්නේ ද ඒ අනුවය.

Last 5 posts by Vikalpa_R

540 views for this article so far.

| Share this article on Facebook

පටවි ඉන්ද්‍රජිත් said,

February 5, 2008 @ 8:51 am

>> සිංහල ජනමාධය විසින් දකුණේද නිර්මාණය කරන්නේ
>> යුද තොරතුරු අන්ධකාරයකි.
යුද වාතාවරනයක් තිබෙන අවස්ථාවක සාමාන්‍ය ජනතාවගෙන් යුද තොරතුරු වසන් කිරීම නරක දෙයක්ද?
ඉරාකයේ සිදුවන සෑම දෙයක්ම BBC හා CNN මාධ්‍ය වාර්ථා කරනවාද?
දෙවල ගල්ෆ් යුද්ධය වාර්තා කල ආකාරය ඔබට මතකද?

>> අප දන්නා එකම දේ නම් එලෙස මරා දමා තිබුණේ මෙරට පුරවැසියන් 16
>> දෙනෙකු බවයි. ඉදින්, මේ පුවත සිංහල ජනමාධ්‍ය වසන් කළේ මන්ද?
>> දෙමළ ජනමාධ්‍ය එය ප්‍රධාන පුවතක් සේ වාර්තා කළේ මන්ද?
>> මෙම පිරිස දෙමළ යැයි සිතන නිසාද?
>> මෙම ඝාතනයට ආණ්ඩුව වගකිවයුතු යැයි සිතන නිසාද?
ත්‍රස්තවාදී ග්‍රහනයට නතු ප්‍රදේශයක් තුල කුඩා දරුවන් හිතාමතා මරා දැමීමෙන් ආණ්ඩුවට ලැබිය හැකි ප්‍රතිලාභය කුමක්ද?
අනික් අතට එවැනි දෙයක් කිරීමෙන් ආණ්ඩුවට ඇගිල්ල දික්කිරීමට අවස්ථාවක් ත්‍රස්තවාදීන්ටත්, ඔවුන් ත්‍රස්තවාදීන්‍ නොව අහිංසක විප්ලවකරුවන් යැයි සිතන අයටත් ලැබීම, ත්‍රස්තවාදීන්ටම ඒ දරුවන් ඉලක්ක කිරීමට හේතුවක් නොවේද?

>> සිංහල පුවත්පත්හි මෙම ගෝත්‍රිකවාදී වාර්තාකරණයෙන් සිදුවන්නේ,
>> මෙරට සිංහල සහ දෙමළ ජනමාධ්‍ය බෙදා වෙන් කිරීමය.
>> දෙමළ ජනයා යුද්ධය නිසා විදින ගැහැට නොදන්නා
>> සිංහල ජන මනසක් ඇති කිරීමෙන් සිදුවන්නේ රටට යහපතක්ද? අයහපතක්ද?
යුද්ධය නිසා ගැහැට විදින්නේ දෙමළ ජනතාව පමණක් නොවේ. සිංහල මුස්ලිම් බර්ගර් යන සියළුම වර්ගවල ‘ගෝත්‍ර’ ත් එයින් බැට කනවා.

>> පසුගිය 29 දින මන්නාරමේ මඩු හිදී සිදුවූ ක්ලේමෝ ප්‍රහාරයේ
>> වගකීම ගැනීමට කිසිවකු නැත.
ඔබේ ලිපියේ “පේළි අතර කියැවීමෙන්” මට පෙනෙන්නෙ එහි වගකීම ඔබ ආණ්ඩුවට බාර දෙන බවයි.

වැරදිනම් කරුණාවෙන් මා නිවරුදි කරන්න.

Guru said,

February 11, 2008 @ 5:17 pm

These children were killed by LTTE. They wanted put the blame SLA. This Bishop is a well known LTTE supporter who hailed LTTE when it attacked DaladaMaligawa.

SRILANKAN said,

March 12, 2008 @ 3:42 am

Yes Sinhala media may not report because they may not have enough information on the incident. But the problem is some NGOs and NGO merchants keep attacking Sinhalese and Sri Lankan Government which LTTE objective by killing those people is the same. Think, can you believe a school is having a sports meet within a few kilometers away from heavy artilary fighting. This look like deliberate use of civilians (if they are) as a shield by LTTE which is a war crime. Therefore LTTE may be thankful to Sinhala media not giving much publicity on the incident. The truth will come out when LTTE is destroyed. Till then those civilians voice will be shut. Let the brave SL Army save them.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment