vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

සුසන්තිකා - වැළකුණු මහ විපත

මාධ්‍ය අනෙක් පැත්ත

අසෝක ජයවර්ධන විසිනි.

සුසන්තිකා අත් අඩංගුවට ගැනීමෙන් මහ විපතක් වැළකුණි. ඒ මන්ද යත් ඇය අත් අඩංගුවට ගැනීම නිසා 2006 නොවැම්බර් 27 දාට යෙදුනු එල්ටීටීඊ මහවිරු දිනයදා කොළඹ පිපිරවීමට ගෙනෙන ලද ක්ලේමෝ දහයක් සොයා ගැනීමට ඇගේ කට උත්තරයෙන් හැකි වූ නිසා ය. ඒ 2006 නොවැම්බර් මස සිංහල පුවත්පත් සිය මුල් පුවත ලෙස වාර්තා කළ සිදු වීමකි.

මව්බිම පුවත්පතෙහි සේවය කළ ජනමාධ්‍යවේදිනී මුනුසාමි පරමේශ්වරී අත්අඩංගුවට ගැනීම සාධාරණ කිරීමට ආණ්ඩුවේ බලධාරීන් යොදා ගත්තේ මෙම පුවත ය. 2007 අගෝස්තුවේ දී නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණ ගැසුණු අවස්ථාවේදී ද පරමේශ්වරී සමඟ අත් අඩංගුවට පත් සුසන්තිකා මරාගෙන මැරෙන බෝම්බකාරියක් බව ඔප්පු වී ඇතැයි අපට අසන්නට ලැබුණි.

පසුගිය මාසයේ ඉරිදා ලංකාදිප පුවත්පතට දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් දුන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියා තිබුනේ …. ජනමාධ්‍යවේදිනිය ත්‍රස්තවාදියකු බව යි. පරමේශ්වරී නිදහස් කරන්නට සිදුවීමෙන් පසු ආණ්ඩුවේ ඇමැතිවරු ගණනාවක් ද ඊට සමාන අදහස් පළ කළහ.

නමුත් මෙම තරුණියන් දෙදෙනාම කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කිරීමට පොලීසියට සිදුවිය. මාස තුනක් රඳවාගෙන සිටි පරමේශ්වරී නිදොස් කොට නිදහස් කිරීමට සිදු විය. පසුගිය දා කිසිදු චෝදනාවක් නැතිව සුසන්තිකා නිදහස් කෙරුණේ මාස 15ක් රඳවාගෙන සිටීමෙන් අනතුරුව ය.

නමුත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින සියළු දෙනාම පාහේ දන්නා කතාව නම් මේ පුවත සහමුලින්ම අතේ රෝලක් බව යි. මෙම පුවත පළ කල කිසිදු පුවත්පතක් මෙම ක්ලේමෝ දහය අල්ලා ගත්තේ කුමන පොලිස් ස්ථානයේ කුමණ නිලධාරියා ද කියා වාර්තා කලේ නැත. එම අවස්ථාවේදි මේ පුවත පිලිබඳව පොලිස් මුලස්ථානයෙන් විමසූ අපට කියා සිටියේ එම විස්තර ඒවා පළ කළ පුවත්පත්වලින් ඉල්ලා ගන්නා ලෙස ය. පොලිස් මූලස්ථානය දැනුවත්ව එවැනි ක්ලේමෝ තොගයක් අත් අඩංගුවට ගෙන තිබුනේ නැත.

මෙම පුවත වාර්තා කළ ජනමාධ්‍යවේදීන්ගෙන් එම පුවත ලැබුනේ කෙසේ දැයි ඇසූ විට ඔව්හු නිරුත්තර වූහ. ඒවා පළ කළ කතුවරු නිහඩව සිටියහ. අඩුම වශයෙන් එම පුවත නිවැරදි කිරිමට පියවරක් ගත්තේ හෝ නැත. මෙම පුවත නිසා සුසන්තිකාට හෝ පරමේශ්වරීට වූ හානිය එම අතේ රෝල පළ කළ කිසිදු ජනමාධ්‍යයක් විසින් ගණන් ගත්තේ නැත. ඒ දෙදෙනාටම මිලියන ගණන් ඉල්ලා නඩු දැමීමට හැකියාවක් තිබුනේ නැත. අද මේ තරුණියන් දෙදෙනාටම සිදුව ඇත්තේ කර බාගෙන බියෙන් ජීවත්වීමට ය.

ඇත්ත වශයෙන්ම නම් මෙම තරුණියන් දෙදෙනා මෙලෙස රඳවාගෙන සිටීමට පොලීසියට අවස්ථාව සැළසුනේ පොලීසියේ පිරිස් සහ ජනමාධ්‍යයේ පිරිස් එක්ව ගෙතූ අතේ රෝල නිසා ය. නොඑසේව ජනමාධ්‍ය ස්වකීය භූමිකාව වූ මුර පල්ලාගේ අනුව යමින් එම සිදුවීමෙහි ඇත්ත නැත්ත විමසා බැලුවේ නම් මෙම තරුණියන් නිර්දෝශි බව ඒ අවස්ථාවේ දීම හෙළිදරව් කර ගැනීමට තිබුණි.

ඊටත් වඩා කණගාටුදායක ම දෙය වන්නේ තමන් විසින් මරාගෙන මැරෙන බෝම්බකාරියක ලෙස හැදින් වූ සුසන්තිකා සහමුලින්ම නිදොස් කොට නිදහස් කළ විට ඒ බව සිය පාඨකයින්ගෙන් සැඟවීමට ද මෙම සිංහළ පුවත්පත් සමූහයම ක්‍රියා කිරිම ය. ඩේලි මිරර් පුවත්පත හැර අන් කිසිදු සිංහල හෝ ඉංග්‍රිසි පුවත්පතක් සුසන්තිකා නිදොස් කොට නිදහස් කළ බව වාර්තා කලේ නැත.

ජනමාධ්‍ය නිදහස පමණක් නොව ජනමාධ්‍යයේ ඇති පරම යුතුකම වන සත්‍යයට ඇති පක්ෂපාතීත්වය ද බෙදි ගිය සමාජයක් වාර්ගිකත්වය මත පදනම් වු යුද්ධයක යෙදී සිටින විට රැක ගැනීම දුෂ්කර නමුත් අත්‍යවශ්‍යය. යුද්ධයේ ප්‍රථම තුවාලකරු සත්‍යය යැයි කියනු ලැබේ. යුද්ධයක යෙදි සිටින සෑම පාර්ශවයක්ම ජනමාධ්‍ය සිය ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමට පමණක් නොව ස්වකීය පාර්ශවයෙන් සිදුවන සෑම අකටයුත්තක්ම වසං කිරීමට හෝ සාධාරණ කිරීමට හෝ ජනමාධ්‍ය යොදා ගැනීමට සෑම උපායක්ම යොදති.

එම උපායන්ට හසු නොවීම ජනමාධ්‍යවේදය වන අතර දැන හෝ නොදැන එහි කොටස්කරුවන් වීම දේශපාලනඥයින් බවට පත්වීමකි.

Last 5 posts by Vikalpa_R

340 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment