vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ඇයව සිය වතාවක් කෙළෙසීම

මොනාලි මගේ යෙහෙළියකි. පෙබරවාරි 20 දා ඇය මගේ දොරකඩට පැමිණියාය. දොරකඩම සිටගෙන බිඳුණු හඬින් ඇය මුහුණ පෑ බිහිසුණූ අත්දැකීම විස්තර කළාය.

’‛මං දන්න අඳුනන කොල්ලෙක් මාව රේප් කරලා ගියා අක්කෙ..’’

සිද්ධිය සිදු වී ඇත්තේ එදින සවස 5.30 ට පමණය. ඇය මා හමුවීමට පැමිණියේ රාත්‍රී 7. 30ට පමණය. හැකි ඉක්මනින් පොලීසිය වෙත යාමට අපි තීරණය කළෙමු. මගේ තවත් යෙහෙළියක සමග ළඟම ඇති පොලිස් ස්ථානය වෙත අප යන විට වේලාව රාත්‍රී 9.00ට පමණය.

මොනාලි දෙදරු මවකි. පුරුෂයාගේ අඩන්තේට්ටම් ඉවසිය නොහැකි වූ ඈ දරුවන් සමග කුලී ගෙදරක තනිව ජීවත් වෙයි.

අප එහි යනවිට පැමිණිලි කාමරය තුළ පොලිස් නිලධාරීහු හතර දෙනෙක් රාජකාරියේ නිරතව සිටියහ. සාජන් මහතා අප ආ කාරණය විමසීය. කාන්තා පොලිස් අංශයක් තිබේදැයි අපි ඇසුවෙමු. ‛‛රෑට ඒගොල්ලො නෑ’’ අපට ලැබුණු පිළිතුර විය. මොනාලි තමා මුහුණ පෑ අත්දැකීම ඔහුට විස්තර කළාය. ‛‛ඉන්න මං ඕ අයි සී මහත්තයා එක්ක එන්නං’’ කී සාජන් මහතා දුවගොස් ඕ අයි සී මහතා එක්ක ආවේය. ඒස සමග තවත් පොලිස් නිලධාරීහු තිදෙනෙක්ද පැමිණියහ. මොනාලිට නැවතත් තමන්ට සිදු වූ දේ විස්තර කරන්නට සිදුවිය.

‛‛මේ පැමිණිල්ල සම්පූර්ණ විස්තරේ ඇතුව ලියාගන්නවා.’’ තවත් පොලිස් නිලධාරියෙකුට සාජන් මහතා බාර කළේය. මොනාලි පැමිණිල්ල ලියාගන්නට ඉදිරිපත් වූ පොලිස් නිලධාරියාට නැවතත් තමන්ගේ කතාව කිව්වාය. ඒ අසල සිටි වෙනත් පොලිස් නිලධාරියෙකු ඇගේ කතාව අසා සිටියේ කට ඇරගත්වනමය. ඔහුගේ ඉරියව් බලා සිටීම මට අප්‍රසන්න විය. මම ඉවත බලා ගතිමි. මොනාලි දැනටම තුන්වරක් මෙම සිද්ධිය විස්තර කර හමාරය.

ඇයව රෝහල් ගත කිරීමට සිදුවිය. රෝහලේදී ඇය වෛද්‍යවරියට සිද්ධිය නැවතත් විස්තර කළාය. හෙදිය සහ සාත්තු සේවිකාව ඒ අසලම රැඳී සිටිමින් කතාව හොඳින් අසා සිටියහ. ‛‛කොහොමටත් මෙයා කුරුණෑගලට යවන්න වෙනවා. තව ලෙඩ්ඩු හිටියොත් ඒ එක්කම යවනවා. මෙයා වෙනුවෙන්ම වාහනයක් යවන්නෙ නෑ.’’

ඇයව රෝහලේ නතර කර අප නිවසට එන විට රෑ 11.00 ට පමණ විය. පසුදා උදේ මොනාලිට කෑම අරගෙන රෝහලට ගියේ මගේ යෙහෙළියයි.

‛‛ආ…ඊයේ රෑ ගෙනාපු රේප් කරපු කෙනා බලන්ඩද?’’ ඇගෙන් ඇසුවේ දන්නා අඳුනන රෝහලේ සේවකයෙකි. උදේ එළිවෙන විට ලැව් ගින්නක් සේ මුළු රෝහල පුරාම මේ ආරංචිය පැතිරී ගොස් තිබුණි.

ඇඳුම් මාරු නොකරන ලෙස මොනාලිට පොලීසියෙන් උපදෙස් ලැබී තිබුණි. එහෙත් රෝහලට ඇතුල් වූ දින හෝ පසුදින හෝ කිසිම පරීක්ෂණයක් නොකෙරුණි.

‛‛තව කී දවසක් ඇඳුම් මාරු නොකර ඉන්නද?’’ මොනාලි අපෙන් ඇසුවාය. පසුදින දවල් 12 පසු වී කුරුණෑගල මහ රෝහලට ඇයව යවා තිබුණි. ඇය ඇතුල් කර තිබුණේ 13 වන වාට්ටුවටය. එහිදී ද වෛද්‍යවරයාට සහ හෙදියන්ට තුන් හතර වරක් තමාට සිදු වූ දේ විස්තර කරන්නට ඇයට සිදුවිය.

‛‛ඔයා මොකටද කොල්ලන්ට එන්න ඉඩ දුන්නෙ?’’ වෛද්‍යවරයා දොස් පැවරුවේය. පරීක්ෂණ අවසන් කිරීමට දින 4ක් ගතවිය. 24 දා සවස ඇය ආපසු ගෙදර පැමිණියාය.

එදා රෑ අමුත්තන් පිරිසක් ඇගේ නිවසට ගොඩ වැදුණහ.

‛‛අනේ දුවේ මගේ පුතාට අවුරුදු 22යි…ලොකු පුතාත් මැරුණා. මෙයත් වහබොයි. නැත්තං හිරේ යයි.. අනේ දුවේ…මගේ කොල්ලට සමාව දෙන්න..’’ මේ වරද කරුගේ දෙමාපියන්ය.
‛‛හෙට පොලිසියෙදි බලාගමුකො’’ මොනාලි පිළිතුරු දුන්නාය.

පසුදින උදාවිය. පොලීසිය කොලුවා රිමාන්ඩ් කළේය. එතැන් සිට තවත් කී වාරයක් මොනාල්ිට තමන්ට සිදු වූ දේ විස්තර කරන්නට සිදුවේවිද?

(සත්‍ය සිදුවීමකි. නම් කල්පිත ඒවාය.)
මැණික්

Last 5 posts by Vikalpa_N

497 views for this article so far.

| Share this article on Facebook

Sampath said,

February 29, 2008 @ 2:35 pm

Exalant article.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment