vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

නොදකිනා කොදෙව්වක අරුමය…!

06-re-size.jpg
වෙලාව හරියට ම දහවල් 1.10 යි. මද්දහනේ ඉර අව්ව එච්චර තදින් ම දැනෙන්නෙ නැහැ. උදේ ඉදන් තියෙන වැහි පොද නිසා වෙන්න ඇති. ඇඟට දැනෙන්නෙ හරිම සෞම්‍ය ගතියක්. නගරය මැද්දට උදේට වඩා සෙනඟ ඇවිදින්. ටිකක් කලබලකාරියි. වෙළඳ සැල් වල සෙනඟත් අඩුවක් නැහැ. ස්කූටර් වල නැඟුණු තරුණියන් නිතරම එහෙ මෙහෙ යනවා. හමුදා භටයනුත් පොලිස් නිලධාරිනු ත් තැනින් තැන රාජකාරි වල නිරත වෙනවා. පුංචි පුංචි ඡන්ද පෝ්ස්ටර් නගරය පුරා ම ඇලවිලා. වැඩිය ලොකු නැති වුනත් ‛‛ඡන්ද කටවුට්’’ එහෙමත් තැනින් තැන තියෙනවා. නගරය ඒ විදියට කලබලකාරි වුණත් ‛‛සින්දු කියන මාළුන්’’ ඉන්න කලපුව කල්අඩි පාලමට යටින් තවමත් නිසොල්මනේ බලාගෙන ඉන්නවා.

මඩකලපුව, ඇත්තට හරිම පුදුමයි. අපි කොළඹ ඉදන් යන්න බයයි කියන මඩකලපුවම ද මේ ? කිසිම ප්‍රශ්නයක් පෙනෙන්න නෑ. හරිම සාමකාමියි, නිහඬයි. ඡන්දයක් තියන්න තරම් වාතාවරණයක් නැහැයි කියල හිතන්න බැහැ වගේ. ඇත්තටම ඔබට පුදුම හිතෙයි. නමුත්, අපිට පේන්න තියෙන ස්වභාවය ඒ විදියම තමයි. ඒකෙ වෙනසක් නෑ. ඒ හැම දෙයක් ම එහෙම වුණත් නිසොල්මනේ තියෙන කලපුවට යටින් ඇති දේවල් අපිට හිතාගන්න බැරුවා වගේ ම, මඩකලපුවේ ඇතුළාන්තයත් හොයා ගැනීම එතරම්ම ලේසි නෑ.


අපට ගොඩක් අය හමු වුණා. කතා බහ කළා. සාමාන්‍ය වැසියන් නොයෙක් කතා අපිට කිව්වා. ඒ හැම දෙයක්ම ඇත්තටම විවිධාකාරයි. නමුත් ඒ හැම කතාවක් අවසානයේ ම ඔවුන් අපිට ප්‍රශ්නාර්ථ ඉතුරු කරනවා.

‛‛ ඇත්තට ම මෙහේ අවිගත් පිරිස් ඉන්නවා. එයාල නිරායුධ කරන කල් ඡන්දයක් තියෙන එක සුදුසු නෑ.’’

ඒ එක කතාවක්.

‛‛ මෙහේ හරිම සාමකාමියි. කිසි ප්‍රශ්නයක් නෑ. සාධාරණ ඡන්දයක් තියන්න පුළුවන්. ’’

තව කෙනෙක් කියන්නෙ ඒ විදියට.

‛‛ අපිට දැන් ඡන්දයක් නෙමෙයි ඕන වෙලා තියෙන්නෙ. ඊට කලින් තව කරන්න දේවල් තියෙනවා. ’’

මේ තවත් කෙනෙක්. හොයා බැලිය යුතුයි? අපි හැමෝම මොනවද මේ කතා වල හැංගිලා තියෙන්නෙ කියල.මේ හැම දෙයක්ම එකතු කරලා සම්පූර්ණ අර්ථයක් හොයා ගන්න එක හරිම අමාරුයි නේද? ඇත්තටම ඒ තමයි මඩකලපුවේ හැටි. ඡන්දය තියන්නෙ මාර්තු 10 වෙනිදා. ඒ වෙන කොට මඩකලපුවේ තත්වය කොහොම වෙයිද කියන එක උඩ්න් තියෙන මන්දාරම් අහස වත් දන්නේ නැතිව ඇති.

ආරක්‍ෂක අංශ වල අය තමන්ගෙ රාජකාරිය ඉටු කරමින් ඉන්න බව පේනවා. ඡන්ද අපේක්‍ෂයින්ටත් ආරක්‍ෂාව ලබා දීල තියෙනවා. නමුත් අපිත් එක්ක කතා බහට එකතු වුණු ඡන්ද අපේක්‍ෂකයින්, පක්‍ෂ නායකයින්, ආරක්‍ෂාව ගැන දැරුවේ එකිනෙකට වෙනස් අදහස්.

වර්තමාන ආණ්ඩුවත් එක්ක සන්ධාන ගත වුණු මඩකලපුව නගර සභාවට තරඟ වදින ටී.එම්.වී.පී පක්‍ෂයේ අපේක්‍ෂක ‛‛ ප්‍රදීප් මාස්ටර් ’’ ඒ ගැන කියන්නෙ මේ විදියට.

‛‛ අපි මුලින් ආයුධ පාවිච්චි කළා තමයි. නමුත් දැන් අපිට ආයුධ අවශ්‍ය නෑ. පොලිසියෙන් අපිට ආරක්‍ෂාව ලබා දීල තියෙනවා. ඉතින් අපිට මොකටද ආයුධ.’’

තවත් නගර සභා අපේක්‍ෂකයෙක් වුණු ප්ලොට් සංවිධානයේ බෙනඩික් තනබාලසිංහම් මහතා කියන්නෙ මීට වෙනස් අදහසක්.

‛‛ ටී.එම්.වී.පී අය ලඟ තවමත් ආයුධ තියෙනවා. ඒක හැමෝම දන්නවා. නමුත් කිසිම කෙනෙක් මේ ගැන ක්‍රියාමාර්ග අරගෙන නැහැ.’’

ඊට සමාන අදහසක් පළ කරන ඊ.ප.ීආර්.එල්.එෆ් සංවිධානයේ අපේ්ක්‍ෂක තුරෙයිරත්නසිංහම් මහතා,

‛‛ මට තව ආරක්‍ෂකයින් දෙදෙනෙක් පොලිසියෙන් ලබාෙ දුන්නොත් මේ කාර්යාලය ඉස්සරහින් වාහන වල යන ටී.එම්.වී.පී අයගේ ආයුධ මම ගොඩ ගහලා පෙන්වනවා. ’’

මේ කතා මෙහෙම දිග හැරෙද්දි, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා පළ කරන්නනේ මෙවැනි අදහසක්,

‛‛ මෙහෙ තත්වය සාමාන්‍යයයි. ආයුධ සන්නද්ධව ඉන්නේ ආරක්‍ෂක අංශ වල අය විතරයි. ආයුධ සන්නද්ධව වෙනත් කණ්ඩායම් ඉන්නව නම්, අත් අඩංගුවට ගන්න නියෝග කරල යි තියෙන්නෙ.’’

එවැනි කතා බහත් එක්කම, මැතිවරණ කොමසාරිස්වරයා පවතින වාතාවරණය සලකා බලා 10 වෙනිදාට ඡන්දය පැවැත්ම තීරණය කරන්න හදනවා. මේ හැම දෙයක් ම සංකීර්ණයි. ලෙහා ගන්න බැරුව තියෙන නූල් බෝලයක් වගේ.

වෙනදට අංශක 40ක් විතර තියෙන උෂ්ණත්වය අද සාමාන්‍ය තත්වයට පත් වෙලා. පරිසරය සෞම්‍යයයි. ඒ හැම දෙයක් එක්කම මඩකලපු පුංචි ඡන්දයේ ඉදිරිය අවිනිශ්චිතයි.

මඩකලපුවේ ජීවත් වන මිනිසුන්ගේ අනාගතය සුබ වෙයිද?අසුබ වෙයිද? කියන එක අපි නෙවෙයි ඔවුන්වත් දන්නෙ නැතිව ඇති. අත්තට ම මේ කඩඉමක්. ඉතිහාසයට එකතු වන අලුත් පරිච්ජේදයක්. අපි බලාගෙන ඉදිමු.

ඇත්තමට කිව්වොත්, මේක තුෂ්ණිම්භූත ඡන්දයක්.

සමන්තිලක බණ්ඩාර

Last 5 posts by Vikalpa_R

484 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment