vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

ධර්ම රාජ්‍යයේ මොහොතක්

මමත්, මනීත්, ධාරණීත් වැඩ කරන්නේ එකම සංවිධානයකට අයිති කාර්යාලවල යි. වැදගත් තොරතුරු වගයක් දෙමළ භාෂාවෙන් හොයා ගන්න වුවමනා වෙලා පසුගිය සතියේ මනීත් ධාරණීත්, ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තුවට ගියා. ඇතුල්වෙන තැනම තියෙන ආරක්ෂක මැදිරියට හැඳුනුම්පත් ලබා දීලා ඔවුන්ට ඇතුලට යන්න ලැබිලා තියෙන්නෙ ටික දුරක් විතරයි.

“මිස් ව චෙක් කරන්න ඕනෙ. පොඩ්ඩක් මෙහාට එනවාද? ”

ආරක්ෂක නිළධාරිනියක් ධාරණීගේ ඉහේ සිට දෙපතුළටම පරීක්ෂා කරලා තිබුණා. පරීක්ෂාවෙන් පස්සේ , ඔවුන්ව ගොඩනැගිල්ල ඇතුලට යොමු කරලා තිබුණත් අදාළ කරුණු නොමැති කමින් ඔවුන්ට ආපසු එන්න සිද්ධ වුණා. ඊළගට ඔවුන් ගියේ ජාතික පුස්තකාලයට. සාමාන්‍ය පරිදි ආරක්ෂක කවුළුවට හැඳුනුම්පත් ලබා දීලා ඔවුන් පුස්තකාලය තුලට ගිහින් තිබුණා. පළමුවෙන්ම ඔවුන් මුණ ගැසිලා තියෙන්නෙ මැදිවිය පසු කරන හොඳින් සිංහල දන්න කුළ කාන්තාවක්. ඇය තමයි පුවත්පත් ලිපි සම්බන්ධව තොරතුරු ලබා දෙන්න ආයතනය විසින් පත් කරලා තියෙන්නේ.

“මිස් අපිට මේ ලිස්ට් එකේ තියෙන ලිපි දෙමළ භාෂාවෙන් හොයා ගන්න පුළුවන්ද?” මනී ඇයගෙන් ඇහුවා.

“අපි ළග ඉංග්‍රීසි යි සිංහල යි නම් තියෙනවා. දෙමළ නම් අපි ගාව අඩුයි. අපිට ඉතින් දෙමළ අවශ්‍ය වෙන්නෙ නෑනෙ.” ඇය එක පාරටම කියලා තියෙන්නෙ ඒ විදියට.

ඒත් එක්කම “ඇයි ඔයාලා දෙමළ දන්නවාද?” ඇය එහෙම ඇහුවට පස්සේ ,

“ඔව් අපි දෙමළ.”

මනීගෙන් එම වචනය පිට වුණා පමණයි,

“ආ…… ඔයාලා දෙමළ ද? අපෝ දෙමළ අය තමා එල්.ටී.ටී.ඊ එකට උදව් කරන්නෙ. කොළඹට බෝම්බ ගේන්න සපෝට් කරන්නෙත් ඔයාලා තමා. අපිට ඔයාලාත් එක්ක වැඩ කරන්න හරි බයයි.”

එය කණට වැටුණු හැටියේම මනී ට තරහවක් ඇතිවෙලා තිබුණත්, එය යටපත් කර ගනිමින් ඔහු කියා තිබුණේ ,

මිස් අපිට ඒවා කරන්න උවමනාවක් නෑ. අපි ආවෙ තොරතුරු හොයා ගන්න.”

ඒ විදිහට කිව්වත් එයින් නොනැවතුණු මේ ආර්ය සිංහල කාන්තාව,

“ඔයා කොහේද?”

“මම කුරුණෑගල”

“එතකොට අරයා?“ ඒ ඇහුවෙ ධාරණීගෙන්.

“මම බැටිකලෝ” ධාරණී උත්තර දීලා තියෙන්නෙ කැඩිච්ච සිංහලෙන්.

“ආ…බැටිකලෝද? එහෙනං හරි වැඩේ තමා. ඔයා ඇතුළට එද්දී චෙක් කරලාද ඇතුළට ආවෙ.”

ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන වුණත් මනීත්, ධාරණීත් නිශ්ශබ්දව ඉන්න තීරණය කරලා තිබුණේ කර ගන්න දෙයක් නැති කමින්. අවසානයේ දී තවත් ප්‍රශ්න වැලකින් පසු ඔවුන් ගිය කටයුත්ත ඕනෑවට එපාවට ඉටු කර ගැනීමට හැකි වී තිබුණත්, ඔවුන් එතැනින් නික්මුණේ තමන්ගේ ජාතක බවටත් හිතින් සාප කර ගනිමින්.

සැබවින් ම, මෙය එක් සිදුවීමක් පමණි. මෙවන් දේ මේ උතුම් ධර්ම රාජ්‍යයේ තවත් කොතෙක් නම් සිදු වෙනවා ඇද්ද? නිදහස් හඩක් නැගිය නොහැකි ජාතියක් වී ඉපදීම කෙතරම් පාපයක්දැ යි ඔවුන් සිතීම අතිශය සාධාරණය. මේ හැම කතාවකින් ම පස්සේ මනී මට කියපු දෙයින් ඇත්තට ම සිංහලයෙක් විදිහට මම හුගක් ම පහළට ඇද ගෙන වැටුණා.

“මචං ලංකාවෙ දෙමළෙක් වෙලා ඉපදෙනවට වඩා හොඳයි ඉපදෙන්නේ නැතුවම හිටියානම්.”

සමන්තිලක බණ්ඩාර
thilaka.bandara@ gmail.com

Last 5 posts by Vikalpa_R

1,001 views for this article so far.

| Share this article on Facebook

Leave a Comment