vikalpa : short stories to change the way you think, feel and actregister here.login.find out more
inicio mail me! sindicaci;ón

මුහමාලෙයි ජනමාධ්‍ය සටන

සුනන්ද දේශප්‍රිය

මුහමාලෙයි සටන නිසා රජයේ හමුදා යුද්ධයෙන් පරදින්නේ හෝ එල්ටීටීඊ ය යුද්ධයෙන් දිනන්නේ හෝ නැත. මේ වනාහී දීර්ඝ කාලීන යුද්ධයක එක සටනක් පමණි. අප මුහමාලෙයි සටන පිළිබඳ ජනමාධ්‍ය හැසිරීම සළකා බලන්නේ මෙරට යුද්ධ වාර්තාකරණය දෙස විමසා බැලීම පිණිස ය.

අප්‍රෙල් 23දා මුහමාලෙයි හි සටනෙහි ගණන් හිලවු 24 දින ජනමාධ්‍ය වාර්තා කළ සැටි බලමු:

Monitoring Muhamalai

මෙරට වාර්තාකරණයේ කැපි පෙනෙන ලක්ෂණය නම් රජයේ සංඛ්‍යාලේඛන කෙරෙන් බැහැර නොවීමට ශ්‍රී ලංකාවේ සියලුම දිනපතා පුවත්පත් සහ රූපවාහිනී නාලිකා කටයුතු කළ අන්දමයි. ගුවන් විදුලි නාලිකා සම්බන්ධයෙන්ද පැවැතියේ මෙම තත්ත්වයම ය. ඉහත සටහන පෙන්වන්නේ මෙරට ජනමාධ්‍ය මුහමාලෙයි සටන අරභයා ඉදිරියෙන් යන බැටළුවා පසුපස අනෙක් සියළු බැටළුවන් ද යන පරිදි හැසිරුණ බව යි. මුලාශ්‍රයන්ගෙන් ලබා ගත් දත්ත මත හැකිතාක් දුරට ඇත්ත ඇති සැටියෙන් කීමට උත්සාහ ගත්තේ සන්ඩේ ටයිම්ස්, සන්ඩේ ලීඩර්, රාවය, ලංකා ඊ නිව්ස් සහ ලංකා ඩිසෙන්ට් පමණය.

බහුතරයක් වූ ජනමාධ්‍ය විශේෂයෙන්ම ගුවන් විදුලි සහ ටෙලිවිෂන් නාලිකා සියල්ල පුවත් වශයෙන් විකාශනය කළේ එම රජයේ ප්‍රකාශයන් පමණකි. රජයක ප්‍රකාශ විමසීමකින් විචාරයකින් තොරව සත්‍ය ලෙසම පළ කිරිමට නිදහස් ජනමාධ්‍ය අවශ්‍ය නැත.

දේශිය ජනමාධ්‍ය එසේ වුවද විදේශිය පුවත් ආයතන රජයේ හමුදා අලාභහානි පිළිබඳව ලෝකයට කිවේ වෙනත් ගණන් හිලවු ය. උදාහරණ දෙකක් මෙසේ ය. සීඑන්එන් - ආරක්ෂක හමුදාවන්හි මිය ගිය ගණන 108 ක් ලෙසද, ප්‍රංශ පුවත් සේවය 185 ක් ලෙසද සදහන් කලේ ය. එල්ටීටීඊය ජනමාධ්‍ය ජායාරූප මෙන්ම වීඩියෝ පටද අන්තර් ජාලයට එක් කළේ ය.

මේ වන විට ලැබී ඇති වාර්තා අනුව රජයේ හමුදාවන්හි මිය ගිය ප්‍රමාණය 300 කට ආසන්න බව කියනු ලැබේ. බරපතල තුවාල ලැබූ පිරිස ද 100 ඉක්මව යි. එමෙන්ම මේ වනාහි මෙම යුද පෙරමුණෙහි මෙම ස්ථානයේ දි ම සිදුවූ තෙවැනි මේ අන්දමේ ජීවිත විනාශය යි.

මුහමාලෙයි එල්ටීටීඊ ඉදිරි ආරක්ෂ වළල්ල අල්ලා ගැනිමට රජයේ හමුදා දියත් කළ තෙවැනි මෙහෙයුම පරාජය වූ බව ලීවේ පුවත්පත් දෙක තුනක් පමණි. අනෙක් සියලුම ජනමාධ්‍ය එම සටනෙහි ඇත්ත වසං කර බොහෝ දුරටම මේ ජීවිත විනාශය එක දවසක පුවත් වාර්තාකරණයකට සීමා කළේ ය.

යුද්ධ ජය පරාජය තීන්දු වන්නේ එක් සටනකින් හෝ දෙකකින් නොවේ. ජනමාධ්‍ය කාර්‍යභාරය වන්නේ සෑම සටනකින්ම ජය ලබන බව කියා පෑම නොව යුද බිමෙහි සිදු වන්නේ කුමක්ද යන්න ඇති සැටියෙන් වාර්තා කිරිමට උත්සාහ කිරිම යි. මෙවැනි ජීවිත විනාශයක් වූ විට ඒ පිළිබඳව විමසීමක් නොකරන, විග්‍රහයක නොයෙදෙන ජනමාධ්‍ය සම්ප්‍රදායකින් පෙන්නුම් කරන්නේ නිල නොවන වාරණය සහ ස්වයං වාරණය කොතෙක් දුරකට මුල් බැසගෙන ඇත් ද යන්න ය.

සය මසකට පෙර යුද හමුදාවට බැදුනු 18 වියැති තරුණ සොල්දාදුවන් ද මුහමාලේ දි මිය ගිය බව ජනමාධ්‍ය වාර්තා කළේ ය.ගැඹුරු සහ සංකීර්ණ අගල් මගින් ආරක්ෂිත සහ පළ පුරුදු එල්ටීටිඊ සටන්කරුවන් යොදවා ඇති, දෙවරක්ම විශාල ජීවිත විනාශයන් සිදු වූ මෙවැනි පෙරමුණු සටනකට එවැනි අත්දැකීම් නැති තරුණ සොල්දාදුවන් යැවූවේ ඇයි ද යන්න ජනමාධ්‍ය විසින් විමසිය යුතු නැත් ද?

මුහමාලේ සටන පිළිබඳ ජනමාධ්‍ය වාර්තාකරණය පෙන්නුම් කළේ රජයේ යුද්ධය පිළිබඳව යුද හමුදාවේ සහ රජයේ ප්‍රකාශයන්ගෙන් පිටතට ගොස් වාර්තා කිරීමට හෝ එම ප්‍රකාශ ප්‍රශ්න කිරීමට හෝ අතිබහුතරයක් වන ජනමාධ්‍ය දක්වන නොහැකියාවයි. නොකමැත්තයි. ඊට හේතුව රහසක් නොවේ. එනම් නොනිල මට්ටමින් පවත්වා ගෙන යන වාරණය යි. එවැනි ජනමාධ්‍ය සම්ප්‍රදායක් තහවුරු වු විට යුද්ධය පිළබඳව කිසිදු දැනුවත් සමාජ සංවාදයකට ඉඩක් ලැබෙන්නේ නැත.

සෑම ආණ්ඩුවක්ම යුද්ධය සළකා ඇත්තේ දේශපාලන වාසි ලබාගත හැකි පොරපිටියක් ලෙස ය. යුද්ධයේ ඇත්ත තතු මහා ජනයාට කීමට කිසිදු ආණ්ඩුවක් පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඒවා උත්සාහ කළේ ජනමාධ්‍ය මගින් එම සැබෑ තතු හෙළිදරව්වීම වැලැක්වීමට ය. වත්මන් ආණ්ඩුව ද අනුගමනය කරන්නේ එම පිළිවෙතම ය. වෙනස අද එම පිළිවෙත වෙන කවරදාටත් වඩා සූක්ෂම ලෙස සහ මර්ධනකාරී ලෙස ක්‍රියාවට නැගීම යි.

යුද්ධය පිළිබඳව කිසිදු හරවත් සාකච්ඡාවකට අද මෙරට බහුතර ජනමාධ්‍යයේ ඉඩක් නැත. ඉඩක් ඇත්තේ ආණ්ඩුවේ යුද්ධ පිළිවෙතට ආ වැඩීමට පමණි. යුද්ධය මුවාවෙන් කැරෙන දූෂණ සහ අක්‍රමිකතා සාකච්ජා කිරීම සහමුලින්ම වාගේ යටපත් කර දමා තිබේ. පුවත්පත් දෙක තුනක හැර යුද මෙහෙයුම් පිළිබඳ කැරෙන විශ්ලේෂනාත්මක සාකච්ඡා ද නැත. ඇත්තේ ප්‍රචාරකවාදී අතිශෝක්තීන් ය. මෙවැනි ව්‍යාජ ජනමාධ්‍ය වාර්තාකරණයන්ගෙන් යුද්ධයට වත් සාමයට වත් වැඩක් වෙන්නේ නැත. ජනමාධ්‍ය මගින් යුද්ධය දිනා ගත හැකි නම් යුද්ධය පටන් ගත් ජේ.ආර් ජයවර්ධන කාලයේ ම යුද්ධය අවසන් කර ගන්නට ඉඩ තිබුණි.

නිල වශයෙන් වුවද නොනිල වශයෙන් වුවද පුවත් වාරණයක විපාකය එකම ය. එනම් මහා ජනයාට, ජනමත ගොඩනගන්නන්ට පමණක් නොව දේශපාලකයන්ට පවා ඇත්ත තත්ත්වය අවබෝධ කර ගැනීමට නොහැකි වීම යි. එවැනි අනවබෝධයක් පවතින්නේ යුද්ධය,ආර්ථිකය හෝ සමාජය සම්බන්ධයෙන් වේවා විපාක ඇති කරන්නේ අයහපතක් පමණි.

Last 5 posts by Vikalpa_R

289 views for this article so far.

| Share this article on Facebook

සක්‍රසිංහ said,

May 2, 2008 @ 7:24 pm

මා දන්නා පරිදි දේශීය හෝ විදේශීය ජනමාධ්‍යකට මුහාමලේ සටන ගැන තොරතුරු ලබාගත හැකි ක්‍රම කිහිපයක් පවතී.
සටනට මැදිහත් වූ පාර්ශව නිකුත් කරන නිල තොරතුරු
කටකතා
මීට අමතරව තොරතුරු ලබාගත හැකි ක්‍රමයක් නැත්තේ එම ප්‍රදේශය අධ්‍යනය කිරීමට හෝ නිරීක්ෂණය කිරීමට සිතූ සිතූ මොහොතේ ජනමාධ්‍ය වලට යාමට නොහැකි බැවිනි.

කොටි ත්‍රස්තවාදීන් සැමවිටම තමන්ගේ මරණ ගනන අඩුවෙනුත් සාමාන්‍ය වැසියන් මියගියේනම් එම ගනන අඩුවෙනුත් ප්‍රකාශ කරන බව ඔබ දනී. එයට හේතුව දේශපාලන වශයෙන් වාසි ලබාගැනීමත් සාමාජිකයන්ගේ ආත්ම විශ්වාශය තහවුරු කිරීමත් ය. රජයද යම්කිසි ආකාරයකට සූක්ෂම ලෙස ගනන් හිලව් පරිහරණය කලද ත්‍රස්තවාදීන්ට වඩා වගකීමක් රජයක් ලෙස පෙන්විය යුතු බව හා පෙන්වන බවද පිලිගත යුතුය. දෙපාර්ශයවයම එකිනෙකට වෙනස් ආකාරවලින් වුවද තොරතුරු සම්බන්ධයෙන් ක්‍රියාකරන්නේ විවිධාකාර වශයෙන් වාසිසහගත තත්වයන් උදෙසායි.

ජනමාධ්‍යවේදීයාගේ වගකීම වන්නේ ජනතාවට සැබෑ තත්වය වාර්තා කිරීම වුවත් ජනමාධ්‍යයාගේ කාර්‍යය තුලිනුත් දෙපාර්ශවයටම යම් යම් වාසි හා අවාසිසහගත ප්‍රථිඵල ලැබේ. එකම තොරතුර ටැමිල්නෙටි හා ඩිෆෙන්ස් වෙබ් අඩවි දෙආකාරයකින් වාර්තා කරන්නේ එක් එක් පාර්ශවයට අදාල වාසි අවාසි කිරාමැන බලායි. නිදහස් මාධ්‍යවේදියෙකුට වුවද සියයට සියයක් නිවැරදි දත්ත නැතිවිටදී එක් පාර්ශවයකට හේත්තු වන ආකාරයේ වාර්ථාකරනයක් කිරීමට සිදුවේ. එහිදී බොහෝ නිදහස් මාධ්‍ය තෝරාගන්නේ නීතිය හා සාමය ආරක්ෂාකරමින් ක්‍රියාකරන ජනතා බලයෙන් පත්වූ රජයට පක්ෂපාතීව බව ඔබගේ සංඛ්‍යාලේඛණ වලින් පෙනේ. ඔබගේ කණගාටුව වී ඇත්තේ ද එයම බව පෙනේ.

හමුදාවේ මරණ විශාල ප්‍රමාණයක් සිදුවූ මෙම සටනේදී පමණක් ඔබ සංඛ්‍යාලේඛණ සම්බන්ධයෙන් සංවේදී වීම තුල හමුදාවේ හානිය පිලිබඳව සිංහල ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය සඳහා ඔබ පෙනී සිටී. නමුත් තොප්පිගල වැනි සටන්වලදී විශාල ත්‍රස්තවාදී ජීවිත ප්‍රමාණයක් අහිමිවීමේදී ඔවුන් එය නොපිලිගන්නා තත්වයක් තුල සැබෑ චිත්‍රය දෙමළ ජනතාවට ලබාදීමට ඔබ උනන්දු නොවීම තුල ඔබේ නිදහස් මාධ්‍ය ලේබලය සම්බන්ධයෙන් සැකයක් මතු වේ.

RSS feed for comments on this post · TrackBack URI

Leave a Comment