මෙන්න තවත් ජන්ද ප්‍රතිඵල ….
සුනන්ද දේශප්‍රිය
1. අම්පාර දිසාවේ මුස්ලිම් ජාතිකයින් සඳහා ඉදි කැරෙන සුනාමි නිවාස නතර කරන සේ ජාතික හෙළ උරුමය ශ්‍රේෂ්ඨාධිකරණයට යයි. පොදු පෙරමුනේ බුලත් කොළය යටතේ මුස්ලිම් දේශපාලන පක්ෂ සහ හෙළ උරුමය නැගෙනහිර ජන්දය සඳහා තරඟ වැදුණේ එකට ය. මැතිවරණය අවසන්ව ගත වූයේ දෙදිනකි. හෙළ උරුමය තමන් සමඟ එකට තරඟ වැදුණු මුස්ලිම් පක්ෂයන්හි ව්‍යාපෘතියකට එරෙහිව උසාවි ගොස් තිබේ.
2. හෙළ උරුමය ඡන්දය සඳහා ටීඑම්වීපි ය සමඟ ද සංධාන ගතව සිටියේය. මැතිවරණයෙන් දෙදිනකට පසු හෙළ උරුමයේ ප්‍රධානී ඇමැති චම්පික රණවක පුවත් සාකච්ජාවක් පවත්වා කියා සිටියේ නැගෙනහිර පළාත් සභාවට පොලිස් සහ ඉඩම් බලතල දීමට තමන් විරුද්ධ බව යි. ටීඑම්වීපි ය ඡන්දයේ දි කියා සිටියේ තමන් සම්පූර්ණ බලතල සහිත පළාත් සභාවක් පිහිටුවන බව යි.
මැතිවරණ සමයේ හෙළ උරුමය මෙම පිළිවෙත එහි ඡන්ද වේදිකාවේ දී ප්‍රකාශයට පත් කළේ නම් කොපමණ හොද ද? මේ පිළිවෙත ගැන මුස්ලිම් පක්ෂ සහ ටීඑම්වීපීය කුමක් කියනු ඇත් ද?
නැගෙනහිර ඡන්දයේ හෘද සාක්ෂිය
වැදගත් වන්නේ ඡන්ද දූෂණ නොවෙයි දිනන්නේ කව්ද කියන එකයි කියා කියා තිබුනේ වෙනින් කව්රුවත් නොව එස්. බී. දිසානායක මහතා ය. ඔහු පමණක් නොව බොහෝ දේශපාලනඥයින් කල්පනා කරන්නේ එලෙස ය. මන්ද යත් දිනුවාට පසු ලැබෙන රාජ්‍ය බලය විසින් සියළු දූෂණ වංචා සාධාරණ කැරෙන්නේ යැයි සිතන නිසා ය. ඒ දේශපාලනඥයින්ගේ පැත්තෙන් සිතන හැටි ය. මැතිවරණ දූෂන දැන් තනි දේශපාලන පක්ෂයක බූදලයක් නොවේ. මහත්මා ගුණයෙන් පිරි දේශපාලඥයින් අතලොස්සක් හරුණු විට අන් සියළු දේශපාලනඥයින්ගේ එකම අරමුණ කෙසේ හෝ බලයට පත් වීම පමණි.
නැගෙනහිර මැතිවරණයේ දී බිය ජනක ලෙස දක්නට ලැබුණේ මෙම දැක්ම මෙරට දේශපාලනය තුළ කොතරම් දුරට මුල් බැසගෙන ඇත් ද යන්න ය. ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියාදාමය කෙරෙහි අබමල් රේනුවක තැකීමක් නැති දේශපාලනඥයින් එදා එහි වීදි බැස සිටියහ.
මෙම පාඩමෙහි අත්පොත් තැබීම සිදුවූයේ විසි පස් වසරකට පෙර 1982 ජනමත විචාරණයේ දි ජේ ආර් ජයවර්ධන නායකත්වයෙන් බව සටහන් නොකළොත් එය අඩුවකි. සාපේක්ෂ වශයෙන් සාධාරණ සහ නිදහස් ජනාධිපතිවරණයකින් ජය ලද වන්දිකා කුමාරතුංග 1998 වයඹ මැතිවරණයේ සිට ජේ. ආර් ගේ පා සළකුනු ඔස්සේ ගමන කිරිම ඇරඹුවා ය. එයද සදහන් නොකලොත් අඩුවකි.
තීරණාත්මක මැදිහත්වීමක් කළ නොහැකි නම් යළි මැතිවරණ නිරීක්ෂණයන්හි නොයෙදෙමි යැයි මම ඕට්ටමාවඩි පාලම ලඟ විදුහල ඉදිරියෙහි සිට මැයි 10 දා ශපථ කර ගතිමි. එහි හොර ඡන්ද දැමීමට පැමිණියේ හොදින් ඇද පැලඳ ගත් කාන්තාවන් පිරිසකි. අප එහි සිටි බැවින් ඔවුනට එම ජරා කාරියේ යෙදීමට බැරි විය. ඒ වෙනුවට ඔව්හු අපට ද දෙස් දෙවාල් තබමින් පොලීසියටද මැතිවරණ නිලධාරීන්ට ද කෑ ගසමින් උඩ පනිමින් පසුබැස ගියේ අප ගිය පසු ආපසු ඒමට ය.
අප ඇස් ඉදිරියෙහි ම පෙරහැර යන්නා සේ යමින් හොර ඡන්ද දැමීමේ යෙදුනු පිරිමින්, ගැහැනුන් සහ ළමයින් එය සැළකූයේ උත්සවයක් ලෙස ය. සතුටින් ඉපිල යමින් හැදුනුම් පත් හුවමාරු කර ගත්හ. අසැබි වචනයෙන් විපාක්ෂික නායකයින්ට බැණ වදිමින් සතුටු වූහ. මුද්දර තරමේ ජායාරූප තොග ගනනින් ගෙනැවිත් එවෙලේම හැදුනුම්පත් ලබා දෙන ජංගම හැදුනුම්පත් කාර්යාල දුසිම් ගනනින් තිබුනි. දරුවෝ ද සිය ජායාරූප ගෙනැවිත් එක් සැනින් ජන්ද දායකයෝ වූහ.
දරුවන් රටක අනාගතය යැයි කියනු ලැබේ. එවැනි දරුවන් හොර ජන්ද දැමීමෙහි පුහුණු කරවන දේශපාලනඥයින්ගෙන් අප කුමණ අනාගතයක් බලා පොරොත්තු වන්නද?
ඇත්ත නැත්ත සොයා නොබැලිය හැකි ග්‍රාම සේවක අත්සන සහ ප්‍රාදේශිය ලේකම් අත්සන යැයි කියන ඕනෑම අත්සනක් පිළිගන්නා මෙවැනි තුට්ටු දෙකේ හැදුනුම්පතක් පිළිගැනිමට අදහස සහ අවසරය දුන්නේ මැතිවරණ කොමිසමෙනි.
පසුගිය ප්‍රාදේශිය සභා මැතිවරණයේ දී ද මෙම පළාත්පාලන මැතිවරණයේ දී ද වැඩිම ඡන්ද දූෂන සිදු වූයේ මෙම දෙකේ කොලයේ හැදුනුම් පත නිසා ය. මා නිරීක්ෂනය කළ ඡන්ද මධ්‍යස්ථානයන්හි සවස දෙකෙන් පසු සියයට 90ක් ම ඡන්දය ප්‍රකාශ කලේ කිරිකිරියට අලුත් එකී තාවකාලික හැදුනුම්පත මගිනි. එතරමටම මෙ ප්‍රදේශයේ ජනයාට ජාතික හැදුනුම් පත් නැත් ද?
මැතිවරණ සදහා ජාතික හැදුනුම්පත අනිවාර්ය කරන සේ ඉල්ලා දස ලක්ෂයක අත්සන් සහිත පෙත්සමක් අත්සන් කිරීමට කලකට පෙර දේශපාලන පක්ෂ කටයුතු කලේ ය. එම දේශපාලකයින් අද ආණ්ඩුවේ ඇමැතිවරුය. ඒ පෙත්සමට වූ දෙයක් නැත් ද?
සාධාරණ සහ නිදහස් මැතිවරණය වනාහි ප්‍රජාතන්ත්‍රවාදයේ මහෝත්සවය යැයි කියනු ලැබේ. ඊට හරියටම විරුද්ධව ඉදහිට හැර 1982 සිටම මෙරට මැතිවරණ පැවත ඇත්තේ මංකොල්ල ලෙස ය. මහෝත්සවය මංකොල්ලයක් බවට පත්වන රටක නිදහසේ අවමංගල්‍යක් මිස මංගල්‍යක් පවතිනු ඇත් ද?
ප්‍රජාතන්ත්‍රවාදි ක්‍රියා දාමයේ වැදගත්ම ලක්ෂණයක් වන්නේ ප්‍රතිඵලය පමණක් නොව ක්‍රියා දාමය ද ඒ තරමට ම වැදගත් ය යන පිළිගැනීම යි. අරමුණ නැත්නම් ඉලක්කය සුජාත කැරෙන්නේ ඒ කරා යන ගමන් මාර්ගය විසිනි. සුජාත නොවූ මුදුන් පමුනුවා ගැනීමකින් පොදු මහා ජනයාට වැඩක් වන්නේ නැත. මන්ද යත් මහා ජනයා ප්‍රධානය යන සංකල්පය වෙනුවට එහි ඇත්තේ බලය ප්‍රධානය යන සංකල්පය නිසා ය.
කෙසේ හෝ බලයට පැමිණීම සාධාරණ යැයි කල්පනා කරන අපේ දේශපාලඥයින්ගේ හෘද සාක්ෂිය කුමක් වනු ඇත්දැයි ඔබට සිතා ගත හැකිද?
Last 5 posts by Vikalpa_R
- කලු ජූලිය 25 - කටු සටහනක් - පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - July 25th, 2008
- පුරවැසි ජනමාධ්‍යවේදියකුගේ සටහන් - ආණ්ඩුකාර පොලිස්පති සහ උතුරේ යුද්ධය - July 18th, 2008
- නාමල්ට පහරදුන් මැරයන් අල්ලනු....... උද්ඝෝෂණය - July 3rd, 2008
- වීරෝදාර රණවිරුවන්ට පුරවර සරසවියෙන් පානීය ජලය - July 2nd, 2008
- මාධ්‍යවේදී තිස්සනායගම් මුදාහරිනු..... - July 1st, 2008


