Colombo, Featured Articles, Features

වික්ටර් අයිවන්ට (නැවත) ප්‍රකෘති සිහිය එන්නේ කවදා ද?

[Photo by www.colombopage.com]
රාවයේ 25 වැනි සංවත්සරය තුළින් වික්ටර් අයිවන් අපේක්ෂා කළ පරමාර්ථය නිරර්ථක එකක් බවත්, එවැනි පරමාර්ථයක ඔහු එල්බ සිටින්නේ මීට පෙර රාජ්‍ය පාලකයන් කෙරෙහි ඔහු තුළ නොතිබූ ප්‍රසාදයක් මහින්ද රාජපක්ෂ කෙරෙහි ඔහු තුළ ඇති නිසා බවත්, එම ප්‍රවේශය පුද්ගලවාදී බවත් මගේ අදහස විය. එය පුද්ගලවාදී ප්‍රවේශයක් වශයෙන් මා හඳුන්වන්නේ, මහින්ද රාජපක්ෂ සහ ඔහු අතර ඇති විශේෂ හොඳ හිතක් වෙනුවෙන් ඔහුගෙන් පිදෙන ත්‍යාගයක් වශයෙන් ඔහුගේ වර්තමාන ලියවිලි මා සළකන නිසා පමණක්ම නොවේ.

කරුණු පහදා දීම මගින් සුමගට ගැනීමේ අවකාශයක් ඇති බවක්, මහින්ද රාජපක්ෂ රජයේ කිසි පිළිවෙතකින් බිම් මට්ටමේ දී සාධනය නොකෙරෙන බව ඔහු වැන්නෙකුට නොපෙනී යතැ යි මට සිතාගත නොහැකි නිසා ය. එහි අදහස වන්නේ, රටේ ජනතාව දැනුවත් කිරීම සහ පෙලගැස්වීම පමණක්ම, අප කතා කරන ප්‍රජාතන්ත්‍රීය අභිලාෂයන් මුදුන්පත් කරගැනීමේ එකම මාර්ගය වශයෙන් මා සළකන බවයි.

ඔහු ඊට එකඟ නැත. මීට පෙරත් මෙවැනිම ප්‍රයත්නයන් තමා ගෙන තිඛෙන බව එහි දී ඔහු පෙන්වා දෙයි. එයින් මගේ ගැටළුව නිරාකරණය නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. වික්ටර් අයිවන්ගේ විවේචන, පුද්ගලයා කෙරෙහි වැඩි බරක් තබති යි මා කියන විට, එය එකහෙලා වරදකැ යි හෝ, ඒ අතරේම මේ කියන කාලය තුළ ඔහු විසින් ක්‍රමය අරභයා කිසි විවේචනයක යෙදී නැතැ යි කියා හෝ මා කියන්නේ නැත. ඕනෑම විවේචනයකින් පුද්ගල සාධකය ඉවත් කිරීම අසීරු ය. සරත් නන්ද සිල්වා සම්බන්ධයෙන් ඔහු ගෙන ගිය අරගලය පුද්ගලබද්ධ විය යුතුව තිබුණි. ඒ මගින් ක්‍රමයේ වෙනසක ඇති අවශ්‍යතාවයත් අවධාරණය කෙරුණ බව රහසක් නොවේ. අද මගේ විවේචනයට හසුවන්නේ, වික්ටර් අයිවන් ක්‍රමය කෙරෙහි පමණක් එල්ලීම මිස, මහින්ද රාජපක්ෂ නැමැති පුද්ගල සාධකය සිය විවේචනයෙන් නිදහස් කිරීම මිස, ඔහු විසින් ක්‍රමය ද විවේචනය කරනු ලැබීම නොවේ. තමන්ගේ ඕනෑඑපාකම් මත පුද්ගල සාධකය හෝ ක්‍රමය පිළිබඳ සාධකය කරට ගැනීමවත්, බිමින් තැබීමවත් නොකළ යුතු බවයි මගේ අදහස. මේ නිසා, මහින්ද රාජපක්ෂ බලයට පත්වීමට පෙර පවා ක්‍රමය විවේචනය කොට තමා ලියා ඇති ලිපි කිහිපයක් තර්කයක් වශයෙන් වික්ටර් අයිවන් ගෙනහැර පෑමේ එතරම් බරක් නැත. (ඊටත් වඩා, ඒ සියලූ ලිපි 2004 පෙබරවාරියෙන් එහාට නොයාම ද විශේෂත්වයකි.)

මේ සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රවේශය සහ රාවයේ ප්‍රවේශය එකක්ම දැ යි මම ඇසුවෙමි. ඊට පිළිතුරු දීම ඔහු රාවය කර්තෘ මණ්ඩලයට පවරා තිබේ. ඒ ගැන මම පුදුම නොවෙමි. zzඔව්, ඒ දෙක එකක්ම තමා” යි කීමට ඔහුගේ හෘද සාක්ෂිය ඉඩ නොදෙන බව මා දන්නා බැවිනි.

එතැනින් පසු අපේ ආරම්භක සංවාදය අවසන් විය යුතුව තිබේ.

එහෙත් වික්ටර් අයිවන් සිය අවසන් ප්‍රතිචාරය තුළත්, ඊට පෙර විවිධ අවස්ථාවලත් පුනපුනා කියන කරුණු අනුව ඔහුගේ ‘ප්‍රවාදය’ කරකැවෙන්නේ, ඉහත සඳහන් මගේ චෝදනාවට පිටුදුන් සාධකය වශයෙන් ඔහු හඳුන්වන එක් මූලික කරුණක් වටා බව පෙනෙන්ට ඇති හෙයින් ඒ ගැන කතා කිරීම වැදගත් යැයි සළකමි. එය, ඔහු දකින විදිහට, මා වැන්නන් තුළ ඇති, ‘විශේෂ මනෝභාවයකි.’ ඒ, මෙවැන්නකි:

”සමාජවාදය ඔවුන්ගේ තුරුල්ලේ හදාවඩා ගත් පළමු දරුවා විය. එම දරුවාගේ අකල් මරණයෙන් පසුව ඔවුන් ඊළඟට හදාවඩා ගත් දරුවා වුයේ ශ්‍රී ලංකාවේ ජනවර්ග අර්බුදය යි. පළමු දරුවාගේ අකල් මරණය දෙවැනි දරුවා කෙරෙහි තිඛෙන ආත්මීය බැඳීම තීව්‍ර කිරීමට හේතු වී තිබුණි… ඒ නිසාම මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව යුද්ධයක් ආරම්භ කළ විට එය ඔවුන්ට පෙනුණේ තමන්ට එරෙහිව කරන යුද්ධයක් ලෙස ය..” ආදී වශයෙනි. ඔහුට අනුව, අද අප වැන්නන් මෙම ආණ්ඩුව විවේචනය කරන්නේ එම කෝන්තරය නිසා ය.

දීර්ඝ වශයෙන් පැහැදිළි කිරීම් කළ යුතු වුවත්, එක්තරා කාලයක සමාජවාදයත්, අද දක්වාම ජනවර්ග අර්බුදයත් මගේ දේශපාලන දිවියේ වඩාත් සංවේදී ඉසව් වශයෙන් සැළකිය හැකි බව සැබවි. ඒ නිසා, රාජපක්ෂ ආණ්ඩුව පිළිබඳ මගේ විවේචනය උපදින්නේ ඒ ආශ්‍රයෙන් යැයි දෝෂාරෝපණයක් ගෙන ඒමට කෙනෙකුට හැකියාව ඇතත්, එම දෝෂාරෝපණයේ ආකර්ශනය මත පමණක් එය තර්කයකට ගෝචර කර ගැනීම පහසු වන්නේ නැත. උදාහරණයක් වශයෙන් ගතහොත්, වික්ටර් අයිවන් අද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි පවතින පුද්ගල ප්‍රසාදය නිසා එම ආණ්ඩුව වෙනුවෙන් වක්‍රාකාරයෙන් පෙනී සිටින්නේ යැයි මා දෝෂාරෝපණය කරන විට, එය සනාථ කිරීම සඳහා තර්කයක් වශයෙන් මා ඉදිරිපත් කරන්නේ, මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී කි්‍රයාකලාපය කෙරෙහි වික්ටර් අයිවන් ඊට පෙර කිසි රාජ්‍ය නායකයෙකු සම්බන්ධයෙන් අනුගමනය කර නැති ලිහිල් පිළිවෙතක් අද අනුගමනය කරන බව පෙන්වා දීමයි. එA ආකාරයට, මම ද වර්තමාන ආණ්ඩුව විවේචනය කරන්නේ, ඔහු කියන පරිදි ඉහත කී zවිශේෂ මනෝභාවය’ නිසා ඇති කරගත් යම් වෛරයක් නිසා යැයි ඔහු කියන්නේ නම්, මේ ආණ්ඩුව වෙනුවෙන් ප්‍රශංසනීය ආකල්පයක් දැරිය හැකි යමක් (යුද ජයග්‍රහණයට අමතරව) මට පෙන්නුම් කර දීමට වික්ටර් අයිවන් සමත් විය යුතුයි. එවැනි කිසි ප්‍රතිතර්කයකින් තොරව, මා හුදෙක් වෛරයක් හෝ කෝපයක් නිසා ආණ්ඩුව විවේචනය කරති යි කීම, රණ්ඩුවකට මිස තර්කයකට ගැලපෙන්නක් නොවේ.

ඊළඟට, ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් ඔහු මට පවරන භුමිකාව ද සහසුද්දෙන්ම ප්‍රබන්ධයකි. ”ඉන්පසු ඔහු ජෙනරාල් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේ උද්‍යෝගිමත් ආධාරකරුවෙකු වූවා පමණක් නොව, ඔහු ලබන පහසු ජයග්‍රහණයක් ගැන සිහින දකින්නෙකු බවට ද පත්වූයේ” යැයි ඔහු මා සම්බන්ධයෙන් ලියයි.

1970 න් පසු, කිසි මැතිවරණ ව්‍යාපාරයක මා උද්‍යෝගීමත් ආධාරකරුවෙකු වී නැත. ජෙනරාල් ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරයේ දී මා එසේ වී ඇත්නම් හෝ ඔහුගේ පරාජය ‘පරිගණක මගඩියක්’ වශයෙන් මගේ පෑනෙන් ලියැවී ඇති ඕනෑම තැනක් වෙත්නම්, කරුණාකර මට එය පෙන්වා දෙන්නැ යි මම වික්ටර් අයිවන්ගෙන් ඉල්ලා සිටිමි. කෙසේ වෙතත්, වඩාත් වැදගත් වන්නේත්, හදිසි වන්නේත්, ආණ්ඩු වෙනසක් ඇති කර ගැනීම බවට තීරණය කිරීමෙන් පසු, ජෙනරාල් ෆොන්සේකාගේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන්, වික්ටර් අයිවන් කියන පරිදි, මා අංශක 180 කින් වෙනස් වූ බව සැබෑව. එහෙත් ඔහුගේ එම අපේක්ෂකත්වය වෙනුවෙන් මගේ පෑනෙන් වචනයක් ලියැවුණේ, ජනාධිපතිවරණය පැවැත්වෙන අවසාන සතියේ නිකුත් වූ රාවය කොලමේ පමණි. එය පවා, ඔහුගේ නමවත් සඳහන් නොකරමිනි. එම කොලම මා අවසන් කරන්නේ මෙසේ ය:

”මෙවැනි පාලකයෙකු (රාජපක්ෂ) වෙනස් කර ගැනීම පමණකින් පරමාදර්ශී හෙටක් බිහි වෙති යි මම විශ්වාස නොකරමි. එහෙත්, පවතින පාලකයා යටතේ උදා විය හැකි හෙට දවස, අද දක්වා අප මුහුණදුන් අත්දැකීම් අනුව, වඩා යහපත් හෙටක් නොවන බවට ඇති නිත්‍ය සහතිකය ඉන් අවලංගු වන්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදය මෙතැනින් ඉදිරියට එක අඩියක් හෝ තැබීමට නම් පාලනයේ වෙනසක් ඇති කර ගැනීම අනිවාර්ය වන බව මගේ හැඟීම යි. පවතින බලය වෙනස් කිරීමත්, ඒ වෙනසින් පසු ජනතාවක් වශයෙන් අවදියෙන් සිටීමත්, පැහැර හැරිය නොහැකි කර්තව්‍යයක් වන බව ද සිත්හි ධාරණය කර ගැනීම මැනවි.

පය ගසා සිටින මහ පොළොව මේ මොහොතේ ගිනි ගනී නම්, එතැනින් හැකි සැණින් අඩිය ඔසවනවා මිස, ඊළඟට අඩිය තියන්නේ සිසිල් ගඟ=ලකට දැ යි හිතන්නට තරම් ඉස්පාසුවක්, එකම අවියක් වශයෙන් එක චන්දයක් පමණක් හිමි මට නැති වීම ගැන සමාවන්න.”

දැන් මා මෙසේ සමාව භජනය කරන්නේ ඇයි? අත්‍යවශ්‍ය දේශපාලනික තීන්දුවක් ගැනීමට බල කෙරුණු අවස්ථාවක සදාචාරාත්මක මනාපයන් පසෙකින් තැබීමට සිදුවීමේ හෘද සාක්ෂියට මා මුහුණදුන් බැවිනි. මීට පසු ඕනෑම අවස්ථාවක මා සරත් ෆොන්සේකා ගැන ලියා ඇත්නම්, ඒ ඔහුගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම සඳහා මිස ඔහුගේ දේශපාලනයක් සඳහා නොවන බව වික්ටර් අයිවන් හොඳින් දනී.

අනිත් අතට, වික්ටර් අයිවන් මතු කරන මේ තර්කය මගින් වෙනත් පැත්තකින් ඔප්පු කෙරෙන්නේ කුමක් ද? මා ගැන ඔහු නගන මූලික චෝදනාව ඔහු විසින්ම නිෂේධ කරන බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට මා විරුද්ධ වන්නේ, zමා හදාවඩා ගත් දරුවෙකු වන් ජනවාර්ගික ප්‍රශ්නයට යුද්ධයකින් උත්තර දීමZ නිසා නම්, ඔහුට විරුද්ධව ජෙනරාල් ෆොන්සේකා පත්කර ගන්නැ යි මා ලීවේ කෙසේ ද? යුද්ධය ජනවාර්ගික ප්‍රශ්නයට පිළිතුරක් වශයෙන් සැලකුවේ සහ යුද්ධය ජයග්‍රාහී අන්තයක් වෙත ගෙන ගියේ මහින්ද රාජපක්ෂ වඩා සරත් ෆොන්සේකා ය.

”එහෙත්, වියන්ගොඩ ජීවත් වන මනෝභාවය තුළ ඔහුට හැම දෙයක්ම පෙනෙන්නේ, දේවල්වල තරමට නොව, ඊට වඩා ලොකුවට ය. හාල්මැස්සා පෙනෙන්නේ බෝල්ලෙකු ලෙස ය. බෝල්ලා පෙනෙන්නේ බලයෙකු ලෙස ය. බලයා පෙනෙන්නේ කෙලවල්ලෙකු ලෙස ය.” එසේ කියන්නේ, වික්ටර් අයිවන් ය.

මගේ දේශපාලනික ලියවිලි තුළ මේ ලක්ෂණය තිඛෙන බවට තවත් අය මට දෝෂාරෝපණය කිරීමට පිළිවන. සෑම දේශපාලඥයෙකුම ඊට අයත් ය. ඉතිං, ඔවුන් ද වික්ටර් අයිවන්ගේ මතය සමග එකඟ වෙනු නියතයි. අනිත් අතට, ජනාධිපතිවරයා පිළිබඳ මගේ විවේචනය උපදින්නේ, යුද්ධයෙන් පසුව නොව, ඔහු විරුද්ධ පක්ෂ නායකයා වීමටත් කලින් බව වික්ටර් අයිවන්ට මතක් කර දිය යුතුව තිබේ. දැන් මගේ ප්‍රශ්නය වන්නේ මෙයයි. මගේ එම ‘කැත ගතිය’ එක දිගටම තිබිය දී වික්ටර් අයිවන්ගේ එම ගතිය 2005 ට ආසන්න කාලයක සිට පරිවර්තනයකට ලක්ව, ”කෙලවල්ලෙකු හාල්මැස්සෙකු ලෙසට” අඩුවෙන් පෙනෙන්ට පටන්ගත්තේ ඇයි ද යන්න යි.

අද වන විට ක්‍රමය කෙරෙහි වැඩි බරක් තබන වික්ටර්, මීට පෙර, ක්‍රමය වෙනුවට පුද්ගලයා කෙරෙහි වැඩි බරක් තැබූවෙකු බව පෙන්නුම් කිරීමට මා තර්කයට ගන්නේ, චෞර රැජින සහ චෞර රාජ්‍යය යන කෘතිවල නම් දෙකත්, ඒවා ප්‍රකාශයට පත්කොට ඇති කාල අනුපිළිවෙලත් පමණකැ යි වික්ටර් කියයි. ඇත්ත, චෞර රැජින කෘතියේ අමුද්‍රව්‍ය බොහොමයක ස්වභාවය ගැන සාමාන්‍ය පාඨකයා දැනුවත් යැයි විශ්වාස කිරීම නිසා, එම කෘති පිළිබඳ දීර්ඝ විස්තර කිරීමකට නොගොස්, වික්ටර් අයිවන් එළැඹෙන ලිංගික සදාචාර විනිශ්චයන් මොන තරම් සාහසික ද යන්න පමණක් ගෙනහැර දක්වනු වස්, එක උදාහරණයක් පමණක් සඳහන් කෙළෙමි. මේ කෘති දෙක ගැන කතා කිරීමේ දී මගේ අරමුණ වුණේ, පුද්ගලයා සහ ක්‍රමය අතරේ වික්ටර් අයිවන්ගේ දෝලනය පෙන්වන අවස්ථාවක් වශයෙන් ඒවා ගෙනහැර දැක්වීම පමණි. කෙසේ වෙතත්, එම කාරණය වික්ටර් අයිවන්ම අවසානයේ දී ඔප්පු කොට ඇත. ඒ මෙසේය: ”චන්ද්‍රිකාගේ ධුර කාලය අවසන් වන කාල වකවානුව වන විට පොත් දෙකක් සඳහා වන සැලසුම් හා ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය මා ළඟ තිබුණි. එකක්, චෞර රැජින සඳහා ය. අනෙක චෞර රාජ්‍යය සඳහා ය. ඒ දෙකෙන් චෞර රැජින පළමුව පල කරන තැනකට යන්නට සිදුවුයේ, අධිකරණය විසින් දෙන ලද තීන්දුවක් නිසා 2006 අවසානයේ දී වෙනුවට 2005 අවසානයේ දී ඇයට ධුරය අහිමි වීම නිසා හා එහි රශ්මිය නිවී යන්නට පෙර පොත කරළියට ගන්නට මට අවශ්‍ය වූ නිසා ය.”

ක්‍රමය වෙනුවට පුද්ගලයා පසුපස එලවා එලවා පහර දෙන වික්ටර් අයිවන් කෙනෙකු මීට කලින් අප දැක ඇතැ යි මා කීවේ, ඔහු විසින්ම දැන් පිළිගන්නා මේ කියන කාරණයම තමයි. චෞර රාජ්‍යයත් තමන්ගේ අතේ තිබිය දී, චෞර රැජිනගේ රශ්මිය යන්නට කලින් ඊට මුල් තැන දුන් වික්ටර් අයිවන්, ඊළඟට ක්‍රමය ඉලක්ක කරගත්, චෞර රාජ්‍යය නැමති කෘතිය පළ කරන්නේ කවදා ද? 2010 දී ය/ එනම්, ඔහුම කියන අන්දමට, සියලූ කරුණු අතේ තිබියදීත්, චෞර රැජිණගෙනුත් අවුරුදු පහකට ආසන්න කාලයකින් පසුවයි. පුද්ගලයා සහ ක්‍රමය පිළිබඳ වික්ටර් අයිවන්ගේ ‘කැක්කුමේ’ ගැඹුර මොන තරම් වෙනස් ද යන්නට, මීට වඩා තවත් සාක්ෂි අවශ්‍ය යැයි මම නොසිතමි.

ගාමිණී වියන්ගොඩ