සිංහල, Colombo, Democracy, Governance, Human Rights, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

”මුල්ලවයික්කාල් හී මහා මිනිස් සංහාරයට ආණ්ඩුවට මූල්‍යමය හා යුද්ධායුධ ලැබෙද්දී, එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට ‛‛අතපෙවීමක්’’ නොවූයේ ද? ”


]යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශය, මැල්කම් රංජිත් රදගුරුවෙත යවන ලද විවෘත ලිපිය.[

අතිගරු මැල්කම් රංජිත් කාදිනල් තුමා,
අග්‍රරාජගුරුප්‍රසාදිතුමා, කොළඹ.
අග්‍රරාජගුරුප්‍රසාදීන් වහන්ස,

සභා නායකත්වය

රෝමානු කතෝලික සභාවේ යාපනය රදගුරු වසමේ සමස්ථ ගිහි පූජක ජනතාව නියෝජනය කරන අපි, ඔබ වහන්සේද, ඔබ වහන්සේගේ අගරදගුරු වසමේ වෙනත් අංශද උතුරු නැගෙණහිර දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලු විසඳීම අරබයා වත්මන් රජයේ ක්‍රියාකාරීත්වය හා කළමණාකාරීත්වය පිළිබද නිකුත් කරන ප්‍රකාශණයන් පිළිබදව අතිශයින් කනස්සල්ලට පත් වී සිටිමු.

පසුගිය දිනක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද නත්තල් සාදයේදී ඔබ වහන්සේ කරන ලද කතාවෙන් අනතුරුව ද මෙවන් ලිපියක් මගින් ඔබ වහන්සේ අමතන්නට අප තුළ සුවිශාල පෙළඹවීමක් ඇති වී තිබිණී. තෙරේසා මව්තුමියගේ නිකායේ ගරු ප්‍රියා කන්‍යා සොහොයුරිය නින්දිත දේශපාලන අරමුණු මත අත්අඬංගුට ගැනීමත් සමඟම ඔබ වහන්සේ ඉතා නිවැරදී ලෙස ඊට විරෝධය පළ කරමින් නත්තල වෙනුවෙන් පැවැත්වෙන සියලු රාජ්‍ය උත්සව වලට සහභාගීවීමෙන් වළකින බවට ප්‍රතිඥා දුන්නාහුය. රජයේ මෙම කණගාටුදායක හා නින්දිත ක්‍රියාවෙන් පසු, ඔබවහන්සේගේ නත්තල් පණිවුඩය අදාළ තේමාවට සීමා කරනවා වෙනුවට, අනවශ්‍ය පිරිදි දේශපාලනය ගාවා ගනිමින් ජනාධිපතිතුමාට ප්‍රශංශා කරන්නටත්, අන්තර්ජාතික ප්‍රජාවගෙන් එතුමා ආරක්ෂා කරගන්නටත් කටයුතු කර තිබිණි.

රජයේ පෙර කී සැකකටයුතු ක්‍රියාවන්ගෙන් පසු සභානායකයෙකුගේ නිවැරදි භූමිකාව එය ද?

එම අවස්ථාවේ සභාවේ කාදිනල්වරයෙකු ලෙස ඔබවහන්සේට හිමි පූජණීය ධූරයට ගරු කිරීමක් වශයෙන් එයට විරෝධය පළකර ලිවීමෙන් වැළකුණෙමු. එහෙත් අදාළ උත්සවයට ඔබතුමා සහභාගීවීම හා ක්‍රියාකළ ආකාරය තුළ දැඩිව පිළිබිඹු වනුයේ මධ්‍යතන යුගයේදී සභාව නොමගට ඇදී යාමේ අනතුරට පත්ව දැඩි දුෂ්කරතාවයට පත්ව තිබියදීත් එකිනෙකාට මුක්කු ගැසූ සභාවේ හා රාජ්‍යයේ සම්බන්ධතාවයයි.

කෙසේ වුවද ජිනීවා හී මානව හිමිකම් කොමිසමේ මෑතකාලීන සිදු වීම් පිළිබදව ඔබවහන්සේ මෑතකදී කළ ප්‍රකාශ අපගේ හැඟීම් සහ අදහස් ඔබතුමාගේ කාරුණික අවධානය පිණිස යොමු කරන්නට අපට බල කර ඇත. කාදිනල්වරයෙකු ලෙස ඔබවහන්සේ දරන්නා වූ උතුම් නිළය විශ්වීය තනතුරක් බැවින් හුදු සිංහල බහුතරයක් ජීවත්වන ප්‍රදේශයක රදගුරුවරයෙකුට වඩා ‛‛ඒකී උතුම් තත්ත්වයට’’ සරිලන අකාරයට ඔබවහන්සේගේ චින්තනය හා ක්‍රියාව සකස් විය යුතු බව නිහතමානීව සිහිපත්කරනු කැමැත්තෙමු.

ඔබ වහන්සේ ශ්‍රී ලාංකීය රදගුරු සම්මේලනයේ ප්‍රධානියා නොවේ. එහෙත් ඔබවහන්සේගේ අදහස් අනෙක් රදගුරු තුමන්ලා විශේෂයෙන්ම යුද කලාපයන් හී දෙමළ රදගුරු තුමන්ලා විසින් දරනු ලබන අදහස් නියෝජනය කරන්නේ නැති වුවද, අග්‍රරාජගුරුප්‍රසාදීන් හා කාදිනල්වරයෙකු ලෙෂ ඔබ වහන්සේට හිමි නිළ තත්ත්වය නිසා ඔබ වහන්සේගේ ප්‍රකශය මුලු ශ්‍රී ලාංකීය සභාවේම නායකයාගේ ප්‍රකාශය ලෙස බොහෝ දෙනා වරදවා තේරුම් ගනිති.

ඔබ වහන්සේ, හඬක් නැති දීනතාවට හෙළන ලද, ව්‍යසනයට ගොදුරු වුනු මිනිසුන් වෙනුවෙන් නැගී සිටීම නිසා මරණයට පත් වුණු ජේසුස් වහන්සේගේ ජීවමාන ක්‍රියාකාරී ප්‍රාදේශීය කිතුනු සභාවක නායකයා වන්නෙහි ය. මෙවන් ප්‍රකාශයක් කරන්නට පෙර අඩුම තරමින් ඔබවහන්සේගේම රදගුරු වසමේ සාධාරණය හා මානව හිමිකම් පිළිබදව වැඩි අවධානයක් ඇති පියතුමන්ලා සමඟ සාකච්ඡා කර එම අදහස් යොදා ගන්නා ලෙස අපි යෝජනා කරමු.

අප බලන්නට පැමිණ ඇති හා මේ ප්‍රදේශයේ වත්මන් වාතාවරණය ගැන හොඳින් දන්නා ඒ බොහෝ දෙනා අපි අගය කරමු.

තීරණාත්මක 1970 දශකයේ සිටම හිටපු රදගුරු දියෝගු පිල්ලේ හිමිපාණන්ගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා රදගුරු සම්මේලනය උතුරු නැගෙණහිර ප්‍රදේශ පිළිබදව අදාළ ප්‍රදේශවල රදගුරුතුමන්ලා සමඟ කෙරෙන්නාවු විමසීමකින් තොරව ප්‍රකාශ වැනි දෑ නිකුත් නොකරන ප්‍රතිපත්තියක පිහිටා සිටියේ ය. එහෙත් ඔබවහන්සේ වැනි අයගේ ප්‍රකාශ තුළින් කතෝලික සභාවද දැන් බෙදී ඇති බවක් පිටතට පෙනෙන්නට තිබීම කණගාටුවට කරුණකි.

පසුගිය වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලය සිය වාර්තාව එළිදැක්වීමත් සමඟම ඔබවහන්සේ කඩිමුඩියේම එය ‛‛අන්තර්ජාතික ප්‍රජාවේ කුමන්ත්‍රණයක්’’ බැව් කියමින් ජනාධිපතිතුමා රැකගන්නට පෙරට ආවෙහිය. ප්‍රධාන වග උත්තරකරු වූ වත්මන් ජනාධිපතිතුමා රැකගැනීමට ඔබවහන්සේ ගත් එම ලද බොළඳ උත්සහය නිසා අපි විමතියට පත් වීමු.

මෑතකදී ඔබවහන්සේ ‛‛ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ඉදිරිපත් කිරීම……ශ්‍රි ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට අනවශ්‍ය ලෙස අතපෙවීමක්’’ බව ප්‍රකාශ කළ බවක් වාර්තා විය. එවන් ‛‛අතපෙවීම්’’ වූ කලී මානව හිමිකම් පිළිබදව සැළකිලිමත්වන රාජ්‍යයන් හා පාර්ශවයන් විසින් කෙරෙන්නාවූ මිත්‍රශීලී සිහිපත් කිරීම් වලට පයින් ගසමින් දශක ගණනාවක් පුරාම ශ්‍රී ලංකාවේම පුරවැසියන් කොට්ඨාශයකගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් කැඳවා ගත් ඒවා බව බැගෑපත්ව සිහිපත් කරමු. මුල්ලවයික්කාල් හී මහා මිනිස් සංහාරය සඳහා ලංකා ආණ්ඩුවට මූල්‍යමය හා යුද්ධායුධ ලෙස අසීමිතව ආධාර ලැබෙද්දී, එය ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට හා ඒකීයත්වයට ‛‛අතපෙවීමක්’’ නොවූයේ කෙසේද? මහා සංහාරය සිදුවන අතරතුර ඔබවහන්සේලා එම විනාශය නොදුටුවන් සේ නිහඬව සිටි ආකාරය නොදන්නා කෙනෙක් නැත.

හිට්ලර්ගේ මහා සංහාරය සිදු වූයේද ‛‛ස්වෛරීත්වය හා ඒකීයත්වය පමණක් නොව ‛‛ප්‍රජාතන්ත්‍රවාදය’’ යැයි කියනු ලබන සංකල්පවලටද මුවා වෙමින් ය. එපමණක් නොව සිදුවෙමින් පැවති දේ ඉදිරියේ ඇස්කන් පියාගෙන සිටි ජර්මානු රදගුරුවරුන් බහුතරයකගේ නිහැඬියාවද උපයෝගි කර ගනිමින් බව ද මතක් කරනු කැමැත්තෙමු. නොහික්මුණු රාජ්‍යපාර්ශවයන් මානව හිමිකම් පිළිපැදීම කෙරෙහි පොළඹවා ගැනීමේ අරමුණ පිණිස මූලිකවම සැළසුම් වූ මානව හිමිකම් ප්‍රඥප්තිය බිහිවීම කෙරෙහි ඒකී සංහාරය සුවිශාල ලෙස බලපෑ බව එහි මූලාරම්භය දෙස බලන විට ඉතා පැහැදිලිය.

උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම ඇති කරන ලද්දේ රජය වෙත එල්ල වූ පීඩනය නිසා මෙන්ම, සිදු වූ සංහාරික අපරාධ ආවරණය කරගනු පිණිස බව සියලු ඥාණාන්විත පුද්ගලයෝ(සිංහලයන් බොහෝ දෙනෙකුද ඇතුලු) දනිති. එහි වාර්තාවද පැහැදිලිවම එකී අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස සැළසුම් වී තිබුණ ද සුභවාදී ප්‍රගතියක ප්‍රවේශයන් බවට පත් කර ගත හැකි නිර්දේශ කිහිපයක් එහි අන්තර්ගත බව අපි පිළිගනිමු. ‛‛මේකී අනිසි මැදිහත් වීම්වලට දියහැකි බලවත්ම පිළිතුර වන්නේ උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ නිර්දේශ විගස ක්‍රියාත්මක කිරීම’’ බවට ඔබවහන්සේ දරණ අදහස මෙන්ම එය ක්‍රියාත්මක කිරීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගතයුතු බවට ඔබතුමා රජයෙන් කරන්නා වූ ඉල්ලීම ගැන අපි සතුටු වෙමු.
රජයේ පාර්ශවයෙන් ඒ සඳහා කිසිදු ප්‍රයත්නයක් නොමැති වීම ගැන අපි කණගාටු වෙමු. දෙමළ ජනතාව සියඑ ආකාරයෙන් යටපත් කිරීමෙන් පසු එවැන් අවශ්‍යතාවයක් යළි පැනනගින්නේ නැති බැවින් එතෙක් කල්මැරීම සඳහා යොදාගන්නා ලද තාවකාලික වාද්‍ය ඛණ්ඩයක් මෙය යොදා ගන්නට ඇති බවක් පෙනෙන්නට ඇත. මේ කල්මැරීම දැන් යුද්ධයේ අවසාන අදියරේ වූ ඝාතන පිළිබදව කෙරෙන හමුදා විමර්ෂණයක වේශයෙන් කරළියට පැමිණ ඇති බව වාර්තා වේ. මෙය සොරා ඇල්ලීමට සොරෙකු යෙදවීමක් වේද?

ආණ්ඩුව ලෝකයේ අවධානය වෙනතක යොමුකරනු පිණිස උතුරු නැගෙණහිර සංවර්ධනය කිරීමේ තුරුම්පුව යොදා ගනිමින් සිටී. ලැබෙන ආධාරවලින් විශාල ප්‍රමාණයක් තම වාසිය සලසා ගැනීම සඳහා යොදා ගන්නා අතර අදාල සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතිනුයේ උතුරු නැගෙණහිර ජනතාවගේ නිසි සහභාගීත්වයෙන් හෝ කළමණාකාරීත්වයෙන් තොරවය. අපට ඉක්මනින් අවශ්‍ය වන්නේ කාපටි පාරවල් හෝ බැංකු, හෝටල් හෝ නොයෙක් සංදර්ශණ නොවේ. නමුත් අවශ්‍ය වන්නේ අප ප්‍රදේශය තුළ අපගේ පැවැත්ම තහවරු කරන ක්‍රියාමාර්ග ඇති කිරීමයි. එහිදී ඕනෑම කෙනෙකුට සිට කැමැත්තෙන්ම මේ ප්‍රදේශයේ ජීවත්වීමට ඇති අයිතිය අපි ප්‍රතික්ෂේප නොකරමු. එහෙත් අප ප්‍රදේශය තුළ අපවම සුලුතරයක් බවට පත්වන ආකාරයට ජන සංයුතියට හානිකිරීමේ දුෂ්ඨ සැළසුම් සහිත ජනපදකරණය අපි ප්‍රතික්ෂේප කරමු. මෙය දිනටමත් මහා පරිමාණයෙන් වෙමින් පවතී.

ආණ්ඩුව ප්‍රතික්ෂේප කළද, අපේ අහිමිවීම් සුවිශාලය.,පිරිමැසිය නොහැකිය.., යතාර්තවාදී හා කල්පවත්නා විසඳුමක් ප්‍රමුඛ අවශ්‍යතාවය වී ඇත. එය ලඟාකර ගත හැක්කේ අවංකව කෙරෙන සත්‍ය ගවේශණයකින්, වගවීමෙන්, සාධාරණය ඉටුකිරීමෙන්, වැරදි නිවැරදි කිරීමෙන්, සමගිවීමෙන් හා අනෙක් අයගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේන් පමණි.
ඇත්තෙන්ම අවශ්‍ය වී ඇත්තේ, කාරයක්ෂම, විශ්වාසනීය හා අපක්ෂපාතී යාන්ත්‍රණයකි. ‛‛ධර්මිෂ්ඨකම, සාපිපාසාවන්නෝ භාග්‍යවන්තයෝය’’ කියු අප ගුරු ස්වාමීන් වහන්සේගේ මාර්ගෝපදේශය අනුගමනය කරමින් මේ අරමුණ කරා යෑම පිණිස ඔබවහන්සේගේ පූජණීය ධූරය යොදා ගන්න ලෙස අපි ආයාචනා කරමු. ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ශාන්ත සභාව පීඩනයට ගොදුරු වන්නන්ගේ හා හඬක් නැති වූවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉදිරිපත්වීම වැඩි වන තරමට බාහිර මැදිහත්වීම් සහ අතපෙවීම් සඳහා ඇති අවස්ථා අඩුවන බව අපි විශ්වාස කරමු.

ක්‍රිස්තුස්වහන්සේට හා උන්වහන්සේගේ සභාවට සේවය කිරීම සඳහා යැදුමෙන් සහය වන බවට සහතික වෙමින්, ක්‍රිස්තුස් වහන්සේ තුළ ඔබේ දරු, ඒ. සන්තියාපිල්ලේ( යුක්තිය හා සාමය කාර්‍යංශය)

පරිවර්තනය – අජිත හැඩ්ලි පෙරේරා
(රාවය පුවත් පතින් උපුටා ගන්නා ලදී)