Colombo, Featured Articles, Features

හෝටල් සදා කෙලෙසන ලෝක උරුම දුම්බර අඩවිය

‘‘2010 වසරේ දී නීති විරෝධී ලෙස ඉදි කිරීම් ආරම්භ කළ හිටපු ගුවන් හමුදාපති ගේ හෝටලයේ වැඩ කටයුතු අද වන විට අවසන් කර තිබේ. සුදුගල ප්‍රදේශයේ ඉදිකළ මේ හෝටලය පිහිටා ඇත්තේ දුම්බර අඩවියේ හොඳින් සැඟවගත් ප්‍රදේශයක ය. රත්තොට – ඉළුක්කුඹුර (බී 274 මාර්ගය) මාර්ගයේ 27 හා 28 කිලෝමීටර කණු අතරින් සුදුගල ප්‍රදේශය දක්වා විහිදී ඇති කරත්ත මාර්ගයේ කිලෝමීටර 8 ක් පමණ දුරින් මාර්ගය අවසානයේ මේ හෝටලය පිහිටා ඇත. රෝයි ද සිල්වා යන අයට අයත් ව තිබූ රත්නින්ද, සුදුගල හෙක්ටයාර 21.915 ක් වන ඉඩම හිටපු ගුවන් හමුදාපති, මාණ්ඩලික ප්‍රධානී එයාමාෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් මිල දී ගනු ලැබ මේ විශාල හෝටලය ඉදි කරන ලදි. මේ ඉඩම ලග්ගල ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අනුව පවරා ගනු ලැබීමට නියෝග නිකුත් කළ ඉඩමකි. එවන් ඉඩමක කිසිදු ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කළ නොහැකි වුවත් ගුවන් හමුදා සෙබළුන් ගේ ආරක්ෂාව යටතේ මේ හෝටලය ඉදි කළ අතර අද වන විට ද ඒ ප්‍රදේශයට කිසිවකුට ඇතුළු නොවිය හැකි ආකාරයට ආරක්ෂාව යොදා ඇත. මේ හෝටලයේ ප්‍රධාන පිවිසුම් මඟ වන රත්තොට – ඉළුක්කුඹුර මාර්ගයේ “Mt. Rehaly” යනුවෙන් සඳහන් නාම පුවරුවක් ද ඉදි කර තිබුණි. ඒ නාම පුවරුව යටින් “පරිසර මවු නිති සුරකිමු” ලෙස සඳහන් කරමින් මේ හෝටලයෙන් දුම්බර අඩවිය වැනැසීම සිදු කැරේ. ඒ බව හොදින් තහවුරු වන්නේ මේ හෝටලයට පිවිසීමට දුම්බර අඩවිය ඔස්සේ තවත් මාර්ගයක් ලෙස කබරගල, නිකොලොය හරහා සුදුගල දක්වා මාර්ගයක් වනාන්තර හා පතන් බිම් ඔස්සේ ඉදි කිරීමෙනි. නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින රටේ වගකිව යුතු පුද්ගලයන් ම තම බලය අයුතු ලෙස යොදවා නීති උල්ලංඝනය කරමින් මෙවන් දෑ සිදු කිරීම කනගාටුවට කරුණකි. ‘‘ ‘‘එහෙත් “නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ” භාරකරුවාවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා “නකල්ස් පරිසර ආරක්ෂක ප්‍රදේශයේ” භාරකරුවා වන මධ්‍යම පරිසර අධිකාරිය දුම්බර අඩවිය වනසන්නන්ට රිසිසේ ක්‍රියා කිරීමට ඉඩ දී නිද්‍රාශීලී ව සිටිති. එහි ප්‍රතිඵලය වන්නේ අද වන විට දුම්බර අඩවියේ සෑම අස්සක් මුල්ලක් නෑර ම හෝටල් ඉදිකිරීම ය.‘‘ මෙසේ සදහන් වන්නේ තම මුග්ධ ව්‍යාපාරික ආශාවන් මුදුන්පත්කර ගැනීම සදහා ලෝක උරැමයක් වූ දුම්බර කදුවැටියට හෝටල් සහ විවිධ ඉදිකිරීම් නිසා සිදු වී ඇති සහ දැනටත් සිදුකරමින් පවතින මහා විනාශය පිළිබදව පරිසර සංරක්ෂණ භාරය විසින් සකසා ඇති ලිපියකය. මෙසේ තම බලය මුග්ධ ලෙස භාවිතා කරමින් මෙවන් වූ ලෝක උරැමයන්ගේ විනාශ කිරීමට ඉඩ දී බළධාරීන්ද ඔහේ බලා සිටි. එවන් අවස්ථාවක පරිසර සංරක්ෂණ භාරයේ මෙම ලිපිය අප සම්පූර්ණයෙන් පළ කරනු ලබන්නේ එවන් වූ මහා විනාශයන්ට එරෙහිව පෙළ ගැසීමට පාඨක ඔබටත් ආරාධනා කරමිනි.

මේ එම සම්පූරණ ලිපියයි.

ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක් පමණ වන දුම්බර (නකල්ස්) අඩවියේ මුළු ලොවින් ම මෙහි පමණක් වාර්තා වන ශාක විශේෂ 6 ක්, පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 16 ක් හා අපෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 5 ක් වෙති. එපමණක් නො ව මහවැලි ගඟේ පෝෂක බිම් අතුරින් 30% ක් ආවරණය වන්නේ ද දුම්බර අඩවියෙනි. එවන් සුවිශේෂත්වයක් හිමි දුම්බර අඩවියේ ආරක්ෂාව තහවුරු කිරීම සිදු කළ යුතු අවධියක දුම්බර අඩවිය පුරා හෝටල් ඉදිකරමින් දුම්බර අඩවිය වැනසීමේ මහා මෙහෙයුමක් ක්‍රියාත්මක වේ.

එහෙත් “නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ” භාරකරුවාවන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා “නකල්ස් පරිසර ආරක්ෂක ප්‍රදේශයේ” භාරකරුවා වන මධ්‍යම පරිසර අධිකාරිය දුම්බර අඩවිය වනසන්නන්ට රිසිසේ ක්‍රියා කිරීමට ඉඩ දී නිද්‍රාශීලී ව සිටිති. එහි ප්‍රතිඵලය වන්නේ අද වන විට දුම්බර අඩවියේ සෑම අස්සක් මුල්ලක් නෑර ම හෝටල් ඉදිකිරීම ය.

මේ මොහොතේ පවා දුම්බර අඩවියේ ජෛව ප්‍රජාවටත් අනාගත පැවැත්මටත් බලපෑම් ඇති වන ආකාරයෙන් තැනින් තැන සංචාරක හෝටල් ගණනාවක් ඉදි කර තිබේ. තවත් හෝටල් ගණනාවක් ඉදි කරමින් පවතී. නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ ගීරිස්වත්ත, කොස්ගොල්ලවත්ත, කෝබට්ගැප්, අට්ටලවෙට්ටුව (තංගප්පුව මාර්ගයේ), ගෝනමඩවත්ත(රිවස්ටන් ප්‍රදේශයේ), පතන හා සුදුගල යන නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීමට නියමිත ප්‍රදේශයන්හි පවා මේ වන විට ද හෝටල් ඉදිකර තිබෙනු දැක ගත හැකි ය.

2010 වසරේ දී නීති විරෝධී ලෙස ඉදි කිරීම් ආරම්භ කළ හිටපු ගුවන් හමුදාපති ගේ හෝටලයේ වැඩ කටයුතු අද වන විට අවසන් කර තිබේ. සුදුගල ප්‍රදේශයේ ඉදිකළ මේ හෝටලය පිහිටා ඇත්තේ දුම්බර අඩවියේ හොඳින් සැඟවගත් ප්‍රදේශයක ය. රත්තොට – ඉළුක්කුඹුර (බී 274 මාර්ගය) මාර්ගයේ 27 හා 28 කිලෝමීටර කණු අතරින් සුදුගල ප්‍රදේශය දක්වා විහිදී ඇති කරත්ත මාර්ගයේ කිලෝමීටර 8 ක් පමණ දුරින් මාර්ගය අවසානයේ මේ හෝටලය පිහිටා ඇත. රෝයි ද සිල්වා යන අයට අයත් ව තිබූ රත්නින්ද, සුදුගල හෙක්ටයාර 21.915 ක් වන ඉඩම හිටපු ගුවන් හමුදාපති, මාණ්ඩලික ප්‍රධානී එයාමාෂල් රොෂාන් ගුණතිලක මහතා විසින් මිල දී ගනු ලැබ මේ විශාල හෝටලය ඉදි කරන ලදි. මේ ඉඩම ලග්ගල ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතට අනුව පවරා ගනු ලැබීමට නියෝග නිකුත් කළ ඉඩමකි. එවන් ඉඩමක කිසිදු ඉදිකිරීමක් හෝ සංවර්ධන කටයුත්තක් සිදු කළ නොහැකි වුවත් ගුවන් හමුදා සෙබළුන් ගේ ආරක්ෂාව යටතේ මේ හෝටලය ඉදි කළ අතර අද වන විට ද ඒ ප්‍රදේශයට කිසිවකුට ඇතුළු නොවිය හැකි ආකාරයට ආරක්ෂාව යොදා ඇත. මේ හෝටලයේ ප්‍රධාන පිවිසුම් මඟ වන රත්තොට – ඉළුක්කුඹුර මාර්ගයේ “Mt. Rehaly” යනුවෙන් සඳහන් නාම පුවරුවක් ද ඉදි කර තිබුණි. ඒ නාම පුවරුව යටින් “පරිසර මවු නිති සුරකිමු” ලෙස සඳහන් කරමින් මේ හෝටලයෙන් දුම්බර අඩවිය වැනැසීම සිදු කැරේ. ඒ බව හොදින් තහවුරු වන්නේ මේ හෝටලයට පිවිසීමට දුම්බර අඩවිය ඔස්සේ තවත් මාර්ගයක් ලෙස කබරගල, නිකොලොය හරහා සුදුගල දක්වා මාර්ගයක් වනාන්තර හා පතන් බිම් ඔස්සේ ඉදි කිරීමෙනි. නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින රටේ වගකිව යුතු පුද්ගලයන් ම තම බලය අයුතු ලෙස යොදවා නීති උල්ලංඝනය කරමින් මෙවන් දෑ සිදු කිරීම කනගාටුවට කරුණකි.

ඒ වරද පෙන්නා දුන් විට ද තම බලය අයුතු ලෙස භාවිත කරමින් මේ හෝටලය අඛණ්ඩ ව පවත්වාගෙන යෑම පිළිබඳ ව අපි කම්පාවට පත් වෙමු.

පිටවල, ගෝනමඩවත්තේ අක්කර දෙකක භූමියක ඉදිකර ඇති අස්නාර් එස්. මුසාජි යන අයට අයත් හෝටලය හා ඒ ආශ්‍රිත වනාන්තර ඉඩම් නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීමේ කටයුතු නතර කිරීම සඳහා ද පියවර ගෙන තිබේ. ඉඩම් අමාත්‍යංශය මඟින් ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ 50 වන වගන්තිය යටතේ අමාත්‍යවරයාට (හිටපු ඉඩම් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින්) ඇති බලතල භාවිත කරමින් පවරා ගැනීමේ කටයුතු මෙලෙස නතර කිරීමට පියවර ගෙන තිබීම කනගාටුවට කරුණකි. මෙය සංරක්ෂණ කටයුතු සඳහා අහිතකර බලපෑම් ඇති කරන වැරැදි පූර්වාදර්ශ ලබා දීමකි.

ගීරිස්වත්තේ හෝටලය ඉදි කර ඇත්තේ පොලොන්නරුවේ රිළවුන් පිළිබඳ ව පර්යේෂණ සිදු කළ ආචාර්ය වුල්ෆ ඩිටස් නම් විදේශිකයා ය. මහල් තුනකින් සමන්විත මේ හෝටලය විදේශීය පර්යේෂකයන් සඳහා ලබා දීමට නියමිත බව සඳහන් වේ. ඉතා සුවිශේෂී වනාන්තරයක් ඇසුරේ මේ ආකාරයෙන් විදේශිකයකු පවත්වාගෙන යන හෝටලයකින් සිදු විය හැක්කේ කුමක් ද? මෙමඟින් කවර ආකාරයේ ජාන සම්පත් අප රටින් පිටමං වනු ඇද්ද යන්න පිළිබඳ ව බලධාරීන් සිතා බැලිය යුතු ය.

පිටවල, ගෝනමඩවත්තේ පිහිටි මාතලේ, කෝට්ටේගොඩ බතික් ආයතනයේ හිමිකරුට අයත් ග්‍රීන් නෙස්ට් නම් නිවාඩු නිකේතනය සමස්ත දුම්බර අඩවියට ම මහා හිසරදයකි. මෙහි හිමිකරු වන නිශාන්ත කෝට්ටේගොඩ (සුසන්ත පුංචිනිලමේ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරන ලේකම්) තම දේශපාලන සබඳතා භාවිත කරමින් දුම්බර අඩවියේ හා ඒ ආශ්‍රිත පැරැණි ගම්මානවල ඉඩම් විවිධ පුද්ගලයන්ට ලබා දෙයි. ඒ ඉඩම්වල මේ වන විට හෝටල් ඉදිකිරීම සිදු කරයි. මෙහි දී රටේ ඉහළ ම පෙළේ අය ගේ නම් භාවිත කරමින් මේ ක්‍රියාවලියේ නිරත වනු පෙනෙයි. මේ නිසා දුම්බර අඩවියේ ඇටැන්වල වැනි සාම්ප්‍රදායික ගම්මානවල ජනතාව ගේ ජීවන පැවැත්මටත් දුම්බර අඩවියේ ජෛව ප්‍රජාව ගේ ජීවන පැවැත්මටත් බොහෝ බලපෑම් එල්ල වී ඇත.

මේ ග්‍රීන් නෙස්ට් නිවාඩු නිකේතනයේ නැවතී සිටි පර්යේෂණ කණ්ඩායමක් පසුගිය දා දුම්බර අඟ කටුස්සන් විශාල ප්‍රමාණයක් වනාන්තරයෙන් එකතු කර තිබුණි. මේ තත්ත්වයන්ට දුම්බර අඩවියට මුහුණ දීමට සිදු වන්නේ ද මේ හානිකර හා අනවසර හෝටල් නිසාවෙනි.

පිටවල, ගෝනමඩවත්තේ පිහිටි ඩී. එච්. සී. මනතුංග යන අයට අයත් අක්කර 149 කින් යුත් වනාන්තර භූමිය හා ලග්ගල බංගලාව හෙවත් කොතලාවල බංගලාව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීමේ කටයුතු නතර කිරීමට ද මහත් බලපෑම් සිදු වෙමින් පවතී. කෝබට්ගැප් ප්‍රදේශයේ උපුල් හටන්ගොඩ යන අය පවත්වාගෙන යන හෝටලයට විදේශීය සංචාරකයෝ නිරන්තරයෙන් පැමිණෙති. මෙසේ පැමිණෙන විදේශිකයෝ අනවසරයෙන් සංරක්ෂණ වනාන්තර තුළට ද ඇතුළු වෙති. ඔවුන් එහි සිදු කරන ක්‍රියාකාරකම් පිළිබඳ ව සොයා බැලීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රමාණවත් නිලධාරීන් නොමැත. මේ තත්ත්වය දැනට දෙගුණ තෙගුණ වී ඇත්තේ අලුතෙන් සංචාරක හෝටල් බොහොමයක් දුම්බර අඩවිය පුරා පිහිටා තිබෙන නිසා ය.

හෙක්ටයාර 21,000 ක් පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක් පමණ ආවරණය වී ඇත. මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රීක්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්‍රීක්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ.

1995 අංක 23 දරන පනතින් සංශෝධිත 1907 අංක 16 දරන කැලෑ ආඥා පනතට අනුව, සංශෝධිත පනතින් ලැබුණු බලතල ප්‍රකාර ව 3 අ(1) වැනි වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ වනාන්තර හෙක්ටයාර 17825 ක් පමණ වන භූමි ප්‍රමාණයක් ලංකාවේ ප්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමියේ පෞද්ගලික ඉඩම් හා වෙනත් රජයේ ඉඩම් හෙක්ටයාර 2000 ක් පමණ වේ. ඒවා මේ වන විට ක්‍රමාණුකූල ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතී. එහෙත් එහි මන්දගාමි ස්වරූපය හා වන්දි ගෙවීම්වල ප්‍රමාද වීම් හේතුවෙන් මේ වනාන්තර ඉඩම් පවරා ගැනීමේ කටයුතු ව්‍යාකූල තත්ත්වයට පත් ව තිබේ. පවරා ගැනීමට යෝජිත බොහෝ ඉඩම් වල ඉහත සඳහන් පරිදි හෝටල් ඉදි කර ඇත. ඉඩම් පවරා ගැනීමේ මන්දගාමි ස්වරූපය ප්‍රයෝජනයට ගෙන සමහරුන් මේ ඉඩම් බැංකුවලට උකස් කර මුදල් ලබා ගෙන ඒවා සින්න වීමට ඉඩ හරී. එසේ බැංකුවලට සින්න වූ සංරක්ෂණ වනාන්තරයට පවරා ගැනීමට යෝජිත ඉඩම් ගණනාවක් දුම්බර අඩවිය පුරා තැනින් තැන දැක ගත හැකි වේ.

මෙවන් තත්ත්වයකට ලක්ව තිබෙන්නේ ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශය යි. මහවැලි ජල පෝෂක ප්‍රදේශ අතුරින් 30% ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. මීටර් 760 සිට මීටර් 1900 දක්වා උච්චත්ව පරාසය ඇසුරේ පිහිටි කදුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන්හි අධික විවිධත්වයක් ද දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වලාකුළු වනාන්තර), කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.

දුම්බර අඩවියේ මේ විවිධ වූ පරිසර පද්ධතීන්හි කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් පමණ හඳුනාගෙන තිබේ. ඒ අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් 27.4% ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් 17.3% ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. කීන විශේෂයක් වන Calophyllum cuneifolium, දඹ විශේෂ වන Syzygium congylos, Syzygium madugodensis හා Eugenia apica යන ශාක විශේෂ හතර සහ මෑතක දී සොයා ගත් Ilexknucalensis ශාකය දුම්බර අඩවියට ආවේණික ශාක වෙයි. දුම්බර අඩවියේ පිටවල පතන වැනි පතන් බිම්වල දක්නට ලැබෙන පතන් අල (Brachystelma lankana) ශාකය ද දුම්බර අඩවියට ආවේණික ශාක අතර වෙයි.

විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශ්‍රීත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ දැක ගත හැකි උඩවැඩියා ශාක විශේෂ අතර Adrorhizon purnuracens, Eria bicolor, Podochilus falcatus, Malaxis purpurea, Pholidota imbricate හා රාස්සන (Vanda tesserllata) වැනි ශාක වෙයි.

මෙහි මීවන ශාක විශේෂ 42 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වනElaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllantha හා Psilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වේ.

දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.

උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. එය ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශයෙන් වාර්තා වන මේ කාණ්ඩ හයට අයත් සත්ත්ව විශේෂ 1294 ප්‍රතිශතයක් ලෙස ගත්විට 37% ක් තරම් ඉතා ඉහළ අගයක් ගනී. ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක් පමණ වන දුම්බර කඳුකරයේ මේ තරම් විශාල සත්ත්ව ප්‍රජාවක් ජීවත්වීම මේ ප්‍රදේශයේ සංරක්ෂණ අවශ්‍යතාව කඩිනම් හා විධිමත් කිරීමට ප්‍රධාන හේතුවක් වේ.

ලංකාවේ අභ්‍යන්තර ප්‍රදේශයේ වාර්තා වන පෘෂ්ඨවංශි සත්ත්ව විශේෂ 813 අතුරින් විශේෂ 272 ක් දුම්බර අඩවියෙන් වාර්තා වී තිබේ. එය 33% ක ඉහළ ප්‍රතිශතයකි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 16 ක් ජීවත්වන්නේ දුම්බර කඳුකරයේ පමණකි. නැතහොත් ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ අතුරින් 5% ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙනි. ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 310 අතුරින් විශේෂ 91 ක් නකල්ස් කඳුකරයෙන් වාර්තා වන අතර එය 29% ක ඉතා ඉහළ ප්‍රතිශතයකි.

දුම්බර කඳුකරයේ සුවිශේෂත්වය වන්නේ එහි වාර්තා වන ලංකාවට ආවේණික පෘෂ්ඨවංශී සත්ත්ව විශේෂ 91 අතුරින් විශේෂ 16 ක් නැතහොත් 18% ක් දුම්බර කඳුකරයට ආවේණික පෘෂ්ඨවංශීන් වීම ය. දුම්බර කඳුකරයේ වාර්තා වන උභයජීවීන් අතුරින් විශේෂ 8ක් වාර්තා වන්නේ දුම්බර කඳුකරයෙන් පමණි. ඒ විශේෂ රැකොෆොරිඩේ (Rhacophoridae) කුලයට අයත් විශේෂ හතක් සහ ඩික්රොග්ලොසිඩේ (Dicroglossidae) කුලයට අයත් එක් විශේෂයක් වශයෙන් වර්ග කළ හැකි ය. රැකොෆොරිඩේ කුලයට අයත් දුම්බර පඳුරු මැඬියා (Pseudophilautus fulvus), හොෆ්මාන් ගේ පඳුරු මැඬියා (Pseudophilautus hoffmanni), විශාල පාදැති පඳුරු මැඬියා (Pseudophilautus macropus), මුරි ගේ පඳුරු මැඬියා (Pseudophilautus mooreorus), ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා (Pseudophilautus steineri), ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා (Pseudophilautus stuarti) හා හැන්කනයිගේ පඳුරු මැඬියා (Pseudophilautus hankeni) සහ ඩික්රොග්ලොසිඩේ කුලයට අයත් දුම්බර ගල්පර මැඬියා (Nannophys marmorata) යන විශේෂ අට දුම්බර කඳුවැටියට ආවේණික වෙයි.

දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් තුනක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා (Labeo fisheri) හා දුම්බර පෙතියා (Puntius martenstyni) දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගඟේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්‍ය විශේෂ තුන නම් දුම්බර ගල්පාඩියා (Garra phillipsii), මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා (Puntius srilankensis) හා දුම්බර කරඇදයා (Laubuca insularis) ය.

බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගඟේ දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.

සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා එක් සර්ප විශේෂයක් දුම්බර අඩවියට ආවේණික වේ. එනම් ඇගමිඩේ Agamidae) කුලයට අයත් කටුසු විශේෂ දෙකක් වන දුම්බර අඟ කටුස්සා හෙවත් පත්‍ර අඟ කටුස්සා(Ceratophora tennentii), දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා (Cohpotis dumbara), ගෙකොනිඩේ (Gekkonidae) කුලයට අයත් දුම්බර මහ කැලෑ හූනා (Cyttodactylus soba), සින්සිඩේ (Scincidae) කුලයට අයත් චතුරාංගලී සර්ප හිකනලා (Chalcidoseps thwaitesi) සහ පාංශුවාසී සර්ප විශේෂයක් වන යුරෝපෙල්ටිඩේ (Uropeltidae) කුලයට අයත් ඉරිවකටුල්ලා (Uropeltis phillipsi) ය.

මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 33 අතුරින් 30 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා (Sri Lanka Woodpigeon), ගුරුකොණ්ඩයා (Yellow – eared Bulbul), ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush), ලංකා හම්බු කුරුල්ලා (Sri Lanka Warbler), අඳුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා (Dusky – blue Flycatcher), කඳුකර මල් කුරුල්ලා (Hill White – eye), කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie) වැනි පක්ෂීහු රැසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.

දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යනයක් සිදුකර නොමැති වුව ද 2000 වසරේ දී S.P. Benjamin සහ R.Jocque යන විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් Suffasia mahasumana නම් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.

මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. එනම්,Ceylonthelphusa sanguinea, Ceylonthelphusa callista, Ceylonthelphusa cavatrix හා Perbrinkia fido ය. මේ ජීවී විශේෂ දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ.

මෙවන් ඉතා සුවිශේෂී ජෛව ප්‍රජාවකට උරුමකම් කියන දුම්බර හෙවත් නකල්ස් සංරක්ෂණ වනාන්තරය නිසි පරිදි ආරක්ෂා කර ගැනීම නොහැකි වීම කනගාටුවට කරුණකි. 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස යුනෙස්කෝ සංවිධානය (UNESCO – United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ලෝක උරුමයක් ලෙස දුම්බර අඩවිය ප්‍රකාශයට පත් කර තිබෙන්නේ ඊට ම අනන්‍ය වූ භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ජන උරුමය නිසා ය. ඒ කිසිදු උරුමයක් ආරක්ෂා නොකර දුම්බර අඩවියේ හෝටල් පමණක් ඉදි කළ හොත් නුදුරු දිනක ම මේ උරුමයන් සියල්ල අප රටට අහිමි වනු නිසැක ය.

එපමණක් නොව ඇමෙරිකන් ඩොලර් මිලියන 382 ක් (රුපියල් මිලියන 47,750 ක් පමණ) වැය කරමින් වියළි කලාපයේ හෙක්ටයාර 81,422 කට වාරි ජලය සැපයීමත්, අනුරාධපුරය හා ත්‍රිකුණාමලය නගර වල කාර්මික කටයුතු සඳහා ජලය සැපයීමත්, මෙගාවොට් 20 ක ජල විදුලිය නිෂ්පාදනය කිරීමත් අරමුණු කර ගෙන ක්‍රියාත්මක කරන මොරගහකන්ඳ හා කළු ගඟ ජලාශ වල ජල සුරක්ෂිතතාවය සම්පූර්ණයෙන් බැදී පවතින්නේ දුම්බර අඩවියේ වන වැස්ම මත ය. එවන් වූ ප්‍රදේශයක් ආරක්ෂා කර ගැනීමට නොහැකි වුවහොත් මේ බහුකාර්යය වාරි ව්‍යාපෘති වලට ද අත්වන්නේ වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ බහුකාර්යය ජලාශ වලට සිදු වූ අවාසනාවන්ත ඉරණම ම ය.

සජීව චාමිකර[Sajeewa Chamikara]
පරිසර සංරක්ෂණ භාරය

මේ එම විනාශයේ ඡායාරෑපයි.