Colombo, end of the War, Featured Articles, Features

‛තමන් පත්කරපු LLRC කමිටුවෙ නිර්දේශවත් ක්‍රියාත්මක කරන්න රජයට උවමනාවක් නැහැ.’


එල්.එල්.ආර්.සී නිර්දේශ වල කරුණු දෙකක් පිළිබඳ සඳහන් කරන්න ඕනෙ. එකක් තමයි යුද්ධ අපරාධ පිළිබඳව වගකියන්න ඕනෙ කියන කාරණාව. නමුත් නිර්දේශ වලින් යුධ අපරාධ සම්බන්ධයෙන් රජයට වගකීම නැහැ සඳහන් කරලා තියෙනවා. අපි ඒක පිළිගන්නෙ නැහැ. අනිත් එක තමයි සංහිඳියාව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ඒවා අපි පිළිගෙන තියෙනවා. ඒක හොඳයි කියලා අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෙ කියලා අපේ වාර්තාවේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒවා ඉක්මණටම ක්‍රියාත්මක කරන්න ඕනෙ.

ආණ්ඩුව එල්.එල්.ආර්.සී වාර්තාව පාර්ලිමේන්තුවට භාරදෙන අවස්ථාවේදී කරුණු කීපයක් ඉදිරිපත් කළා. ඒ අතරින් ප්‍රධාන වශයෙන්ම කිව්වෙ හමුදා පාලනය ඉවත් කරනවා කියලා. එසේ සඳහන් කලත් තවමත් ඒ සම්බන්ධයෙන් කිසිවක් කරලා නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් අපගේ ස්ථාවරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්ටත් අපි කිව්වා. තමන් පත්කරපු එල්.එල්.ආර්.සී කමිටුවෙ නිර්දේශවත් ක්‍රියාත්මක කරන්න රජයට උවමනාවක් නැහැ. ඒ නිසා ජාත්‍යන්තර සමාජය මේ සම්බන්ධයෙන් බල කරන්න ඕනෙ කියන එක අපේ ස්ථාවරය වුණා. ඒ නිසා තමයි ඒ යෝජනාත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සම්බන්ධ කර ගත්තෙ. දැන් රජයට වගකීමක් තියෙනවා. කොහොමද ඒක ක්‍රියාත්මක කරන්නෙ කියලා අදහසක් දෙන්න ඕනෙ. ඉක්මණට ඒක දෙන්න ඕනෙ කියලා ඒ යෝජනාවේ තියෙනවා.

ජී.එල්. පීරිස් ඇමතිවරයා වොෂිංටන් වලට ගිහිල්ලා තියෙනවා. ක්‍රියාකාරී සැලැස්මක්(Action Plan) ඉදිරිපත් කරන්න ඕනෙ කියලා තමයි ඔහු ගිහිල්ලා තියෙන්නෙ. එහෙම එකක් ඉදිරිපත් කරනවාද? නැද්ද? කියලා තවම අපි දන්නෙ නැහැ. අපේ ස්ථාවරය නම් එල්.එල්.ආර්.සී වල වගකීම් භාරගන්න තියෙන නිර්දේශවලට අමතරව තියෙන අනිත් නිර්දේශ සියල්ලම හැකි ඉක්මණින් ක්‍රියාත්මක කරන්න ඕනෙයි කියන එකයි. ඒකෙ තියෙන නිර්දේශ අපි ක්‍රියාත්මක කළොත් අපි එක රටක් වශයෙන් ඉදිරියට යාමට හැකි අවස්ථාවක් ලබන්න පුළුවන්. ඒ නිසා ඒවා ක්‍රියාත්මක කරන්න ඕනෙ. නමුත් ඒවා කරන නිසා මේ ප්‍රශ්නයට පූර්ණ විසඳුමක් එනවා කියලා අපි කියන්නෙ නැහැ. මේවා අනිවාර්යයෙන්ම දැන්ම ක්‍රියාත්මක කරන්නන ඕනෙ නිර්දේශ. මෙවර නිදහස් දින උත්සවයෙදි අපි ජාතික ගීය භාෂා දෙකෙන්ම ගායනා කිරීම ක්‍රියාත්මක කරනවා කියලා ජනාධිතිතුමා කිව්වා. නමුත් ඒ උත්සවයෙදිම භාෂා එකකින් තමයි ඒක ගායනා කළේ. ඉතින් ඒ වගේ තියෙන නිර්දේශ වලින් කිසිවක් තවම ක්‍රියාත්මක කරලා නැහැ.

යුද්ධ අපරාධ සම්බන්ධයෙන් පර්යේෂණයක් පවත්වන්න ඕනෙ කියන එක තමයි, අපිට එල්.එල්.ආර්.සී වාර්තාවට විකල්ප අදහසක් විදිහට තියෙන්නෙ. මේ සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් දැන් දෙපැත්තටම එරෙහිව එල්ල කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් පර්යේෂණයක් කරන්න ඕනෙ කියලා අන්තර්ජාතික විද්වත් මණ්ඩලය පවා කියලා තිබුණා. මෙැවැනි චෝදනා තියෙන කොට ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්න ඕනෙමයි.

එල්.එල්.ආර්.සී වලටත් පෙර 2008 දී එකසත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල විසින් කරන ලද විමර්ශනය (Universal Periodic Review) ඉදිරිපත් කරපු වෙලාවෙදිත්, 13 වෙනි සංශෝධනය දැන්ම ක්‍රියාත්මක කරන්න ලෑස්තියි කියලා ශ්‍රී ලංකා රජය කියලා තියෙනවා. 2009 මැයි මාසයේ එක්සත් ජාතීන්ගේ මහලේකම් සමග ඇතිකරගත්ත ගිවිසුමෙනුත් ඒක කියලා තියෙනවා. ඉන්පසු කීපවතාවක් ඉන්දියානු අගමැති සමග, ඉන්දියානු විදේශ ඇමති සමග, මෑතකදි පැමිණි ඉන්දියානු පාර්ලිමේන්තු කණ්ඩායමත් සමග 13 වෙනි සංශෝධනය දැන්මම ක්‍රියාත්මක කරන බව කියලා තියෙනවා. 13 වෙනි සංශෝධනය කියන්නෙ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන එකක්. ඉතින් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ තියෙන දේ ක්‍රියාත්මක කරන්නම් කියමින් ඉඳලා වැඩක් නැහැ. කොහොමත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙ. ඊටත් එහා ගිය බලය බෙදිමකට ආණ්ඩුව යන්න සූදානම් කියලා පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් ඒ දුන්න පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෙ. 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරලා, ඊටත් එහා ගිය බලය බෙදීමක් හරියාකාරව ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.

එම්.ඒ සුමන්තිරන්

පාර්ලිමේන්තු මන්ත්‍රී -ද්‍රවිඩ ජාතික සන්ධානය
(සාකච්ඡාවක් ඇසුරෙනි)