සිංහල, Colombo, Featured Articles, Features

පරාජිත සමාජයක මියැදෙන මනුෂ්‍යත්වයට ඇවැසි වෙනස

ප්‍රවාද අංක 1


ලංකාව නම් වූ කොදෙව් භූමියට ඉක්මන් සමාජ වෙනසක් අවශ්‍යව ඇත. කවුරු කැමති අකැමැති වුවද ලංකාව විෂයෙහි ඇති එකම හෙඳම හා අවසාන පිළිතුර වනුයේ ද සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. එහෙත් සමාජ වෙනස යන වචන දෙක ලියන තරම්, උච්ඡාරණය කරන තරම් සුරතල් සුන්දර දෙයක් නොවන සේම රැඩිකල් විප්ලවීය ප්‍රවාදයක් වුවත් කොදෙව් භූමිය තුල යථාර්තයක් කිරීම හිතන කියන තරමට වඩා සිය දහස් ගුණයකින් දුෂ්කර ක්‍රියාදාමයක් වනු ඇත. එහෙත් එය එසේම සිදු විය යුතු වූ බැවින් නැවත නැවත පුනරුච්ඡාරනය කළ යුත්තේ ලංකාව උදෙසා සමාජ වෙනසක් අවශ්‍යය යන්නය. මෙය හදිසි මෙන්ම අත්හළ නොහැකි වගකීමක් වනුයේ අන්කිසිවක් නිසා නොව මිනිසාට ශිෂ්ටසම්පන්නව, නිදහස්ව, නිවහල්ව, ගෞරව සම්පන්න මනුෂ්‍යයින් ලෙස ජීවත් වීමේ අයිතිය ඇති නිසාවෙනි.

ලංකාව විෂයයෙහි අවශ්‍ය වන්නා වූ වෙනස කුමක් ද යන්න භෞතිකව හා කාල්පනිකව පැහැදිලි කර ගන්නේ නම් උපන්‍යාස බොහෝ ප්‍රමාණයක් ගොඩනැගිය හැකිය. එය අතර ජීවත්වීමේ අයිතිය, යහ ආණ්ඩුකරණය, සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය, දූෂණය නාස්තිය වංචාව හොරකම පිටු දැකීම, ජාතිය යළි ගොඩනැංවීම, මානව සංවර්ධනය, නීතියේ ස්වාධීනත්වය

යනාදී වශයෙන් තවත් බොහෝ උවමනාවන් පෙළගැස්විය හැකි අතර මේ හැම සියලු දෙයකින්ම විද්‍යමාන වනුයේ වෙනසක් උදෙසා ක්‍රියා කළ යුතු බවය.

සමාජ වෙනස යනු ආණ්ඩුකරණය මාරු කිරීමේ හෝ නායකයින් පක්ෂ හෝ පුද්ගලයින් වෙනස් කිරීමෙන් පමණක් සිදු කළ නොහැකි අතර එය එසේ කළ හැකි නම් අඩසිය වසකටත් වඩා වැඩි ඊනියා නිදහසින් පසු යැයි හඳුන්වනු ලබන පශ්චාත් යටත් විජිත ඉතිහාසය තුල සිදු විය යුතුව තිබිණි. තට්ටු මාරු ක්‍රමයට දේශපාලන බලය එක් එක් පාර්ශවයන් අතට මාරු වුවද. ඒ තුළින් සමාජය වෙනස් වුවද, මනුෂ්්‍යත්වය, සාමය ප්‍රජාතන්ත්‍රවාදය මිනිස් අයිතීන් ආදී ගුණාංග පදනම්කර ගත් සංවර්ධනීය මානව වෙනසක් වෙනුවට අප ලබා ඇත්තේ ඉතාමත් අවසනාවන්ත ඉරනමක් සහිත විකෘති වූ වෙනසකි. ප්‍රධාන වශයෙන් දකුණු සමාජයේ විශාල ප්‍රමාණයේ විනාශකාරී අරගල දෙකකුත්, උතුරු ප්‍රෙදේශය බිම් කරගත් වසර තිහකට අධික සිවිල් යුද්ධයකුත් නිර්මාණය කරමින් මනුෂ්‍යත්වයට කළ හැකි උපරිම අගෞරවයන් සිදුකිරීය. මිනිසා තිරිසනුන්ගේ තත්ත්වයටත් එහා මානයකට තල්ලුකරමින්, සකල විධ මානව ධර්මතාවන්, මිනිස් ගුණාංග සිල්ලර ලෙස වලපල්ලට දමා ඇත.

තවමත් එම අඳුරු අවතාර සමාජය පුරා හොල්මන් කරමින් සිටී. දැන් අප සතුව ඇත්තේ අතීතය විසින් ඇති කළ මනුෂ්‍යත්වය මිය ගිය සුසාන භූමියකි. මිනිසුන් වාසය කළද, අප මේ ගතකරන මොහොත යනු මනුෂ්‍යත්වයේ අර්ථ සපයා ගැනීමට නොහැකි පරිදි සමාජ ප්‍රගමන රෝදය ආපස්සට තල්ලුකරමින් ස්වභාවිකකරණය කිරීමේ අති උන්මත්තක ඒකාධිපති වෑයමකි. මෙම තත්තවය යනු පූර්ව යුද අවධිය තුල විනාශ වූ මිනිස් හා දෙපල වලට ද වඩා භයානක ලෙස මනුෂ්‍යයාගේ ආත්මනයන් විනාශ කරමින් තවත් පසෙකින් මර්ධනය, පීඩනය, නිදහස හා ජීවත් වීමේ අරගලය සාමාන්‍යකරණය කරමින් මිනිස් අර්ථයන් විනාශ කිරීමේ ක්‍රියාවලියකි. එම අර්ථයෙන් ගතහොත් එහි සකල සියලු වගකීම් සියල්ල වර්තමාන රාජපක්ෂ රෙජීමය සතුවන නිසාවෙන්, සමාජ වෙනසේ පළමු අදියරය වන්නේ ද අන් කිසිවක් නොව මෙකී මර්ධනකාරි ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුකරණය වෙනස් කිරීමමය.

මෙකී වත්මන් පාලනාධිකාරී යාන්ත්‍රණය යනු ඇත්ත වශයෙන්ම ලාංකික කොදෙව් සමාජය පිළිබිඹු කරන්නා වූ සම්පූර්ණ කැඩපතකි. පාලක ආණ්ඩුව දෙස බැලීමෙන් රටත් සමාජයත් තේරුම් ගත හැකි අතරම සමාජය දෙස බැලීමෙන් පාලන තන්ත්‍රය ද තේරුම් ගත හැකිය. පාරීභාෂික ශබ්ධකෝෂයේ දුෂ්චර්යාව අයතාව අර්ත ගන්වනු ලබන සියලුම ආකාරයේ වචන යොදා ගනිමින් ඒවා වෙනත් අකාරයකින් සුජාතකරණය කරමින් ද ස්වයං වංචනිකත්වයේ යෙදෙමින් සිටිති. පාලකයා හා ඔහු වටා සිටින්නා වූ සහචරයින් නීතිය යුක්තිය හා ධර්මය දූෂණය කරනා කල සාමාන්‍ය වැසියාද ඊට අනරූපව අඩු වැඩි වශයෙන් බොරුව වංචාව මුල් කරගත් ජීවිතයට හුරු වීම තුලින් මුලු මහත් සමාජය යහ පාලනය හා යහ ජීවිතය නැමති පිහිල්ලෙන් පිට පැන වෙනත් විකෘති වූ ක්‍රමයකට විපරිවර්තනය වීමේ මහා අවධානම මෙම මොහොතේ බුක්ති විඳින ආකාරය සිදුවන බොහෝ ක්‍රියාවන්ගෙන් පිළිබ්ඹු වීම පෙන්විය හැකි නිදසුන් එමට වෙති.

මෙහි ඇති එකම භයානකත්වය වනුයේ එහි ගැලී ගිලී සිටින වුන්ට නොවැටහෙන අංගයක් වී එයම ජීවන විලාසිතාවක් වීමය. සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් උරුම කරදුන් මහා අනර්ඝ ගුණ වගාවන් හා ධර්මතාවන් යැයි මතුරනා වචන මාත්‍රයක් ද, බුදු දහම විකෘති කරමින් එහි හරයන්ට පටහැනි ම්ලේච්ඡත්වය වර්ගවාදය හා ජාතිවාදය කරපින්නාගත් රැවටිළිකාර සමාජ පිළලයක් ඊනියා අතිත කාම උමතුවෙන් ද, බටහිර යටත් විජිත බල රාජ්‍යයන් විසින් උරුම කරනු ලැබූ පාරිභෝගික සමාජ ජීවන ක්‍රමයකුත්, ගෝලීය ධනවාදය හා ලිබරල් ධනවාදී සිහින බලාපොරොත්තු පිරිපුන් විපරිත හැඩයකට සැකසුණු සමාජ මොඩලයක් හා තවත් පසෙකින් විකල්ප ප්‍රති විරෝධී යැයි සිතන සමාජ ජීවිතය වෙනස් කර ගැනීමේ සමාජවාදී හෝ කොමියුනිසට්වාදය යන අල්ප මාත්‍ර සමාජ භාවිතාවන් ද විකෘති ලෙස අලෙවි කරන සමාජ කණ්ඩායම්ගෙන් යුක්කව මිශ්‍ර වූ සමාජ කැඳ හැලියක් අපට උරුමව ඇත. ඒ අනුව ලාංකීය පශ්චාත් යටත් විජිත ඉතිහාසය යනු කාලයෙන් කාලයට, එක එක වේසයන්ගෙන් පැමිණ සිදු කර ඇත්තේ සහ සිදු කරමින් සිටිනුයේ මෙම විපරිත කැඳ හැලිය රත්කර කෑමය.

එය පෙර නොවූ විරූ ලෙස එකිනෙකට සහසම්බන්දිත ගැලවිය නොහැකි යාන්ත්‍රණයක් කර ඇත. වත්මන් පාලනය විසින් එය කැඩපතක් බවට පත්කර ඇත. ඊට ඇතුලු වූ අයෙකුට යලි පිට විය නොහැකි ආකාරයේ සම්බන්ධතා ජාලයකට හසුකොට ඇත. එය හරියටම පාතාල සමාජයට එක් වූවෙකුට, යලි ඉන් පිට විය නොහැකි වන්නා සේය. වර්තමාන රාජපක්ෂ බල න්‍යෂ්ටිය විසින් ඔහු වටා සිටින දේශපාලකයින්, ව්‍යාපාරකයින් හා සිවිල් සමාජ ක්‍රියාකාරකයින් සඳහා සෘජුව හා වක්‍රව සංඥා කරනු ලබන්නේ මෙම පාතාල න්‍යායමය. මෙම වෛරස න්‍යාය විසින් පුද්ගල හා සමාජ දුර්වල ඉන්ද්‍රියන් කරා ඇතුලු වී ග්‍රහණයට හසුකර විසන්ධි කිරීම ප්‍රමුක උපක්‍රමය වේ. විසන්ධි කිරීමෙන් නොනැවතී ඔහුට අවශ්‍ය ගොදුරට නීතියට යුක්තියට පටහැනි ඕනැම දෙයක් කිරීමටත්, ඉන් ජීවත් වීමටත් ඉඩ දී ඇත. මහා බුද්ධිමතුන්ගේ සිට සමෘධිලාභියා දක්වා වූ සියලූම දේහයන් තුලට මෙකී වෛරසය කවා ඇත. සමාජය පාතාල ලෝකයක් බවට පත්කොට හමාරය. කිසිවකුට ඉන් ගැලවිය නොහැකිය. නලීන් ද සිල්වාට ද වික්ටර් අයිවන්ට ද ගුණදාස අමරසේකරට ද, ඩග්ලස් දේවානන්දටද මෙකී පාතාල න්‍යායෙන් ගැලවිය නොහැකි ය. තම රෙජීමය තුල සිටින්නා වූ සන්ධානගත විමල්, චම්පික, වාසු ආදී සංකේතිය පංචස්කන්ධයන් කිසිවකුට ද ගැලවිය නොහැකි අතරම විපක්ෂයේ බොහෝ පුද්ගලයින්ටද ගැලවීමක් නැත. එම අර්තයෙන් ජනතාවටද ගැලවිල්ලක් නැත. රාජ පක්ෂ නම් මකරා තම වරිගය වට කොට ගත් කේන්ද්‍රය ගොඩ නගා ඇති බැවින් සියල්ලට සිදු වී ඇත්තේ එය වටා නැටීමටය. නටන නටන තරමට පැවැත්ම සහතික වන බැවින් සංඝයා ද, කතෝලික පූජකයාද, බුද්ධිමතා ද ,කලාකරුවා ද, මාධ්‍යෙව්දියා ද වාමාංශිකයාද, විපාක්ෂිකයා ද , සමෘධීලාභියා ද, අනෙකුත් හොර දෙටුවෝද, ත්‍රස්වාදීන් කරනු ලැබූ හතුරු මිතුරන් ද, සෑම සියලු දෙනාම නටන ‍බෙරය වටා නටති. දැන් අප හමුවේ ඇත්තේ එකී විපරිවර්තනීය දිශාවක් කරා වේගයෙන් ඇදෙමින් කුණුවෙමින් යන අඹ ගෙඩියක් වන් වූ කොදෙව්වකි. මෙය ජාති ආලයෙන්, අධිරාජ්‍යවාදයෙන්, එල‍ෙටීටීඊ පුනර්භවයෙන්, භූමිය දෙකඩ කිරීමෙන්, ඩයස්පෝරා ත්‍රස්තවාදයෙන් ආදී සීනි තැවරූ අයිසින් තට්ටුවකින්, කුණුවෙමින් යන රට, ජාතියක් නැති ජාතිය බැන්ඩේජ් කරමින් සිටී. මේ තුල අඩු වැඩි වශයෙන් සෑම සියලු දෙනාම පරාජිතයන්ය. තාව කාලික ජයක් ලැබ ඇත්තේ මුලින් හැඳින් වූ පාතාල සමාජය පමණි. කුඹුරට පවා තාර දමන්නට සැදැහැවත් වුවද ඒ තුල රජයන්නේ වංචාව දූෂණය නාස්තිය කොමිස් ගැසීම හා අවසානයේ යුරෝපා, අමෙරිකා සිංගප්පූර් ආදි රටවල බැංකු ගිණුම් විවෘත වීම මිස මානව සංවර්ධනය පිණිස වන කාපට් මාවත නොවන බව සමාජීය ම්ලේච්ඡත්වය, වංවාව බොරුව, රැවටීම ආදී අගයන් හා ධර්මතා වේගයෙන් ඒ මත ගමන් කරන ආකාරයෙන් ප්‍රකාශමාන වේ.එම අර්තයෙන් සමාජ වෙනස නම් වන ආදර්ශ මොඩලය කුමක් ද හා ඒ සඳහා කළ යුත්තේ කුමක්ද යන්න ප්‍රගතිශීලී මිනිසාගේ යුතුකම හා වගකීම වන බැවින්, ඒයට ඇවැසි සම්පත්,දොර කවුලු යතුරු මොනවාද යන්න සොයා ගැනීමට ප්‍රයත්නයෙහි යෙදෙන මිනිසාගේ කොටස උදෙසා ශක්තියක් සැපයීම මෙම ප්‍රවාදයේ අරමුණ වේ.

උදය ආර්. තෙන්නකෝන්[Udaya R Thennakoon]