Colombo, Featured Articles, Features

අනේ අපේ ‘අසභ්‍ය’ අසහනේ

ශ‍්‍රී ලංකා මිරර් සහ ලංකා එක්ස් නිවුස් වෙබ් අඩවිවලට සම්බන්ධ නඩු විභාගයේදී ඔවුන් විසින් සිදු කළ යැයි කියන දරුණු කුමන්ත‍්‍රණයක් පිළිබඳ සක්ෂි, රහස් පොලිසීය විසින් අධිකරණය වෙත ලබා දී ඇතැයි වාර්තා විය. ඒ අනුව ශ‍්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය සතු පරිගණක දෙකක අසභ්‍ය වීඩියෝ දර්ශන තිබී ඇතැයි ද පසුව රහස්පොලීසිය උපුටා දක්වමින් මාධය වාර්තා කළේය. එය සනාථ කර ගැනීම සඳහා රහස් පොලීසිය කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විශේෂඥයින්ගේ ද සහය ලබාගෙන ඇත. ඒ අනුව ඉදිරි කාලයේදී එම වෙබ් අඩවියට එරෙහිව සිදුවන සියලූ පරීක්ෂණ හා නඩු විභාග පෙරකී අසභ්‍ය වීඩියෝ දර්ශන වටා ගොනුවීමට ඉඩ ඇත. යම් හෙයකින් එම වීඩියෝ නරඹා ශ‍්‍රී ලංකා මිරර් මාධ්‍ය සේවකයින් ස්වයං වින්දනයේ යේදී ඇති බවට ඔප්පු වුවහොත්, ඔවුන්ට නිසි දඬුවම් ලැබෙනු ඇත. ඒ පිළිබඳ රසබර ප‍්‍රවෘත්ති පොල් ගෙඩි අකුරෙන් දිණමිනේ මෙන්ම මවුබිම පත්තරේ ද පළවනු ඇත.

මෙම සිදුවීමේදි අපි අවබෝධ කරගත යුතු ප‍්‍රධාන කරුණක් වන්නේ රහස් පොලීසිය පවසන මේ අසභ්‍ය දර්ශන යනු කුමක්ද යන්නයි. ඒ පිළිබඳව සොයා බැලීමට අදාළ බළධාරීන්ට මෙන්ම පෙරකී පුවත්පත් දෙකේම ප‍්‍රවෘත්ති කර්තෘලාට ද කිසිදු උවමනාවක් තිබී නැත. අද දවසේ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන මෙන්ම බොහෝ ප‍්‍රවෘත්ති කර්තෘලාගේ ද සාමාන්‍ය සිරිත වී ඇත්තේ රහස් පොලීසිය පවසන ඕනෑම දෙයක් පිළිගැනීමයි.

සැබවින්ම අසභ්‍ය යනු කුමක් ද?. මෙරට නීතිය තුළ එය අර්ථ ගැන්වෙන්නේ කෙසේද?

දන්ඩ නීති සංග‍්‍රහය285 වගන්තිය

අසභ්‍ය පොතක්, පත‍්‍රිකාවක්, පත‍්‍රයක්, ඇඳීමක්, චිත‍්‍රයක්, ඡයාරූපයක්, නිරූපනයක් හෝ රූපයක් විකුණන බෙදා හරින පිට රටින් ගෙන්වන හෝ විකිණීම හෝ කුලියට දීම සඳහා මුද්‍රණය කරන හෝ ඕනෑවට ම මහජන දර්ශනයට තබන හෝ එලෙසක් කිරීමට තැත් කරන හෝ ඉදිරිපත් වන තැනැත්තෙකුට තුන්මාසය දක්වා කාලයක, දෙයාකාරයෙන් හෝ එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කල යුතුය.

286 වගන්තිය-

විකීණීම, බෙදා හැරීම හෝ මහජන ප‍්‍රදර්ශනය සඳහා ඉහතින් වූ වගන්තියෙහි සඳහන් අන්දමේ අසභ්‍ය පොතක් හෝ වෙනත් දෙයක් තම ස්වාමිත්වයෙහි තබා ගන්නා තැනැත්තෙකුට මාස තුන දක්වා කාලයක දෙයාකාරයෙන් හෝ එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කල යුතුය.

මෙම වගන්තිවලට ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා මිරර් මාධ්‍ය සේවකයින්ට එරෙහිව ද නීතිය අකුරටම ක‍්‍රියාත්මක වීමට ඉඩ තිබේ.

නමුත් ප‍්‍රශ්නය වන්නේ අසභ්‍ය යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ කුමක්ද යන්නයි. මෙරට අධිකරණ තුළ කිහිපවතාවක් මේ සම්බන්ධව නඩු විභාග පැවති නමුත් තවමත් අසභ්‍ය යන්නට නිශ්චිත අර්ථයක් ලබාදී නොමැත. එමෙන්ම බාල වයස්කාරයෙකු හැරුණු කොට වැඩිහිටියන්ට මෙම අසභ්‍ය නීතිය බලපාන අයුරු ගැන ඇත්තේ ද පිළිතුරු නැති ප‍්‍රශ්නයකි.

ලිංගික අවශ්‍යතා යනු මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවයකි. මෙරට නීතිය අනුව භෞතිකව ශරීර හා සම්බන්ධවී ලිංගික අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකි එකම ආකාරය විවාහවීම පමණි. ගණිකා ඇසුර හා එ් සම්බන්ධ දෑ මෙරට නීතියට පටහැනිය. ගණිකා ඇසුරක් නොවන ඇසුරක් වේ නම් එය අනාචාරයේ වරදකි.

ඒ නිසා භෞතිකව ශරීර හා සම්බන්ධවී ලිංගික අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම හැරුණු කොට මිනිසුන්ට තම ලිංගික අවශ්‍යතාවන් පිළිබඳ ක‍්‍රියත්මක විය හැකි අනෙක් ක‍්‍රමවේදය වන්නේ මනෝ ලෝකය තුළ ඇති කරගන්නා මවා ගැනීම්ය. තවමත් නීතිය තුළ එය වරදක් වී නොමැත. එහෙත් එසේ මවා ගැනීමට නම් ඒ සඳහා නිමිත්තක් අවශ්‍යය. අසභ්‍ය යැයි කියන පොත්පත් වීඩියෝ මිනිසුන්ට අවශ්‍ය වන්නේ එහෙයිනි.

නමුත් ලංකාව තුළ උක්ත කරුණ සඳහා ද නිදහසක් නැත. සදාචාරයේ හා සංස්කෘතියේ නාමයන්ගෙන් ඒ නිමිති සියල්ල මෙරට ජනතාව වෙත අහිමි කිරීමට පටන්ගෙන ඇත.

ලංකාව තුළ අසභ්‍ය යැයි කියනා දෑ සම්බන්ධ බිය, මාරාන්තික බියක් බවට පත්වන්නේ 2004න් පසුය. ඊට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණු රජය මිනිසුන්ගේ ලිංගික නිදහස පිළිබඳ යම් ලිහිල් ප‍්‍රතිපත්තියක සිට කටයුතු කළහ. මෙරට දේශප්‍රෙමීයැයි කියු බලවේගවලට එජාපෙ රජය පෙරළීමට ඔවුන්ගේ එම ලිහිල් ප‍්‍රතිපත්තිය හොඳ පොටක් විය.

2004 සන්ධාන රජය බලයට පත්වීමත් පසු, සිනමාශාලා තුළ අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ චිත‍්‍රපටි පෙන්වීම නැවැත්වීමට වැට බැඳීම ඇරඹුනි. එ් සම්බන්ධ කටවුට් ද ගැලවුණි පත්තර, සඟරා, වීඩියෝ තැටි මත්කුඩුවලටත් වඩා නීති විරෝධි ද්‍රව්‍ය ලෙස නම් කෙරුණි.

ඉනික්බිත්තෙන් අසභ්‍ය යැයි කියමින් වෙබ් අඩවි ද වාරණය විණි. 2008 වසරේදී සභ්‍යත්වයේ උපරිමයට පැමිණෙමින් පොලිස් කාන්තා හා ළමා කාර්යාංශය ලංකාවේ වීදිවල ගසා තිබු ”ට‍්‍රයම්ෆ්” වැනි සමාගම්වලට අයත් දැන්වීම් පුවරුද ඉවත් කළහ. (පසුව එම දැන්වීම් පුවරු නැවත සවි වුණි)

මේ සියල්ලෙහි ප‍්‍රතිඵල දැන් අපට දිස්වේ. ගෙවුණු වසර 4,5 ක කාලය තුළ මෙරට කාන්තාවන්ට හා දරුවන්ට සිදුවූ ලිංගික හිංසනයන් ප‍්‍රමාණයේ තරම ගැන අමුතුවෙන් ලිවිය යුතු නැත. එ් සියලූ ලිංගික හිංසනයන් තුළින් ලංකාව තුළ පවතින ලිංගික අසහනය මැනිය හැක.

පවතින මෙම තත්ත්වය පිළිබඳව ”යුද්ධයෙන් පසු ඔහොම තමයි” යනුවෙන් බබා උක්කුං දාන පණ්ඩිතයන්ගෙන් අපිට ඇසීමට ඇත්තේ එක් දෙයකි. එ් යුද්ධයෙන් පසු මෙතරම් ලිංගික අසහනයක් ලංකාව තුළ පවතී නම්, මෙරට කාන්තාවන්ගේ හා දරුපරුපුරේ අනාගතයේ නාමයෙන් වහාම ආපසු යුද්ධය පටන්ගතයුතු නොවේදැයි යනුවෙනි.

කෙසේ නමුදු මෙරට නිති ගරුක මහජනතාව ලෙස අපට කළහැකි වන්නේ පවතින නීතියට අවනත වීම පමණි. නමුත් ඊට පෙර ශ‍්‍රී ලංකා පොලීසිය හා මෙරට සිටින අනිකුත් සංස්කෘතික සහ සදාචාර විශේෂඥයන් අසභ්‍ය යනුවෙන් ඔවුන් සලකන දෑ අපට තේරුම් කර දිය යුතුය.

කාන්තාවකගේ ශරීරයේ දණහිසෙන් ඉහළ අසභ්‍යද? එසේනම් ඇතැම් මහජන නියෝජිතවරියන් රූපවාහිනි වැඩසටහන්වලට ඇඳගෙන එන ඇඳුම් සභ්‍යත්වයට අනුකූලද? පෙකෙනිය පෙන්වීම අසභ්‍ය නම් ”රණවිරැ රියල් ස්ටාර්” හි නටන සෙබළියන්ගේ පෙකෙනි සභ්‍යද? පෙකෙනියත් නාභියත් අතර ඇති ලිංගික අවයව අසභ්‍යනම් ඒවා අසභ්‍ය යැයි කියනා උන් උපන්නේ කෘතිම සංසේචනයන්ගෙන්ද?

මේ නිසා අසභ්‍යත්වය පිළිබඳ කෑ මොරදෙන්නන් අසභ්‍යත්වය මැනීම පිළිබඳ යම්කිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුය. අසභ්‍ය දෑ සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව පැවිති දෑ සැබවින්ම අසභ්‍යද නැද්ද යන වග මැනීමේ හැකියාව පොලීසිය සතුව විය යුතුය. උදාහරණයක් ලෙස යම් පුද්ගලයෙකු බීමත්ව රිය පැදුවූවේ නම්, ඔහු ගේ බීමත් ස්වරූපය මැනීමට පොලිසිය සතුව උපකරණයක් ඇත. වේගයෙන් රිය පැදුවූවේ නම්, එය පෙන්වීමටද උපකරණයක් ඇත. ඒ අයුරින් යම් කිසි වීඩියෝවක්, ඡායාරූපයක් වැනි දෙයකද අසභ්‍යත්වය මැනීමට උපකරණයක් හෝ ක‍්‍රමවේදයක් තිබිය යුතුය. එවිට අදාළ පුද්ගලයා නිසි අයුරින් අත්අඩංගුට ගැනීමටත් අධිකරණයේදී ඔහුට එරෙහි සාර්ථක ලෙස චෝදනා නැගීමටත් පොලීසියට හැකිවනු ඇත.

එපමණක් නොව මේ වනතුරුම එවන් උපකරණයක් හෝ ක‍්‍රමවේදයක් ලොව තුළ සොයාගෙන නොමැති නිසා එවැනි නව නිපැයුමක් කළහොත් එය ලෝකයටම ආදර්ශයක් සපයන ලංකාවටම අවේණික ක‍්‍රමවේදයක්ද වනු නිසැකය.

ළහිරු සමරසිංහ[Lahiru Samarasinghe]