සිංහල, Governance, Media, Pollonnaruwa

වනජීවී නිලධාරීන් නිදි! ජාතික වනෝද්‍යානයේ ‘ඇමති හෝටලයක්’


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර මායිමේ හෙක්ටයාර 2.2 ක (අක්කර 5.4 ක්) වනාන්තර ඉඩමක් වෙන් කරගෙන “Jeew’s Hide Out” නමින් සංචාරක හෝටලයක් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතා විසින් ඉදිකර ඇත. හබරණ – පොළොන්නරුව මාර්ගයේ මොරගස්වැව හන්දියෙන් මහසෙන්ගම මාර්ගයේ 4 වන කිලෝමීටර කණුව අසලින් වම් පසට ජාතික වනෝද්‍යානය තුළට වනාන්තරය එළිපෙහෙළි කර අළුතින් සකස් කළ අඩි 10 ක් පමණ පළලින් යුත් කිලෝමීටර 2 ක් පමණ දිගින් යුත් මාර්ගය අවසානයේ ඝන වනාන්තරය තුළ මේ සංචාරක හෝටලය ඉදි කර ඇත. මෙය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යානයේ මායිම් කණු අංක 72 සහ 75 අතර සීමාවේ ය. මේ සම්පූර්ණ ප‍්‍රදේශය ඝන වනාන්තරයෙන් වැසී ඇති අතර මේ හෝටලයේ සිට කිලෝමීටර 6 ක වටා ප‍්‍රදේශය තුළ කිසිදු ජනාවාසයක් හෝ වගා බිම් හෝ මානව ක‍්‍රියාකාරකම් සහිත භුමියක් හෝ දැක ගත නොහැකි අතර සම්පූර්ණයෙන් ම වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තරවලින් වැසී පවතී.

2007 වසරේ දී මේ අමාත්‍යවරයා විසින් හෝටලය ඉදි කළ වනාන්තර ප‍්‍රදේශයේ ඖෂධ පැළෑටි සිටුවීම සඳහා සහ ඒ පැල ගබඩා කර තැබීම සඳහා කුඩා කුටියක් ඉදිකිරීමට යැයි සඳහන් කරමින් ලිපියක් ඉදිරිපත් කර වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ලබාගෙන මේ හෝටලය ඉදි කර ඇත. ඒ අවස්ථාවේ දී මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන් හෝ පොළොන්නරුව, වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් හෝ ප‍්‍රධාන කාර්යාලයේ වනජීවී නිලධාරීන් විසින් හෝ ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් සිදු නොකර ඝන වනාන්තරය තුළ පිහිටි ජාතික වනෝද්‍යානයට අයත් හෙක්ටයාර 2.2 ක ව්‍යාජ ඔප්පුවක් සහිත ඉඩමේ පැළ සිටුවීම සඳහා අවසර ලබා දී ඇත. මේ සඳහා අවසර ලබා දීමට ප‍්‍රථමයෙන් ක්ෂේත‍්‍ර පරීක්ෂණයක් සිදු කළේ නම් ඉතාම පැහැදිලි වන්නේ මේ වනාන්තර ඉඩමේ නැවත පැළ සිටුවීමට ස්ථාන නොමැති බව යි.

වනජීවී නිලධාරීන් මුලාවට පත් කර හෝ වනජීවී නිලධාරීන්ට අල්ලස් ලබා දී හෝ ජාතික වනෝද්‍යානයේ ඉඩම් ඉතා සූක්ෂම ව අත්පත් කර ගෙන ඖෂධීය පැළ සිටුවීම හා පැළ ගබඩා කිරීමට කුටියක් ඉදිකිරීම සඳහා අවසර ලබාගෙන අදාළ ඇමතිවරයා විසින් ස්ථීර සංචාරක හෝටලයක් ඉදි කර ඇත. කිසිදු ආකාරයක ඖෂධ පැළයක් මේ හෝටලය අවට වනාන්තරය පුරා සිටුවා නැත. සිදු කර ඇත්තේ හෝටලය ඉදි කිරීම සඳහා වනාන්තරයේ විශාල ගස් කපා ඉවත් කිරීම පමණකි. ඉන්පසු ව මේ සම්බන්ධයෙන් අප විසින් අනාවරණය කළ විට තාවකාලිකව මේ හෝටලයේ ක‍්‍රියාකාරීත්වය නතර කළ අතර නැවත වරක් මේ වන විට ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත. මේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත්තේ භාවනා මධ්‍යස්ථානයක් ඉදිකිරීමට සැලැසුම් කරන බව ය. ඒ සඳහා පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත
අනුමැතිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙතින් ලබාගත යුතු බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් දැනුම් දී ඇතත් ඒ තත්ත්වය ද නොසලකා හරිමින් හෝටලයේ දෙවන අදියරේ ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

අමාත්‍යවරයා විසින් වරින් වර විවිධ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් මේ අයුරින් හෝටලයේ ඉදිකිරීම් කටයුතු සිදු කළ ද ඒ සඳහා කිසිදු නීතිමය පියවරක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගෙන නොතිබීම නීති උල්ලංඝනයට අනුබල දීමකි. පළමු අදියරේ දී දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකළ මේ සංචාරක හෝටලයට විදුලි බලය ලබා ගැනීම සඳහා 15kw ජෙනරේටරයක් භාවිතා කරනු ලැබිනි. හෝටලය ඉදිරිපිටින් ගලා යන ඇළ ඊට නුදුරින් පිහිටි තෙත් බිම් ප‍්‍රදේශයට ජලය සපයන ජල මාර්ග ය යි. ඒ කොටස වියළි කාලයේ දී සිදී නොයන අතර වියළි කාලයේ දී අලි – ඇතුන් බහුලව එක්රැස්වන ප‍්‍රදේශයක් ලෙස පවතී. මේ හෝටලයට ජලය ලබා ගැනීමට ඒ ජල මාර්ගය හරස් කර කුඩා වේලි 2 ක් ඉදිකර ජලය එක්රැස් කර ඇති අතර මේ හේතුවෙන් පහළ පිහිටි තෙත් බිමට ජලය ලැබීම සම්පූර්ණයෙන් ම අවහිර වී ඇත. එපමණක් නො ව හෝටලයේ කසළ සියල්ල ම වනාන්තරය තුළ ගොඩ ගැසීම සිදු කර තිබේ. මීට අමතර ව මත්පැන් බෝතල් විශාල කන්දක් ලෙස හෝටලය පිටුපස ගොඩගසා තිබේ.

මේ සම්බන්ධයෙන් පළමු අදියරේ දී අප විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළුව වගකිව යුතු රාජ්‍ය ආයතන ලිඛිතව දැනුම්වත් කළ ද ඒ අවධියේ කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොගැනීමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ වනාන්තර ඉවත් කර භූමිය සකසමින් නැවත වරක් හෝටලය ව්‍යාප්ත කිරීමේ කටයුතු ආරම්භ කිරීමයි. වනජීවීන් වෙනුවෙන් වෙන් කළ ඉතාම වැදගත් වනාන්තර ප‍්‍රදේශයක් තුළ මේ ආකාරයෙන් හානිකර මානව ක‍්‍රියාකාරකම් සිදු කිරීම, සංචාරක හෝටලයට පිවිසීමට ජාතික වනෝද්‍යානය තුළ මාර්ග ඉදි කිරීම, ජල මාර්ග අවහිර කිරීම, කසළ බැහැර කිරීම, රාත‍්‍රී කාලයේ දී ආලෝකය දැල්වීම, විදුලි බලය ලබා ගැනීම සඳහා භාවිත කරන ජෙනරේටරයේ ශබ්දය යන මේ සියල්ලම ජාතික වනෝද්‍යානය තුළ වනජීවීන් ගේ පැවැත්මට අහිතකර බලපෑම් ඇති කරන කරුණු වන අතර ම වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත උල්ලංඝනය කිරීමකි.

2009 අංක 22 දරණ පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයකට ඇතුළු විය හැකි වන්නේ ඒ පනතේ 05 වන වගන්තියට අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන තාවකාලික බලපත‍්‍රයක් මත නැරඹීමේ සහ අධ්‍යයන කාර්යයන් සඳහා පමණි. එපමණක් නොව ඒ පනතේ 3 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත හෝටලයක් ඉදි කිරීම තහනම් වන අතර ඒ පනතේ 9 වන වගන්තියට අනුව ජාතික වනෝද්‍යානයක මායිමේ සිට සැතපුමක් ඇතුළත සීමාවේ සංවර්ධන කටයුත්තක් සිදු කිරීමට ප‍්‍රථම පරිසර බලපෑම් ඇගයීම් ක‍්‍රියාවලියට අනුව කටයුතු කර වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ගේ පූර්ව ලිඛිත අනුමැතිය ලබාගත යුතු ය. එ සේ නීති සකස් කර ඇත්තේ ජාතික වනෝද්‍යානයක් ලෙස ප‍්‍රකාශයට පත් කරන ඉතාම වැදගත් පරිසර පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ය. එහෙත් මේ නීති සියල්ල උල්ලංඝනය කරමින් අමාත්‍යවරයා විසින් කටයුතු කරද්දී දේශපාලකයින්ට ඇති බියෙන් වනජීවී නිලධාරීන් මුනිවත රැකීම හේතුවෙන් සිදු වන්නේ වනජීවීන් ගේ රැකවරණය ජාතික වනෝද්‍යානය තුළ දී ම අහිමි කිරීමකි.

මේ වනාන්තර පද්ධතියේ ඇති වැදගත්කම අවබෝධ කරගනු ලැබුවේ අද ඊයේ නො වේ. දැනට දශක ගණනාවකට පෙර ය. ඒ නිසා ම වනජීවී හා වනජීවී වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත නීතිගත වීමෙන් පසු ව පළමු ව ප‍්‍රකාශයට පත් කළ අභය භූමියක් වන්නේ මින්නේරිය – ගිරිතලේ අභය භූමිය යි. ඒ 1938 ජූලි මස 29 වන දින අංක 8384 දරණ ගැසට් නිවේදනය මඟිනි. එහි දී අභය භූමියක් ලෙස ප‍්‍රකාශය පත් කර ඇත්තේ හෙක්ටයාර් 2250 කින් යුත් මින්නේරිය වැව හා ඒ ආශ‍්‍රිත වනාන්තර ප‍්‍රදේශ ඇතුළු ව හෙක්ටයාර් 6693.7 ක භූමි ප‍්‍රමාණයකි. එසේ ඈත ඉතිහාසයේ දී මින්නේරිය වැවට හා එහි ජලපෝෂක ප‍්‍රදේශයන්ට ආරක්ෂාව ලබා දී ඇත්තේ මහසෙන් රජු විසින් කර වු මින්නේරි වැවේ සුරක්ෂිත තාවය තහවුරු කිරීම පිණිස ය.

ඉන් අනතුරුව වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ 1997.08.12 වන දින අංක 988/4 දරණ ගැසට් නිවේදනය මඟින් පළමු ව ප‍්‍රකාශයට පත් කළ මින්නේරිය – ගිරිතලේ අභය භුමි ප‍්‍රදේශයට තවත් වනාන්තර බිම් හෙක්ටයාර් 2196 ක් එක් කර හෙක්ටයාර් 8889.41 ක් වන භුමි ප‍්‍රමාණයක් ලෙස මින්නේරිය ජාතික වනෝද්‍යානය ප‍්‍රකාශයට පත් කළේය.

පසු කාලීන ව මෙවන් නීතිමය ආරක්ෂාවන්ට මින්නේරිය වැව නතු කළේ එහි ජල පෝෂක ප‍්‍රදේශ මෙන් ම වැවේ අනාගත පැවැත්ම තහවුරු කිරීම, වනජීවීන් ගේ වාසස්ථාන සුරක්ෂිත කිරීම සඳහා පමණක් නො ව මින්නේරිය වැව යටතේ වගා කෙරෙන හෙක්ටයාර 8900 ක් (අක්කර 21983 ක්) පමණ වන ගොවිබිම්වල පැවැත්ම සහ ජල සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා ය.

මින්නේරිය දෙවියන් ලෙස ජනතාව අතර දේවත්වයට පාත‍්‍ර වූ ක‍්‍රි.ව 274 සිට ක‍්‍රි.ව 301 දක්වා සමය තුළ ලක් දෙරණේ රජ කළ මහසෙන් රජු විසින් කර වූ මින්නේරිය වැව වියළි කලාපය තුළ පිහිටි අමිල සම්පතකි. ජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් තම කාලය කැප කරමින් දූරදර්ශීව කටයුතු කළ, ජනතාව සමඟ ජීවත් වූ, ජනතාව වෙනුවෙන් ජනතාව සමඟ එක්ව රටට සේවය කළ මහසෙන් රජු ලංකා ඉතිහාසය තුළ ජනතාව අතර දේවත්වයට පාත‍්‍ර වූ එකම රජු වූයේ ජනතාව ගේ රජෙකු වූ නිසා ය. මහසෙන් රජු මින්නේරිය වැව කරවූයේ තමන් ගේ කෙත්වතු අස්වැද්දීමට නොව තම රට වැසියා ගේ කෙත් වතු සරු සාර කිරීමට ය.

එදා සිටි රජවරුන් එසේ වුවද අද සිටින දේශපාලකයින් ජනතා ඡන්දයෙන් බලයට පත් වී මැති ඇමතිකම් ලබා ගෙන අද සිදු කරන්නේ ඊට හාත්පසින් ම වෙනස් වූවකි. ඔවුන් තම ධූර කාලය තුළ උපරිම උත්සාහයක යෙදෙන්නේ තමා ගේ, තම පවුලේ සහ තම පරම්පරාවේ ආර්ථික ස්ථාවරත්වය තහවුරු කර ගැනීම සඳහා ය. එවන් දේශපාලකයින් මින්නේරිය දෙවියන් විසින් ජනතාව වෙනුවෙන් කර වු මින්නේරිය වැවේ ජල පෝෂක ප‍්‍රදේශය තුළ අනවසරින් හෝටල් ඉදි කිරීමට තරම් නිහින වී ඇත. අලි – ඇතුන් විශාල ප‍්‍රමාණයකට වාසස්ථාන සපයන හා වියළි කාලයේ දී අලි – ඇතුන් එක්රැස් වන ලංකාවේ සුවිශේෂීම ජාතික වනෝද්‍යානය වන මින්නේරිය වනෝද්‍යානයේ ඝන වනාන්තරය තුළ මෙවන් හෝටලයක් ඉදිකිරීමෙන් සිදු විය හැකි බලපෑම ඉතාම අධික ය. මේ හෝටලය හේතුවෙන් අලි – ඇතුන් ගේ ගමන් මාර්ග අවහිර කිරීම පමණක් නොව වනෝද්‍යානය තුළ තෙත් බිම්වල පැවැත්ම හා ඒවාට ජලය සපයන ප‍්‍රභවයන් ද මේ හෝටලය හේතුවෙන් අවහිර වී ඇත. ඊට අමතර ව හෝටලයේ භාවිත කරන රසායනික ද්‍රව්‍ය, සේදුම් කාරක, කෘමි සතුන් පාලනය සඳහා යොදන රසායනික යන මේ සියල්ල ම ජාතික වනෝද්‍යානයේ සාන්ද්‍රගත වීම සිදු වේ. ඉන් වනෝද්‍යානයේ ජෛව ප‍්‍රජාවට ඍජු බලපෑම් එල්ල වේ. ඒ නිසා මේ හානි කර හා නීති විරෝධී හෝටලයේ ඉදිකිරීම් කටයුතු නතර කිරීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැන්වත් කඩිනම් කි‍්‍රයාමාර්ගයක් ගනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. මේ සංචාරක හෝටලය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගත යුතු අතර එහි සිදුවන හානිකර ක‍්‍රියා සියල්ල මැඩ පැවැත්වීමට කඩිනම් පියවර ගත යුතු ය. එ සේ නොමැති වුවහොත් මින්නේරිය ජාතික වනෝද්‍යානය තුළ තවදුරටත් වනාන්තර එළි පෙහෙළි කර මේ සංචාරක හෝටලය ව්‍යාප්ත විය හැකි අතර ඒ හේතුවෙන් වනෝද්‍යානය තුළ සිදු වන නීති විරෝධී ක‍්‍රියා පාලනය කිරීමට ද නොහැකිවනු ඇත.

සජීව චාමිකර | පරිසර සංරක්ෂණ භාරය

@VIKALPA