සිංහල, Colombo, Democracy, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Media, Peace and reconciliation

මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම ඇස් බැන්දුමක් – ඇම්නස්ටිය


ජාත්‍යන්තර බලපෑමකින් තොරව ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ සේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් කිසිදු වගකිවයුතු පරීක්ෂණයක් කිරීමට පෙළඹෙනු නැතැයි ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

මේ මස 10 වැනිදා සිට 28 වැනිදා දක්වා ජිනීවා නුවර මුළු දීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 21 වැනි සැසිවාරය වෙනුවෙන් ලිඛිත ප්‍රකාශයක් නිකුත් කරමින් ඇම්නස්ටිය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවලට පවසන්නේ ඉකුත් සමුළුවෙන් යෝජනා වූ පරිද්දෙන් උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් වගකීම් දැරීමේ සැබෑ අභිප්‍රායක් ශ්‍රී ලංකා රජය විසින් පෙන්නුම් කොට නැති බවයි.

විශේෂයෙන්ම එල්ටීටීඊයට එරෙහි යුද්ධය හමාර වී වසර තුනකට පසුවත් චෝදනා ඉදිරිපත් කිරීමකින් හෝ නඩු විභාගයකින් තොරව සැකකරුවන් රඳවා ගැනීම සඳහා ආණ්ඩුව තවමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යොදා ගනිමින් සිටින බව ඇම්නස්ටි ජාත්‍යන්තරය පෙන්වා දෙයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත

සැලසුම් සහ ප්‍රතිඥාවලින් නොනැවතී චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් එක්සත් ජාතීන් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බව ඇම්නස්ටිය අවධාරණය කරයි

මානව හිමිකම් රැකීම පිළිබඳව රජය විසින් ඉදිරිපත් කොට ඇති ජාතික ක්‍රියාකාරී සැලසුම බරපතල විවේචනයට ලක් කරන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය, විශේෂයෙන්ම එල්එල්ආර්සී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ 285 ක් අතරින් ජාතික ක්‍රියාකාරී සැලසුම විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරන්නේ නිර්දේශ 85 ක් පමණක් බව ද සඳහන් කරයි.

එහිදී පවා බරපතල මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට දඬුවම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව නිසි අවධානයක් යොමු කොට නැති බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ මතයයි.

අනෙක් අතට සමහර මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳව පරීක්ෂා කිරීම එම උල්ලංඝනයන් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ආයතන සහ පොලීසියටම භාර කිරීම මෙම ක්‍රියාකාරී සැලසුමේ බරපතලම දුර්වලතාවය බවත් එහි සඳහන්.

ඒ පිළිබඳව උදාහරණ දක්වන මානව හිමිකම් සංවිධානය පවසන්නේ, සොල්දාදුවන්ට, හමුදා නිලධාරීන්ට සහ ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීන්ට යුද අපරාධ චෝදනා එල්ල වී තිබියදී ඒවා පරීක්ෂා කිරීම ආරක්ෂක අමාත්‍යංශයටම භාරකොට තිබෙන බවයි.

මේ තත්ත්වය යටතේ එල්ටීටීය සහ ආරක්ෂක හමුදා විසින් කරන ලද බව පැවසෙන ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමේ සිදුවීම් පිළිබඳව පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ගේ උනන්දුවක් ඇති හැඩක් නොපෙනෙන බව පවසන ඇම්නස්ටි ජාත්‍යන්තරය, එබැවින් සැලසුම් සහ ප්‍රතිඥාවලින් නොනැවතී මෙම චෝදනා පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් ශ්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බව ද අවධාරණය කරයි.

ශ්‍රී ලංකා ආණ්ඩුවේ එසේ ස්වාධීන පරීක්ෂණයක් නොපවත්වන්නේ නම් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනා පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන, ජාත්‍යන්තර කොමිසමක් පත් කළ යුතු බවත් ඇම්නස්ටිය නිකුත් කළ ලිඛිත ප්‍රකාශයේ සඳහන්.

By:bbc

[ඡායාරෑපය- මන්නාරම, සිලාවතුෙරයි ප්‍ර ෙද්ශ ෙය් යුද්ධ ෙයන් තම දරැවන් අහිමි වූ පිෙයක් ෙද්වස්ථානයකදී තම දරැවන් සිහි කරන අයුරැ – Image:VIKALPA]