සිංහල, Governance, Human Rights, Human Security, IDPs and refugees, Jaffna, Life quips, Peace and reconciliation

මුල් ගම් බිම් අහිමිවූ යුද අනාථයන්ගේ ඉඩම් හමුදා භාරයේ – එක්සත් ජාතීන්

වසා දැමූ මැණික් ෆාම් කඳවුරේ සිටි අනාථයන් අතරින් යළි තම ගම බිම් කරා යෑමට අවස්ථාව අහිමි වූවන් හට කඩිනම් විසඳුමක් ලබා දිය යුතු බව එක්සත් ජාතීහු ප්‍රකාශ කරති.

ලොව විශාලතම අනාථ කඳවුර ලෙස ආරම්භවූ මැණික් ෆාම් කඳවුර වසා දැමීම අගය කරන බව පවසන එක්සත් ජාතීන්ගේ මානව කටයුතු සම්බන්ධීකාරක සුබීනායි නන්දි, මුලතිවු දිස්ත්‍රික්කයේ කේප්පාපුලවූ ගමේ අනාථ භාවයට පත් පවුල් එකසිය දහයකට අයත් පුද්ගලයන් තුන් සිය හතලිස් හයකට අයත් ඉඩම් ශ්‍රී ලංකා රජයේ යුද හමුදාව අත පවතින බව ප්‍රකාශ කර සිටියි.

කේප්පාපුලවූ ඉඩම් හිමියන් වෙනත් ප්‍රදේශ වල පදිංචි කරවීමට ගෙන ඇති පියවර පිළිබඳව වහා අවධානය යොමු කළ යුතු බවද එක්සත් ජාතීන් විසින් මැණික් ෆාම් කඳවුර වස දැමීමෙන් දිනකට පසු නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වී තිබේ.

යුද අනාථයන්ගේ ආයාචනයක්

මැණික් ෆාම් කඳවුරෙන් ඉවත් කරනු ලබන යුද අනාථයන් ආපසු ගම් බිම් වලට නොයවා වෙනත් කඳවුරකට යැවීම වැලැක්වීමට මැදිහත් වන මෙන් දමිළ දේශපාලන නායකයකු සහ යුද අනාථයන් පිරිසක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත පසුගිය සඳුදා ඉල්ලීමක් ඉදිරිපත් කර සිටියහ.

අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් නවී පිල්ලේ වෙත යුද අනාථයන්ගේ ආයාචනයක් රැගත් ලිපියක් යැවූ දමිළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසා තිබුයේ වසා දැමෙන මැණික් ෆාම් කඳවුරේ තුන් වසරක් තිස්සේ රඳවා සිටි අය අතරින් සැලකිය යුතු පිරිසක් යලි කිසිදා මුල් ගම් බිම් බලා නොයවන බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර සමස්ත නැවත පදිංචි කිරීමේ කාර්යාවලිය එක්සත් ජාතීන්ගේ ප්‍රශංසාවට ලක්ව ඇත.

“අපට කෑම බීම ඕන නෑ. අපේ ඉඩමට ගිහින් අඹ ගහක් යට හිටියත් සන්තෝෂයි”

යළි තම මුල් ගම්මාන වල පදිංචි වීමට යුද අනාථයන් පිරිසකට ඉඩ නොදීම පිළිබඳව සංදේශයේ දිනසේන රතුගමගේ කළ විමසුමකට පිළිතුරු දුන් අනාථ කඳවුරු පිලිබඳ නිසි බලධාරියා ප්‍රකාශ කළේ එම ඉඩම් රාජ්‍ය ආරක්ෂාව සඳහා පවරාගෙන ඇති බවයි.

රාජ්‍ය ආරක්ෂාව සඳහා

“ඉතා වටිනා හමුදාමය උපක්‍රම භූමියක් ලබාදීමේ හැකියාව අපට අනුමත කරන්න බැහැ.” උතුරේ අනාථ කඳවුරු පිලිබඳ නිසි බලධාරී මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා කේප්පාපුලවූ අනාථයන්ගේ ඉල්ලීම් පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු දෙමින් කියා සිටියේය.

මුලතිවු දිස්ත්‍රික්කයේ මන්ඩාවිල් ප්‍රදේශයේ යළි පදිංචියට ගිය අනාථයන් යළි ගම් බිම් බලා යෑමට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුටට පත් වුවත්, කේප්පාපුලවූ ප්‍රදේශයේ මුල් පදිංචි කරුවන් නැවත පදිංචි කරවීමේ ක්‍රියාදාමය පිලිබඳ පළ කොට සිටියේ අප්‍රසාදය යි.

“අපි අත් ඇරලා එනකොට ගෙවල් තිබුනා. පොල් ගස් අඹ ගස් තිබුනා.අපි ඒවා හැදුවේ අපේ ළමයි වෙනුවෙන්. අපට කෑම බීම ඕන නෑ. අපේ ඉඩමට ගිහින් අඹ ගහක් යට හිටියත් සන්තෝෂයි” කේප්පාපුලවූ ගම් වාසී අනාථයෙක්, සඳුදා මැණික් ෆාම් කඳවුරෙන් පිටව යන අවස්ථාවේදී ‌ සංදේශයට කියා සිටියේය.

පාසල් භුමි වල

මැණික් ෆාම් කඳවුරේ සියලු තාවකාලික ගොඩනැගිලි මේ වනවිට ඉවත් කොට තිබේ.

කඳවුරෙන් ඉවතට ගෙන ගියත් කේප්පාපුලවූ අනාථයින් සඳහා වෙන් කොට තිබෙන්නේ මුලතිවු හි වට්ටාපලයි මහා විද්‍යාලයේ සහ වට්රාපලෙයි කනිෂ්ට පාසල යන තාවකාලික කඳවුරු වලයි.

රජය පවසන්නේ ඉදිරි මාස කිහිපය තුල ඔවුන් මෙම පාසල් භුමි වල රඳවා තැබීමට නියමිත බවයි.

By- bbcsinhala