සිංහල, Colombo, Democracy, Economic issues, Governance, Peace and Conflict, Politics and Governance

රටක ව්‍යවස්ථාව, විධායකයේ අතකොලූවක් වන විට


රටක උත්තරීතර නීතිය වන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවයි. මෙම ලියවිල්ලට රට්ටු ගරු කරති. ඔවුන්ට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් උල්ලංඝණය කිරීමට ඉඩක් නැත. එම අවකාශය ඇත්තේ පාලකයන්ට ය. එසේ කරන උල්ලංඝණයන් පවා යුක්ති සහගත කර ගැනීමට පාලකයා සේවයට ගන්නේත් එම ව්‍යවස්ථාවමයි. උදාහරණයක් වශයෙන්, ව්‍යවස්ථාවේ ඇති එක පැනවීමක් එම ව්‍යවස්ථාවේම ඇති තවත් පැනවීමක් හරහා උල්ලංඝණය කිරීමට බොහෝ විට පාලකයෝ පියවර ගනිති. සිම්බාබ්වේ අගමැති රොබට් මුගාබේ වැනි අත්තනෝමතික පාලකයන්ගේ සිට, ඇඩොල්ෆ් හිට්ලර් වැනි ඒකාධිපතියන් දක්වා කටයුතු කෙළේ සහ කරන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ‘අනුකූලව’ බව එවිට පෙනේ. ඔවුන් තමන්ට රිසි අයුරින් ව්‍යවස්ථා සංශෝධනය කරගෙන කටයුතු කළා මිස ඒවා මුළුමණින් ඉරා දැමුවේ නැත. යම් ව්‍යවස්ථාවක් පැහැදිළි නොවන තරමට සහ අත්තනෝමතික වන තරමට, මෙසේ ‘ව්‍යවස්ථානුකූලව උල්ලංඝණය කිරීමේ’ හැකියාව පාලකයෙකුට ලැබෙන බව එහි අදහසයි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීම, රටක ශ්‍රේෂ්ඨාධිකරණයකට පැවරෙන මුලික වගකීමයි. එනම්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය නොවන බවට වගබලාගන්නා අදීන මුරකරුවා, ශ්‍රේෂ්ඨාධිකරණය යි. ‘දිවි නැගුම’ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව එම වගකීම ඉටු කළ එක් අවස්ථාවකි. එනම්, මුරකරුවා නිසි රාජකාරියේ යෙදී සිටි අවස්ථාවකි. එය, යම් පුද්ගලයෙකු වැරදිකරු කොට විනිශ්චය දීමක් නොව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ඉදිරියේ යම් ක‍්‍රියාවක ඇති නොපෑහීම පෙන්වා දීමකි. එහෙත් එම විනිශ්චය තමාට සහ තමාගේ බල පරාක‍්‍රමයට එරෙහිව ගන්නා ලද පියවරක් වශයෙන් ජනාධිපතිවරයාට සිතුණි. ඔහුගේ පාර්ලිමේන්තු සගයන්ට සිතුණේ, එය, අධිකරණය විසින් ව්‍යවස්ථාදායකයේ (පාර්ලිමේන්තුවේ) උත්තරීතරත්වයට ඇඟිලි ගැසීමක් වශයෙනි.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තුළ, අප කවුරුත් දන්නා පරිදි, පාලන බලය ඒ ඒ අංශ වෙත බෙදෙන්නේ කෙසේ ද යන්නත්, පාලකයා සහ පාලිතයා අතර පැවතිය යුතු සහසම්බන්ධය කවරාකාර විය යුතු ද යන්නත් විස්තර කෙරේ. ආණ්ඩුක‍්‍රම ලියවිල්ලක මුල්ගල වන්නේ ජනතා පරමාධිපත්‍යය හෙවත් ජනතා ස්වෛරීත්වය වන නිසා, පාලකයාගෙන් එම ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදි ආණ්ඩු ක‍්‍රමයක ආත්මය වශයෙන් පවතින්නේය. එය එසේ වන්නේ දැ යි සොයා බලන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය යි.

ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් පූජණීය වූ පමණින් එය නොවෙනස්ව පවතින බවක් මින් අදහස් නොවේ. බොහෝ රටවල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා විටින් විට සංශෝධනය කෙරේ. ලංකාවේ වර්තමාන ව්‍යවස්ථාවත් 18 වරක්ම සංශෝධනය කොට ඇත. අවශ්‍ය කරන්නේ, ඇති කරගන්නා ඕනෑම වෙනසක් තුළ, අර කී ‘පූජණීයත්වය’ හෙවත් පාලකයෙකුගේ බලය ඉදිරියේ ජනතාවකගේ බලය ආරක්ෂා වන බවට සහතික වීමයි.

මේ නිසාම, ආණ්ඩු ක‍්‍රමයක පැනෙන, විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුන අතරින් ඕනෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක, උපරිම ස්වාධීනත්වයක් පැවරෙන්නේ අධිකරණටයි. මන්ද යත්, ඕනෑම අවසාන විනිශ්චයකට එළැඹීම සඳහා අධිකරණයකට පූර්ණ නිදහසක් අවශ්‍ය කරන බැවිනි.

ඉස්සර සිටි රජවරුන්ට ආණ්ඩුක‍්‍රම ලියවිල්ලක් කියා දෙයක් තිබුණේ නැත. ‘රාජ්‍යය යනු මම ය’’ යනුවෙන්, අවුරුදු 72 ක් ප‍්‍රංශයේ රජකම් කළ 14 වැනි ලූවී කියා ඇති බව මෙහි දී සිහිපත් කිරීම වටී. මුළු රාජ්‍යයම තනි පුද්ගලයෙකු වන විට, ලියවිල්ලක ලියන්නට දෙයක් ඉතිරි වන්නේ නැත.

පසු ගිය කාලයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ලංකාවේ සිදු වූ ව්‍යවස්ථාමය වෙනස්කම් සහ ඉදිරියේ දී ඔහු කිරීමට අපේක්ෂා කරන තවත් සංශෝධන ගැන විපරමින් බලන කිසිවෙකුට, අද ජනාධිපතිවරයා උත්සාහ කරන්නේ, මේ කියන ප‍්‍රංශ ලූවී ගේ අනුප‍්‍රාප්තිකයෙකු වීමට බව නොවැටහෙන්නට හේතුවක් නැත.

ඒ අර්ථයෙන් ගත් විට, පාර්ලිමේන්තුව සහ අධිකරණය යන බල පංගුකාරීත්වයේ ඉතිරි ප‍්‍රධාන පාර්ශ්ව, විධායකයේ හෙවත් තමාගේ අණසකට නතු කර ගැනීම සඳහා මේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අපහරණය කළ හෝ කරන හෝ කිරීමට නියමිත අවස්ථා තුනක් ගෙනහැර දැක්විය හැකිය. මේවා, නීති විශාරදයන්ගේ තර්ක ඉදිරියේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ‘උල්ලංඝනය’ කළ අවස්ථා වශයෙන් අර්ථ නිරූපණය කිරීමට අසීරු විය හැකි වෙතත්, ඒ හැම අවස්ථාවක්ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අපයෝජනයට ලක්කළ හෝ එසේ කිරීමට තැත් කළ අවස්ථා වශයෙන් සැළකීමේ හැකියාව තිබේ. අපයෝජනයත්, ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ගත් කල, උල්ලංඝනයකි.

17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කර ගැනීම මේ ජනාධිපතිවරයා සිදු කළ ප‍්‍රථම අපයෝජනය යි. එහි දී, පැය 24 ක් වැනි කෙටි කාලයකින් ඔහු එය කෙළේ, එතෙක් ඔහු සතුව නොතිබුණු, ස්වාධීන ආයතන සතුව පැවති, බල පදාසයක් හිතුවක්කාරීව තමාගේ ග‍්‍රහණයට ගැනීමයි. එහි දී, පාර්ලිමේන්තුව වෙත ව්‍යවස්ථාවෙන් පැනවෙතැ යි කියන ජනතා ස්වාධිපත්‍යය අකර්මණ්‍ය කෙරුණි.

‘දිවි නැගුම’ යටතේ කරලියට එන්නේ දෙවැනි අපයෝජනය යි. 18 වැනි සංශෝධනය යටතේ කේන්ද්‍රයේ බලයෙන් එක පදාසයක් තමාගේ පුද්ගලික බල ව්‍යාපෘතියට සරිකර ගත් ආකාරයෙන්, මෙවර ‘දිවි නැගුම’ හරහා ඩැහැ ගැනීමට ඔහු බලන්නේ පරිවාරයට (පළාත් සභාවට) පැවරී ඇති බලයකි. එහෙත්, 18 වැනි සංශෝධනය සම්බන්ධයෙන් කළාක් මෙන්, හැරෙන තැපෑලෙන් එය ඉෂ්ට කර ගැනීමට ඔහුට නොහැකි විය.

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය එන්නේ ජනාධිපතිවරයා තුළ ඇති වූ එම ඉච්ඡා භංගත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. තමාගේ බල ව්‍යාපෘතියේ මුලෝපාය, පවතින ව්‍යවස්ථාවට පටහැනි යැයි අධිකරණය කියන්නේ නම්, එම අධිකරණය දණගස්වා හීලෑ කළ යුතුවා පමණක් නොව, එම විනිශ්චයට එළැඹීමට අධිකරණයට අවකාශ සැලසූ ව්‍යවස්ථාවමත්, තමාගේ බල ව්‍යාපෘතියට ගැලපෙන ආකාරයෙන් වෙනස් කළ යුතු යැයි මේ ජනාධිපතිවරයා තරයේ විශ්වාස කරයි.

ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන දෙසොහොයුරන් ලවා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් කටුගා දැමිය යුතු බවට නිවේදනය කිරීම අපයෝජනයේ තුන්වැනි අවස්ථාව යි. ‘දිවි නැගුම’ හිර වුණේ ඒ කියන 13 වැනි සංශෝධනය නිසා ය. එනම්, 13 මගින් පළාත් සභාවලට පවරන ලද බල ක්ෂේත‍්‍රයක් මධ්‍යම ආණ්ඩුවට පවරා ගන්නේ නම්, ඒ සඳහා සියළු පළාත් සභාවල අනුමැතිය අවශ්‍ය කරන බවට අධිකරණය දුන් තීන්දුවයි. ඉතිං, අගවිනිසුරුවරියව ගෙදර යැවීම රාජපක්ෂ මමංකාරයේ වාඩුව පිරිමසාගන්නා තාවකාලික සහනයක් පමණක් වන නිසා, ස්වකීය දීර්ඝ කාලීන ඒකාධිපති ලාලසාවන්ට අනාගතයේ දී බාධා එල්ල විය හැකි 13 සහමුලින් කටුගා දැමීමත් ඔහු සම්බන්ධයෙන් අනිවාර්ය කෙරේ.

මෙය, ව්‍යවස්ථානුකූල ආඥාදායකත්වයක පැහැදිළි හැඩතලයකි.

එහෙත් තවමත්, දෝෂාභියෝගයේ ‘ව්‍යවස්ථානුකූල’ භාවය ගැන සමහරු පාරම්බාති. පාර්ලිමේන්තුවේ තුනෙන් එකක අත්සන් යටතේ, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් හරහා ඇති කරගන්නා විනිශ්චයක්, පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක කැමැත්තෙන් සම්මත කර ගැනීමෙන් අනතුරුව අගවිනිසුරුවරියව ගෙදර යැවීම, අත්තනෝමතික හෝ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාවක් වන්නේ කෙසේ දැ යි මේ අය ප‍්‍රශ්න කරති.

කෙනෙකු මේ ප‍්‍රශ්නය මතු කරන්නේ සද්භාවයෙන් නම්, (තක්කඩි කමට හෝ බඩගෝස්තරවාදී කමට නොවේ නම්), ඔහුගේ හෝ ඇගේ සැලකිල්ලට ලක්විය යුතු සරළ කාරණයක් තිබේ. පාලකයෙකු ගන්නා ඕනෑම පියවරක් තුළ ඇත්තේ, ඔහුගේ හෝ ඇගේ බලය දශමයකින් හෝ වර්ධනය කර ගැනීමේ ඡායාවක් නම්, එය ඡායාරූපයක ‘නෙගටිව්’ පිටපතක් වශයෙන් සළකන්න. එවැනි ‘නෙගටිව්’ පිටපතක් ‘ඩිවලොප්’ කළ විට හෙවත් සෝදාගත් විට ලැබෙන්නේ ඒකාධිපතියෙකුගේ ‘ප‍්‍රින්ට්’ එකක් හෙවත් ඡායාරූපයක් බව මතක තියාගන්න.

ගාමිණී වියන්ගොඩ[Gamini Viyangoda]