end of the War, Featured Articles, Features, Jaffna, Peace and Conflict, Politics and Governance

මළවුන් සිහිපත් කිරීම; ජීවත්වන්නවුන්ගේ වත්පිළිවෙත් සහ අයිතිවාසිකම් පිළිබද සිතාබැලීමක්

ආරක්ෂක අංශවල බාධාකිරීම් හමුවේ, කිලිනොච්චියේ මව්වරැ, යුද්ධය විසින් උදුරාගත් සිය සමීපතමයින් වෙනුවෙන් දෙවියන් යදින අවස්ථාවක් | 2012 මැයි 18දා | Photo: www.vikalpa.org
ආරක්ෂක අංශවල බාධාකිරීම් හමුවේ, කිලිනොච්චියේ මව්වරැ, යුද්ධය විසින් උදුරාගත් සිය සමීපතමයින් වෙනුවෙන් දෙවියන් යදින අවස්ථාවක් | 2012 මැයි 18දා | Photo: www.vikalpa.org

ශිෂ්‍ය විරෝධතාවකට බැටන් පොලූ පහර දෙමින්, මාධ්‍යවේදියෙකුට ප‍්‍රහාර එල්ල කරමින්, සිසුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන රඳවා තබා ගනිමින්, යාපනයේ විශ්ව විද්‍යාල සිසුන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් අතර මෑතකදී පුපුරා ගිය ගැටුම, තමන්ගේ ආදරණීයයන් වේවා, මිතුරන් වේවා, විරුවන් වේවා, මළවුන් සිහිපත් කිරීමට ජීවත්ව සිටින්නවුන්ට ඇති අයිතිය වටා කේන්ද්‍ර වූවකි.

සිසුන්, මළවුන් සිහිපත්කිරීම වෙනුවෙන් පහන් දැල්වූ බව කියති. ඔවුන් කර ඇත්තේ, සියවස් ගණනාවක් තිස්සේ, ලොව පුරා බිලියන ගණනක් මිනිසුන් විසින්, තම නිවෙස්තුළ, සොහොන් මත, පූජනීය ස්ථාන තුළ සහ මිනිසුන් මිය ගිය තැන්වල සිදුකරන විශ්වීය චාරිත‍්‍රයක් ඉටු කිරීමයි. මෙහිදී අනුගමනය කරන සම්ප‍්‍රදායන් තැනින් තැනට අනුව එකිනෙකට වෙනස් වුවත්, මේ චාරිත‍්‍රයේ හරය වනුයේ, මියගියවුන් ස්මරණය කිරීම සහ ඔවුන් මෙලොව හැර දමා ගිය හිතෛශීන් අත්විඳින වියෝ වේදනාවන් තුනී කර ගැනීමයි. මේ චාරිත‍්‍රයට ගරු කිරීම වනාහි, ශිෂ්ටත්වයේ පිළිබිඹුවකි.

බොහෝ සමාජවල, වෙසෙසින්ම ආගමික හෝ වාර්ගික ප‍්‍රචණ්ඩත්වයෙන් හිස එසවීමට උත්සහ දරන සමාජවල, එක් පාර්ශවයක් විසින් ගෞරවයෙන් අනුස්මරණය කරන පිරිස අනෙක් පාර්ශවය විසින් සතුරන් ලෙස දැකීමට ඉඩ ඇත. අපේ සමාජයේ තත්ත්වය මීට වෙනස් නොවේ. නමුත්, මේ හේතු කොටගෙන අනෙකා තමන්ගේ මළවුන් සිහිපත් කිරීම වළක්වාලීමට යමෙකුට අයිතියත් නැත. ඊටත් වඩා, එසේ වළක්වන්නේ, රාජ්‍යය වන විට, රාජ්‍යය තම පුරවැසියන් ආරක්ෂා කිරීම වෙනුවෙන් යෙදවිය යුතු සම්පත් ඔවුන්ව මර්දනය කිරීමට යොදා ගන්නා විට, මෙවැනි ක‍්‍රියාවන්, බය සැක නැතිව එළිපිටම සිදු කරන වෙනස්කොට සැලකීම් ලෙස ගිණිය හැකි වෙනු ඇත.

ශිෂ්‍යයන් නීතිය අතික‍්‍රමණය කළ බවට ආරක්ෂක අංශ සලකන්නේ නම්, ඒ සිදුවීම් ඒ අදාළ නීතියට අනුව වෘත්තීය මට්ටමෙන් විමර්ශනය කළ යුතුව තිබුණි. තවද, සැබෑවටම සිදුවූ දෙය සහ සිදු වූ දෙය තමන් වටහා ගන්නා ආකාරය අතර වන සංවේදී වෙනස පැහැදිලි කරගත යුතුව තිබුණි. මළවුන් අනුස්මරණය කිරීමට ශිෂ්‍යයින්ට තිබූ උවමනාවට දුර දිග සිතා නොබලා, බලහත්කාරකම් පාමින් කළ ප‍්‍රතිචාර දැක්වීමෙන් ඇඟවෙන්නේ, මේ තීරණාත්මක වෙනස තෝරා බේරා ගන්නට බැරි බරපතල නොහැකියාවයි.

මෙයින් ඇඟවෙන්නේ එය පමණක් නොවේ. දැනටත් තුවාල ලබා සිටින සුළු ජාතියක් යටත් කරගැනීම මේ බලහත්කාරකම යෙදවීම පිටුපස ඇති අභිප‍්‍රාය බව පෙනේ. එසේම තමන්ට අදාළව ඉතිහාසය අර්ථදක්වන්නට අනෙක් ප‍්‍රජාවන්ට ඇති අයිතිය ඉවසාගන්නට ඇති නොහැකියාව එයින් ප‍්‍රදර්ශනය කෙරේ. මේ සියල්ලටම වඩා, දමිළ සාමූහික ජන විඥානය තුළ ගැඹුරට කිඳා බැසගෙන ඇති, තමන්ගේ ප‍්‍රජාව විසින් අත්දුටු ව්‍යුහාත්මකව සහ එළිපිට දියත් කෙරුණු ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ මතකය මේ මගින් යළිත් අවුලවාලීම අතිශය බරපතල කාරණයකි. ඒ හරහා යළිත් නව මුහුණුවරකින් ප‍්‍රචණ්ඩ ප‍්‍රතිචාර දැක්වීමට පෙළඹවීමක් ඇති කෙරෙණු ඇත. ඒ කිසිවෙකුත් මේ මොහොතේ අපේක්ෂා නොකරන ඛේදනීය තත්ත්වයකි.

ඇත්තවශයෙන්ම මේ සිදුවීම්, ප‍්‍රචණ්ඩත්වයේ බලපෑමට ගොදුරු වූ දහස් ගණන් ශ‍්‍රී ලාංකිකයින්ට තමන්ගේ වේදනාවන් ගෞරවනීය ලෙස විඳ දරාගැනීමටත්, සෙමෙන් සෙමෙන් ඒ මතකයන් සුවපත් කරගැනීමේ ක‍්‍රියාවලිය කරා යොමුවීටමත් හැකි වන පරිදි අදාළ තත්ත්වයන් උදා කරදිය යුතු බව නිර්දේශ කරමින් ජනාධිපතිවරයා විසින්ම පත් කළ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම ඉදිරිපත් කළ යෝජනාවන් කෙරෙහි අපගේ අවධානය යොමු කරවයි. එවැන්නක් තවමත් සිදු වී නැත යන්නත්, එසේ කරන්නට මිනිසුන්ට ඇති අයිතිය උල්ලංඝණය කෙරෙමින් පවතීය යන්නත් බෙහෙවින්ම ඛේදනීය සහ සිත් කම්පනයට පත්කරවන තත්ත්වයකි.

යාපනයේ විශ්ව විද්‍යාලයේ සිදුවීමත්, අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගයත්, වැලිකඩ බන්ධනාගාරයේ කැරලි කාර සිරකරුවන්ගේ මරණත් ඉඳ හිට සිදුවන, අමනෝඥ, අපරික්ෂාකාරී අත්වැරදීම් ලෙස ලඝු කොට නොගත යුත්තේ මේ නිසාවෙනි. ඒ සියල්ලම දිගින් දිගටම ප‍්‍රසාරණය වන ආණ්ඩු බලය සහ වඩ වඩා කුඩා වෙමින් යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පිළිබඳ සාධක සපයයි. උතුර සහ දකුණ ප‍්‍රාදේශීය වශයෙන් කොයිතරම් දුර වුවත්, අප අපගේ සහෝදරියන්ගේ සහ සහෝදරයන්ගේ ආරක්ෂකයාය යන්න පිළිගත යුතු වන්නේ මේ නිසාවෙනි.

බිෂොප් දුලීප් ඩි චිකේරා විසිනි.

@VIKALPA