Colombo, end of the War, Featured Articles, Features, Peace and Conflict, Politics and Governance

2012: කලූ වලාකුළු සහ රිදී රේඛා

MR 2012

තවත් සතියකින් 2012 වසර ඉතිහාසයට යයි. එය කලූ වලාවෙන් ගහණ ය. මහජන අයිතීන් පයට පගා දැමෙන අත්තනෝමතිකත්වය පසුගිය වසරෙහි ශ‍්‍රී ලංකා ගගනෝදරය වසා ගත් මහම කලූ වලාව විය. 2012 කලූ වලාධිපති කිරුළ ජනාධිපති රාජපක්ෂට හිමිවන අතර විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට 2012 කුම්බකර්ණ අලූ වලාධිපති යහන පිරිනැමෙයි. වසරෙහි අපේක්ෂා භංගත්වයේ පළිහ ජෙනරල් ෆොන්සේකාට අයත් ය.

එනමුත් මේ කලූ වලා සහ අපේක්ෂා භංගත්වයන් මැද නිසැකවම අප දිරි ගන්වන රිදී රේඛා අහස් තලයෙහි නොව මහ පොළවෙහිම දිදුලයි.

එනයින් 2012 සමුගන්නේ ඉතිහාසයෙහි වැළලී නොයන්නාවූත් ඉදිරි වසර කරා ජවයකින් යුතුව ගමන් කරන්නාවූත් සිදුවීම් පෙළක් අපට දායද කරමිනි. එම ක‍්‍රියාදාමයන් විසින් පශ්චාත් යුද්ධ ශ‍්‍රී ලංකා සමාජය මත රාජපක්ෂ රිජීමය සතුවූ ග‍්‍රහණය දෙදරුම් කවන්නට පටන් ගෙන තිබේ. 2012 වසර සටහන්වනු ඇත්තේ පශ්චාත් යුද්ධ රාජපක්ෂ පාලනය හෙල්ලූම් කැවුණු වසර ලෙස ය. මෙම වසර අවසන් දින කිහිපය තුළ අප අත්දකිමින් සිටින්නේ අවසානයක ආරම්භය වියහැකි ය.

රාජපක්ෂ රිජිමය රඳා පවත්නා දේශපාලන හවුල තුළ අද කවරදාටත් වඩා අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධයන් සහ අප‍්‍රසාදය මෝදුවෙයි. රිජිමයේ මූලෝපාය වන වරදාන සහ භීෂනය විසින් රඳා පවත්වා ගැනීමට බැරි වන තරමට මෙම ප‍්‍රතිවිරෝධයන් උත්සන්න වී දෝරගලා යාම ඒ සඳහා අවශ්‍ය සමාජ – දේශපාලන තත්ත්වයන් එක්තැන්වීම පිලිබඳ ප‍්‍රශ්ණයක් පමණි.

සාධාරණ ඉල්ලීම් මත පදනම්ව මතුවන සෑම මහජන විරෝධතාවයක්ම මැඩලීම සාධාරණ කිරීමට රිජීමය සතුව ඇත්තේ එකම එක සටන් පාඨයකි. ඒ දේශද්‍රෝහී ලේබලය යි. එම කාසියේ එක් පැත්තක් නම් පරාජය කොට මිනී පෙට්ටියේ අවසන් ඇණයත් ගසන ලද බවට සව්දිය පිරූ දෙමළ අරගලය යළි මතුවනු ඇතැයි යන භීතිය වපුරා භීෂනය දියත් කිරීමය. අනෙක් පැත්ත නම් ශ‍්‍රී ලංකාවට විරුද්ධ අන්තර් ජාතික කුමන්ත‍්‍රණයේ කොටස්කරුවන්ය යන්න යි. යුද්ධ ජයග‍්‍රණයේ සව්දිය දැන් ආර්ථික අර්බූදය විසින් දුර්වර්ණ කෙරෙමින් තිබෙන තත්වයක් තුළ සටන් පාඨ ද්විත්වයේ ම වලංගුබව ක‍්‍රමයෙන් පහව යනවා ඇත. වසර අවසානයේ එක්ක හැර එකක් බැගින් පණ පෙවුණූ වැඩ කරන ජනයාගේ වැඩ වර්ජන විසින් සංකේතවත් කැරුණේ බඩවියත රැක ගැනීම පෙරමුණට පැමිණ ඇති සැටි ය.

පාලක හවුල මුහුණ දී සිටින එක් ප‍්‍රධාන අභියෝගයක් නම් උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ අපේක්ෂාවන් සම කිරීමය. ඒ වෙනුවට දැන් බලය බෙදීමේ ව්‍යවස්ථාමය රාමුව වන 13වන සංශෝධනය අහෝසි කිරීමට බලගතු රාජපක්ෂ දෙබෑයන් වන ගෝඨාභය සහ බැසිල් කැස කවති. එම දේශපාලන යොජනාවට තේල් ගහන්නේ ගිනි තැබීමේ සූරයින් වන අන්ත ජාතිවාදී සිංහල පිරිස් ය. මෙම යෝජනාවේ මූලිකයා අති බලවත් රාජපක්ෂ කෙනෙකු වීම නොසළකා මුස්ලිම් කොන්ග‍්‍රසය සහ පැරණි වාමාංශික පක්ෂ දැන් ඊට එරෙහිව සන්ධාන ගතවෙමින් සිටිති. බලය බෙදීමො(13වන සංශෝධනය) අහෝසි කරන යෝජනාවකට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ජන්ද බලයක් ලබා ගැනීම වැළක්වීමට අවශ්‍ය ජන්ද තමන් සතු බව කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුනසේකර ප‍්‍රසිද්ධයේම පවසා තිබුණි.

බලය බෙදීමේ 13වන සංශෝධන විරෝධී ව්‍යාපාරයේ අනෙක් පැත්ත වුයේ දෙමළ ජනයා මත තෙරපා ඇති යුදමය පාලනය ලිහිල්වනු වෙනුවට තවත් ශක්තිමත් කිරීමයි. ඉන්දියාවේ හින්දු පුවත්පත පෙන්වා දුන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදා සේනාංකයන් 18න් 15ක්ම උතුරු නැගෙනහිර රඳවා ඇති බවයි. 2012 සැප්තැම්බරයේ දී යුද්ධවසානයෙන් පසු 300,000 දෙමළ ජනයා රඳවා සිටි මැනික් පාම් සරණාගත කඳවුර නිල වශයෙන් වසා දමන ලද නමුත් යළි පඳිංචි කරවන ලද සරනාගතයින් වැටුණේ කබලෙන් ලිපට ය. යුද සමයෙහි රාජපක්ෂ පාලනයේ සහායකයකු වූ ද්‍රවිඩ එක්සත් පෙරමුණෙහි සභාපති ආනන්දසංගරී දෙසැම්බර් මුල ජනාධිපතිවරයාට යැවූ ප‍්‍රසිද්ධ ලිපියක කියා තිබුණේ ‘‘දෙමළ ජනයා වත්මනෙහි අන් කවරදාටත් වඩා විශම සැළකීමට ලක්වන බව තමාට සහසුද්දයෙන්ම’’ වැටහී ඇති බවය. රාජපක්ෂ පාලනය විසින් විමුක්තිය ලබා දුන් බවට අඩහැර පෑ දෙමළ ජනයාට යුද්ධයෙහි දී දහ දහස් ගණනින් මිය ගිය ස්වකීය ඥාති ඝනයා සැමරීමටවත් අද අවසරයක් නැත.

තනිකරම දේශපාලන උප්රවැට්ටිටයක් වූ අගවිනිසුරු දෝශාභියෝගය සම්බන්ධයෙන් ඇති තත්ත්වය ඊටත් එහා ය. ඒ අරභයා මතුපිට නොපෙනෙන දැවැන්ත කළ කිරීමක් ශ‍්‍රීලනිප තුළ නළියයි. රාජපක්ෂවරුන් විසින් යටිකූට්ටුවෙන් දියත් කරන ලද බව මුළු රටම දන්නා මෙම දෝෂාභියෝගය තමන් දැක්කේවත් නැතැයි ද එබැවින් අත්සන් නොකළේ යැයිද අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියන කතාව ඊට අත්සන් කළ ශ‍්‍රිලනිප මංත‍්‍රිවරුන්ගේ දෙකන් සිදුරු නොකරනු ඇත් ද? ජනාධිපති රාජපක්ෂ කීවේත් තමන් මේ දෝශාභියෝගය දැන ගත්තේ අවශේෂ මංතී‍්‍රන්ගෙන් බව ය. මෙවැනි ප‍්‍රකාශ විසින් අලූයට ගිනි පුපුරු දලූ නොදමනු ඇත් ද? කව්රුන් කෙකෙර ගෑවද දෝශාභියෝග බිත්තරය රාජපක්ෂවරුන්ගේ බවට අනුර කුමාර කී කතාව මසුරමකි. දෝශාභියෝගය පමණක් නොව අධිකරණ ස්වාධිනත්වය කෙළෙසූ සැහැසිකම් ගණනවකින් 2012 වසර බොඳවිය. එනම් මන්නාරම මහේස්ත‍්‍රාත්වරයාට එරෙහි අමාත්‍ය රිෂාද් බදුයුදීන්ගේ අතපෙවීම් සහ ප‍්‍රචන්ඩ පෙළපාලි, අධිකරණ සේවා කොමිසම් සභා ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල වූ අවලාද, මරණ තර්ජන සහ පහරදීම, අගවිනිසුරුවරියට එරෙහි පෝසටර් පත‍්‍රිකා යනාදිය, රාජ්‍ය මාධ්‍ය හරහා ඇයට කරන ලද තුච්ච අපහාස, දෝශාභියෝගයට එරෙහිවීම නිසා නීතිඥ ගුණරත්න වන්නිනායක ඝාතන තැත යනාදිය යි. මෙම කිසිදු සිදුවීමක යුක්තිය තවම ඉටු වී නැත. අලූත්ම ප‍්‍රහාරය වන නීතිඥ සංගමයේ සභාපති විජේදාස රාජපක්ෂ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් ද වනු ඇත්තේ කණගාටුව ප‍්‍රකාශ කිරීම පමණක් බව කැට තියා කිව හැක.

සමහර විට ඊටත් වඩා කළකිරීම ඇත්තේ රාජපක්ෂවරුන් විසින් ආණ්ඩුව සිය ග‍්‍රහණයට ගනිමින් තිබීම නිසා ය. සන්ඬේ ටයිම්ස් පුවත් පතට අනුව 2013 සඳහා වන අයවැය ඇස්මේන්තුවෙන් සියයට 45ක් රාජපක්ෂ සහෝදරවරුන් යටතට යයි. එනම් රු. බිලියන 604කි. ජනාධිපති කාර්්‍යාලයේ දිනක වියදම රු. මිලියන 20කි. වාර්ෂිකව බිලියන 7.4 කි. 2013 අධිකතම වැය ශීර්ශය වන බිලියන 290 ගොඨාභය රාජපක්ෂ යටතට යන අතර බැසිල් රාජපක්ෂ සංවර්ධන කටයුතු අමාත්‍යාංශයට බිලියන 90කි. ඔහුගේම මහා මාර්ග අමාත්‍යාංශයට බිලියන 132කි. තවද පාර්ලිමේන්තුව සතු මුල්‍ය බලතල අන් කවර ආයතනයකටවත් පැවරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පයට පාගා මෙවර අයවැයෙන් ජනාධිපති රාජපක්ෂට පාර්ලිමේන්තුවෙහි අවසරය නැතිව රුපියල් බිලියන 1,295ක් නය ගැනීමට බලය පවරන ලදී.

තවද රාජපක්ෂවරු 2012 වසර පුරාත් ශ‍්‍රී ලංකාව සිය අනීතික දේශපාලන කෙළිපිටිය බවට පෙරළා ගැනීම දිගටම කරගෙන ගියහ. රාජ්‍ය සේවකයකු වන ගෝඨාභය රාජපක්ෂ රඟපාන්නේ නීතියක් නොසළකන බලගතු දේශපාලන චරිතයකි. මැතිවරණ රැස්වීම් අමතන ඔහු රටෙහි දේශපාලන ප‍්‍රශ්නවලට ඍජුවම මැදිහත් වෙයි. අන් කවර රාජ්‍ය සේවකයකු හෝ එවැනි පියවරක් ගැනීම නීතියෙන් දඩුවම් ලබන වරදකි. අමාත්‍ය බැසිල් රාජපක්ෂට 2012 වසරේදී මහා සම්පතක් වන දිවි නැගුම ප‍්‍රධානය කෙරුණි. කතානායන චමල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණය ඉක්මවා යන බලයක උරුමකරු බවට පත් විය. ඔහුගේ පුත‍්‍රයා ඌව මහ ඇමතිය. රාජපක්ෂ ලාංචනය වන කාල්ටන් නම දරන සිය දරුවන්ගේ ක‍්‍රීඩා සමාජයට ලක්ෂ 2000ක බදු සහන වාහන ද සමඟ කොළඹ මහ රෑ කාර්රේස් කෙළින්නට වර ලැබුණි. තවත් පුත‍්‍රයකට, ණයට ගත් රුපියල් බිලියනක් වැය වූ බව කියන චීන සුප‍්‍රීම් සැට් චන්ද්‍රිකාවේ ශ‍්‍රී ලාංකික දේශපාලන හිමිකරු බවට පත්වීමට වාසනාව ලැබුණි. තවත් පුත‍්‍රයකු ශ‍්‍රී ලංකා රගර් නායකත්වයට වරම් ලද අතර ඒ අනුහසින් මහනුවර ක‍්‍රීඩා ලෝලීනට රබර්වන්නටම දෙන්නට අවසර තිබුණි. අනවරසයෙන් විදේශ මුදල් දහසින් බැදී පියළි මෙරටට ගෙන ආ ජනාධිපති ආර්යා සහෝදරයාට නීතියට පයින් ගැසීමට බලය ලැබුණි. තවත් රාජපක්ෂ ඥාති දියණියක අධ්‍යක්ෂිකාවක වන අරක්කු නිශ්පාදන සමාගමක රුපියල් බිලියනයක හොරකමක් ඇල්ලූ රේගු අධිපති පලවා හැරුණි. . අහෝ ! පරාදීසයක තරම.

මෙලෙසින් බලය අනිසි ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වාසනාව රජවාසල දේශපාලන බඩ ගැත්තරයින්ටද හිමි බව රටම දනී. එවැන්නන්ට විරුද්ධවාදීන් ඝාතනය කරන බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කර ඇමැති ආසනයේම වැඩ හිඳ දේශනා කළ හැකි ය. දුමින්ද සිල්වා එක් දුෂ්ඨ උදාහරණයකි. ජුලම්පිටියේ අමරේද රජ වාසල බැල්ම නිසා වාසනාවන්තයකු වූ අකාලයේ වීරයෙකි.

මේ අතර වැලිකඩ හිරගෙදර සමූහ ඝාතනය පිළබද පරීක්ෂනය සහ මාතලේ සමූහ මිනීවල පිළිබඳ පරීක්ෂනය ද ඉහල නියෝග මත දැන් නතර කොට තිබේ. වවුනියාවේ සිර ගෙදර දෙමළ රුදවියන්ට වධ දී ඝාතනය කිරීම පිළිබඳ පරීක්ෂනයක් පැවත්වූනේම නැත. කොළම ජාතික කෞතුකාගාරය බිඳ රාජකීය කඩු සොරකම් කිරීම පිළිබඳ පරීක්ෂනය කන්ගැට්ටා මහතා අත් අඩංඟුවට පත්වීමෙන් විහිලූ කතාවක් ලෙස නිමාවට පත් විය. කොට්ටේ විහාරයෙහි පෞරානික කඩු සොරකමෙහි ගොස් භික්ෂු ඝාතනයක් නිසා අත් අඩංගුවට පත් සැකකරු හර්ශ මන්ජූ ශ‍්‍රී වැලිකඬ සමූල ඝාතනය අතරතුර හඹා ගොස් මරා දැමුනි. මැයි මාසයේ දී මහවිලච්චියෙහි පෞරානික නටඹුන් හාරමින් සිටියදී ගම් වැසියන් විසින් අතටම අල්ලා දෙන ලද පොලිස් විශේෂ බලකා කණ්ඩායමට කිසිදු චෝදනාවක් නොනැගිනි.

2012 වසර ශ‍්‍රී ලංකාවෙහි නොවූ විරූ තරම් පවුලක පාලනයේ, දූෂණයේ සහ අවනීතියේ වසරකි.

ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසක් තිබුනි නම් ජනාධිපති පේ‍්‍රමදාස සමයෙහි පැවැති විකල්ප සහ විරෝධාකල්ප ජනමාධ්‍ය සම්ප‍්‍රදාය යළි දලූ ලෑවේ නම් 2012 වසර අවසානයේ දී හමා ආ මහා වැසි කුණාටු පරදවන දේශපාලන සුළි සුළගකින් රාජපක්ෂ පාලනය හෙල්ලූම් කැවෙන්නට තිබූ බව නිසැක ය.

ආශ්වාදජනක රිදී රේඛා සෙවිල්ල ලබන සතියට තබමි.

Sunandaසුනන්ද දේශප‍්‍රිය[Sunanda Deshapriya]