සිංහල, Democracy, Human Rights, IDPs and refugees, Vauniya

අවතැන් ජනයා වව්නියාවේ සිරගෙයින් මුල්ගමේ සිරගෙදරට

වව්නියාවේ සරණාගත කඳවුරු වලින් මුල්ගම් පෙදෙස් වල නැවත පදිංචිය කරන බව පවසා උතුරට හා නැගෙනහිරට යවනු ලැබූ සරණාගත පවුල් නැවත වරක් උතුරේ හා නැගෙනහිර පලාතේ කඳවුරු වල පදිංචි කර ඇති බව විකල්ප වෙත වාර්ථාවේ.
වව්නියාවේ කඳවුරුවල සිටි මේ පිරිස් මුල් ගම්බිම්වල පදිංචියට යැවීම උත්සවාකාරයෙන් සිදු කළ අතර රජය පැවසුවේ අවතැන් ජනයා නැවත පදිංචි කරීමේ වැඩසටහන යටතේ මෙම පදිංචි කිරීම් සිදුකරන බවයි. නමුත්, වව්නියාවේ අවතැන් කඳවුරුවල දීර්ඝ කාලයක් තිස්සේ රැඳී සිටි, යාපනය, මඩකලපුව, ත්‍රීකුණාමලය සහ අම්පාර වැනි ප්‍රදේශවලට අයත් අවතැන් වූවන් මුල් ගම්වල පදිංචි කරන බව පවසා ගෙන ගොස් එම ප්‍රදේශයන් හී පිහිටවු අලුත් කඳවුරු වල පදිංචි කර ඇති බව වාර්ථාවේ.

මඩකළපුව වෙත ගෙන ගිය පවුල් වලින් පවුල් 50ක් නැවත වව්නියාවට ගොස් ඇති අතර ඉතිරි පවුල් 135 මඩකලපුව ජයන්තිපුර සිංහල මහ විද්‍යාලයේ පිහිටුවා ඇති කඳවුරේ පදිංචි කර ඇත. අම්පාරට ගෙන ගිය පවුල් 130 බුද්ධි අංශයන්ගේ දැඩි පරීක්ෂා කිරීම් වලින් පසුව කාරතිව් විපුලානන්ද විද්‍යාලයේ පිහිටු වා ඇති කඳවුරට දමා ඇත. ඉන් පසුව ඔවුන් අක්කරෛයිපත්තුව නගරයේ පිහිටි හමුදා කඳවුර ඉදිරිපිට පිහිටි පාසල්ට යොමුකර ඇත. අදාල පාසල පවත්වන දහවල් කාලයේ ඒ අසල පිහිටි වී ගබඩාවකට ඔවුන්ව යවන අතර පාසල නිම වූ පසු නැවත පාසල වෙත ගෙන එනු ලබන බවත් වාර්ථාවේ.