Ampara, Environment, Features, Governance, Politics and Governance

දැයට කිරුළට මාදුරු ඔයත් වනසයි

M 01
දැයට කිරුළ වැඩසටහන යටතේ මහ ඔය සිට අරලගංවිල දක්වා මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා අනවසරින් මාර්ගයක් ඉදිකිරීම මේ වන විට සිදු කෙරේ. කිලෝමීටර 35 ක පමණ දිගකින් යුත් මේ මාර්ගයේ කිලෝමීටර 17 ක පමණ කොටසක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානය හරහා ද ඉතිරි කොටස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ප‍්‍රදේශ හරහා ද සකස් කෙරේ.

මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට ප‍්‍රථමයෙන් 2012.12.14 දින අංක වජි/06/01/02/30 දරණ ලිපිය වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් අම්පාර දිස්ත‍්‍රික් ලේකම් වෙත හා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යොමු කරමින් සඳහන් කර ඇත්තේ මේ මාර්ගය ඉදිකිරීම නීති විරෝධී බවත් එය ඉදිකිරීමෙන් වනජීවීන් ගේ පැවැත්මට හානිකර තත්ත්වයන් බොහොමයක් උද්ගත වන බවත් ය. එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ මේ මාර්ගය වෙනුවට විකල්ප මාර්ගයක් ඉදිකරන ලෙසත් මේ මාර්ගය ඉදිකිරීමට අවසර ලබාදිය නොහැකි බවත් ය. නමුත් ඒ තත්ත්වය නොසලකා හරිමින් මාර්ග සංවර්ධන අධිකාරිය තම හිතුමනාපයට නීති විරෝධී ලෙස මෙම මාර්ගය ඉදිකිරීමේ කටයුතු මේ වන විට ක‍්‍රියාත්මක කරමින් තිබේ.

1983 නොවැම්බර් 9 වන දින වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව හෙක්ටයාර 58,850 ක භූමි ප‍්‍රමාණයකින් යුක්තව ප‍්‍රකාශයට පත් කළ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය දෙකඩ වීම මේ මාර්ගය ඉදිකිරීම හේතුවෙන් සිදුවේ. මීට අමතරව අලි සංක‍්‍රමණික ගමන් මාර්ග බොහොමයක් දෙකඩ වීම ද මේ හේතුවෙන් සිදු වී ඇත. මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ඔමුණුගල හා තොප්පිගල වනාන්තර පද්ධතිය හා සම්බන්ධව ඇති අතර මේ වනාන්තර පද්ධතිය ඛන්ඩනය වීම මේ මාර්ගය ඉදිකිරීම හේතුවෙන් සිදු ව තිබේ. මීට අමතරව අරන්තලාව අලිමංකඩ දෙකඩ වීම ද මේ මාර්ගය හේතුවෙන් සිදුව ඇත. මාදුරු ඔය ජාතික වනෝද්‍යානයට, වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට හා ඉගිනියාගල – නිල්ගල වනාන්තර ප‍්‍රදේශවල සිට අලි – ඇතුන් සංක‍්‍රමණය වේ. මේ නිසා ඉතා විශාල අලි ගහනයක් මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ ජීවත් වන අතර එම සතුන් ගේ පැවැත්මට මේ මාර්ගය ඉදි කිරීම ඉතාම හානිකර ලෙස බලපෑ හැකි ය. මීට අමතරව මේ වනාන්තර ප‍්‍රදේශයේ විශාල ජෛව ප‍්‍රජාවක් ජීවත් වන අතර මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සතුන් ගේ ප‍්‍රමාණය අධික වීම වනෝද්‍යානය හරහා මේ මාර්ග ඉදිකිරීම හේතුවෙන් වර්ධනය විය හැකි ය.

2009 අංක 22 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව ජාතික වනෝද්‍යානයකට අනවසරින් ඇතුළු වීම, වනජීවී වාසස්ථාන විනාශ කිරීම, මාර්ග ඉදිකිරීම, අනවසරින් රැුදී සිටීම යන සියල්ලම නීති විරෝධී වේ. මේ නීති විරෝධී ක‍්‍රියා සියල්ල සිදු කරමින් මාර්ග සංවර්ධන අධිකාරිය මාදුරු ඔය ජාතික වනෝද්‍යානය තුළ මාර්ග ඉදිකිරීම් කටයුතු සිදු කෙරෙමින් පවතී.

2009 අංක 65 දරන පනතින් සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තිය යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර ප‍්‍රදේශයක් හරහා මේ මාර්ගයේ කොටසක් ඉදිකිරීම සිදු කරයි. නමුත් එවන් වනාන්තරයක ශාක ඉවත් කිරීම, එළි පෙහෙළි කිරීම, මාර්ග තැනීම හෝ එසේ තනන ලද මාර්ගයක් භාවිතා කිරීම නීති විරෝධී ව්. නමුත් මාර්ග සංවර්ධන අධිකාරය විසින් මේ නීති රීති ද උල්ලංඝනය කරමින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබේ.

නමුත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මේ නීති විරෝධී ක‍්‍රියා මැඩ පැවැත්වීම සඳහා මේ වනතුරුත් කිසිදු නීතිමය ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලිපියකින් මේ සඳහා කරුණු දැක්වීමට අමතරව මාදුරු ඔය ජාතික වනෝද්‍යානය තුළ සිදු කෙරෙන නීති විරෝධී ක‍්‍රියා මැඩ පැවැත්වීමට නිලධාරීන්ට උපදෙස් ලබාදීම මේ වනතුරුත් සිදු කර නොමැත.

මාර්ග සංවර්ධන අධිකාරිය වැනි රාජ්‍ය ආයතනයක් විසින්ම ලංකාවේ නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් රටට ලබාදෙන පූර්වාදර්ශය කුමක් ද? මෙවන් තත්ත්වයක් තුළ ජාතික වනෝද්‍යානයක සිදු කරන අනෙක් නීති විරෝධී ක‍්‍රියාවලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාවක් පවතී ද?

දැයට කිරුළ වැඩසටහන සඳහා මේ මාර්ගය ඉදි කරනු ලබන්නේ අප රටේ ස්වාභාවික සම්පත් වනසා දමමිනි. ඉන් දැයට සිදුවන යහපතක් තිබේ ද? ඒ වෙනුවට සිදු කරනුයේ දැයේ අනාගත පරපුරේ සම්පත් වනසා දැමීමකි. දැයට කිරුළ වැඩසටහන යටතේ දැයේ සම්පත් වනසා දමමින් කුමන යහපතක් අප රටට ගෙන ඒමට උත්සාහ දරන්නේද යන්න ගැටළුවකි. මේ තත්ත්වය පිටු දැකීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අමාත්‍යාංශය හා වනජීවී අමාත්‍යාංශය වහාම ක‍්‍රියාත්මක විය යුතුව ඇත. එසේ නොවුනහොත් දැයට කිරුළ හරහා වනසා දැමූ ස්වාභාවික සම්පත් අතරට මාදුරු ඔය ජාතික වනෝද්‍යානය ද එක්වනු නියතය.

M 2

M 3

M4

M5

M6

සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය