සිංහල, Democracy, Environment, Features, Jaffna, Mannar, Peace and Conflict, Politics and Governance, Reconciliation

උතුරේ වන රක්ෂිත අනතුරේ හෙළන මහා පරිමාණ සැලැසුමක්

p4
කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ උපදෙස් මත මන්නාරම, මුලතිව් හා වව්නියා දිස්ත‍්‍රික්ක තුනෙහි වන රක්ෂිතවලට අයත් වනාන්තර අක්කර 2388 ක් එළි පෙහෙළි කර මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට මේ වන විට සැලැසුම් කරමින් තිබේ. මුලතිව් දිස්ත‍්‍රික්කයේ මුහුදුබඩපත්තුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හෙක්ටයාර 5036 ක් වන කුලාමුරිප්පු වන රක්ෂිතයේ හා හෙක්ටයාර 6825 ක් වන නාගන්චෝලෙයි වන රක්ෂිතයේ වනාන්තර අක්කර 850 ක් ඉවත් කර මුස්ලිම් පවුල් 1455 ක් පදිංචි කිරීමට සැලැසුම් කර තිබේ. මාන්කුලම් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඔට්ටුසුඩාන් රජයේ වනාන්තරයේ අක්කර 123 ක් ඉවත් කර තවත් මුස්ලිම් පවුල් ප‍්‍රමාණයක් පදිංචි කිරීමට
සූදානම් වේ.

මන්නාරම දිස්ත‍්‍රික්කයේ මුසලි, මඩු හා මාන්තෙයි බටහිර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනට අයත් වන රක්ෂිත හා රජයේ වනාන්තර බිම් අක්කර 1080 ක් හා වව්නියාව දිස්ත‍්‍රික්කයේ වනාන්තර අක්කර 325ක් එළි පෙහෙළි කර තවත් මුස්ලිම් පවුල් විශාල ප‍්‍රමාණයක් පදිංචි කිරීමට මේ වන විට සැලැසුම් කරමින් යයි. ඒ සඳහා වන රක්ෂිතවලින් ඉඩම් නිදහස් කර ගැනීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් තිබේ.

ඒ අනුව වනාන්තර ඉඩම් පරීක්ෂා කිරීම, ඉඩම් මැනීම් කිරීම හා කපා ඉවත් කිරීමට යෝජිත ගස් සලකුණු කිරීම ඇතුළු ක‍්‍රියාමාර්ග මේ වන විට ගනිමින් පවතී. වන සංරක්ෂණ ආඥා පනත හා ජාතික පාරිසරික පනත සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින් රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා විසින් මේ ක‍්‍රියා සිදු කිරීමට අදාළ රාජ්‍ය අංශ යොමු කිරීම හා ඒ සඳහා උපදෙස් ලබාදීම ඉතාම හානිකර තත්ත්වයකි.

2009 අංක 65 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සංරක්ෂණ ආඥා පනතට අනුව රක්ෂිත වනාන්තරයක් තුළ ජනතාව පදිංචි කිරීම, ඒ සඳහා වනාන්තර ඉවත් කිරීම, මාර්ග සැකසීම, අනවසරින් ඇතුළු වීම ඇතුළු ක‍්‍රියා සියල්ල නීති විරෝධී වේ. එවන් තත්ත්වයක් තුළ රක්ෂිත වනාන්තරවලට අයත් වනාන්තර බිම් බලහත්කාරයෙන් ලබාගැනීම සඳහා අදාළ අමාත්‍යවරයා විසින් ක‍්‍රියා කරමින් සිටින බව පෙනෙන්නට තිබේ.

සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතට අනුව ප‍්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව අක්කර 2.5 කට වඩා වැඩි වනාන්තර ඉඩමක් එළි පෙහෙළි කර සිදු කරන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රථමයෙන්, පවුල් 100 කට වඩා වැඩි ප‍්‍රමාණයක් නැවත පදිංචි කිරීමට ප‍්‍රථමයෙන් හා වන රක්ෂිතයක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත යම් සංවර්ධන ක‍්‍රියාකාරකමක් සිදු කිරීමට ප‍්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගැයීම් ක‍්‍රියාවලියකට යටත්ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ යුතුය. මෙම දිස්ත‍්‍රික්ක තුනේම ජනතාව පදිංචි කිරීමේ ව්‍යාපෘති සියල්ලම ඉහත නීතිමය තත්ත්වයන් සියල්ලටම යටත් වේ. නමුත් එම නීති රීති සියල්ල උල්ලංඝනය කරමින් මෙම නැවත පදිංචි කිරීමේ කටයුතු ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

සමහර ප‍්‍රාදේශීය ලේකම්වරුන් රජයට අයත් වනාන්තර තමන් යටතේ පාලනය වන බව සඳහන් කරමින් මේ සඳහා ඉඩම් නිදහස් කිරීමට සූදානම් වේ. නමුත් පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් 2001.08.10 දින නිකුත් කළ අංක 2001/05 දරන චක‍්‍රලේඛනයට අනුව ප‍්‍රාදේශීය ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් යටතේ පාලනය වූ සියලූ ම වනාන්තර ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා තිබේ. ඒ අනුව වන සංරක්ෂණ ආඥා පනතේ 20 වන වගන්තියට අනුව මේ රජයට අයත් වනාන්තර බිම්වලට යම් හානියක් සිදු කරන්නේ නම් ඊට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ඇත. මේ නීතිය ද අභිබවනය කරමින් මේ නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කිරීමට සූදානම් වේ.

ජනතාව පදිංචි කිරීමට සූදානම් වන මේ වන රක්ෂිත හා රජයේ වනාන්තර බිම් සුවිශේෂී ජල පෝෂක වනාන්තර බිම් පමණක් නොව ප‍්‍රධාන අලි ගැවසුම් හා අලි සංක‍්‍රමණික වනාන්තර බිම් වේ. මේවා එළි පෙහෙළි කර ජනතාව පදිංචි කිරීම හේතුවෙන් උතුරු ප‍්‍රදේශයේ ද අලි මිනිස් ගැටුමක් අලූතින් වර්ධනය විය හැකි ය.

මීට අමතරව රක්ෂිත වනාන්තර තුළ හා ඒ ආශ‍්‍රිතව ජනතාව පදිංචි කළහොත් රක්ෂිත වනාන්තර තුළ සිදු කරන නීති විරෝධී ක‍්‍රියා වර්ධනය වීම, වනාන්තර තවදුරටත් අනවසරින් අල්ලා ගනිමින් ජනාවාස ව්‍යාප්ත කිරීම පමණක් නොව ඒ හේතුවෙන් ඒ වනාන්තරවල ජෛව ප‍්‍රජාව ගේ පැවැත්මට බලපෑම් එල්ල වීම ද මේ නිසා සිදු වනු ඇත.

මේ ආකාරයේ ජල පෝෂක රක්ෂිත වනාන්තර එළි පෙහෙළි කිරීම හේතුවෙන් පානීය ජල අර්බුදය ද මේ ප‍්‍රදේශයේ උග‍්‍ර මට්ටමකට පත් විය හැකිය. තව ද රක්ෂිත වනාන්තර තුළ තැනින් තැන ජනාවාස පිහිටු වීම හේතුවෙන් පදිංචි ජනයාට මූලික යටිතල පහසුකම් ලබාදීමට ගැටළු මතු වීම පමණක් නොව ඒ සඳහා තවත් වනාන්තර එළි පෙහෙළි කිරීමටත් වනාන්තර ඛණ්ඩනය කිරීමටත් සිදු වනු ඇත. මේ සියලූ ක‍්‍රියාවල ප‍්‍රතිඵලයක් ලෙස උතුරේ රක්ෂිත වනාන්තර පද්ධතිය ඛණ්ඩනය වීම, අලි – මිනිස් ගැටුම වර්ධනය වීම, ජල පෝෂක වනාන්තර විනාශ වී පානීය ජල අර්බුදය උග‍්‍ර මට්ටමකට පත් වීම, වන සතුන් ගේ ගැවසුම් ප‍්‍රදේශ සීමා වීම හේතුවෙන් අවතැන් වන සතුන් නිසා නැවත පදිංචි කරන ප‍්‍රදේශවල ජනතාවට විවිධ ගැටළුවලට මුහුණදීමට සිදු වීම පමණක් නොව මේ ප‍්‍රදේශවල රක්ෂිත වනාන්තරවලට පමණක් සීමා වී ඇති ජෛව සම්පත් විනාශ වීම ද සීග‍්‍රයෙන් සිදු වනු ඇත.

රිෂාඞ් බදුර්දීන් අමාත්‍යවරයා මෙලෙස රක්ෂිත වනාන්තර විනාශ කරමින් උත්සාහ දරන්නේ උතුරු ප‍්‍රදේශය කාන්තාරයක් බවට පත් කිරීමට දැයි අපට ගැටළුවකි. ඡන්ද කිහිපයක් වෙනුවෙන් නීති රීති උල්ලංඝනය කරමින් මුස්ලිම් ජනතාව තවදුරටත් අවතැන් කිරීමට මූලික පහසුකම් ලබාදිය නොහැකි ප‍්‍රදේශවල නැවත පදිංචි කිරීමට උත්සාහ දරන්නේ කුමන අරමුණක් මත ද යන්න අපට නොවැටහේ. අවසානයේ ඔවුන්ට සිදුවන්නේ උග‍්‍ර ජල හිඟයකට මුහුණ දෙමින් අලි – මිනිස් ගැටුමේ ගොදුරක් බවට පත් වීමට පමණකි.

මේ තත්ත්වය හේතුවෙන් අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ හානිකර ලෙස සිදු කිරීමට උත්සාහ දරන නැවත පදිංචි කිරීමේ කටයුතු වහාම නතර කර සැලැසුමකට අනුව ජනතාව පදිංචි කිරීමට සුදුසු ස්ථානවල පමණක් ජනතාව පදිංචි කිරීම සඳහා කටයුතු කරන ලෙස ය.

සජීව චාමිකර | Sajeewa Chamikara
පරිසර සංරක්ෂණ භාරය

මන්නාරම, වව්නියාව හා මුලතිව් දිස්ත‍්‍රික්ක තුනේ රක්ෂිත වනාන්තර ඉඩම් නිදහස් කර ගැනීමට රාජ්‍ය ආයතන අතර හුවමාරු වූ ලිපි කිහිපයක් පහත වේ.

p1

p2

p3