Features, Human Rights, Human Security, Kilinochchi, Media and Communications, Peace and reconciliation, Politics and Governance

උතුරේ මර්ධනය | උදයන් කාර්යාලයට නැවතත් මැරයින් පහර දෙයි

Picture 012(1)
උදයන් පුවත්පත බෙදාහැරීම වැළැක්වීමේ සහ එහි සේවකයන්ට තර්ජනය කිරීමේ අරමුණින් කිලිනොච්චි උදයන් කාර්යාලය වෙත නාඳුනන කණ්ඩායමක් අද උදේ 5.00 ට පමණ ප‍්‍රහාරයක් එල්ල කර ඇත. ප‍්‍රහාරයෙන් උදයන් කාර්යාලයට හානි සිදුවී ඇති අතර පුවත්පත් බෙදාහරින සේවකයන් දෙදෙනෙක් සහ එහි කළමනාකරු ඇතුළු තිදෙනෙක් බරපතල තුවාල ලබා රොහල් ගත කර ඇති බවට වාර්තා වෙයි.

සුපුරැදු පරිදි වාහනයකින් පුවත්පත් රැගෙන යාපනය – නුවර පාරේ කරඩිපෝක්කු හන්දියේ තිබෙන උදයන් කාර්යාලයට ලඟාවන විට එම ස්ථානය අසල තිබූ ගොඩනැගිල්ලක සහ ආශ්‍රිත කැලෑ ප‍්‍රදේශයේ සැගවී සිටී නාඳුනන මැර පිරිසක් වාහනයේ සිටි සේවකයන්ට පොලූවලින් බරපතල ලෙස පහරදී ඇති අතර, ඒ සමඟ කාර්යාලයට ද ඇතුළු වූ එම පිරිස එහි තිබූ උපකරණවලට ද දැඩි ලෙස හානි පමුණුවා ඇත.

එම පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ පොන්රාසා(57), ප‍්‍රදීපත්(28) යන අය රෝහල් ගත කර ඇත. තවත් කිහිප දෙනෙක් සුළු තුවාල ලබා ඇති අතර මෙම සිදුවීම පිළිබඳව කිලිනොච්චි පොලිසියට පැමිණිලි ද කර තිබෙන බවත් වාර්තා විය.

කෙසේ නමුත් මෑත කාලය සිට උතුරේ පුවත්පත් ජනතාව වෙත යෑම වළක්වීම සඳහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බව පසුගිය කාලය පුරා උතුරේ මාධ්‍යට එල්ලකරන ලද තර්ජනයන් සහ ප්‍රහාරයන්ගෙන් මනාවට පිළිබිබු වේ. විශේෂයෙන් වන්නි ප‍්‍රදේශයේ සැලසුම් සහගත ලෙස පුවත්පත් බෙදාහැරීම වැළැක්වීම සහ බෙදාහරින සේවකයන් තර්ජනය කිරීම දිගටම සිදු වූ අතර, පසුගිය පෙබරවාරී 07 වනදා තිනක්කුරල් පුවත්පතේ, පුවත්පත් බෙදාහරින මාධ්‍ය සේවකයෙකු වූ එස්. සිවකුමාර්(40)ට, පොලූ සහ කම්බ් ඇතැතිව පැමිණී නාදුනන මැර පිරිකගේ ප‍්‍රහාරයකට ලක්විමට සිදුවිය. පහර කෑමට ලක්වූ, සිවකුමාර් ගමන් කරමින් සිටි යතුරු පැදිය ද, එවේලේහි ඔහු ලග තිබූ තිනක්කුරල් පුවත්පත් ද මැර පිරිස ගිනි තබා තැබූහ.

ජනවාරි 10 වනදා උදෑසන උදයන් පුවත්පතේ මාධ්‍ය සේවකයෙකු වන නාගේශ්වරන් ප‍්‍රදීපන්(30) යාපනයේ, මාළු හන්දියේ දී මෝටර් සයිකල් දෙකකින් පැමිණි නාඳුනන පිරිසක් කටු කම්බි එතු යකඩ කම්බියකින් ප‍්‍රදීපන්ට බරපතල ලෙස ප‍්‍රහාර එල්ල කර පසුව ඔහුව අසල තිබූ කාණුවකට තල්ලුකර දමා, පසුව ඔහුගේ මෝටර් සයිකලය සමඟ පුවත්පත් ගිනි තබා විනාශ කර පලා ගියේ ය.

1985 වර්ෂයේදී ආරම්භකළ යාපනයේ උදයන් පුවත්පත 1987 වර්ෂයේ සිටිම ආරක්ෂක අංශ සහ ඒවායේ සහය ලබන සන්නද්ධ විවධ පිරිස් වෙතින් ප්‍රහාරයට ලක්වූ අතර 2006 වර්ෂයේදී උදයන් කාර්යාලය ගිනිතබනු ලැබීය. 1985 වර්ෂයේ සිට මේ දක්වා උදයන් පුවත්පතේ සාමාජිකයන් 5 දෙනෙක් ඝාතනය කර ඇති අතර විවිධ අවස්ථා ගණනාවකදී පහර දීම් සිදුකර ඇත.

2011 වසරේ ජූනි 29 වැනිදා උදයන් පුවත්පතේ ප්‍රවෘත්ති කතෘ ඥානසුන්දරම් කුගනාදන් වෙත ද එල්ලකරන ලද අති අමාණුෂික ප්‍රහාරයකට ලක් විය. ඒ හමුදා මුර පොළක පෙනෙන මානයේ දී ය. ඉන් පසු කූගනාදන් මහතාට සිය මාධ්‍ය ජීවිතයෙන් සහ යාපනයේ සිය උපන් බිමෙන් සමුගෙන ආරක්ෂාව පතා විදේශ ගත වීමට සිදුවුනි.

වසර 28 ක කාලසීමාවේ සිට මේ දක්වා උදයන් පුවත්පත් කාර්යාලයට සහ එහි මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ සිදුවීම් ගණන 28 කට වඩා වැඩිය. එහි ආසන්නම සිදුවීම ඊයේ සිදුකල ප්‍රහාරය වුවත්, ඊට මාස කිහිපයකට පෙර යාපනය සරසවියේ සිසුන්ට හමුදාව විසින් පහරදීම වාර්තා කිරීමට ගිය උදයන් පුවත්පතේ මාධ්‍යවේදියකුට ද සිවිල් ඇදුමින් සැරසුනු බුද්ධි අංශ විසින් පහර දෙනු ලැබීය. මේ කිසිවකටත් අද දක්වා පිළීගත හැකි, සාධාරණ, අපක්ෂපාතී පරීක්ෂණයක් වත් පැවැත්වීමට රාජපක්ෂ ආණ්ඩුවට නොහැකි වී තිබේ. එපමණක් ද නොවේ උතුරේ පැය 24ම සක්‍රීය හමුදා පාලනයක් තිබෙන තත්ත්වයත් තුල මෙසේ පහරදුන් කිසිවෙක් අත්අඩංගුවට ගැනීමට එම ආරක්ෂක අංශ වලට නොහැකි වූවේ ඇයි.? එසේ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූයේ ප්‍රහාරයකයන් ආරක්ෂක අංශවල පහස ලබමින් මෙම මැර ප්‍රහාරයන් එල්ල කරන්නේ යැයි උතුරේ සමාජය සැක කිරීම මෙවන් සිදුවීම්වලින් සාධාරණීකරනය නොවන්නේ ද?

photo 1

photo 2

photo 3(1)

photo 5

Picture 008

Picture 014

@Iamge Credit: www.onlineuthayan.com