Colombo, Democracy, Features, Governance, Human Security, International Relations

උතුරු කොරියාවේ ගෙරවිල්ල හෙවත් අමන ස්වංභක්ෂණය

Koreian

යුද්ධය අවශ්‍ය වී ඇත්තේ කාටද? දිනෙන් දින දිග ගැස්සෙමින් පවතින කොරියානු අර්බුධය හමුවේ මුළු ලෝකයම බලාගෙන සිටින්නේ යලිත් මෙම රටවල් දෙක අතර බුහිසුනු යුද්ධයක් ඇති විය හැකි බවට අනුමාන කරමිනි. අර්බුධය ආරම්භ වන්නේ එක්සත් ජනපදයේ සහයෝගය යටතේ දකුණු කොරියාව කලාපීය මුහුදේ යුධ අභ්‍යාස යලි ආරම්භ කිරීමත් සමඟිනි. එය දීර්ඝ කාලීන වැඩපිළිවෙලක එක පියවරක් පමණි. අර්බුධය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ෆොක්ස් නාලිකාවේ සිට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත දක්වා මෙන්ම දකුණු කොරියානු මාධ්‍යද තම මාධ්‍ය බලාධිකාරිය භාවිත කරමින් පවතින සත්‍ය වෙනස් කොට එය තමන්ගේ වාසියට හේතුව වන ආකාරයෙන් පුවත් නිර්මාණය කරමින් සිටිනු පෙනේ. බොහොමයක් මාධ්‍ය උතුරු කොරියාව අකීකරු රාජ්‍යක් සේම එහි නව නායකයා වන කිම් ජෝන් උන් ස්ථූල මුහුණක් ඇති හුරතල් පොඩි කොලු ගැටයා අකීකරු කොල්ලෙක් ලෙස හඳුන්වනු ලැබේ. මේ නිසා උතුරු කොරියාවට නිශ්චිත පාඩමක් ඉගැන්වීම අත්‍යවශ්‍ය බවට වූ මතයක් නිර්මාණය කරමින් සිටින්නේ උතුරු කොරියාව විසින් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නා තීන්දු භූ-දේශපාලන අවශ්‍යතාවයන් සඳහා ක්‍රමෝපායිකව අනෙක් පාර්ශවය විසින් භාවිතා කරමිනි. කෙසේ වෙතත් රාජයන් අතර යළි යුද්ධයක් ඇති වුවහොත් එහි හානියේ පරිමාණය එම රටවල් දෙකට පමණක් නොව කලාපයටම මාරාන්තිකව බලපෑ හැකි බව පැහැදිලිව දක්නට ලැබෙන කාරණයකි.

විශේෂයෙන්ම උතුරු කොරියාවට ඇතැයි සැලකෙන න්‍යෂ්ඨික අවි යුද්ධයේදී භාවිත කරනු ඇති බවට එකසත් ජනපදය ප්‍රමුඛ දකුණු කොරියාවේ මිත්‍ර රාජ්‍යන් සඳහන් කරනු ලබන නමුත් ඔවුන් සතු කිසිඳු බිහිසුණු අවියක් ගැන කිසිඳු සඳහනක් නොකිරීමට ප්‍රවේශම් වෙති. සැබවින්ම මානව ශිෂ්ඨාචාරයේ මේ දක්වා න්‍යෂ්ඨික අත්හදා බැලීම් සහ න්‍යෂ්ඨික අවි බිහිසුණු ලෙස භාවිත කරනු ලැබුවේ එක්සත් ජනපදය ප්‍රමුඛ රාජයන් මිස ඔවුන් අකීකරු යයි හැඳින් වූ කිසිඳු රාජ්‍යක් විසින් නොවේ. දෙවැනි ලෝක යුද්ධයේ සිට මෑතකදී ප්‍රංශය ඇමෙරිකානු සහයෝහය යටතේ අල්කයිඩා සංවිධානය මර්ධනයට යයි කියමින් සිදු කළ මලාවි ආක්‍රමණය දක්වා වූ සියල්ලේම දක්නට ලැබුනේ වැරදි ඉලක්කයන් අල්ලා පහර දී දහස් ගණන් අහිංසක මිනිසුන් පරලොව යැවූ කටුක වේදනාකාරී යථාර්ථයයි. රසායනික අවි පවා අතිශය කුරිරු අන්දමින් එක්සත් ජනපදයේ සහ එහි පාර්ශවීය රාජ්‍යන් වල හමුදා භාවිත කළ ආකාරය ඉරාකය, ලිබියාව වැනි ආක්‍රමණ වලදී දක්නට ලැබුණි. අවසානයේ දී එම රටවල ජනතාවට සිදු වූයේ කබලෙන් ලිපට වැටීමට පමණි. මෙම සන්දර්භය හමුවේ කොරියානු අර්බුධය ගැන විමසීමේදී පැහැදිලිවන එක් යථාර්ථයක් නම් මීට පෙර ඇෆ්ඝනිස්තානය, ඉරාකය, ලිබියාව, මලාවී මෙන්ම මේ වන විට අර්බුධයෙන් අර්බුධයට යමින් පවතින සිරියාව වැනි රටවලදී අත්දුටු අත්දැකීමම වේ.

සැබවින්ම මෙහිදී තේරුම් ගත යුතු යථාර්ථයක් තිබේ. මෑතකදී මියගිය වෙනිසුයුලාවේ හිටපු ජනාධිපති හියුගෝ චාවේස්, බිබිසී සේවයේ හර්ඩ් ටෝක් වැඩසටහන මෙයහවන ස්ටීවන් සකුර් හට වරක් කැරකස් නුවරදී ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී හෙතම දේශපාලන සහ ආරක්ෂක බලතුලනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නයෂ්ඨික අවි ගැන සහ න්‍යෂ්ඨික යුද්ධයක් ඇති වුවහොත් මානව ඉතිහාසයේ අතිශය කුරුරු මෙන්ම අමන ක්‍රියාව එය විය හැකි බව කියා සිටියේය. එසේම කියුබාවේ හිටපු ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ පසුගිය සතියේ ග්‍රාන්මා පුවතපතට ලියන තීරු ලිපිය්දී සඳහන් කරනු ලැබූවේ, උතුරු කොරියාව එවැනි යුද්ධයකට අවතීර්ණය වීමෙන් කිසිම වාසියක් සිදු නොවන බවත් එවැන්නක් ඇතිවීම වාහාම නැවැත්විය යුතු බවත් සඳහන් කළේය. මෙම අර්බුධය බොහෝ දුරට 1962 දී ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක අභියසටම ඇදගෙන ගිය කියිබානු මිසයිල අර්බුධයට සමාන කළ හෙතම උතුරු කොරියාව මෙම අවස්ථාවේදී ඉතා පරෙස්සමින් හැසිරීම අතිශය වැදගත් බව අවධාරණය කරනු ලැබීය.

1962 දී කියුබාව එකසත් ජනපද පළමු අසාර්ථක ආක්‍රමණයෙන් පසු දෙවන ආක්‍රමණයෙන් වැළකීම සඳහා සොවියට දේශය(වත්මන් රුසියාව) සමඟ ඇති සම්බන්ධතා තරකරගනු ලැබීය. සෝවියට් සංගමය අගමැති නිකිටා කෘෂෙව් යටතේ කියුබාවට අවශ්‍ය සහය ලබා දුන්නා පමණක් නොව හැකි වහාම කියුබාවේ මිසයිල ආරක්ෂක පද්ධතියක් රහසේම තැනීම ආරම්භ කළේය. මෙය ලෝකයට හෙළිදරව් වූයේ එහා සම්බන්ධ සේයාරු ප්‍රසිද්ධ වීමත් සමඟය. ඉන්පසු ජනාධිපති කෙනඩි තම ප්‍රධානම උපදේශකයින් දොළොස්දෙනාගෙන් සැදුම්ලත්(එක්ස් – කොම් ) කණ්ඩායම අර්බුධයට විසඳුම් සෙවීම සඳහා පත්කරනු ලැබීය. ඒ අනුව අර්බුධය දිනෙන් දින උණුසුම් විය. ජනාධිපති කෙනඩි අදාළ මිසයිල අර්බුධය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබුවේ 1962, ඔක්තෝම්බර් 22 වැනිදාය.

එහිදී ඔහු සඳහන් කරනු ලැබුවේ සෝවියට් සංගමය දැනට කියුබාවේ ඉදිකොට ඇති මිසයිල පද්ධතියෙන් කුමන හෝ අත්හදා බැලීමක් සිදුකරනු ලැබුවහොත් එය එක්සත් ජනපදය විසින් තමන්ට එරෙහි යුධ ප්‍රකාශ කිරීමක් ලෙස සලකා කටයුතු කරන බවයි. ඒ අතර තුරේදී එකසත් ජනපදය තම නාවික බලය කියුබාව අවට තර කළ අතර සෝවියට් සංගමයේ හැසිරීමද සියුම්ව නිරීක්ෂණය කරනු ලැබීය. එම තත්ත්වය මනාව තේරුම් ගත් ජනාධිපති ෆිදෙල් කස්ත්‍රෝ මෙන්ම අගමැති කෘෂෙව් මෙය සංකීරණ වීමට ඉඩනොදී විසඳා ගැනීමට තීරණය කළහ. එහි පළමු පියවර ලෙස අගමැති කෘෂෙව්, ජනාධිපති කෙනඩි වෙත ලියමින්, එක්සත් ජනපදය කියුබාව ආක්‍රමණය නොකරන්නේ නම් තම මිසයිල පද්ධතිය ඉවත් කරගැනීමට සුදානම් බව අවදාරණය කෙළ්ය. ඊට අමතරව තම දෙවැනි ලිපියෙන් හෙතම අවධාරණය කරනු ලැබුවේ එවිට තුර්කියේ ඉදිකොට තිබු ඇමරිකානු මිසයිල පද්ධතිය ද ඉල්ලා අස්කරගන්නා ලෙසයි. අගමැතිවරයාගේ දෙවැනි ලිපිය සුක්ෂමය ඉවත දැමු එක්සත් ජනපදය, සෝවියට් සංගමයේ පළමු ඉල්ලීම එනම් කියුබානු ආක්‍රමණය නොකිරීම සඳහා එකසත් ජනපදය පොරොන්දු විය.

එය ජගත් දේශපාලන ඉතිහාසයේ ටොම් ඇන්ඩ් ජෙරී කාටුන් වැඩසටහනේ මීයාගේ චරිතය හා සමාන මට්ටමින් ඉතාම වාසනාවන්තයෙකු ලෙස පිළිගැනෙන ජනාධිපති කස්ත්‍රෝ තම පාලනය රැක ගත් එක්තරා තීරණාත්මක සිදුවීමක විය. එය එසේ සිදු නොවුනිනම් කියුබාවේ දෙවැනි බැටිස්ටා පාලනය ද ඇතිකොට කියුබාව ඇමෙරිකානු කොලනියක් කොට එහි සිටි විප්ලවවාදීන් අතුගා දැමීමට එක්සත් ජනපදයට එතරම් කාලයක් අවශ්‍ය වන්නේ නැත. උතුරු කොරියාව තම වත්මන් දේශපාලන භූමිකාව සම්බන්ධයෙන් කියවිය යුත්තේ ද එය මිස සතුරාගේ සතුරු බව දැනගෙන මෙන්ම තමන්ගේ දුර්වලතාවයන් දැන දැනත් කටුක ප්‍රතිඵල අනිවාර්යෙන්ම ලැබෙන යුද්ධයක පැටලීම නොවේ.

ඇමෙරිකානුවන් විසින් පරමාණු බෝම්බ හෙලා ලක්ෂ සංඛ්‍යාවක පිරිසක් මරා තවත් එවැනිම සංඛ්‍යාවක් රෝගීන් බවට පත් කළ දෙවැනි ලෝක යුද්ධය අවසානයෙන් වසර පහක් නික්ම ගිය පසු කොරියානු යුද්ධය ඇති වී එහිදී තවත් මිලියන ගණනකගේ ජීවිත අහිමි වූහ. ඉන් දශකයකට පමණ පසු ඇති වූ කියුබානු මිසයිල අර්බුධය මෑත ඉතිහාසයේ නියෂ්ඨික යුද්ධයක් දක්වා වර්ධනය වීමට ගිය බිහිසුනුම භූ දේශපාලන කෝලාහලය විය. ඉන් වසර පනහකට පසු කොරියානු අර්ධදීපය පුරා මතුවෙමින් පවතින වත්මන් තත්ත්වය බියකරු වන්නේ මේ වන විට ලෝක ජනගහනයනේ සීයට 70කට වඩා ජීවත් වන්නේ මෙම කලාපය අවට වීම නිසාය. වෙනත් ආකාරයකට කිව හොත් දෙපාර්ශවය අතර බරපතල න්‍යෂ්ඨික යුධයක් ඇති වුවහොත් මිහිපිට සිටින සීයට 70 වකට ඉන් වන්දි ගෙවීමට සිදු වන බවයි, මේ නිසා උතුරු කොරියාව බුද්ධිගෝචරව යුද්ධයක් ඇති වීමට ඇති ඉඩ මඟ හැරීම මුළු මහත් ලෝකයේම ජීවීන් වෙනුවෙන් සිදුකරන යහපත් තීරණයක් වනු ඇත. එසේ නොමැතිව නායකත්වය වූ කලී හැම කෑමක්ම කෑමට පුරුදුවීම යයි සිතා කටයුතු කළහොත් සුළු පිරසකගේ වැරදි කියවීමකින් මිනිය නොහැකි පිරිසකට වන්දි ගෙවීමට සිදු වීම නොඅනුමානය.

කිම් ජෝන් උන් වූ කලී ඉතා ලාබාල ඔහුගේ පියාගේ හදිසි වියෝවෙන් පසු මතුපිටට ගෙන එනු ලැබූ නායකයෙකි. රටේ සැබෑ දේශපාලන අවශ්‍යතාවයන් මෙහයවනු ලබන්නේ හෙතම නොවන බව ඉතා පැහැදිලි කාරණයකි. එක්සත් ජාතීන්ගේ සම්භාධක වලට මුහුණ පෑම නිසා අතිශය අර්බුධයකට ලක් වී ඇති රටක් මෙන්ම ලෝකයෙන් හුදෙකලා කොට ඇති රටක් යුද්ධය තම එකම මාර්ගය ලෙස තෝරාගතහොත් එය ස්වයං බක්ෂණයක් වනු නියතය. උතුරු කොරියාවේ වීර කතා වලට උපහාසයෙන් හිනා වීමත් ඉරානය කෙරෙහි ඉතා පරෙස්සමින් නිරීක්ෂණය කිරීමත් වැදගත් බව අමෙරිකානු විචාරකයින් කියන්නේ අදාළ ඇමෙරිකානු විරෝධී රාජ්‍යවල ඇති දේශපාලන සංයුතිය දෙස නිරීක්ෂණය කිරීමෙනි.

උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන් එනම් වත්මන් නායකයාගේ සීයා, විසින් නිර්මාණය කළ පරිපාල ව්‍යුහය කඩිනමින් වෙනස් විය යුතුව ඇති අතර මළ මිනිසෙකු මීට වසර ගණනාවකට පෙර ලියු දෑ වර්තමානයට ගැලපෙන අයුරින් සකස් නොකොට පරණ දෑවලම එල්බ ගනිමින් සතුරා තමන්ට කළහැකි විනාශයේ උපරිමයේ සීමාවත් මිතුරාට තමන්ට සේවය කළ හැකි උපරිමයේ සීමාවත් නොදැන කටයුතු කළහොත් උතුරු කොරියාව සිදුකරනු ලබන්නේ තමා විසින් තම උදරය(බඩ) කපා ගැනීමක් පමණි. ඉදිරි දින කිහිපය තුළදී ප්‍රඥාගෝචරව කටයුතු නොකළහොත් උතුරු කොරියාව අතිශය සංවේදී පාඩම් රැසක් ලොවටම උගන්වනු ඇත.

ඒවා මෝඩ වීරකම්වල පිළිබිඹුවක් වනු ඇත. මෙය යම් කිසි ප්‍රමාණයක ගෙරවීමක් පමණක් වුවහොත් එය පැවති මට්ටමේම පවතිනු ඇත. නමුත් හන්ටින්ටන් න්‍යාය අනුව යමින් සතුරෙක් නොමැතිතැන සතුරෙකු නිර්මාණය කොට පහරදී එම තැන ව්‍යාකූල කොට තම අවශ්‍යතාවය ඉටුකොට ගැනීමේ එක්සත් ජනපද කූටෝපාය ද උතුරුකොරියාව ඉතා ප්‍රවේශමින් කියවිය යුතු අතවශ්‍ය න්‍යායික රාමුවකි. එසේම ජනාධිපති ඔබාමා වූ කලී ජනාධිපති කෙනඩි නොවන බව තේරුම් ගැනීමත් එකල වටපිටාවට වඩා මෙවර වටපිටාව සහ අර්බුධයේ සීමාවන් වෙනස් බව තේරුම් ගැනීමත් වැදගත් වේ. එය එසේ නොවුව හොත් නීරස පාඩම් මිස සුමිහිරි දෑ හමු නොවනු ඇත.

නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa