Democracy, Features, Human Rights, Human Security, Peace and reconciliation, Politics and Governance, Vavuniya

ශ‍්‍රී ලංකාවේ දෙමළ දේශපාලන සිරකරුවන්

Vavuniya prison attack
Vavuniya prison attack

අත්තනෝමතික ලෙස රඳවාගැනීම්, සිරගෙවල්වල තත්ත්වය, වවුනියා හිරගෙදර කෝළහාලය හා එහි ප‍්‍රතිවිපාක පිළිබව වාර්ථාව

සාරාංශය

දශක කිහිපයක් පුරා දෙමළ ඊළාම් කොටි සංවිධානය ට(LTTE) සම්බන්ධ යැයි අනුමාන දෙමළ දේශපාන සිරකරුවන්ව රජය විසින් සැලසුම්සහගත ලෙස නින්දාවට හා වෙනස්කොට සැලකීමට ලක්කරමින් සිටී. මින් සමහරෙකු කැරළිකාර කණ්ඩායම බලහත්කාරයෙන් බඳවාගත්තවුන් වන අතර සෙසු අය කිසිසේත්ම සබඳතා පැවැත්වූවන් නොවේ. මෙම සිරකරුවන්ව අත්තනෝමතික ලෙස රඳවාගෙන වද හිංසාවට ලක්කරමින් සිටින අතර අවසානයේ බෙහෝ දෙනෙකු චෝදනා නොමැතිව නිදහස ලබයි.

එල්.ටී.ටී.ඊ ය මුලින් උපුටාදමමින් 2009 වසරේදී සිවිල් යුද්ධය අවසාන වූ පසුව බොහෝ දෙනෙකු බලාපොරොත්තු දල්වාගෙන සිටියේ නඩු විභාගයකින් හෝ නීතියේ පාලනයෙන් තොරව වසර ගනනාවක් පුරා දේශපාලන සිරකරුවන්ව රඳවා තබාගැනිමට ඉඩ සලසන හදිසි නිති රෙගුලාසි හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතද ඇතුළු දරුණු ගණයේ නීතිරීතී අහෝසි කොට සිරකරගෙන සිටින දේශපාලන සිරකරුවන් ශ‍්‍රී ලංකා රජය විසින් නිදහස් කරනු ඇති කියායි.

2011 අගෝස්තු මාසයේදී, 1971 වසරේ සිට බලපැවැත්වූ හදිසී නිති රෙගුලාසි අහෝසිවන්නට ඉඩ හරිමින් ශ‍්‍රී ලංකාව හදිසි අවස්ථා තත්ත්වය ඉවත් කරගනු ලැබිණි. රඳවා තබාගැනීම, අත්අඩංගුවට ගැනීම හා පරීක්ෂා කිරීම සඳහා සුවිශාල බලයක් මෙම රෙගුලාසි මගින් බළධාරීන් වෙත ලබාදී තිබුණි. කෙසේ වෙතත් නඩුවිභාගයකින් හෝ චෝදනා ගොනුකිරීමකින් තොරව එල්.ටී.ටී.ඊ සැකකරුවන් රඳවා තබාගැනීම ඇතුලත් නව රෙගුලාසි හඳුන්වා දුන් අතර ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත එලෙසම පවතින්නට ශ‍්‍රී ලංකාව ඉඩහැරියේය. එසේම රජය මඟින් පත්කරන ලද මණ්ඩලයක් වූ උගත් පාඩම් හා සංහිඳියා කොමිසම ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක රඳවාතබාගැනීමේ ප‍්‍රතිපත්තී විවේචනයට ලක්කරමින් නිර්දේශයන් ඉදිරිපත් කළේය.

මෙතෙක් එකුදු නිර්දේශයක්වත් ක‍්‍රියාත්මක කිරිමට රජය සමත්වී නැත.

රහසිගත හා නිත්‍යානූකුල රැඳවුම් කඳවුරු තුළදී ලිංගික අතවරයන්ට ලක්කිරීමේ හා දඩුවම් පැමිණවීමේ සිද්ධීන් 75 ක පමණ තොරතුරු හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ නවතම වාර්ථාවේ සඳහන්වේ. මෙහි දැක්වෙන සංඛ්‍යාලේඛන ඉතා අඩු අගයකි. එය පාවෙන අයිස් කන්දක දෘෂ්‍යමාන මුදුනක් ලෙස දැක්විය හැකිය.

2012 ජූනි 26 වන දින පැනනැගුන වවිනියාවේ හිරගෙදර කැරැල්ල, දෙමළ දේශපාලන සිරකරුවන් නිතිපතා මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වය මහජන අවධානයට යොමුකල අවස්ථාවකි. වධහිංසා පැමිණවිම පිළිබඳ ප‍්‍රසිද්ධියක් උසුලන, ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් පවත්වාගෙන යන බූස්ස රැඳවුම් කඳවුර වෙත(බූස්සේ තිබෙන හිරගෙදර, සාමන්‍ය හිරගෙදර ලෙස පටලවා නොගන්න) වව්නියා සිරගෙදර සිටි සිරකරුවන් 3 දෙනෙකු මාරුකිරීමට විරෝධය පළකරමින් ආරම්භ කළ කැරැල්ලට සිරකරුවන් 200 පමණ සහභාගීවිය. සිරකරුවන් හා බන්ධනාගාර ආරක්ෂකයින් අතර ඇවිලීගිය ගැටුමේ ප‍්‍රථිපලය ලෙස රැඳවියන් 28 දෙනෙකු තුවාල ලැබූ අතර කැරැල්ල මැඩපැවැත්වීමට පොලිසිය හා හමුදාව කැඳවන ලදි.

අවසානයේදී ඉන් දෙදෙනෙකු මියගොස් 15 දෙනෙකු බරපතල ලෙස තුවාල ලැබීය.

වව්නියාව සිරගෙදර ඇතිවූ කැරැල්ල හා එහි ප‍්‍රතිවිපාක පිළිබඳව මෙම වාර්ථාව මගින් සාකච්ඡා කරයි. දැනට සිරගතව සිටින සිරකරුවන් 5 දෙනෙකුගේ පමණ පවුල් හා බන්ධනාගාර ගතවී සිටියදී දරුවන් මියගිය පවුල් දෙකත් සමග කළ සම්මුඛ සාකච්ඡා සහ සිරකරුවන්ගේ පවුල් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වූ සමාජ සේවකයින්ගෙන් එකතු කරගන්නා ලද තොරතුරු ද පහත තේමාවන් ගොනු කිරීමට ඉවහල් විය.

* වධහිංසා පැමිණවීම
* අධිකරණයේ අධීක්ෂණයකින් තොරව රඳවා තබාගැනීම
* නඩු විභාගයකින් තොරව රඳවා තබාගැනිම
* රැඳවියන්ව රටපුරා විසිරුනු සිරගෙවල් වෙත මාරුකිරීම
* පවුල් වලට රැඳවියන් බැලීම සීමා කිරීම
* සිරකරුවන්ගේ තත්ත්වය පිළිබඳව බළධාරීන්ගෙන් නිසි ලෙස තොරතුරු නොලැබීම
* පොලිස් අත්අඩංගුවේදී මරාදමන අය පිළිබඳව තොරතුරු වසන්කිරීම
* අවමංගල වතාවත් වලට සීමාපැණවීම හා අවහිරකිරීම

පසුගිය දශක දෙකක පමණ කාලයක් පුරා දෙමළ දේශපාලන සිරකරුවන් උදෙසා ශ‍්‍රී ලංකාව අනුගමනය කළ ප‍්‍රතිපත්ති මෙම තේමාවන් මගින් විදහා දක්වයි. පශ්චාත් යුධ ප‍්‍රති සංධානයට ශ‍්‍රී ලංකාවේ ඇති කැපවිම කොතරම් විකාර සහගත ද යන්නට වව්නියාව කැරැල්ල හොදම උදාහරණයකි. යුද්ධය අවසාන වි වසර හතරකට ආසන්න වුවද මූලික අයිතිවාසිකම් පවා අහිමිකරමින් ඉතා නරක තත්ත්වයන් යටතේ තවමත් සිරකරුවන්ව රඳවාගෙන සිටී.

ජාත්‍යන්තර ගිවිසුම් වලට ඇති බැඳීම් මෙන්ම තමන්ගේම නීති රීති පවා නොසලකා හරිමින් දෙමළ දේශපාලන සිරකරුවන් අරඹයා රජය කටයුතු කරමින් සිටී. ශ‍්‍රී ලංකාව සිම්බන්ධයෙන් වූ විශ්ව සමාලෝචන වාර්තාව – UPR (සමාජික රටවල් 193 මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය පිළිබඳව කළින් කළට සිදුකරන පරීක්ෂණය) හිදී, රජය 2008 වසරේදී පොරොන්දු වූ පරිදි සිරකරුවන් සම්බන්ධ ප‍්‍රතිඥා 4ක් ඉටු කර නොමැති බවට ජූරිය විසින් පෙන්වා දෙනු ලැබිණි. සමස්තයක් ලෙස ඉදිරිපත් වූ නිරිදේශයන් 210 න් 100 ක්ම රජය විසින් ප‍්‍රතික්ෂේප කරන ලදි.

බරපතල ලෙස මානව හිමිකම් නොසලකාහරිමින් හිතුවක්කාර ලෙස හැසිරෙන ශ‍්‍රී ලංකා රජය පිළිබඳව ජාත්‍යන්තර ප‍්‍රජාව විමසිලිමත්ව සිටී. 2013 වසරේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සත්කාරක රට ලෙස ශ‍්‍රී ලංකාව තෝරාගෙන ඇති අතර 2012 ජූනි මාසයේ ලන්ඩනයේ පැවති එළිසෙබත් මහ රැජිනගේ ජුබිලි උත්සවයටද රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා ලැබිණි. මෙයට අමතරව සංචාරක මාර්ගෝපදේශ ගරාවක් වන ලොන්ලි ප්ලැනට් 2013 වසරේ සිය ප‍්‍රධානම සංචාරක ස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව නම්කළ අතර බටහිර සංචාරක ලිපි සම්පාදකයින් ශ‍්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් ලෙසද නම් කරනු ලැබිණි.

දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව ආමන්ත‍්‍රණය කරන ලෙසට බලකරමින් ජාත්‍යන්තර ප‍්‍රජාව ශ‍්‍රී ලංකා රජයවෙත සිය බලපෑම් එල්ල කල යුතුය. වධහිංසා පැමිණවීමේ මාර්ගයක් ලෙස ප‍්‍රශ්න කිරිම හා දඬුවම් පැමිණවීම නවතා දමා සිරකරුවන්ව තම ගම්බිම් ආසන්නයේ සිරගෙවල් වලට මාරුකර, රටපුරා රඳවා සිටින සියලූ සිරකරුවන්ගේ නම් ඇතුලත් ලැයිස්තුවක් නිකුත් කර, දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කිරීම හෝ එසේ නැතිනම් නීති ක‍්‍රියාමාර්ග කඩිනම් කර අපරාධ වලට සම්බන්ධ අය සිටි නම් ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කළයුතු අතර වව්නියාව හිරගෙදර කැරැල්ල අතරතුර සහ ඉන්පසුව සිදු වුයේ කුමක්ද යන්න පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමද ඇතුළුව නිර්දේශ රාශීයක් මෙම වාර්ථාව මගින් ඉදිරිපත් කර ඇත.

දේශපාලන සිරකරුවන්ගේ ගැටළුව ආමන්ත‍්‍රණය නොකර පශ්චාත් යුධ ශ‍්‍රී ලංකාවේ සංහිදියාව ඇති කළ නොහැකිය. රජය වර්තමානයේ හැසිරෙන්නේ දැඩි අධිකාරීවාදි ලෙසිනි.

එම් ද සිල්වා විසිනි | මාර්තු 2013

_________________________________________________________________________________________

Sri Lanka Campaign for Peace and Justice විසින් මාර්තු මාසයේ Tamil political prisoners in Sri Lankaමැයෙන් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවේ විධායක සාරාංශය