Democracy, end of the War, Features, Human Rights, Human Security, Jaffna, Peace and reconciliation, Politics and Governance

උතුරේ ඉඩම් කොල්ලය – අපේ ඉඩම් නොදුන්නොත් ‘‘පණ උණත් අහිමි කරගන්න අපි සූදානම්’’

protest_jaffna_004

වලිකාමම් උතුර සහ දකුණේ ශී‍්‍ර හමුදා අවශ්‍යතා අනුව අක්කර 6,400 ඉඩම් අත්පත් කරන බව ඊයේ(23) පෝස්ටර් අලවා තිබූ අතර තුර වඩමරාච්චි නැගෙණහිර මරුදංකේනි ප‍්‍රදේශයේ තනි පුද්ගලයන්ට අයත් අක්කර 700ක් පමණ ඉඩම් කොටසක් අත්පත් කර ගැනීමට හමුදාව කටයුතු අරඹා ඇත. මරුදංකේනි ප‍්‍රදේශිය ලේකම් කොට්ඨාශය ‘මණ්ඩලායි ගණපති කෝවිල්’ ප‍්‍රදේශයේ 5 දෙනෙකුට අයත් අක්කර 700ක පොල් වතු ඉඩම් කොටසක් මෙසේ අත්පත් කරගැනීමට යයි.

මේ ඉඩම් කොටසේ අවුරුදු 3ක් තිස්සේ 55 වැනි බලහැනියේ 3 වන කොට්ඨාශය(55 – 3) තිබෙනවා. ඉඩමෙන් ඉවත් වී ආපසු අපටම ඉඩම දෙන ලෙස ඉල්ලා තමන්ට අයත් ඉඩමට කිහිප වතාවක්ම ගියත් හමුදාව තමන්ව ඉඩමට ඇතුළු වීමට අනුමැති නොදුන් බව මෙම පිරිස පවසයි.

පලාලි හමුදා මූලස්ථානයට, හමුදා සිවිල් පරිපාලන කොට්ඨාශයට සහ කොළඹ හමුදා මූලස්ථානයට මේ පිළිබඳව පැමිණිලි කර ඇතත් කිසිදු සිදු නොවූ බව එම ජනතාව පවසයි. අක්කර 600ක ඉඩම් කොටස් පිළිබඳව සෑම ලිපි ගොනු අප සතු තිබෙනව බවත් එම ජනතාව වැඩිදුරටත් කියයි.

මෙම ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳ ලිපි ඉඩම් අත්පත් කරනගැනීම පිළිබඳ නිළධාරී විසින් ඉඩම් අයිතිකරුන්ට එවා ඇති බවත් ආරංචි බවත් එම ජනයා වැඩිදුරටත් පවසයි.

වලිකාමම් උතුර සහ දකුණේ බිම් බෝම්බ තිබෙන නිසා නැවත පදිංචි කිරීමේ කටයුත්ත කරන්න බැරි බව හමුදාව පවසනමුත් ඉඩම් අත්පත් කරගැනීම පිළිබඳ පෝස්ටර් පමණක් අලවා තිබෙනවා. මෙම පෝස්ටර් අලවන්න නිළධාරීන්ට හමුදාව අවසර දුන්නේ කෙසේද යන්න එම ප‍්‍රදේශයට අයත් පිරිස් ප‍්‍රශ්න කරයි.

බිම් බෝම්බ ඉවත් කර නැති බව කියන ඉඩම් වල ගොවිතැන් කරන්නේ කවුද යන්න ප‍්‍රශ්න කර ඇති ජනතාව ඉඩම් අත්පත් කරගැනීම සඳහා අලවා ඇති පෝස්ටරය වහා ඉවත් කර එම ප‍්‍රදේශයේ තමන්ව නැවත පදිංචි කරන ලෙසත්, නැත්නම් හමුදාවේ මෙම කි‍්‍රයාව හෙළා දැක උපවාසයක් ආරම්භ කරන බවත් එම ජනතාව පවසයි.

වලිකාමම් උතුර සහ දකුණ ප‍්‍රදේශයේ ජනතාවට අයත් අක්කර 4381 ක් පමණ ඉඩම් කොටසක් අත්පත් කරගැනීම පිළිබඳ පොස්ටර් ඊයේ 23 සිට ජනතාව පදිංචි වීමට අනුමැති නොකළ ඉඩම් වල පවා අලවා ඇත. මෙයට විරුද්ධව වලිකාමම් උතුර ප‍්‍රාදේශීය සභාවේ ජනතා සහභාගිත්වයෙන් රැුස්වීමක් ඊයේ(23) පැවැත්වීය.

‘‘අපි මේ අරගලය කරන නිසා ප‍්‍රහාර එල්ල කරන්න ඉඩ තියෙනවා. තර්ජනය කරන්නත් පුළුවන්. ඒවාට අපි බය වෙන්නේ නැහැ. අපි සතුව පණ විතරයි තියෙන්නේ. වෙන කිසි දෙයක් නැහැ. සෑම දෙයක්ම අහිමි වෙලා. දැන් පණ උණත් අහිමි කරන්න සූදානම්. අපේ අරගලයට පක්‍ෂ භේද නැතුව සහය පළකළ යුතුයි.’’ යැයි එයට සහභාගී වූ ඇතැමෙක් ප‍්‍රකාශ කළේය.

යාපනයේ විරෝධය

උතුරේ දෙමළ ජනයාගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම, විශේෂයෙන් වලිකාමම් උතුර සහ දකුණ ප‍්‍රදේශයේ ඉඩම් අක්කර 6400 ක් හමුදාව අත්පත් කරගැනීමට උත්සහ ගැනීම සහ උතුරේ සිංහල ජනයා පදිංචි කිරීම යන කටයුතු හෙළා දැක අද(24* දහවල් යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලය ඉදිරිපිට දෙමළ ජාතික ජනතා පෙරමුණ ප‍්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත් විය. මෙම උද්ඝෝෂණයට වලිකාමම් ජනතාව ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ දෙමළ ජාතික ජනතා පෙරමුණ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අදහස් දක්වමින්,
‘‘රටේ ජනතාව ආරක්‍ෂා කිරීම හමුදාවේ වගකීමකි. නමුත් ලංකාවේ හමුදාව රටේ ප‍්‍රජාවක් වන දෙමළ ජනයාගේ ජීවත් වීමේ අයිතිය අහිමි කරන්න උත්සහ දරනවා. යුද්ධය අවසන් වී අවුරුදු 4ක් ගත වුණත් දෙමළ ජනයාට එරෙහි කි‍්‍රයාවලියේ අඩුවීමක් නැහැ. ජාත්‍යන්තර මේ පිළිබඳව මැදිහත් විය යුතුයි. ඉඩම් කොල්ල කෑම සහ සිංහල පදිංචි වීම් පිළිබඳව ඩයස්පෝරා ජනතාව උද්ඝෝෂණ පවත්වා අදාළ රට වලට බලපෑම් කළ යුතු බව අප ඒ පිරිසගෙන් ඉල්ලා සිටිනවා.

වලිකාමම් ප‍්‍රදේශය හමුදාව අත්පත් කරගැනීමට විශේෂ හේතුවක් තිබෙනවා. එම ප‍්‍රදේශය ගොවිතැන් කිරීමටත් ධීවර කර්මාන්තයටත් විශේෂ තැනක්. දකුණු ආසියාවේම මයිලිට්ටි ප‍්‍රදේශය ධීවර කර්මාන්තයට ප‍්‍රසිද්ධ තැනක්. ඒ වගේම මිදි සහ බුලත් වලින් මෙම ප‍්‍රදේශයේ හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. එම නිසා මෙම ප‍්‍රදේශය අත්පත් කරගැනීමෙන් දෙමළ ජනයාව ආර්ථික වශයෙන් ද විනාශ කරන්න උත්සහ කරනවා.

අපටවත් වලිකාමම් ප‍්‍රදේශයට ඇතුළු වෙන්න හමුදාව ඉඩ දෙන්නේ නැහැ. නමුත් එහි අපේ ජනතාව යළි පදිංචි කරන තැක් සාමකාමී ලෙස අපේ අරගලය දිගටම සිදු කරනවා.’’

මෙහිදී අදහස් දැක්වූ, එස්. ශී‍්‍රදරන් (දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර) මංත‍්‍රීවරයා පවසා සිටියේ, 29 වැනි සඳුදා වලිකාමම් උතුරු ප‍්‍රාදේශීය සභාව ඉදිරිපිට වලිකාමම් ඉඩම් හමුදා විසින් අත්පත් කරගැනීමට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණයක් අරගෙන තිබෙන බවත්, වලිකාමම් ජනතාව විසින් පත්කරනු ලැබූ ‘වලිකාමම් උතුර අවතැන් වූවන්ගේ යළි පදිංචි සංවිධානය’ ප‍්‍රධානත්වයෙන් මෙය කිසිදු පක්‍ෂ භේදයකින් තොර උද්ඝෝෂණය ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ය.

ජනයාගේ ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ අලවා තිබූ පෝස්ටරය

valikamam_land