සිංහල, Colombo, Democracy, Human Rights, Human Security, Media

“මූලාශ්‍ර හෙළි කරන්නැයි” රහස් පොළීසිය ‛ලංකා ඊ නිව්ස්’ කර්තෘට එරෙහිව උසාවි යයි. අධිකරණය එය ප්‍රතික්ෂේප කරයි.

ලංකා ‛ඊ නිව්ස් ’ වේබ් අඩිවිය පළකළ පුවතක මූලාශ්‍ර හෙළි කර ගැනීම සඳහා රහස් පොළීසිය ඊයේ(24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

කුරුණෑගල, ගොකරුල්ල පොලීසියේ නිළධාරීන් පිරිසක් වහාම මාරුකරන ලෙස ඇමති සාලින්ද දිසානායක මහතා පොළිස්පතිට දන්වන ලද ලිපියක් නොවැම්බර් 6 දින ‛ලංකා ඊ නිව්ස්’ වේබ් අඩවියේ ‛‛අකීකරු පොලිස් නිළධාරීන් මාරුකරන්නැයි ඇමති පොළිස්පතිගෙන් ඉල්ලයි’’ යන හිසින් පළකළ පුවතක් මෙයට පාදක වී ඇතැයි වාර්තා වේ.

මේ මස 18 වනදා රහස් පොලිසීය ඊ නිව්ස් කර්තෘ සඳරුවන් සේනාධීර මහතාගෙන් එම පුවත පිළිබද කරුණු විමසීමේදි සේනාධිර මහතා පවසා ඇත්තේ මේ පුවත ලැබූනු ආකාරය පිළිබද මූලාශ්‍ර ලබා දිය නොහැකි බවයි. එම මූලාශ්‍ර ලැබුණු ආකාරය පිළිබඳ කතුවරයා පොළිසියට හෙළි නොකිරීම එම තොරතුරු ලබා ගැනීම සඳහා රහස් පොලිසිය විසින් අධිකරණයේ ඊයේ(24) ඉල්ලීමක් කළේය.

මෙසේ මාධ්‍යවේදියෙකුගේ තොරතුරු මූලාශ්‍ර හෙළි කරන්නැයි ඉල්ලා පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගැනීමට උත්සහ කළ ප්‍රථම අවස්ථාව මෙය බවත් සඳහන් වේ. කෙසේ වෙතත් අධිකරණය විසින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.

තොරතුරු ලැබුණු ආකාරය අනාවරණය කිරීමට කිසිදු මාධ්‍යවේදියෙකු බැඳී නොමැති බවත්, එය මාධ්‍ය ආචාර ධර්මවලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී තිබෙන තොරතුරු දැනගැනීමට තිබෙන මූලික අයිතිය උල්ලංඝනය කිරීමක් බව ද සඳරුවන් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුව විසින් ‛‛පුවත් මණ්ඩල පනත’’ බලගන්වන්නට උත්සහ කරන මේ මොහොතේ මෙම සිදුවීම ඉතා බරපතල සිදුවීමක් බව මාධ්‍ය ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වෙමින් ඇත.