Colombo, Poems, Puravasi Katha

සරොජිනී අම්මා

SD a
අම්මාවරුන්ගේ දිනයක් ආවා ය
මව්වරුනට දරු උණුසුම දැනුනා ය
අම්මා මතක් වී මා සිත හැඩුවා ය
සරස්වතී අම්මා සිහි වූවා ය

වයස හැත්තෑ පහයි
උපන්දිනේ දන්නේ නෑ
දරුවන්ගේ නම් මතකයි
පින්තූර මුකුත් නෑ
ස්විස්ටර්ලන්තයට ඇවිත් අව්රුදු තුනයි

යාපනයේ ගම්මානෙක උන්නාය
ගොවිතැන් බතින් දුෂ්කර දිවි ගෙවුවාය
දරුවන් පස් දෙනෙක් මෙලොවට දුන්නාය
අම්මා සරස්වති දෙමළය වයසකය

යුද්දේ භයංකාරයි
ගමින් ගම ගෙයින් ගෙට ගිනි බිදුනි
දරුවෝ එකා එකා රට හැර ගියහ
ලොකු පුතා කැනඩාවේ
දෙවැනියා ප‍්‍රංශයේ
පුරුෂයි තවත් පුතෙක් ජර්මනියේ
එක්කෙනෙක් නොර්වේ, බාලයා ස්විස්ටර්ලන්තයේ

මං සරෝජිනී අම්මා බලන්න ගියේ අනාථ කඳවුරේ සහායිකාවගේ ඉල්ලීම නිසා.‘‘ඔබ ලංකාවෙනෙ. මං බාරයේ ලංකාවේ අම්ම කෙනෙක් ඉන්නවා. කතා කරන්නවත් කව්රුවත් නැහැ. දවසම ඉන්නේ ඇගේ කාමරේ. මව්වරුන්ගේ දවස එනවනේ. බැරිද ඇවිල්ල පොඞ්ඩක් කතා කරල යන්න? හැබැයි ඇය ඉන්නේ ඔබ ඉන්න ජිනීවා වල නොවෙයි, අනාථ ජිනීවාවල’’

දරුවන් ලොකු මහත් කර පිට රට යැවුවාය
බිරිදන් සොයා කරකාරෙට දුන්නාය
ඉද හිට එවූ චොකලට් රස වින්දාය
ගේ දොර ඉඩ කඩම් උකසට ගෙවුනාය

දරුවන් ලෝක ප‍්‍රජාවේ කොටස්කාරයෝ
ජර්මන්, ප‍්‍රංශ, ඉංගිරිසි, නොර්වීජියන් බස් දොඩන.
ඒත් අම්මා ඉන්නේ ජිනීවා අනාථ කදවුරක
අඩි අටක් පළල අඩි 10ක් දිග පුංචි කාමරයක.
අන්තර් ජාතික වූ දරුවෝ දැන් දෙමළ අම්මාට ගෙදරට ගන්න කැමැති නෑ.
සරස්වතී අම්මා ඉන්නෙ අසනීපයෙන්.

අනාථ කඳවුර රට රටින් ආ ජනයගෙන් පිරිලා.
පවුල් 20කට එක කුස්සියයි. වැසිකිළියක් හවුලේ.
පැල්පත් නොවන පැල්පත්, සත් මහල් කොන්ක‍්‍රීට් කැලයක. ඇයගේ දේශපාලන රුකවරණ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වෙලා, ඉන්නේ තාවකාලික අවසර පත‍්‍රයෙන්. ජීවත්වෙන්න ලැබෙන්නේ සොච්චමයි.

සතියේ දිනය හෝ කවදා දැයි නොදනී
දරුවන් එනු නැතැයි වත කඳළින් පෙඟුනී
දෙන දේ මිසක් රස අහරක් නොවුනී
ගෙන ආවේ ඇයි ද යන්නේ කවද ද පුතුනී?

කඳවුරේ දෙමළ දන්නා එක කෙනෙක්වත් නෑ.
සරෝජිනී අම්මා දෙමළ හැර අන් බසක් දන්නේත් නෑ.
උයාගෙන කන්න හයි හත්තියකුත් නෑ.
කාමරය බැලූ බැල්මටම හඩු ගඳයි.

අප ගිය විගස ඇය එළියට ආවාය
මුහුණේ සිනහවක් විකසිත වූවාය
මගේ පුතත් මේ වගෙමයි කීවාය
අහස බලා දෙවි පිහිටයි මැතිරීය

ඇයට දෙමළ බසින් කතා කරන්නවත් කෙනෙක් නෑ.
දහස් ගණනින් විමුක්ති ධජ පතාක රැගෙන
දෙමළ අරගලයේ කාහළ නාද නැංවෙන
මේ ජිනීවා පුරවරයේම
ඒ දෙමළ අම්මා දෙමළෙන් වචනයක් අසන්නටවත් කියන්නටවත් නැතිව
මේ මව්වරුන්ගේ දවසේත් බැලූ අත බලා ගෙන
ඉන්න ඇති.

මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා, මගේ කන් දෙකෙන්ම ඒ කතාව ඇහුවා

ඔන්න ඔහොමයි අම්මා කෙනෙක් දවසරින්නේ දරුවන් ‘සීතල යුරෝපයේ සැප විදින‘ අතර.
සිංහලද දෙමළද කියා නෑ වෙනසක් ඩයස්පෝරාව කියන්නේ ආත්මාර්ථයේ ජායාවටයි

දෑසට පෙනෙන හැම හිම කැටයක් තුළම
මට පෙනෙනවා අම්මා හිච්චි කියන
අම්මා සමඟ එක පැදුරේ නිදන
සිහිනය පෙනෙයි මා සතුටින් තියන

කඳවුර සීතලෙන් ගල් කර පතිත හිම
අම්මේ සරස්වතී, කීවද ඔබට කිසිත්?

හිච්චි පුතා
12.05.2013