Colombo, Democracy, Economic issues, Features, Governance, Human Rights, Politics and Governance

ධීවර විරෝධය මධ්‍යයේ බිහි කළ සී ප්ලේන් ගිලී යයි

ධීවරයින්ගේ ප්‍රභල විරෝධය  හමුවේ, ආණ්ඩුවේ සී ප්ලේන් හකුලාගත්, මීගමු විරෝධතාවයේ  අවස්ථාවක් | මීගමු කලපුව මැද | November 17, 2010 | Image Vikalpa file
ධීවරයින්ගේ ප්‍රභල විරෝධය හමුවේ, ආණ්ඩුවේ සී ප්ලේන් හකුලාගත්, මීගමු විරෝධතාවයේ අවස්ථාවක් | මීගමු කලපුව මැද | November 17, 2010 | Image Vikalpa file

ශ‍්‍රී ලංකාව ස්වාභාවික ජල මූලාශ‍්‍ර විශාල සංඛ්‍යාවකින් හෙබි වූ නිසාත්, සෑම දිස්ත‍්‍රික්කයකම වැවක් හෝ ගංගාවක් ස්වාභාවිකව පිහිටා ඇති නිසාත්, ගුවන් ගමන් සඳහා කාර්යක්ෂම හා සුදුසුම ප‍්‍රවාහන මාධ්‍ය ලෙස බලධාරීන් දුටුවේ සී ප්ලේන් ය. ශ‍්‍රී ලංකා මහා මාර්ග පද්ධතියේ පවතින අඩුපාඩු හා අවහිරතා මගහරවා ගත හැකි හොදම විකල්පය ලෙස ඔවුන් සී ප්ලේන් දැක ගෙන ඇත.

එහි ප‍්‍රතිපලයක් ලෙස පසුගිය 2013 අපේ‍්‍රල් මාසය තුළ නුවරඑළියේ ග්‍රෙගරි වැවෙත්, නුවර වික්ටෝරියා ජලාශයෙත්, දඹුලූ ඔයෙත්, හම්බන්තොට බැදගිරි වැවෙත්, අම්පාර කොන්ඩු වට්ඩුවාන් ජලාශයෙත්, ගාල්ල කොග්ගල කලපුවෙත්, හැටන් කාසල් රී ජලාශයෙත්, තංගල්ල කලපුවෙත්, පෑලියගොඩ කැළණි ගෙඟත්, කොළඹ බේරෙ වැව හා මීගමුව කලපුවෙත් ගුවන් ගමන් සිදු කරන්නට අවැසි සියලූ යටිතල පහසුකම් සකසන ලදි. ඒ සඳහා මූලික වූයේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමයි. එහිදී ඔවුන්ගේ ඉලක්කය වූයේ ශ‍්‍රී ලංකාව තුළ විවිධ ප‍්‍රදේශයන්හි වූ විවිධ දේශගුණික තත්ත්වයන්හි සුන්දරත්වය ඉතා කෙටි කාලයක් තුළ සංචාරයින්ට විඳ ගැනීමට ඒ අයුරින් ගුවන් සේවා කර්මාන්තයේ සංවර්ධනයත්, එපමණක් නොව ඒ අශ‍්‍රිත මහජනතාවගේ ස්වයං රැකියා අවස්ථා දියුණු කිරීමටත් ය. එමෙන්ම එවන් දේශීය සංචාරකයින්ගේ විවාහ මංගල කටයුතු සඳහා සහය වන බවටත් ප‍්‍රචාරය කළහ.

මීගමුව කලපුවේ මෙම සී ප්ලේන් ව්‍යාපෘතිය සඳහා මෙහෙයුම් කටයුතු ආරම්භ කරන විට ප‍්‍රබල ධීවර විරෝධයක් මතු වී ආ අතර ධීවරයින් සිය දරු පවුල් සමඟ කලපුව මධ්‍යයටත් කොළඹ-මීගමු මහා මාර්ගයටත් පැමිණ සිය ක‍්‍රියාකාරී විරෝධය පළ කලේ කිහිප දෙනෙකුගේ ලාභ වෙනුවෙන් කලපු ධීවරයින් 5000 කට අධික පිරිසකගේ ජීවනෝපාය බිල්ලට දිය නොහැකි බව කියමිනි. එහි ප‍්‍රතිපලයක් ලෙස මීගමුව කලපුවේ සී ප්ලේන් ඉවත් කර ගැනීමට පාලකයින්ට සිදු වූ අතර එය දඩුගම ඔය ආශ‍්‍රිතව ස්ථානගත කිරීමට බලධාරීන් පසු බට නොවූහ.(සංස්කාරක සටහන– එම ධීවර විරෝධතාවය පිලීබද විස්තර සහ ඡායාරෑ විකල්ප වෙබ් අඩවිය පළ කර අතර මෙයින් එයට පිවිසිය හැකිය.) දඩුගම ඔය ආශ‍්‍රිතව එම යටිතල පහසුකම් ඇති කිරීම සඳහා විශාල පරිශ‍්‍රමයක් දැරීමට සිදු වූ අතර කඩොලානින් පිරි මුතුරාජවෙල අයත් වටිනා පරිසර පද්ධතියක් සහමුලින්ම වෙනස් කිරීම්වලට භාජනය කරන ලදි. ඒ සඳහා වැය වූ වියදම කොපමණදැයි අපි නොදනිමු. ඔවුන් කලපුව පමණක් නොව ඉහත කී සියලූ ස්ථානවල මෙම යටිතල පහසුකම් ඇති කිරීම සඳහා කළාවූ වියදම සුළු පටු විය නොහැක.

(සංස්කාරක සටහන- පහත පළවන්නේ මීගමු ධීවර විරෝධතාවය පිලීබද විකල්ප වෙබ් අඩවිය සැකසු වීඩියෝවකි )

එසේ ගුවන් යානා 2ක් ලංකාවට කැනඩාවෙන් ගෙන්වන ලද අතර ගුවන් අරඹා මාස 6ක් ගතවීමට පෙර එක් ජලචර ගුවන් යානයක් මෙසිරිලක හැරදා ආපසු ගියේ එම ව්‍යාපාරය පාඩු පිට පාඩු ලබන තත්ත්වයකට පත් වූ හෙයිනි. නමුත් ගුවන් ගමන් සඳහා තබා ගත් අනෙක් යානයටද ගමන් ඇරඹුම් සිත් පරිදි නොලැබෙන අතර එහි නඩත්තු වියදම් ද අධික විය. දඩුගම ඔයේ සිට නුවර එළියට එක් ගමන් වාරයක් සඳහා රු.8000ක් බව කියැවිණි. සම්පූර්ණයෙන් 18 දෙනෙකු මෙම ගුවන් යානයේ ගමන් කළ හැකිව තිබූ අතර එක් පුද්ගලයෙකුගේ ගමන් වාරයක් සඳහා වුවද ගුවන් යානය ගුවන් ගත කළ යුතු විය. මෙම තත්ත්වය තුළ විදේශිකයින් කෙසේ වෙතත් දේශීය සංචාරකයින්ට ඉඩ සලසාදීමට කටයුතු කළද එය ද අසාර්ථක විය. සී ප්ලේන් ව්‍යාපෘතිය අරඹා හරියටම වසරකින් අනෙක් ගුවන් යානයද කැනඩාවට හරවා යවනු ලැබුණේ දිගින් දිගටම පාඩු පිට පාඩු ලබන ව්‍යාපෘතියන් බවට එය පත් වූ හෙයිනි. අදූරදර්ශීවත් අත්තනෝමතික ලෙසත් ආරම්භ වන මෙවන් ව්‍යාපෘතිවල බර අවසානයේ දරන්නට වෙන්නේ කාටද යන්න සිතා බැලීම අප කාගේත් ශාරිරික සෞඛ්‍යයට හිත කර විය හැකිය.

ජූඞ් පේ‍්‍රමන් | Jude Preman