Democracy, Features, Human Rights, Jaffna, Peace and reconciliation, Politics and Governance

‘ඉඩම් සහ පොලිස් බලතල සමග උතුරැ පළාත් සභා මැතිවරණය සිදුවිය යුතුයි’

220px-Selvam_Adaikalanathan
උතුරැ පළාත් සභා මැතිවරණය පිළිබද විවිධ සංවාදයන් මේ වනවන විට රට තුළ පැන නැගෙමින් තිබේ. විශේෂයෙන් මෙතෙක් කලක් උතුර හැර සෙසු පළාත්වල පළාත් සභා මැතිවරණය පැවැත් වූයේ තිබෙන පළාත් සභා ක්‍රමය යටතේයි. නමුත් උතුරැ පළත්සභා මැතිවරණය පැවැත් වීමේදී පොලිස් සහ ඉඩම් බලතල නොමැතිව එය පැවත්විය යුතු බව දකුණේ දේශපාලන පක්ෂ සහ අන්තවාදී සංවිධාන හඩ නගමින් සිටියි. එසේම විමල් වීරවංශ වැනි ආණ්ඩුවේ හුරතල් ඇමතිවරැන් පවසන්නේ උතුරැ පළාත් සභා මැතිවරනය නොපැවැත් විය යුතු බවයි. කෙසේ නමුත් මෙම පළාත් සභ මැතිවරණය පිළිබදව විකල්ප වෙබ් අඩවිය සමග දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සෙල්වම් අඩෛකලනාදන් සකච්ඡාවකට එක්විය. පහත පළවන්නේ එම සාකච්ඡාවයි.

Q. මුලතිව් දිස්ත‍්‍රික්කයේ ග‍්‍රාම සේවක නිළධාරීන්ගෙන් ඡන්ද නාම ලේඛන හමුදා බුද්ධි අංශ විසින් ලබා ගැනීමක් පිළිබඳව මේ වන විට උතුරැ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. මේ පිලිබද ඔබේ අදහස කුමක්ද?

A.ඡ‍න්ද නාම ලේඛන ග‍්‍රාම සේවක නිළධාරීන්ගෙන් ලබා ගැනීමට හමුදාවට කිසිඳු බලතලයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක සිදුවන මෙවැනි සිදුවීම් හෙළා දැකිය යුතුයි. ග‍්‍රාම සේවක නිළධාරීන්ගෙන් ජනතාවගේ ඡන්ද නාම ලේඛන ලබාගෙන ඔවුන්ට තර්ජනය කොට දෙමළ ජාතික සන්ධානයට ඡන්දය දැමීම වැළැක්වීම තමයි ඔවුන්ගේ අරමුණ. හමුදාවේ මෙවැනි කි‍්‍රයාව වහා රජය නැවැත්විය යුතුයි.

Q. උතුරු පළාත් සභා මැතිවරණය පැවත් වුවහොත් එය නිදහස් හා සාධාරණව සිදුවෙයි කියා ඔබට විශ්වාසයක් තිබෙනවා ද?

A.ලංකාවේ කවදාවත් මැතිවරණයක් නිදහස් හා සාධාරණව සිදුවී නැහැ. මේ රටේ මෙයට කිසිඳු ඉඩක් නැහැ. උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණව සිදුවෙන්න ඕනෑ නම් අනිවාරයෙන් ජාත්‍යන්තර මැතිවරණ නිරීක්‍ෂණයේ යෙදීම අවශ්‍යයි. උතුරු පළාතේ සිදුවූ සියලූ මහ නගර සභා සහ ප‍්‍රාදේශිය සභා මැතිවරණ නිදහස් හා සාධාරණව සිදුවූවා ද යන්න සැකයක්. හමුදාමය වශයෙන් බොහෝ තර්ජන තිබුණා. එදා වගේ ඉදිරියටත් සිදුවෙන්න ඉඩ තියෙනවා. එම නිසා තමයි ජාත්‍යන්තර නිරීක්‍ෂකයන්ගේ පැමිණීම අවශ්‍ය බව අපි කියන්නේ.

Q. උතුරු පළාත් සභා මැතිවරණය නිදහස් හා සාධාරණව සිදුවිය යුතු නම් මොනවාද කළ යුත්තේ?

A.ප‍්‍රථමයෙන් සිවිල් පරිපාලනයෙන් හමුදාව ඉවත් විය යුතුයි. අද උතුර පළාතේ සෑම සිවිල් කටයුතු වලම හමුදාව මැදිහත් වෙනවා. එම නිසා නිදහස්ව, සාධාරණව කිසිඳු කටයුත්තක් ජනතාවට කරන්න බැරි වී තිබෙනවා. මැතිවරණ කටයුතුවල ද හමුදාව මැදිහත් වීම නිශ්චිතයි. හමුදාවේ මැදිහත් වීම වහා නැවැත්විය යුතුයි. නැත්නම් නිදහස් හා සාධාරණ මැතිවරණයක් උතුරේ සිදුවෙන්නේ නැහැ. පොලීසියේ සහය සමඟ සිවිල් පරිපාලනය යටතේ පමණයි උතුර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ.

Q. පොලිස් බලතල, ඉඩම් බලතල ඉවත් කර උතුර පළාත් සභා මැතිවරණය සිදුකළ යුතු බව දකුණේ දේශපාලන පක්‍ෂ, සංවිධාන ඉල්ලීම් කර තිබීම පිළිබඳව ඔබේ අදහස කුමක්ද?

A. දකුණේ ජාතිවාදී, අන්තවාදී පක්‍ෂ ජාතිවාදය ඇවිස්සෙන ආකාරයට කි‍්‍රයා කරනවා. ලංකාවේ සෑම පළාත් සභා මැතිවරණ 13 වැනි සංශෝධනය යටතේ සිදුවී තිබෙනවා. ජාතිවාදී සහ අන්තවාදී පක්‍ෂ කියන කතා රජය පිලිනොගත යුතුයි. ඉඩම් සහ පොලිස් බලතල ඇතුළුව උතුරැ පළාත් සභා මැතිවරණය සිදුවිය යුතුයි. උතුර පළාත් සභා මැතිවරණයේ දෙමළ ජාතික සන්ධානය ජයග‍්‍රහණය කළොත් රට දෙකට බෙදෙනවා කියා ජාතිවාද පක්‍ෂ කෑගසනවා. අපි නිදහස් හා සාධාරණ විධියට උතුර පළාත් සභාව පාලනය කරනවා. ජාතිවාදීන්ගේ බොරු ප‍්‍රචාර විශ්වාස නොකළ යුතුයි. ඒක රටක් තුළ විසඳුමක් ලබා ගැනීම තමා අපේ ආශාව. පළාත් සභා මැතිවරණයේ ජයග‍්‍රහණය ලබා ගැනීමෙන් අපේ ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම අපේ ඉලක්කයයි. එම නිසා මේ ආණ්ඩුව පිහිටුවීමට උදව් කළ ජාතිවාදී පක්‍ෂ කරන බලපෑම් වලට ගොදුරු නොවී උතුරු පළාත් සභා පිළිබඳ ස්ථාවරය රජය කිව යුතුයි.

Q. පොලිස් බලතල, ඉඩම් බලතල ඉවත් කළොත් උතුරු පළාත් සභා මැතිවරණයට ඔබ පක්ෂය තරඟ කරනවාද?

A. ඒ පිළිබඳවා සිතා බලනවා.

Q. උතුරු පළාත් සභා මැතිවරණයේ ස්වාධීන අපේක්‍ෂකයන් වශයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් තරඟ කිරීම පිටුපස රජය සිටින බව තොරතුරු වාර්තා වෙනවා. මේ පිළිබඳව ඔබේ අදහස කුමක් ද?

A. කෙසේ හෝ දෙමළ ජාතික සන්ධානය පරාජිත කළ යුතුයි කියා රජය අධිශ්ඨාණයෙන් සිටිනවා. මෙම කටයුත්ත සඳහා රජය රහසිගතව විවිධ අන්දමින් කි‍්‍රයා කරනවා. එයින් එකක් ලෙස හිටපු කොටි සාමාජිකයන් මැතිවරණයේ අපේක්‍ෂකයන් විදිහට පත් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා. නමුත් ජනතාව හොඳ ආකාරයේ දන්නවා, කාටද ඡන්දය දිය යුත්තේ කියලා. අපේ ජනතාව රවට්ටන් බැහැ. අනිවාරයෙන් උතුර පළාත් සභා මැතිවරණයේ දෙමළ ජාතික සන්ධානය ජයග‍්‍රහණය ලබනවා.

Q. 2013 සැප්තැම්බර් මාසයේදී මේ මැතිවරණය පැවැත් වෙයිද?

A.ජානධිපති තමයි ඒක දන්නේ.